ජේසුස් වහන්සේ විසින් තමන්ගේ අන්තිම රාත්‍රි භෝජනය අවස්ථාවේදී කාර්‍යන් 4 ක් සිදු කරන ලදී.
1- "දිව්‍ය සත්ප්‍රසාදය" නැමැති දේව ප්‍රසාද නිධානය ස්ථාපිත කිරීම.
2- "පුජකවරය" නැමැති දේව ප්‍රසාද නිධානය ස්ථාපිත කිරීම.
3- අපෝස්තුළුවරුන්ගේ පාද දෝවනය කිරීම.
4- සභාවේ ඒකත්වය වෙනුවෙන් යාච්ඤා කිරීම.
1- දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම.
"දිව්‍ය සත්ප්‍රසාදය" නැමැති දේව ප්‍රසාද නිධානය අප විසින් හදුන්වනු ලබන්නේ "දේව ප්‍රසාද නිධානයන්ගේ දේව ප්‍රසාද නිධානය ලෙසටයි."මන්දයත් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ ක්‍රිස්තුන් වහන්සේ ජීවමානව වැඩ සිටින බැවිනි.එකම ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ලබා ගන්නා වු අප සියළු දෙනා එකම ශරීරයක් වන්නෙමු.
අන්තිම රාත්‍රි භෝජනයේදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීමේ සිදුවීම පාස්කු පරිසරය තුළ පරිස්මරණයේ අත් දැකීමක් වෙයි."පරිස්මරණයක්" යනු අතීත සිදුවීමක් නැවත ඒ මොහෙතේ ජිවමානව සිදු කරනු ලැබීමයි.
22 ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, ''ගන්න, මේ මාගේ ශරීරය ය''යි වදාළ සේක.
23 උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ.
24 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ''මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ.
( මාක් 14 :22-24 )
පුරාණ ගිවිසුම තුළ පාස්කු භෝජනය පරිස්මරණයේ අත්දැකීමක් වුවා සේම නව ගිවිසුම තුළද ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ කල්වාරි යාගයේ අත්දැකීම පරිස්මරණයේ ( සීක්‍රෝන් ) අත්දැකීමක් ලෙස අන්තිම රාත්‍රි භෝජනය තුළ ඉදිරිපත් කරනු ලබයි.එබැවින් මුල් ජුදා ක්‍රිස්තියානින් තුළ පූපය සහ මිදියුස තුළ ජීවමානව ක්‍රිස්තුන් වහන්සේගේ වැඩසිටීම මුලිකම විශ්වාසය වුවා සේම අදටත් අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධවු කතෝලික සභාව තුළ දිව්‍ය පූජා යාගයේ දී පුප සහ මිදියුස පියතුමන් විසින් දිව්‍ය රහස් කිරීමෙන් අනතුරුව ඒවා ශ්‍රී ශරීරය සහ ශ්‍රි රුධීරය බවට හැරවෙයි.මෙම වරප්‍රසාදය ලබාගත හැකි වන්නේ අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාවෙන් පමණකි.
56 මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි.
( ජොහාන් 6:56 )
2- පූජකවරය දේව ප්‍රසාද නිධානය ස්ථාපිත කිරීම.
ක්‍රිස්තුන් වහන්සේ විසින් අන්තිම රාත්‍රී භෝජනය තුළ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කරමින් එම කාර්‍ය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යාම සදහා "පූජකවරය" නැමැති දේව ප්‍රසාද නිධානය ස්ථාපිත කරන ලදී.
මේ වනාහි ඔබ උදේසා වගුරුවනු ලබන මාගේ රුධීරයෙන් කල නව ගිවිසුමය.
"මා සිහිකිරිම පිණිස මෙය සිදුකරන්න."
( ලුක් 22:19-20 )
එබැවින් ක්‍රිස්තුන් වහන්සේගේ කල්වාරි යාගය "පරිස්මරණය" කිරීම මෙම දේව ප්‍රසාද නිධානයේ මූලිකම කාර්‍ය වෙයි.
මෙම පූජක කාර්‍ය සදහා ක්‍රිස්තුන් වහන්සේ විසින් නිල අධිකාරි බලය ලබා දුන්නේ "අපෝස්තුළුවරුන් වෙතයි."ඒ අන්තිම රාත්‍රි භෝජනය තුළදීය.
"මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න." ( ලුක් 22:19 )
ඔවුන් "සභා නායකයන්" හෙවත් රදගුරු වරුන් ( ඇපෙස්කැපේ) ලෙසට හදුන්වනු ලබයි.
9 මේ සේවය මට භාර දුන් බව පිළිගත් "සභා නායකයන්" වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.
( ගලාති 2:9 )
රදගුරු වරුන් විසින් අත් තබා ආශීර්වාද කරන්නන් "පූජකවරුන්" ලෙසට හදුන්වනු ලබයි. අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම සභාව වන්නේ කතෝලික සභාවයි.මේ නිසා නිල පූජකවරය තුළ කල්වාරි යාගය "පරිස්මරණය" කිරීමට "නිල බලය"ඇත්තේ කතෝලික සභාවට පමණි.
ශුද්ධ වු පාවුළු තුමන් විසින් ක්‍රිස්තුන් වහන්සේම ස්ථාපිත කරන ලද මෙම පිලිවෙත පිලිබදව "කොරින්ති වරුන්ට" විස්තර කර දෙන්නේ මෙසේය.
24 ස්තුති කොට, කඩා: ''මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය.
මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ''යි වදාළ සේක.
( 1 කොරින්ති 11:24 )
මෙහි ස්තූති කොට එනම් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කොට එය කඩා අන් අය අතර බෙදා දීම "පූජකවරය" නැමැති දේව ප්‍රසාද නිධානයේ කාර්‍ය වෙයි.
එබැවින් උත්තම පූජකයාණන් වු ක්‍රිස්තුන් වහන්සේ විසින් තමන්ගේ දුත කාර්‍ය අඛණ්ඩව ඉදිරියටම පවත්වා ගෙන යාම සදහා "නිල පූජකවරය" ස්ථාපිත කරන ලදී.
16 එසේ ලියන්නේ, විජාතීන් උදෙසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන් වහන්සේ මට දෙවා වදාළ වරප්‍රසාදය නිසා ය. ඒ පූජක සේවය, විජාතීන් ශුද්ධාත්මයාණන් විසින් කැප කරනු ලැබ, දෙවියන් වහන්සේට ප්‍රියමනාප පූජාවක් වන අයුරින් සුබ අස්න දේශනා කිරීම ය.
( රෝම 15:16 )
නමුත් බව්තීස්ම ස්නාපනය තුළ අප ලබන පූජක,දිවැසි සහ එඩේරික කැදවීම තුළ නිල පුජකවරය මෙන්ම ගිහියන් වශයෙන් අප සැම පොදු පූජක කාර්‍ය සදහාද පංගුකාරයන් විය යුතු බව ශුද්ධ වු සභාවේ ඉගැන්වීමයි.
9 එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද "රාජකීය පූජක පෙළක් ද"ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.
( 1 පේදුරු 2:9 )
3- අපෝස්තුළුවරුන්ගේ පාද දෝවනය
14 ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය.
15 මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි.
( ජොහාන් 13:14-15 )
දිව්‍ය සත්ප්‍රසාදයේ ජේසුස් වහන්සේ අප සැමගේ පාපයන් උදේසා තම ජීවිතය පුදකලාක් මෙන් අපද අන් අය වෙනුවෙන් කැඩෙන්නට බිදෙන්නට සහ වැයවන්නට අවශ්‍ය වන බව මින් පැහැදිලි වෙයි.එමෙන්ම පුජක කාර්‍ය තුළද උත්තම පූජකයාණන් වු ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගනිමින් අන් අය වෙනුවෙන් කැඩෙන්නට, බිදෙන්නට සහ වැයවීම ක්‍රිස්තියානි අප සැමගේ යුතුකම සහ වගකීම වන බව මෙම පාද දෝවනය කිරීමේ සිදුවීමෙන් අපට පැහැදිලි කරදෙයිප්‍රේමයේ සමාජයක් ගොඩනැංවීම එනම් දිව්‍ය සත්ප්‍රසාදය සහ පුජකවරය යන දේව ප්‍රසාද නිධාන 2 ක තුළ ඇති ගැඹුරු අර්ථයයි."අපෝස්තුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාව" විසින් සෑම "මහ බ්‍රහස්පතින්දා" දිනකදීම සුභාරංචි පාඨය සදහා යොදා ගනු ලබන්නේ මෙම පාද සේදීමේ සිදු වීමයි.එමෙන්ම මෙහිදී පාද සේදීමේ සිදුවීම සංකේතාත්මක ලෙස පියතුමන් විසින් සිදු කරනු ලැබීමද සුවිශේෂි සිදු වීමකි.
4- සභාවේ ඒකත්වය වෙනුවෙන් යාච්ඤා කිරීම
ක්‍රිස්තුන් වහන්සේ විසින් තමන්ගේ සභාවේ ඒකත්වය වෙනුවෙන් යාච්ඤා කිරීම සිදුවන්නේ ද අන්තිම රාත්‍රි භෝජනය තුළදීය.එය ඇතුලත් වන්නේ ජොහාන් සුභාරංචිය තුළය.මෙය "උත්තම පුජක යාච්ඤාව" ලෙසට හදුන්වනු ලබයි.මෙහිදී ක්‍රිස්තුන් වහන්සේ විසින් තමන් වෙනුවෙන්,තමන්ගේ ශ්‍රාවකයන් වෙනුවෙන් සහ අපෝස්තුළුවරුන්ගේ වචනය පිලිගන්නා අන් අය වෙනුවෙන්ද යාච්ඤා කරනු ලබයි.පියාණන් වහන්සේ සහ පුත්‍රයාණන් වහන්සේ ඒකත්වයකින් සිටින්නාක් මෙන් අන් සෑම දෙනාද එකම ඒකත්වයකින් බැදී සිටීම ක්‍රිස්තුන් වහන්සේගේ එකම අරමුණ වෙයි.මේ නිසා ක්‍රිස්තුන් වහන්සේ විසින් ස්ථාපිත කොට ශු.පේදුරු තුමන් හට දෘශය්‍යමාන නායකත්වය ලබාදුන් සභාව තුළ සෑම දෙනාම ඒකත්වයකට පැමිණීම ක්‍රිස්තුන් වහන්සේගේ උත්තම පූජක යාච්ඤාව මල්පල ගන්වන්නකි.
1 ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: ''පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.
20 ''මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි.
21 පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය.
( ජොහාන් 17:1,20:21 )
මේ නිසා එකම ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය හා රුධීරය ලබාගනිමින් එකම බව්තිස්මයෙන් ලද දිවැසි, එඩේරික සහ පූජක කාර්‍යන් සදහා සාක්ෂි දරමින් එකම ශරීරයක් ලෙස ප්‍රේමයේ සමාජයක් ගොඩනැංවීම ක්‍රිස්තුන් වහන්සේගේ ඒකායන අභිප්‍රාය වන්නේය.මෙම සියළු කරුණු නිසා මහ බ්‍රහස්පතින්දා දින "දිව්‍ය යාගය" කතෝලිකයන් වන අපට ඉතා වැදගත් වෙයි.
සතුට යනු කතෝලිකයකු වීමයි!
සාහිත පෙරේරා
0 Comments