BLANTERORBITv101

ශුද්ධ බයිබලය වෙනස් වුනාද?

ශුද්ධ බයිබලය වෙනස් වුනාද?


 "Chinese whispers" නමැති කුඩා ළමුන් අතර ඉතා ප්‍රචලිතව පැවති විනෝද ක්‍රීඩාව ගැන ඔබ අසා තිබේද? මුලින්ම එක් ළමයෙකු විසින් තමන් සතු පණිවිඩයක් තවත් අයෙකුට රහසින් පවසයි.රහස ඇසූ ළමයා එය තවත් ළමයෙකුට පවසයි.මෙලෙස දිගින් දිගටම එය සිදු කරයි.ක්‍රීඩාව අවසානයේදී පළමු ළමයා ලබාදුන් හා අවසාන ළමයාට ලැබුණු පණිවිඩ සන්සන්දනය කරනු ලබයි.මේ අවස්ථාවේදී බොහෝ විට අවසාන ළමයා විසින් සියලු දෙනා ඉදිරියේදී හඬ නඟා ප්‍රකාශ කරන පණිවිඩයත්, පළමු ළමයා විසින් සියලු දෙනා ඉදිරියේදී හඬ නඟා ප්‍රකාශ කරන පණිවිඩයත් අතර විශාල වෙනසක් ඇති බවට සියලු දෙනාටම නිරීක්ෂණය කිරීමට හැකි වේ.මනුෂ්‍යය වර්ගයාගේ සදාකාලික ඉරණම තීරණය කරන පණිවිඩයටද මෙවැන්නක් සිදු වුවහොත් අපට කුමකින් කුමක් වේවිද? උදාහරණයක් ලෙස කතෝලික අපේ සදාකාලික ඉරණම තීරණය කරන දේව පණිවිඩයටද මෙවැන්නක් සිදු වී ඇත්නම් කතෝලික අපට කුමකින් කුමක් වේවිද?

 ශුද්ධවූ බයිබලයේ අන්තර්ගත වී ඇති දෙවියන් වහන්සේගේ පණිවිඩය මෙලෙස වෙනස්කම් වලට භාජනය වී තිබීමට අවස්ථාවක් තිබේද?


සත්තකින්ම ඔව්.ශුද්ධවූ බයිබලයේ මුල් පිටපත් කිසිවක් අප සතුව නොමැති බැවින් ශුද්ධවූ බයිබලය තුළ අන්තර්ගත වී ඇති දෙවියන් වහන්සේගේ පණිවිඩය විවිධ වෙනස්කම් වලට භාජනය වී තිබීමට බොහෝ ඉඩකඩ ඇත.මෙසේ බැලූ කළ ශුද්ධවූ බයිබලයේ සැබවින්ම අන්තර්ගත වන්නේ ජේසුස් වහන්සේගේ වචනයමද? අපෝස්තුළුවරුන් විසින් උගන්වන ලද ධර්මයමද? යන්න යම් සැකයක් අපට ඇතිවේ.නව ගිවිසුම පිලිබඳව විශාරදයෙකු වන බාට් ඩෙන්ටන් එර්මන්ද මෙලෙසම සිතයි.මේ පිළිබඳව ඔහුගේ චිකිත්සාවද සැර පරුෂය;

"අපට මුල් පිටපත් පමණක් නොවේ, මුල් පිටපත් වල මුල්ම පිටපත් වත් නැත.අපිට අඩුම තරමේ මුල් පිටපත් වල මුල්ම පිටපත් වල පිටපත් හෝ මුල් පිටපත් වල මුල්ම පිටපත් වල පිටපත් වල පිටපත් වත් නැත.අපට ඇත්තේ පසුකාලීනව, බොහෝම පසුකාලීනව සැදූ පිටපත් පමණයි.බොහෝ ප්‍රමාණයක පිටපත්කරණයන් සියවස් ගණනාවකට පසුව සාදන ලද ඒවා වේ.මෙම පිටපත් සියල්ලම ස්ථාන දහස් ගණනකින් එකිනෙකට වෙනස් වේ... සමහරවිට සංසන්දනාත්මක ශීර්ෂ යටතේ එය ඉදිරිපත් කිරීම බොහෝම පහසුය.නව ගිවිසුමේ ඇති වචන ගණනට වඩා අප සතුව ඇති අත් පිටපත් අතර ඇති වෙනස්කම් ගණන වැඩිය" 
- [ Misquoting Jesus, 10 ]

 ශුද්ධවූ බයිබලයේ මෙම මුල් පිටපත් වලට මොකද උනේ?


ශුද්ධවූ ලියවිල්ල පිටපත් කරන ලද ලේඛන මාධ්‍යය ගැන මෙහිදි සඳහන් කළ යුතුය.බයිබලය යන වචනය පැමිණෙන්නේ "බිබ්ලොස්" නමැති ග්‍රීක වචනයෙනි. බිබ්ලොස් යන නම යොදා තිබුණේ පැපිරස් පදම් කර සාදන ලද පොත් වලටයි.මුල් යුග වලදී ශුද්ධවූ ලියවිල්ල පිටපත් උනේ පැපිරස් පදම්කර සෑදූ හැකුළුම්පත් වල නිසා ශුද්ධවූ ලියවිල්ලට බිබ්ලොස් යන නම ලැබුනි.මේ පිළිබඳව ශුද්ධවූ ලියවිල්ලේද සඳහන් වේ: ඔබ වෙත ලියා එවන්නට මට බොහෝ කාරණා ඇත.ඒවා කඩදාසියක තීන්තෙන් ලිවීමට වඩා, අපේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ මුණගැසී කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි - ( 02 ජොහන් 01:12 ).මෙම පැපිරස් හැකුළුම්පත් ඉතාමත් ඉක්මනින් දිරාපත් වීමට ලක්වේ.එමනිසාද ශුද්ධවූ ලියවිල්ලේ මුල් පිටපත් බොහෝමයක් විනාශ වන්නට ඇත.

කෙසේ නමුත් පසුකාලීනව ශුද්ධවූ ලියවිලි පිටපත් කිරීම සඳහා සත්ත්ව සම් වලින් සෑදූ ලේඛන මාධ්‍යය ප්‍රචලිත වී බහුලව භාවිතයට පැමිණුනි.මේවා හැදින්වූයේ "පාර්ච්මන්ට්" කඩදාසි ලෙසයි.එලෙසම මේ හම්පත් ළපටි වසු පැටවාගේ සියුම් සම් වලින් සකසනවා නම් ඒවා හැඳින්වූයේ "වෙලම්" කඩදාසි ලෙසයි.මේ පිළිබඳවද ශුද්ධවූ ලියවිල්ලේද සඳහන් වේ: ත්‍රෝවස්හි දී කාර්පස් ළඟ මා තබා ආ සළුවද පොත්ද විශේෂයෙන් සටහන් පොත්ද ( parchments ) ඔබ එනවිට ගෙනෙන්න
 - ( 02 තිමෝති 04:13 ).

අද වනවිට අපට හමුවී ඇති නව ගිවිසුමේ සියළුම සම්පූර්ණ පැරණි අත් පිටපත් "පාර්ච්මන්ට්" කඩදාසි මත ලියවුණු ඒවාය.හම් පත් භාවිතය පසුකාලීනව බොහෝ ප්‍රචලිත වන්නේ පැපිරස් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු නිසාය.නමුත් මේ හම් පත්ද කාලයත් සමඟ දිරාපත් විය.එසේම මේ හම් පත් වල මිළ අධික වූ බැවින් භාවිතයට ගෙන අබලන් වී තිබූ හම් පත්, පිරිසිදු කර නැවත භාවිතයට ගෙන තිබුණි.උදාහරණයක් ලෙස දසවැනි සියවසේ ජීවත් වූ දුගී ලියන්නෙකුට නැවුම් හම් පත් සොයා ගැනීමට අපහසු වූ බැවින් ඔහුන් දෙවැනි සියවසේදී පමණ භාවිතයට ගත් අබලන් වූ හම් පත් අඩු මුදලකට මිලදී ගෙන ඒවා නැවත පිරිසිදු කර ඒ මත ඔහුන්ගේ ලේඛන කටයුතු සිදු කළහ.මෙම ක්‍රමය මධ්‍යතන යුගය දක්වාම ප්‍රචලිතව පැවතිණි.එලෙසම සමහර අත් පිටපත් ඒවා පිටපත් කළ අය විසින්ම විනාශ කරන ලදි.උදාහරණ ලෙස නව පිටපත් සාදන විට තාපසාරාම වල පිරී පැවතුණු අබලන් වූ පැරණි හම් අත් පිටපත් සියල්ලම පිළිස්සීම හෝ වළලා දැමීමද සිදු විය.පරණ බඩු එක්රැස් කර තබා ගැනීමට කැමති කවුද? මේ හේතුවෙන්ද හම් පත් මත පිටපත් කර තිබූ ශුද්ධවූ ලියවිලි වල පැරණි අත්පිටපත් විශාල ප්‍රමාණයක් විනාශ වී ගියේය.කෙසේනමුත් පැරණි හම් පත් නැවත භාවිත කිරීමේදී කළින් තිබූ අත් අකුරු වල හෝඩුවාවන් සියල්ලම මකා දමා භාවිතයට ගන්නේ බොහෝම කලාතුරකිනි.එලෙසම තීන්ත හා ලෝහ පෑන් විශේෂ මෙහිදී ලිවීම සඳහා භාවිත කරන බැවින් කල්යත්ම තීන්ත සළකුණු වියැකී ගියද පැරණි ලේඛන වල අත්අකුරු සළකුණු හම් පත් වල ගැඹුරට සළකුණු වී තිබුණි.මෙය ශුද්ධවූ ලියවිල්ලේද සඳහන් වේ: ඔබට බොහෝ දේ ලියන්නට මට ඇත.ඒවා ගැන පෑනෙන් හා තීන්තෙන් ලියා එවන්නට මම නොකැමැත්තෙමි - ( 03 ජොහන් 01:13 ).පසුකාලීනව නැවත භාවිතයට ගන්නා ලද හම් පත් වල මුලින් ලියා තිබූ දේ සොයාගැනීමට හැකි වන පරිදි රසායනික මිශ්‍රණයක් සොයාගැනීමට 1834 දී යුරෝපයේ කීර්තිමත් වාග්විද්‍යයෙකු වූ ඇන්ජලෝ මායි කාදිනල් හිමිපාණෝ සමත්විය.මෙමඟින් පුනර්ලිඛිත අත් පිටපත් ( palimpsest ) වල සැඟවී තිබූ වටිනා පෞරාණික ලේඛන රාශියක් සොයාගැනීමට මඟ සැකසුනි.12 වන සියවසේ පුනර්ලිඛිත අත් පිටපතකට මෙම රසායනික මිශ්‍රණය යෙදීම මඟින්, 05 වැනි සියවසට පෙර ලියූ ශුද්ධවූ ලියවිල්ලේ අත් පිටපතක්, නව අක්ෂර වලට පහළින් තිබී සොයා ගැනීමට හැකි වීම මීට දිය හැකි හොඳම උදාහරණයයි.එලෙස හමු වූයේ ශුද්ධවූ ලියවිල්ලේ "එප්‍රායිම්" නමැති පැරණි අත් පිටපතයි.

මේ සඳහා කාලයද සාධකයක් වී තිබේ.බයිබලය තුළ අන්තර්ගත වී ඇති පොත් අතුරින් අවසානයටම ලියැවී ඇති පොත් ලියැවී ඇත්තේ මීට වසර 1900 කට පමණ පෙරය.බයිබලය තුළ අන්තර්ගත වී ඇති පොත් අතුරින් ප්‍රථමයෙන් ලියැවී ඇති පොත් ලියැවී ඇත්තේ මීට වසර 3415 කට පමණ පෙරය.මෙම ඉතා දීර්ඝ කාල පරිච්ඡේදය තුළ, මෙම පැරණි අත් පිටපත් නැතිවී හෝ නරක්වී යාමට ඇති ඉඩකඩ අතිශයින් බහුල වේ.එලෙසම ඊශ්‍රායෙලයේ ජාතිය බොහෝ දුෂ්කර කාලයන් හරහා ගමන් කළේය.එමනිසා ඊශ්‍රායල් ජාතියේ ඉතිහාසයද මෙහිදී සළකා බැලිය යුතුය.එම ජාතිය දෙවරක්ම ඔහුන්ගේ මව්බිමෙන් ඉවත් කරදමා ඇත.එය පළමු වතාවට අවුරුදු 70 ක්ද, දෙවැනි වතාවට අවුරුදු 1900 ක්ද තරම් දිගු විය.වසර 70 ක බබිලෝනීය වහල්භාවයේදී ඊශ්‍රායෙල් ජනතාව විදේශීය රටකට යවන ලදී.ජෙරුසලම් නගරය විනාශ කර, දේවමාළිගාව ගිනිබත් කොට, එහි සියලු වස්තුව පැහැරගෙන යන ලදී.දෙවැනි වහල්භාවයේදී එම නගරය සහ දේව මාලිගාව යළිත් විනාශ විය.එයින් දිවි ගලවා ගත් අයව රෝමයට ගෙන ගොස් වහලුන් ලෙස විකුණනු ලැබීය.මෙලෙස වසර දෙදහසකට ආසන්න කාලයක් තිස්සේ ඊශ්‍රායෙල් ජාතියට යථා තත්ත්වයට පත්වීමට හැකියාවක් තිබුණේ නැත. ඊශ්‍රායෙල් ජාතිය මුහුණ දුන් මෙවැනි භයානක විපත් දෙස බලන කළ ශුද්ධවූ ලියවිල්ලේ පැරණි අත් පිටපත් විනාශ නොවී තිබුණහොත් එය මහා පුදුමයකි.

එලෙසම ශුද්ධවූ ලියැවිල්ල තුළ අන්තර්ගත පණිවිඩයට අකමැති අය විසින් එහි පැරණි අත් පිටපත් විනාශ කරන ලදී.පුරාණ ගිවිසුමෙන් පවා මීට උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකිය. උදාහරණ ලෙස ජුදාහි රජෙකු වූ ජෙහෝයාකිම් විසින් ශුද්ධවූ ලියැවිල්ල ගිනිබත් කරදමා ඇත - ( ජෙරමියා 36:01-32 ).දේව වචනයට වෛර කළ මෙවැනි රජවරු ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය පුරා සිටි බැවින් ඔහුන්ගේ අතින්ද ශුද්ධවූ ලියැවිල්ලේ පැරණි අත් පිටපත් බොහෝමයක් විනාශ වී යන්නට ඇත.එලෙසම නව ගිවිසුමේ මුල් අත් පිටපත්ද මෙලෙස විනාශ වී තිබේ.ක්‍රිස්තියානි භක්තිකයෙකු වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්ව තිබූ ම්ලේච්ඡ ඇදහිලි ප්‍රචලිතව තිබූ මුල් කිතුනු යුග වලදී ක්‍රිස්තු පීඩකයන් විසින් තමන්ගේ අතට අසුවන සෑම ක්‍රිස්තියානි දෙයක්ම විනාශ කර දැමූහ.එලෙසම තමන්ගේ ශුද්ධවූ ලිපි ලේඛන ඔහුන්ගේ අතට පාවා දෙන ලෙසට බල කරමින් කිතුනුවන්ට වේදනාජනක මරණයන් උරුම කර දුන්හ.මෙවැනි දීර්ඝ පීඩන කාල වකවානුවක කිතුවන් අත තිබූ ශුද්ධවූ වස්තු නශ්ඨ වීමකට ලක්වීම පුදුමයට කාරණයක් නොවේ. දියොක්සීලියානු අධිරාජ්‍යයාගේ කිතුනු පීඩනයේදී ( ක්‍රි.ව.284 - 305 ) ශුද්ධවූ ලියවිලි ග්‍රන්ථ පුලුස්සා දැමූ ආකාරය එවුසේබියුස් නම් ඉතිහාසඥයා මෙසේ වාර්තා කර ඇත;
"යාච්ඤාවේ නිවහන් එහි අත්තිවාරම් දක්වා පහතට හෙළා දැමීම හා දිව්‍යමය හා පූජනීය ශුද්ධවූ ලියවිලි වෙළඳ ස්ථාන මධ්‍යයෙහි ගිනිජාලාවන් වලට පවරාදීම අපි අපේම දෑස් වලින් දකිනා විට මේ සියලු දේ අප තුළ ඉටුවිය"
 - [ Church History VIII:2 ]

 මුල් අත් පිටපත් හමු නොවන එකම පෞරාණික ග්‍රන්ථය ශුද්ධවූ බයිබලය පමණද?


නැත.අද අප සතුව ඇති පෞරාණික ලෝකයේ අනෙකුත් විශිෂ්ඨ කෘතීන් කිසිවකද මුල්ම සම්පූර්ණ අත් පිටපත් කිසිවක් අපට හමුවී නොමැත.උදාහරණ ලෙස ප්ලේටෝගේ ජනරජය ( මනෝරාජ්‍යය ), ජොසපස්ගේ ජුදා ඉතිහාසය, ටැසිටස්ගේ රෝම ඉතිහාසය, තුසිඩයිඩස්ගේ ග්‍රීක ඉතිහාසය හා ථේරවාදී බොදුනුවන්ගේ ත්‍රිපිටකය වැනි වර්තමානයේ භාවිත කරන මෙවැනි පෞරාණික වටිනා පොත් පත් කිසිවකද මුල් පිටපත් කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇත.නමුත් මේවා සියල්ලම ඉතා විශ්වාසනීය මූලාශ්‍ර ලෙසින් ලෝකයේ අද ඒ ඒ ක්ෂේත්‍ර වල වල විශාරදයන් විසින් භාවිත කරනු ලබයි. තත්වය එසේ තිබියදී බයිබලයේ මුල්ම අත් පිටපත් නැතිවීම පිළිබඳ පමණක් සැක සංකා උපදවා ගනිමින් බොහෝ දෙනා තැවෙන්නේ ඇයි? එය නුසුදුසු දෙයකි.මක්නිසාදයත් බයිබලයද පැමිණ ඇත්තේ එම පෞරාණික ග්‍රන්ථ තිබූ ලෝකයෙන්මය.

 යම් පෞරාණික ග්‍රන්ථයක විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීමට එහි මුල් පිටපත් තිබීම අත්‍යවශ්‍යද?


නැත.යම් ග්‍රන්ථයක මුල් පිටපත් නොතිබුණද, එම ග්‍රන්ථයේ පසුකාලීන පිටපත් රාශියක් තිබෙනවා නම් එහි මුල් පිටපත නැවත ප්‍රතිනිර්මාණය කළ හැකිය. වාග් විද්‍යඥයින් මෙය ක්‍රමය හදුන්වන්නේ, "පාඨ විමර්ශනය" ( Textual Criticism ) ලෙසිනි.මෙය ඉතා සංකීර්ණ ක්‍රමවේදයක් වුවද එය ඉතා සරල හා ඉතා සාරාංශ කර, ඔබට වටහා ගැනීමට හැකි ලෙසින් අපි මෙහි සඳහන් කරමු.ඔබේ මිත්තණිය සතුව රහස් කේක් වට්ටෝරුවක් ඇත.එය ඇය ලබාදී ඇත්තේ ඔබද ඇතුළුව තවත් සමීප කිහිප දෙනෙකු සඳහා පමණයි.නත්තල් දිනෙක ඔබ එම වට්ටෝරුවේ සඳහන් ආකාරයට කේක් එකක් සාදා ඔබේ මිතුරන්ට දුන් විට ඔබේ මිතුරෝද ඔබෙන් එම වට්ටෝරුව ඉල්ලා සිටිති.මේ නිසා මතකයේ හැටියට ඔබ එම වට්ටෝරුව ලියා, ඔහුන්ටද සටහන් කර ගැනීම සඳහා එය ශීතකරණයේ දොර මත එල්ලන ලදී.ඔබේ මිතුරෝද එය පෙනෙන හැටියට සටහන් කරගෙන ගොස් එම වට්ටෝරු වලට අනුව කේක් සාදන ලදී. නමුත් සමහර දෙනා කිරි වලට අකැමැති බැවින් එය වට්ටෝරුවෙන් ඉවත් කර ඇත.තවත් සමහරු චොකලට් වලට ප්‍රිය කරන බැවින් එය වට්ටෝරුවට එකතු කර ඇත.දැන් මේ වනවිට ඔබේ මිත්තනිය මියගොස් වසර 50 ක් පමණය.ඔබ හා ඇය වාසය කළ පැරණි නිවස විදුලි කාන්දුවකින් ගිනිබත් වී ඇත.ඔබද ටික කලකට පසු පරලෝ සැපත් වී ඇත.නමුත් මිත්තණියගේ කේක් වට්ටෝරුව සමාජය තුළ තවමත් trending වේ.මිත්තණියගේ වට්ටෝරුව යැයි පවසන බොහෝ වට්ටෝරු ප්‍රමාණයක් සමාජයේ සංසරණය වේ.නමුත් බොහෝ දෙනා අතර ඇති වට්ටෝරු වල විවිධ වෙනස්කම් බොහොමයක් දක්නට ලැබේ. තත්වය මෙසේ තිබියදී පවා මිත්තණියගේ මුල්ම වට්ටෝරුව වාග් විද්‍යාඥයින් හට ප්‍රතිනිර්මාණය කිරීමට හැකිය.සමාජයේ සංසරණය වන විවිධ වට්ටෝරු සංසන්දනය කරමින්, අනන්ත අප්‍රමාණ වාග් විද්‍යාත්මක ශිල්ප ක්‍රම භාවිතයෙන් මිත්තණියගේ මුල්ම වට්ටෝරුව ඔහුන්ට එලෙසම මැවිය හැකිය. මෙම සංකීර්ණ වාග් විද්‍යාත්මක ක්‍රමවේදය හදුන්වන්නේ, "පාඨ විමර්ශනය" ( Textual Criticism ) ලෙසිනි.ශුද්ධවූ බයිබලයේ මුල් පිටපත් නොමැති වුවද, එහි මුල් පිටපත් නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා සෑහෙන තරම් පසුකාලීන අත් පිටපත් රාශියක් අප සතුව ඇත.එබැවින් ශුද්ධවූ බයිබලයේ විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීමට එහි මුල් අත් පිටපත් පැවතීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ.

 ලෝක ඉතිහාසයේ වඩාත් විශ්වාසදායීම පෞරාණික ග්‍රන්ථය කුමක්ද?


ශුද්ධවූ බයිබලයයි.අප එසේ පවසන්නේ හුදෙක් හිස් පම්පෝරියක් ලෙස නොව, සාක්ෂි සාධක සහිත පම්පෝරියක් ලෙසිනි.උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව සළකන්න.එහි ජනගහනයෙන් 70% කට වඩා සිටින්නේ බෞද්ධයෝය.ඔහුන්ගේ ශාස්තෘවරයා වන බුදුන් වහන්සේ වදාළා වූ ශ්‍රී සද්ධර්මය අඩංගු වන ග්‍රන්ථය ලෙස ඔහුන් විශ්වාස කරනු ලබන්නේ ත්‍රිපිටකයයි.එහි මුල්ම පිටපත් තියා බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 500 ක් හෝ ඇතුළත ලියැවුණු එකදු පිටපතක් වත් සොයාගැනීමට නොහැකිය.ථේරවාදී පිටකය පළමුවෙන්ම ලේඛන ගත වී ඇත්තේ ක්‍රි.පූ.29-17 අතර කාලයේදී ශ්‍රි ලංකාවේ මාතලේ අළු විහාරයේදීය.එනම් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 454 කට පමණ පසුය.නමුත් මේ පිටකයන්හි වඩාත් සම්පූර්ණ යැයි සැළකිය හැකි සංස්කරණය හමුවන්නේ ක්‍රි.ව.05-06 සියවස් අතර ශ්‍රී ලංකාවෙන්ය.එනම් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 1000 කට පමණ පසුය.ඊට පෙර ලියැවුනු කිසිදු හෙළ අටුවාවක් අදවන විට ඉතිරි වී නැත.එලෙසම පාලි පිටක වල පැරණිතම කොටස් කැබලි හමුවන්නේ බුරුමයේ පියු නගර ප්‍රාන්ත වලින්ය.එයත් ක්‍රි.ව.05-06 අතර සියවස් වලට අයත් ඒවාය.එනම් බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 1000 කට පමණ පසුය. එලෙසම මේවා ලේඛනගත වීමට පෙර ඒවා පැමිණියේ මුඛ පරම්පරාගතව බව පැවසේ.බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මුලින්ම ආනන්ද තෙරුන් විසින් සූත්‍ර පිටකයටද, උපාලි තෙරුන් විසින් විනය පිටකයද කටපාඩමෙන් හඬනඟා කියූ බව පැවසේ.එය රැස්ව සිටි රහතන් වහන්සේලා පිළිගත් බැවින්ද, රහතන් වහන්සේලා නොවරදින සුළු අය වන බැවින්ද එම ධර්මය එතැන් සිට බුදුන් වහන්සේ වදාළාවූ ධර්මය ලෙසින් ක්‍රි.පූ.01 වන සියවස දක්වා මුඛ පරම්පරා ගතව පැමිණ, පසුව ලේඛනගත වී ඇත.නමුත් ලෝකයේ බොහෝ ප්‍රදේශ වල මෙම මුඛ පරම්පරාගත සම්ප්‍රදායේ බොහෝ පරස්පර විරෝධී වෙනස්කම් දක්නට ලැබෙන බව විශාරයින් පවසති. එවැනි ග්‍රන්ථයක් අද වනවිට ලංකාවේ ජනගහනයෙන් 70% කට වඩා වැඩි පිරිසක් විශ්වාස කරමින් එය ලෝක උරුමයක් ලෙසින් පවා නම් කිරීමට සූදානම් වෙති.

මෙවැනි ආගමික පෞරාණික ග්‍රන්ථ වලින් මදක් බැහැරව, ලෞකික පෞරාණික ග්‍රන්ථ දෙසටද අපි මදක් හැරී බලමු.උදාහරණ ලෙස ක්‍රි.පූ.08 වැනි සියවසේදී ලියැවී ඇති හෝමර්ගේ "ඉලියඩ්" නමැති ග්‍රන්ථය සළකන්න.පාඨ විමර්ශනයෙන් දසවන ශතවර්ෂයේදී, එනම් වසර 1800 කට පමණ පසුව මෙම කෘතිය නැවත ගොඩනඟා ඇත්තේ හෝමර්ගේ සිට වසර පන්සියයක් පමණ ඇතුළත ලියවුන ලේඛනයකින් කැඩී ගිය කැබලි කිහිපයක් පමණක් උපයෝගී කරගනිමින්ය.එසේම ඉතිහාසයේ පියා ලෙසින් විරුදාවලිය ලත්, ක්‍රිස්තුන් වහන්සේට වසර හාරසියයකට පමණ පෙර වාසය කරන ලද හෙරඩෝටස්ගේ නිර්මාණයන් යළි ප්‍රතිනිර්මාණය කර ඇත්තේ පසුකාලීනව, එනම් දසවන සියවසේදී පමණ ලියැවුණු අත්පිටපත් 15 ක් පමණක් උපයෝගී කරගෙනය.එසේම ක්‍රිස්තුන් වහන්සේට වසර හාරසියයකටත් වඩා වැඩි පෙර කාලයක ජීවත් වූ තුසිඩයිඩස්ගේ නිර්මාණය යළි ප්‍රතිනිර්මාණය කිරීමේදී හමුවූ එහි පැරණිතම අත්පිටපත ලියැවී ඇත්තේ එකොළොස් වන සියවසේදී පමණය.මොහුන් සියල්ලන්ගේම නිර්මාණ වල මුල් පිටපත් නැවත ගොඩනැගීම සඳහා යොදා ගන්නා ලද පසුකාලීන අත් පිටපත් සියල්ලම ලියවී ඇත්තේ මොහුන්ගේ කාලයේ සිට වසර 1400 කට වඩා නොඅඩු කාලයකදීය.නමුත් මේ නිර්මාණය සියල්ලම ඉතාමත් අව්‍යාජ ගනයේ තබා ඒ ඒ ක්ෂේත්‍ර වල විශාරදයන් විසින් සළකති.

ඔබ ඉහත පෞරාණික පොත පත හා ශුද්ධවූ බයිබලය සංසන්දනය කළහොත්, බයිබලය යනු ලෝක ඉතිහාසයේ විශ්වාසදායීම පෞරාණික ග්‍රන්ථය බවට ඔබ වටහා ගනු ඇත.මක්නිසාදයත් එය ඉතිහාසයේ වෙනත් ඕනෑම පෞරාණික කෘතියකට වඩා අත් පිටපත් බොහෝ ගණනක් තුළ සංරක්ෂණය වී ඇත.උදාහරණ ලෙස ක්‍රි.ව.70 ට පෙර ලියැවුනු පුරාණ ගිවිසුමේ අත් පිටපත් 10200 කට වඩා අප සතුව ඇත.අපට ග්‍රීක භාෂාවෙන් ලියැවුණු නව ගිවිසුමේ සම්පූර්ණ අත් පිටපත් 5800 කට වඩා සොයාගැනීමට හැකි වී ඇත. ලතින් භාෂාවෙන් ලියැවුණු අත් පිටපත් 10000 ක් පමණ සොයාගැනීමට හැකි වී ඇත. ස්ලොවික්, කොප්ටික්, සිරියානු, ගොතික්, ආර්මේනියානු හා ඉතියෝපියානු ආදී භාෂාවන් වලින් ලියැවුණු අත්පිටපත් 9300 ක් පමණ සොයාගැනීමට හැකි වී ඇත.එලෙසම නව ගිවිසුමේ පළමු සම්පූර්ණ අත්පිටපත වන "සයිනයිටිකස්" අත්පිටපත සීනායි කඳු මුදුන පතුලේ ඇති තාපසාරාමයක තිබී සොයාගෙන ඇති අතර එය මුල් පිටපත් වල සිට වසර තුන්සියයකට නොවැඩි කාලයකදී ලියැවී ඇත. එලෙසම අන්තර්ගතය හා සභා සම්ප්‍රදාය අනුව බැලූ කළ නව ගිවිසුමේ ග්‍රන්ථ මුලින්ම ලේඛණගත වී ඇත්තේ ක්‍රිස්තුන් වහන්සේගේ සිට සියවසකටත් වඩා නොවැඩි කාලයක් තුළය. ප්‍රසිද්ධ බයිබල් විශාරදයෙකු වන එෆ්.එෆ්.බෲස් මේ පිළිබඳව සෘජුවම අදහස් දක්වා තිබේ;

"නව ගිවිසුම තරම් පාඨමය සාක්ෂ්‍යකරණ වත්පොහොසත්කමක් භුක්ති විඳින වෙනත් කිසිදු පෞරාණික ශාස්ත්‍රීය ග්‍රන්ථ සමූහයක් මේ ලෝකයේ නොමැත” 
- [ The Books and the Parchments, 78 ]

 කතෝලික සභා පියවරුන්ගේ ( Church Fathers ) විශ්වාසනීයත්වය.


අපෝස්තුළුවරුන්ගෙන් පසුව ශුද්ධවූ සභාවේ ලේඛක පරපුර ලෙස වහාම පත්වූ අපෝස්තලික සභා පියවරුන්ගේ සිට පටන් නූතන සභා පියවරුන් දක්වාම, කතෝලික සභා පියවරුන් විසින් ලියන ලද ලිපි ලේඛන, ශුද්ධවූ ලියැවිල්ලේ විශ්වාසනීයත්වය වඩ වඩාත් තහවුරු කිරීමට උපකාරී වේ.ශුද්ධවු ලියැවිල්ලේ මුල්ම අත් පිටපත් අද වනවිට නොතිබුණද, ඒවාහි අන්තර්ගතව තිබූ ශුද්ධවූ ලියැවිලි පාඨ, උපුටා දැක්වීම් ලෙසින් සභා පියවරුන්ගේ ලිපි ලේඛන වල නොනැසී පවතී.නව ගිවිසුම පිලිබඳව විශාරදයෙකු වන බාට් ඩෙන්ටන් එර්මන් විසින්ද සභා පියවරුන්ගේ මෙම ලිපි ලේඛන, පාඨ විමර්ශකයන් සඳහා ඉතා පොහොසත් මූලාශ්‍රයක් වන බවට පිළිගෙන ඇත: "මෙම උපුටා දැක්වීම් කෙතරම් පුළුල්ද කිවතොත්, නව ගිවිසුමේ පාඨ පිළිබඳව අපගේ දැනුම සඳහා වූ අනෙකුත් සියලුම මූලාශ්‍රයන් විනාශ වී ගොස් තිබුණත්, නව ගිවිසුම ප්‍රායෝගිකව සම්පූර්ණයෙන්ම නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා මේවා පමණක් ප්‍රමාණවත් වේ" - ( Metzger and Ehrman, The Text of the New Testament: Its Transmission, Corruption, and Restoration, 126 ).මෙය තවදුරටත් පැහැදිලිව පැවසුවහොත්, ශුද්ධවූ බයිබලයේ දැනට හමුවී ඇති සියලුම පැරණි අත් පිටපත් විනාශ වී ගියද, ශුද්ධවූ බයිබලය නැවත ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කතෝලික සභා පියවරුන්ගේ මෙම ලිපි ලේඛන වල උපුටා දක්වා ඇති ශුද්ධවූ ලියවිලි පාඨ පමණක් ප්‍රමාණවත් වන බව බයිබල් විශාරදයන් පවසති.

උදාහරණයක් ලෙස අපෝස්තලික සභාපියෙකු වන I වැනි ක්ලෙමන්ට් පාප්වහන්සේගේ ( ක්‍රි.ව.35-99 ) ලිපි ලේඛන සළකා බලන්න.ක්ලෙමන්ට්ගේ පළමු වැනි හසුන කොරින්තිහි කිතුනුවන් හට ක්‍රි.ව.96 දී පමණ යවා ඇත.එහිදී ක්ලෙමන්ට් පාප්වහන්සේ විසින් කොරින්තිහි කිතුනුවන් හට, "ආශිර්වාද ලත් පාවුළු අපොස්තුළු තුමන්ගේ ලිපිය අතට ගන්නැ"යි ඔහුන්ට අවවාද කරයි.මෙයින් පැහැදිලි වන්නේ පාවුළු තුමා කොරින්තිහි කිතුනුවන් හට යවන ලද ලිපියේ මුල්ම පිටපත් රෝමයේ මෙන්ම කොරින්තිහිද තිබී ඇති බවයි.එලෙසම මෙහිදී ක්ලෙමන්ට් පාප්වහන්සේ විසින්, පාවුළු තුමා විසින් කොරින්ති වරුන්ට යවන ලද පළමු ලිපිය ( 01 කොරින්ති ), රෝම, ගලාති, එපීස, පිලිප්පි, තීතස්, 01 තිමොති හා හෙබ්‍රෙව් යන ලිපි වලින්ද බොහෝ පාඨ උපුටා දක්වමින්, ඒවා විස්තර කරමින් ඔහුන්ට උපදෙස් ලබාදී තිබේ.ශුද්ධවූ සභා ඉතිහාසය පුරාවටම සභා පියවරුන්ගේ මෙවැනි ලිපි ලේඛන බොහෝ ප්‍රමාණයක් අපට හමුවේ.ඒවා ශුද්ධවූ බයිබලයේ විශ්වාසනීයත්වය පිළිබඳව අති විශිෂ්ඨ සාක්ෂි සාධක වේ.

 පිටපත්කරුවන් ලෙස කටයුතු කළ පුරාණ කතෝලික ධර්මාචාර්යය තාපසයන්ගේ විශ්වාසනීයත්වය.


නව ගිවිසුමේ විශාල අත් පිටපත් සංඛ්‍යාවක් අප සතුව තිබීමට හේතුව යුරෝපයේ හා ආසියාවේ නව කතෝලික ප්‍රජාවන් බිහි වූ විට ඔවුන් ශුද්ධ ලියවිලි වල පිටපත් ලබා ගැනීමට කැමති වීමයි.මෙම කාලය තුළ රෝම අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි ධර්මය නීති විරෝධී වූ බව මතක තබා ගන්න.තමන්ව රෝමානු නිලධාරීන්ට අසු වුවහොත් ඉතා වේදනාකාරී මරණයක් අත්විඳීමට සිදුවන බව දැන දැනත් කතෝලික ධර්මාචාර්යය තාපසයන් විසින් එක දිගට පැය ගණනක් නිතිපතා ශුද්ධවූ ලියවිලි පිටපත් කිරීමෙහි යෙදුනෝය.බොහෝ ශුද්ධවූ ලියවිලි පිටපත් විනාශ වී යන විට පවා සමහරක් අනාගතය සඳහා ඉතිරි වී පැවතියේ මේ තාපසයන් තුළ එකළ පැවති "ලිවීම තුළින් දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම" නමැති සංකල්පය නිසාය.හයවන සියවසේදී ශුද්ධවූ බෙනඩික්ට් තුමාගේ සමකාලීනයෙකු වන කැසියෝඩෝරස් නමැති තාපසයාගේ ප්‍රකාශ වලින් එය මනාව පැහැදිලි වේ: "මොනතරම් ප්‍රීතිමත් නියැලුමක්ද, මොනතරම් ප්‍රශංසනීය කර්මාන්තයක්ද, මිනිසුන්ට අත් මඟින් දේශනා කිරීම, ඇඟිලි වලින් දිව ලිහා ගැනීම, මනුෂ්‍යයන්ට නිහඬවම ගැළවීම ගෙන ඒමට හා යක්ෂයන්ගේ කූට මායම් වලට එරෙහිව පෑනෙන් හා තීන්ත වලින් සටන් වැදීම!".මෙය ඔබ ඔබේ මිත්තනියගේ වට්ටෝරුව පිටපත් කිරීම මෙන් නොව, නව ගිවිසුමේ පිටපත් හැකි තරම් නිවැරදිව පිටපත් කිරීමට වග බලා ගැනීම දෙවියන් වහන්සේ ඉදිරියෙහි තමන්ගේ පරම යුතුකමක් ලෙසින් ඔව්හු සිතුවෝය.මෙබඳු වූ ආකල්පයක් තිබූ පිරිසක් ශුද්ධවූ ලියවිල්ල පිටපත් කිරීමේදී හිතාමතාම 

එය විකෘති කරාවී යැයි ඔබ සිතන්නේ කෙසේද?


 පිටපත්කරුවන්ද මනුෂ්‍යයෝය.
"හරි, පිටපත් කරුවන් හිතාමතාම ශුද්ධවූ ලියවිලි වෙනස් කරලා නැහැ.ඒත් නොදැනුවත්වම ඔහුන්ගේ අතින් එය සිදු වන්නට පුළුවන් නේදැ?" යි සමහරු අසති.ඔව් එය එසේ සිදුවිය හැකියි.එකල පිටපත් කරුවන්ට ලියන මේසයක සිට ශුද්ධවූ ලියවිලි පිටපත් කරන්න පුළුවන් උනේ නැහැ.ඔහුන්ගේ මේසය උනේ, තමන්ගේම උකුළයි.පැය ගණනක් එක දිගට මුළු සිරුරේම බර ඇඟිලි තුනක් මත යොදාගෙන තිබීම නිසා ඔහුන් විඳින ලද වේදනාව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.එසේම පිටපත් කරුවෙකුට භාවිතා කළ හැකි ඕනෑම පිටපත් කිරීමේ ක්‍රමයක් සමඟද විවිධ ගැටළු ඇතිවිය හැකියි.උදාහරණ ලෙස යමෙකු ශුද්ධවූ ලියවිලි පාඨ පිටපත් කරන්නේ තවත් අයෙකු ඒවා උච්චාරණය කරන විට නම්, යම් අවස්ථාවක ඔහුගේ අවධානය වෙනතකට යොමු වූ විට ( කුටියේ සිටි තවත් අයෙකුගේ කැස්සක් නිසා ) පිටපත් කරන ශුද්ධවූ ලියවිලි පාඨ නොදැනුවත්වම වෙනස් වීමට හැකිය.එසේ නොමැති නම් එකම ශබ්දයක් ඇති වචන දෙකක් ඇති විට අතපසු වීමෙන් ඔහු වැරදි වචනය ලියා තිබිය හැකිය.අනෙක් අතට, යමෙකු එය තමා විසින්ම කියවීමෙන් පිටපත් කිරීම සිදු කරන්නේ නම්, ලිවීම සිදු කරන පිටුවට ආපසු යාමට පෙර ඔහු තම බට ඉද්දේ තීන්ත ආලේප කිරීමට අහක බලන අතර, ඔහුගේ දෑස් වැරදි වචනයක් වෙතට ආපසු යා හැකිය, එක්කෝ පෙළ අතපසු වීම හෝ පෙළ අනුපිටපත් කිරීමක් වැනි දේ අතපසු වීමකින් සිදුවිය හැකිය.අද පවා, වායුසමනය කළ, හොඳින් ආලෝකමත් කරන ලද කාර්යාල ගොඩනැගිලිවල, අපි ලේඛන පිටපත් කිරීමේදී කෙතරම් නම් වැරදි සිදු කරන්නේද? දැන් සිතා බලන්න, තෙල් වලින් දැල්වෙන කුඩා ලාම්පු ආලෝකයක් යටතේ, පාලනය නොකරන ලද දේශගුණික තත්ව යටතේ රහසින් සැඟවී පිටපත්කරණයේ යෙදුනු ඔහුන් කෙතරම් නම් අභියෝග වලට මුහුණ දීමට ඇතිද? මෙසේ බලන කළ බොහෝ විට පිටපත්කරුවන් විසින් තමන් මෙවැනි බොහෝ අභියෝග මධ්‍යයේ පිටපත් කරන ලද  පිටපත් අවසානයේදී, "දෙවියන් වහන්සේට ස්තුති වේවා"යි යෙදීම පුදුමයට කාරණයක් නොවේ. මක්නිසාදයත් පිටපතක් අවසාන කිරීම සඳහා ඔහුන් බොහෝ සේ දුක් වේදනා විඳ දරාගෙන සිට ඇත.

අතීතයේ පිටපත් කරුවන්ගේ කාර්යය කෙතරම් දුෂ්කර දැයි අප තේරුම් ගත් විට, නව ගිවිසුමේ අත් පිටපත් වලට විවිධ වෙනස්කම් ඇතුලු වූයේ කෙසේදැයි අපට පහසුවෙන්ම වටහාගත හැකිය.එය සත්‍යයකි.නව ගිවිසුම පිලිබඳව විශාරදයෙකු වන බාට් ඩෙන්ටන් එර්මන් පවසන පරිදි, “නව ගිවිසුමේ ඇති වචන වලට වඩා ඒවායේ අත් පිටපත් අතර ඇති වෙනස්කම් ගණන වැඩිය".දැනට පවතින නව ගිවිසුමේ සියලුම පිටපත් අතර 200,000 - 400,000 ත් අතර ප්‍රමාණයක වෙනස්කම් ඇති බව විද්වතුන් විශ්වාස කරන අතර, ඕනෑම අත් පිටපත් දෙකක්, ඕනෑම හිම පියලි දෙකක් මෙන් හරියටම එක සමාන නොවේ.බොහෝ වෙනස්කම් දක්නට ලැබෙන්නේ, අපට බොහෝ පිටපත් ඇති නිසා බව අපි තේරුම් ගන්නා තුරු නව ගිවිසුම ප්‍රතිනිර්මාණය කිරීමට මේ වෙනස්කම් බාධාවක් සේ අපට පෙනේ.උදාහරණයක් ලෙස අප සතුව ඇති අත් පිටපත් 20,000 න් එක් එක් පිටපතක දළ වශයෙන් වෙනස්කම් 20 ක් පමණ තිබේ නම්, එමඟින් මුලු වෙනස්කම් 400,000 ක් පමණ එකතු වේ.

නව ගිවිසුමට හාත්පසින්ම වෙනස්ව, රෝම ඉතිහාස පිළිබඳව ටැසිටස්ගේ මුල් පොත් හය සලකා බලන්න, ඒවා සාමූහිකව පුරාණ රෝමය පිළිබඳ අපගේ මූලික තොරතුරු මූලාශ්‍රවලින් එකකි.මෙහි අප සතුව ඇත්තේ එක් පිටපතක් පමණි, එය ලියා ඇත්තේ මුල් පිටපතට වසර 1,000 කට පමණ පසුවය.මෙහි නව ගිවිසුමේ මෙන් වෙනස්කම් අපට දැකගත නොහැකිය. මක්නිසාද පාඨ වෙනස් විය හැකි වෙනත් පිටපත් මේ කෘතිය සඳහා නොමැත! නමුත් මෙය සැබවින්ම නරක දෙයකි.මන්ද මෙම අත්පිටපත, සත්‍යය වශයෙන්ම ටැසිටස් විසින් මුලින් ලියා ඇති දේ නියෝජනය කරන්නේම දැයි පරීක්ෂා කිරීමට අපට වෙනත් ක්‍රමයක් නොමැති බැවිනි.සැබවින්ම කුඩා වෙනස්කම් ප්‍රමාණයක් සහිත, කුඩා අත් පිටපත් ප්‍රමාණයක් සහිත නව ගිවිසුමකට වඩා විශාල වෙනස්කම් ප්‍රමාණයක් සහිත, විශාල අත් පිටපත් ප්‍රමාණයක් සහිත නව ගිවිසුමක් වඩාත් විශ්වාසනීය වේ. මක්නිසාදයත් අත් පිටපත් අතර ඇති වෙනස්කම් බොහෝමයක් සෑමවිටම ඒවායේ වචන අනුපිළිවෙලෙහි වෙනස්වීම් හා වෙනත් සංසන්දනාත්මක සුළු පටු කාරණා සම්බන්ධ වෙනස්කම් පමණකි.

උදාහරණයක් වශයෙන් යම් පිටපතක "මොසස්" යන වචනය "මොපස්" ලෙසින් අකුරු වරදවා ලියා ඇති විට අනෙකුත් පිටපත් හා සන්සන්දනය කිරීමෙන් එය "මෝසස්" බවටම තහවුරු කරගත හැකිය.වෙනත් අවස්ථාවලදී ශුද්ධවූ ලියවිලි පාඨ වලට අදාළ සන්දර්භය මඟින් දෝෂ සහිත ස්ථාන වල නිවැරදි කියවීම අපට පැහැදිලි කරදෙනු ලබයි.උදාහරණයක් ලෙස 01 තෙසලෝනික 02:07 හි, "අපි ඔබ අතර මෘදු ලෙස සිටියෙමු යැ"යි ශුද්ධවූ පාවුළු තුමා පවසයි.මෘදු ලෙස සිටීම සඳහා යොදාගන්නා ග්‍රීක වචනය "nepioi" වේ.නමුත් යම් පිටපතක වැරදීමකින් එය "hippoi" ලෙස සඳහන් කර තිබේ යැයි සිතමු.එහි අර්ථය, "අශ්වයන් ලෙස සිටීම" වේ.එවිට 01 තෙසලෝනික 02:07 හි ශුද්ධවූ පාවුළු තුමා පවසන්නේ, "අපි ඔබ අතර අශ්වයන් ලෙස සිටියෙමු යැ"යි කියාය.මෙය සන්දර්භ විශයාත්මකව සිදුවිය නොහැකි බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.එසේම ග්‍රීක භාෂා පිටපත් වලදී අපට තවත් වාසියක් ඇත.එනම්, සිංහල භාෂාවෙන්, "ජේසු පේදුරුට ආදරෙයි,පේදුරු ජේසුට ආදරෙයි, ආදරෙයි පේදුරු ජේසුට," යනාදී වාක්‍යයන් අර්ථයෙන් වෙනස් වුවද, ග්‍රීක භාෂාවේදී එය එසේ වෙනස් නොවේ.පෞරාණික ග්‍රීක භාෂාව වැනි භාෂාවල, වාක්‍යයක් තුළ වචන වල පිහිටීම එහි අර්ථය ගළපා ගැනීම සඳහා සිංහල, ඉංග්‍රීසි වැනි භාෂා වලදී තරම් වැදගත් වන්නේ නැත.එබැවින් පෞරාණික ග්‍රීක භාෂාවෙන් ලියන ලද වාක්‍යයක වචන වල අනුපිළිවෙල මාරු කළද එහි අර්ථය නොවෙනස්ව එලෙසම පවතියි. මක්නිසාදයත් ග්‍රීක භාෂාව තුළ වාක්‍යයක ස්වායත්ත හා පරායත්ත වන වචන දර්ශීය වශයෙන් සොයාගත හැකි සූචකය වන්නේ එම එක් එක් වචන වල අක්ෂර වින්‍යාසය මිසක වාක්‍යය තුළ වචන වල පිහිටීම නොවේ.මෙලස බොහෝ ආකාර ඔස්සේ අප සතුව ඇති නව ගිවිසුමේ පුරාණ අත් පිටපත් අතර වෙනස්කම් ඇති නමුත් ඒවායේ අර්ථය නොවෙනස්ව පවතියි.මෙලෙස මෙම සුළු පටු වෙනස්කම් නිවැරදි කළ විට, නව ගිවිසුමේ පාඨ වල අර්ථය වෙනස් කරන වෙනස්කම් 400,000 ක් තරම් විශාල ප්‍රමාණයක් සැබවින්ම එහි නොමැති බව අපට පෙනීයයි.

 අත් පිටපත් අතර ඇති වෙනස්කම් නව ගිවිසුමේ සඳහන් ඉගැන්වීම් වලට බලපෑමක් ඇති කරනවද?


ග්‍රීක නව ගිවිසුමේ ඇමෙරිකානු එක්සත් ජනපදයේ බයිබල් සංගමයේ සිව්වන සංස්කරණය නූතන පරිවර්තනවල භාවිතා වන ප්‍රමුඛතම අනුවාදය වන අතර, එය පෙළ පරිවර්තනය කිරීමට අදාළ වන මතභේදාත්මක ඡේද 1,200 ක් පමණ ලැයිස්තුගත කරයි.කෙසේ වෙතත්, බොහෝ බයිබල් පරිවර්තනවල මෙම වෙනස්කම් අතරින් වඩාත් වැදගත් ලෙසින් සළකා ඇත්තේ 200-300 ත් අතර ප්‍රමාණයක් පමණි.සාමාන්‍යයෙන් පිටුවේ පහළින් පාද සටහනක හෝ පාඨ වලම වරහන් තුළ මේවා ඇතුළත් කර තිබේ.නිදසුනක් වශයෙන්, සමහර අත් පිටපත් වල සඳහන් වන්නේ 01 කොරින්ති 01:04 හි ශුද්ධවූ පාවුළු තුමා, "මම ඔබ වෙනුවෙන් සැමවිටම දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා යැ"යි පවසන බවයි.නමුත් තවත් සමහරෙක ඇත්තේ, “මම ඔබ වෙනුවෙන් සැමවිටම මාගේ දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා යැ”යි පවසන බවයි.මෙවැනි වෙනස්කම් අතිමහත් බහුතරයක් පූජනීය පාඨ වල අර්ථය වෙනස් කිරීමට තරම් බල නොපාන අතර මුල් කතුවරුන් සන්නිවේදනය කිරීමට අදහස් කළේ කුමක් දැයි අපට සැක කිරීමට කිසිදු හේතුවක් නොඋපදවයි.

කෙසේනමුත් නව ගිවිසුමේ අත්පිටපත් අතර ඇති වෙනස්කම් වලට එහි අර්ථය වෙනස් කළ හැකි අවස්ථාවන්හිදී පවා, කුමන වෙනස්කම් පිටුපස ඇති සම්ප්‍රදාය වඩා ශක්තිමත් දැයි අපට දැන ගත හැකි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, මුල් පිටපතට වඩාත්ම සමීපව සම්බන්ධ වන්නේ කුමන වෙනස්කමද යන්න අපට නිශ්චය කරගත හැකිය. නිදසුනක් වශයෙන් සමහර පිටපත් වල ජේසුස් වහන්සේගේ බව්තීස්මයේදී පියාණන් වහන්සේ ශු.ලූක් 03:22 දී පවසන්නේ, "ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය; ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියැ"යි කියාය.සමහර පිටපත් වල එය, "ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝය; අද මම ඔබව බිහි කළෙමියැ"යි සදහන් වේ.දේව පුත්‍රයා අනන්තයේ නොව, පෘථිවියේ ජනිත වූ බවට මෙහි දෙවැනි අනුවාදයේ අදහස් කරයි.කෙසේ වෙතත්, මෙම දෙවැනි අනුවාදයේ අදහස අඩංගු වන්නේ හයවන සියවසේ ලියැවී ඇති එක් ලතින් අත් පිටපතක පමණක් වන අතර මුල් ග්‍රීක පිටපත්ද ඇතුළුව අනෙක් සෑම අත් පිටපතකම පළමු සාම්ප්‍රදායික අනුවාදය අන්තර්ගත වේ.ශු.ලූක් 03:22 හි සාම්ප්‍රදායික පළමු අනුවාදයේ අදහස ඇති පරිවර්තනයන් පිළිගැනීමට මෙය අපට හොඳ හේතුවක් සපයයි.බයිබලීය පාඨ තුළ පවතින සිය ගණනක් වූ වෙනස්කම් වලින් අතිමහත් බහුතරයක් සම්බන්ධ වන්නේ එපරිද්දෙන් සුළු පටු කාරණා වලටය.එලෙසම වසර 250 කට වැඩි කාලයක් තිස්සේ නව ගිවිසුමේ විද්වතුන් තර්ක කර ඇත්තේ කිසිදු පාඨමය වෙනසක් ශුද්ධවූ බයිබලයේ කිසිදු ඉගැන්වීමක් කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි;

බයිබල් විශාරද ඩී.ඒ.කාර්සන් පවසන පරිදි, "අපි ඉගැන්වීම් සම්බන්ධයෙන් සත්‍යය යැයි විශ්වාස කරනු ලබන, අපිට සිදුකිරීම සඳහා නියම කර ඇති කිසිවක් කිසිදු ආකාරයකින් අත් පිටපත් අතර ඇති වෙනස්කම් මඟින් උවදුරක නොහෙළයි.මෙය ඕනෑම පාඨමය සම්ප්‍රදායක් සඳහා සත්‍යය වේ" 
- [ One bible only? Examining exclusive Claims for the king James bible, 133 ]

නව ගිවිසුමේ විචාරක ක්‍රේග් බ්ලොම්බර්ග් 2014 වර්ෂයේ බයිබලයේ විශ්වාසනීයත්වය පිළිබඳ තම පොතේ මෙසේ පවසයි: "බොහෝ ඉංග්‍රීසි පරිවර්තනවල පාද සටහන් වලට පිවිසීමට තරම් සිත්ගන්නා සුළු වෙනස්කම් ඇත්තේ දහයෙන් එකක් තරම් ප්‍රතිශතයක් පමණි.ඇදහිල්ල හා සදාචාරය පිළිබඳ කාරණා සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ලේ අධිකාරියට ඒවා අභියෝගයක් නොවේ.ක්‍රිස්තියානි ධර්මයේ කිසිදු සාම්ප්‍රදායික ඉගැන්වීමක් හෝ සදාචාරාත්මක භාවිතයක් තනිකරම මතභේදාත්මක පද සංඝටන මත පමණක් රඳා නොපවති.සෑමවිටම යමෙකුට මඟ පෙන්වීම් ලබාගත හැකි එකම සත්‍යයන් උගන්වන මතභේදාත්මක නොවන පාඨයන් තිබේ.'Misquoting Jesus' හි කඩදාසි ආවරණය සහිත සංස්කරණයෙහි උපග්‍රන්ථයේ එර්මන් විසින් පවසන පරිදි, 'අත්‍යවශ්‍ය කිතුනු විශ්වාසයන්ට නව ගිවිසුමේ අත් පිටපත් සම්ප්‍රදායේ පාඨ වල වෙනස්කම් බලපාන්නේ නැතැ'යි ඔහු විසින්ම නිගමනය කර ඇත. ඔහුගේ මෙම පිළිගැනීම උපග්‍රන්ථයක පමණක් සඳහන් කිරීම හා ඔහු විසින් පුනරාවර්තනව කරන ලද විවේචනයන්ට පසුව පමණක් පැමිණ තිබීම ඉතාමත් නරක දෙයකි"
 - [ Can We Still Believe in the Bible?, 27-28 ]

 අවසන් නිගමනය.


ශුද්ධවූ බයිබලය, අත් පිටපත් සාක්ෂ්‍යය වල ප්‍රමාණය හා ගුණාත්මකභාවය යන අංශ දෙකෙන්ම අනෙකුත් සියලුම පෞරාණික කෘතීන් අභිබවා යයි."බොහෝ කලකට පෙර ලියා ඇති නිසා අපට බයිබලය විශ්වාස කළ නොහැකි යැ"යි පවසන පුද්ගලයින්ට සොක්‍රටීස්, ජුලියස් සීසර්, ඔගස්ටියස් සීසර්, ගෞතම බුදුන් හෝ පෞරාණික ඉතිහාසයේ වෙනත් ඕනෑම චරිතයක් විස්තර කරන පෞරාණික කෘතිද අවිශ්වාස කිරීමට සිදුවේ.අවුරුදු දහස් ගණනකට පෙර ලියැවුනු මුල් අත් පිටපත් නැතිවී තිබියදී පවා මෙවැනි විවේචකයන් විසින් ඉහත සඳහන් කළ ආකාරයේ කිතුනු නොවන පෞරාණික ග්‍රන්ථ වල පාඨයන් පිළිබඳව විශ්වාසයක් තැබීමට කැමැත්තක් දක්වනවා නම්, ඒ හා සමාන විශ්වාසයක් එවැනි පෞරාණික ග්‍රන්ථ වලට වඩා හොඳින් සාක්ෂ්‍යකෘත කරන ලද ශුද්ධවූ බයිබලය කෙරෙහිද තැබීමට ඔහුන්ට සිදුවේ.එලෙසම ඩෑන් බ්‍රවුන් වැනි සමහර ජනප්‍රිය ලේඛකයින් විසින්, "ද ඩාවින්සි කෝඩ්" වැනි ඔහුන්ගේ ජනප්‍රිය නවකතා වල ප්‍රකාශ කරන්නේ කතෝලික පල්ලිය විසින් ජේසුස් වහන්සේ පිළිබඳ “සත්‍යය” සඟවා ඇත්තේ ශුද්ධවූ ලියැවිලි වල මුල් පිටපත් සියල්ලම විනාශ කර ඒවා වෙනුවට මිනිසා විසින් සාදන ලද මූලධර්ම අන්තර්ගත ශුද්ධවූ ලියැවිලි නිශ්පාදනය කිරීමෙන් බවයි.මෙම සිද්ධාන්තයේ ඇති ගැටළුව නම්, සියලු අත්පිටපත් එක්රැස් කර ඒවා වෙනස් කිරීමට කිසිවෙකුට හෝ කිසිදු කණ්ඩායමකට කිසිදු හැකියාවක් නොතිබීමයි.මක්නිසාදයත් පළමු ශතවර්ෂ කිහිපය තුළ පවා අප විසින් අත්පිටපත් පනහක් පමණ සොයාගෙන තිබීම, ඒ වන විට තවත් සිය ගණනක් සමාජයේ සංසරණය වී ඇති බවට ප්‍රබල සාක්ෂියකි.තවද, තම මුළු ජීවිත කාලය පුරාම සාම්ප්‍රදායික ශුද්ධවූ ලියැවිලි පාඨ කියැවීම් අසා ඇති කිතුනුවන්, ශුද්ධවූ සභාව විසින් එවැනි බයිබලානුකුල පාඨ වෙනස් කිරීමක් සිදු කරා නම් ඊට විරුද්ධව දැඩි ලෙස තම විරෝධය ඔහුන් ප්‍රකාශ කරනු ඇත.උදාහරණයක් ලෙස ශුද්ධවූ අගොස්තීනූ මුනිඳුන් විසින් ශුද්ධවූ ජෙරොම් මුනිඳුන්ට පවසා ඇති පරිදි ජෝනාගේ පොතේ නව පරිවර්තනයේ පාඨ වල රිද්මය නුහුරු වීම යන කාරණය මත පදනම්ව පමණක් ට්‍රිපෝලිහි වැසියන් වීදි වලට බැස කැරලි ගැසූ බවයි.තත්වය එසේ නම්, ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ කතෝලික සභාව විසින් සම්පූර්ණයෙන්ම පාහේ නවතම කතාවක් ඔවුන්ට ඉදිරිපත් කළේ නම්, මේ අය කුමකින් කුමක් කරනු ඇත්දැයි ඔබ මදක් සිතා බලන්න! එබැවින් මේ සියල්ල සළකා බැලීමේදී ශුද්ධවූ කතෝලික සභාව ජේසුස් වහන්සේගේ වචනය වෙනස් කළා යැයි යන හිස් චෝදනාව අපට එකහෙළාම බැහැර කර දැමිය හැකිය.