BLANTERORBITv101

ශුද්ධවූ ජුසේවාස් මුනිතුමා

ශුද්ධවූ ජුසේවාස් මුනිතුමා


 මෙතුමා ඉන්දියාවේ ගෝවේහි නාම සාන්තුවරයාය. වර්ශ 1651 දී පෘතුගීසී අධිරාජ්යයට අයත්ව පැවැති පෘතුගීසි ඉන්දියාවේ, බෙනුවාලීම් නමැති ග්රාමයේදී ක්රිස්ටෝපර් වාස් සහ මරිය මිරැන්ඩා යන භක්තිමත් කතෝලික බ්රාහ්මණ යුවලට දාව "ජෝශප් නයික් වාස්" නමින් මෙතුමා උපත ලැබීය.අටවැනි දිනයේදී බෙනුවාලීම්හි ශුද්ධවූ ස්නාවක ජුවාම් තුමන්ගේ දෙව්මැදුරේදි, ගරු ජසින්කෝ පෙරෙයිරා පියතුමන් අතින් බෞතීස්ම ස්නාපනය ලැබුවේය.සැන්කෝලේ නමැති තම පියාගේ ග්රාමයේ තම කුඩා විය ගත කළ ශාන්ත ජුසේවාස් ශාරීරික හා ආත්මීක පුන්ය ක්රියා වල මෙන්ම මර්ධන ක්රියාවන්හිද පහන් රුකකි.දිනපතා දේව මෙහෙයට සහභාගි වූ මෙතුමා, පූජාප්රසාදිතුමා දිව්ය සත්ප්රසාද වහන්සේ රෝගීන් වෙතට වැඩම කරවන අවස්ථාවලටද නිරන්තරයෙන් සහභාගි විය. මළවුන්ව සොහොන් බිම වෙත රැගෙන යන අවස්ථාවලට සහභාගි වීමටද වඩාත් ප්රියකල මෙතුමා, රාත්රී කාලයේදී තමන් දැන හදුනන සියලුදෙනා වෙතට ගොස් මළාවූ අයවලුන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසට ඉල්ලා සිටියේය.දිළිදුන් හට ත්යාගශීලී වූ මෙතුමා බොහෝ විට තම දෙමව්පියන්ටද රහසේ තම රාත්රී ආහාරය දිළිඳුන් හට දන් දුන්නේය.කුඩා ජුසේවාස්ගේ ඉමක් කොනක් නොමැති දේව ලැදියාව නිසාම රාත්රී කාලයේදී තම අසල්වැසි කෝර්ටාලිම් ග්රාමයේ ශුද්ධවූ පිලිප් හා සිමියොන් අපෝස්තුඵවරුන්ට කැපවූ දේවස්ථානයට ගොස් නිතරම යාච්ඤා කළේය.එලෙසම මෙතුමා මෙම දේවස්ථානයට යන කල්හි එහි වසා තිබෙන දොරගුළු මෙතුමා අතතැබූ සැනින්ම විවෘත වන බව සදහන් වේ.දවස පුරා වෙහෙස මහන්සි වී වැඩ කළ ඔහු යාච්ඤා කිරීමටද වේලාවක් සොයා ගත්තේ එලෙසයි. එකල සැන්කෝලයේ විසූ වයස්ගත පුද්ගලයෙකු වූ අන්තෝනියෝ කර්ඩෝසෝ කුඩා ජුසේවාස් පිළිබඳව නිතර පැවසූ අනාවැකියක් විය.එනම්: "අහෝ සැන්කෝලය, නුඹට උරුම වූ ආශිර්වාදය පිළිබඳව නුඹ නොදන්නෙහිය.එහෙත් මහෝත්තම වූ දෙවියන් වහන්සේ විසින් ඔහුගේ දෙමව්පියන්ට දුන් පොරොන්දුව ඉටුකරන දිනයක් පැමිණෙනු ඇත" යන්නයි.කුඩා ජුසේවාස්ට මහත් ආදරයක් දැක්වූ ගැමියෝ ඔහුව ඇමතුවේ, "පුංචි සාන්තුවරයා" ලෙසින්ය.

වර්ශ 1675 දී පැවිදි දිවියට ඇතුළත් වු ශාන්ත ජුසේවාස්, වර්ශ 1676 අප්රේල් මාසයේදී එවකට ගෝව අගරදගුරු අති උතුම් අන්තෝනියෝ බ්රන්ඩාඕ හිමිපාණන් අතින් පූජකවරය ලබා ගත්තේය.ඊට නොබෝ කලකදීම තම පූජකවරයේදී අධිෂ්ඨාන කර ගත් ලෙසටම පාවහන් නොමැතිව සිඟන්නෙකු මෙන් හිස් පතුලෙන් ගමන් කිරීමට මෙතුමා කටයුතු කළේය. දක්ෂ ධර්මදේශකයෙකු වූ ශාන්ත ජුසේවාස් සෙන්කොලේ ප්රදේශයේ අනාගත පුජක පුතුන්ගේ ප්රයෝජනය සඳහා ලතින් බස ඉගැන්වීමටද කටයුතු කළේය.එහිදී ප්රථමයෙන් ශාන්ත ජුසේවාස්ගෙන් ලතින් බස ඉගෙන ගනු ලැබුවේ ඔහුගේම නැඟණියගේ ප්රත්රයා වූ ජෝශප් කරවල්ලෝය. ඔරතොරියානු නිකායට බැඳීමෙන් පසුව ශ්රී ලංකාවට පැමිණි ගරු කරවල්ලෝ පියතුමා මහනුවරදී වසූරිය රෝගීන්ට උපස්ථාන කරමින් සිටියදී මරණයට පත් වුයේය.පසු කලෙක ඔරතොරියානු පියතුමකු ලෙස ශ්රී ලංකාවට පැමිණ ශාන්ත ජුසේවාස්ගේ අනුප්රාප්තිකයා ලෙසින් ඔරතෝරියානු නිකායේ ශ්රේෂ්ඨාධිපති ධූරයට පත්වූ ගරු ජෝශප් මෙනසිස් පියතුමාද ශාන්ත ජුසේවාස්ගෙන් එකළ ලතින් භාෂාව ඉගෙන ගත් ශිෂ්යයෙකි.
කැනරාවේ ඇතිවූ ශුද්ධවූ සභාවේ ආරවුලක් නෛතිකව විසඳීම සඳහා බලතල ලබාදෙමින් ශුද්ධාසනය විසින් ශාන්ත ජුසේවාස්ව එහි යැවීය. නමුත් නෛතික පියවර ගැනීම වෙනුවට සාමකාමීව එම ආරවුල විසඳීමට ශාන්ත ජුසේවාස් කටයුතු කළේය.ලක්දිවදී ලන්දෙසීන් විසින් කතෝලික ජනයාට ඇතිකරන පීඩනය පිලිබඳව මෙතුමාට දැනගැනීමට ලැබුනේද මෙහිදීය.නැවත ගෝවේ බලා ගිය පසු මෙතුමා අවට ගම්වල දේශනා කරමින් කාලය ගත කළේය.පැවිදි ප්රජාවක් ලෙස එක්ව ජීවත් වීමට තීරණය කළ අගරදගුරු පදවියේ පූජකවරුන් පිරිසකටද මෙතුමා එහිදී සම්බන්ධ විය.වර්ශ 1685 සැප්තැම්බර් මස 25 වැනිදා අගරදගුරු පදවියේ ප්රථම ස්වදේශීය පැවිදි පන්තිය ලෙසින් මෙම ඔරතෝරියානු පැවිදි පංතිය නිල වශයෙන් ඔසවන ලදී. ප්රාතිහාර්යයේ සිරි කුරුස දේවස්ථානය භාරගත් ඔව්හු තම වාසස්ථානයද එහි ස්ථාපිත කළහ.එහි ශ්රේෂ්ඨාධිපති ලෙස ශාන්ත ජුසේවාස් තේරීපත් විය.
ශාන්ත ජුසේවාස් නිරන්තරයෙන් ලක්දිව තත්ත්වය සොයා බලමින්, ලංකාවට පය තැබිය හැකි ක්රමයක් සොයමින් සිටියේ, එතුමා කැනරාවේ සේවයේ නියුතුව සිටි අවධියේ සිටමය.වසර ගණනක් පුරාවටම කතෝලික පියතුමකුගේ අධ්යාත්මික ආධාරය නොලබා පුරන්ව තිබූ ලක්දිව කතෝලික සසුන වෙත ජුසේ වාස් පියතුමාගේ දයාව හා කරුණාව හිමිවිය. ලක්දිව ධර්දානයට ඇති දැඩි පිපාසය නිසාම ලන්දේසීන් අතට අසු නොවන පිණිස පාවහන් රහිතව, වැරහැලි ඇදගත් යාචකයකුගේ විලාශයෙන් වර්ශ 1687 මාර්තු මස අගදී ඉන්දියාවේ තූත්තූකුඩියට ජුසේ වාස් පියතුමා පැමිණියේ ලංකාව බලා පැමිණීමේ අරමුණ ඇතිවය.නැව් නැඟ ලක්දිව බලා ගමන්ගත් මෙතුමාට මුහුද මැදදී කුණාටු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවිය.රළ පහරින් යාත්රාව විනාශ වීම නිසා අවසානයේදී ජුසේ වාස් පියතුමාට එතුමන්ගේ සහයක ජෝන් නමැති තරුණයාද සමඟ, ශ්රි ලංකාවේ මන්නාරම් වෙරළේ "South Bar" නමැති ස්ථානයකට ගොඩබැසීමට සිදුවිය.එසේ ගොඩබසින ලද සාන්තුවරයා එවිට සිටියේ, ජීවත්ව සිටි කෙනෙකුට වඩා මළ කෙනෙකුගේ ස්වරූපය ඇතුව බව සඳහන් වේ.
මේ වන විට ලක්දිව තුළ පෘතුගීසි ආධිපත්ය බිඳවැටී වසර 40ක් පමණ ගතවී තිබුණි.පෘතුගීසීන්ගෙන් පසුව ලක්දිව මුහුදුබඩ පළාත් සියල්ලක්ම පාහේ පාලනය කරනු ලැබුවේ ලන්දේසීන් විසිනි.එකළ ලක්දිව ලන්දේසි යටත් විජිතය තුළ නිල ආගම වූයේ කැල්විනිස්ත්ර රෙපරමාදු ආගමයි.ලන්දේසීන්ගේ පරම අභිප්රාය වී තිබුනේ තම වෙළඳ කටයුතු සිදු කරනවාත් සමඟ තම පාලන ප්රදේශ පුරාවට කැල්වින් ආගමද ප්රචලිත කිරීමය.මේ සඳහා ඔවුන් දැඩි ආක්රමණශීලි ප්රතිපත්තියක් අනුගමනය කරන්නට විය.කැල්වින් දහමට ජනතාව බලෙන් හරවාගන්නා ලද අතර, කැල්වින් දහම හැර වෙනත් ආගම් අදහන්නන්ට විරුද්ධව දැඩි ක්රියාමර්ග අනුගමනය කරන්නට විය. මෙහිදී වැඩිපුරම දුක්ගැහැට විඳින්නට සිදු වූයේ කතෝලිකයන්ටය.කතෝලික ආගම ඇදහීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්නට විය.කතෝලික දහම අදහන්නෙකුට දඩුවම් ලෙස මියෙනා තුරාවටම ලන්දේසි බලකොටුවල වැඩ කිරීමට සිදුවිය. කතෝලික පියතුමකුට රැකවරණය දුන් අයගේ දේපල රාජසන්තක කරන ලද අතර එම පුද්ගලයන්ට විරුද්ධව තවත් දඬුවම් ක්රියාත්මක කරන්නට විය. කතෝලික දේවස්ථාන ගිනිබත් කරන ලදි.කතෝලික ප්රතිමා ප්රසිද්ධියේම කඩාබිඳ දමන ලදි.පාරම්පරික කතෝලිකයන්ව බලෙන් කැල්වින් දේවස්ථාන වලට රැගෙන යන ලදි.කතෝලික දරුවන්ට රෙපරමාදු පාසල්වල බලෙන් කැල්වින් දහම උගන්වන්නටද විය. මේ කාලයේදි යාපනය , මන්නාරම, හලාවත, මීගමුව හා කොළඹ ප්රදේශවල කතෝලිකයන්ට තම විශ්වාසය වෙනුවෙන් තම ජීවිත පූජා කරන්නට සිදුවිය.ප්රාණ පරිත්යාගීන්ගේ රුධිරයෙන් ලංකාවේ ශුද්ධවූ කතෝලික සභාව ගොඩනැඟීය. කතෝලිකයන්ට එරෙහිව ක්රියාත්මක වූ ලන්දේසි පීඩනය කෙතරම්ද කිවහොත්, ලේඛන වලට අනුව පෘතුගීසි සමය අවසාන වන විට ශ්රී ලංකාව තුළ කතෝලිකයන් 200,000 අධික ප්රමාණයක් ජීවත්ව සිට ඇති නමුත්, ශාන්ත ජුසේවාස් පියතුමා ශ්රී ලංකාවට පය තබන විට ඉන් 10,000 ක් හෝ සොයාගත නොහැකි විය.බොහෝ කතෝලිකයන් පිරිසක් සත්යාගම වෙනුවෙන් තම ප්රාණය පරිත්යාග කර තිබුණි.තවත් බොහෝමයක් වනාන්තර වලට පළා ගොස් තිබුණි.තවත් පිරිසක් තමන් සිටි ස්ථාන වලම ඉතාමත් රහසින් කතෝලික ආගම අදහා ඇත.තවත් සුළු පිරිසක් ලන්දේසි පාලනයට බියෙන් කැල්වින් ආගම වැලඳගෙන තිබුණි.
වර්ශ 1687 අප්රේල් මසදී ශාන්ත ජුසේවාස් කොළඹතුරෙයි නම් ස්ථානයෙන් යාපනයට ඇතුළු විය.එසේ පැමිණි එතුමා එහි ගෙයක් අසළ මඩුවක ලැගුම් ගත්තේය.වාස් පියතුමා යාපනයේ වසර දෙකක තම ධර්මදූත මෙහෙය පළමුවෙන්ම ආරම්භ කරන ලද්දේ යාපනයේ සිල්ලාලෙයි ග්රාමයෙන්ය. ශාන්ත ජුසේවාස් මෙරටට කොඩිගස හදුන්වා දුන්නේද, එතුමන්ගේ දෑතට දිව්ය ජේසු බිළිදාණන් වැඩම කරන ලද්දේද මෙහිදීය.එතැන් පටන් ඉනෙහි කුරුසියක් ගසා ගනිමින්, ජපමාලයක් කරේ දමාගෙන කතෝලිකයන් සොයා එතුමා ගමන් කළේය.ඇතැම් විටදී ජපමාලයක් කරේ දමාගෙන නොබියව යන බැවින් ලන්දේසි බටයන් විටක සිතුවේ එතුමන් මානසික ලෙඩෙකු කියාය.විටක සන්නාසියකු විලසින්ද, විටක කරවල වෙළෙන්දකු විලසින්ද , විටක කත් කරුවකු විලසින්ද මෙලෙස විවිධ වෙස් ගනිමින් ජුසේ වාස් පියතුමා සහ ඔහුගේ සහයක වූ ජෝන්ද ගෙයින් ගෙට ගමන් කළෝය.ඔවුන්ගේ අරමුණ වූයේ ලන්දේසි පාලනයට බියෙන් සැඟවී සිටින කතෝලිකයන් සොයාගැනීම විය.මේ වන විට යාපනයේ ලන්දේසි අණ දෙන්නා ලෙස කටයුතු කරන ලද ඒඩ්රියන් වෑන් රීඩ් යාපනයේ කතෝලිකයන්ට විරුද්ධව කෲර පාලනයක් ගෙන ගිය පාලකයෙක් විය.වර්ෂ 1689 දී ජුසේවාස් පියතුමාට ශ්රී ලංකාවේදී පළමු වරට නත්තල් දිව්ය පූජාව සැමරීමට හැකිවිය. යාපනයේ කතෝලිකයන්ගේ ධෛර්යය කොපමණද කියතොත් එදින යාපනය පුරා ස්ථාන 08 කදී දේව මෙහෙයන් සංවිධානය වන්නට විය.ද්රෝහියකුගේ පාවා දීමක් නිසා හදිසියේම ලන්දේසීන් එම ස්ථාන වටලන්නට විය.ජනතාවගේ විලාප හඬ මැද ඔවුන් එහි පූජාසනයත්, එම ස්ථානයේ තිබුනු අන් සියළු පූජනීය දේත් විනාශ කරන්නට විය.කතෝලික කාන්තාවන්ගේ ඇදුම් ඉරාදමා ඔවුන්ව නිරුවත් කරන ලදී.මෙලෙස අල්ලා ගත් 300 කට අධික කතෝලික පිරිසව යදම් වලින් බැඳ, මුඟුරු වලින් පහර දෙමින් යාපනය කොටුව වෙත රැගෙන යන ලදි.නමුත් ශාන්ත ජුසේවාස්ව අල්ලා ගැනීමට ඔහුන්ට නොහැකි විය. මෙහිදී ජුසේවාස් පියතුමන්ට රහසින් නවාතැන් දුන් පේද්රො නමැත්තා හට කැල්වින් ආගමට හැරෙන ලෙසට ලන්දේසීන් ඉල්ලූහ.ඔහුට කේක් හා වයින් ලබාදී පෙරැත්ත කළද, පේද්රො නොබියව එය ප්රතික්ෂේප කළේය.කෝපයට පත් ලන්දේසීන් විසින් ඔහුට මැරෙන තුරුම පහරදෙන්නට විය.ඔවුන්ගේ පහර දරාගතනොහැකි පේද්රෝ මිය ගියේය.තවත් 04 දෙනෙකුද එහි බරපතල වැඩ දරාගත නොහැකිව මිය ගියහ.අවසානයේදී යාපනයේ කතෝලිකයෝ ශාන්ත ජුසේවාස්ව පුත්තලමට පිටත් කර හැරියෝය. පුත්තලම එවකට අයිති වූයේ උඩරට සිංහල රජුට වූ බැවින් පුත්තලමේ වාසය කිරීම වාස් පියතුමාගේ ආරක්ෂාවට හේතු විය.
වර්ශ 1640 කතෝලිකයින්ගේ කේන්ද්රස්ථානය වන මීගමුව ලන්දේසි අතට පත්වීමෙන් පසු පනස් වසරක් පුරාවට කතෝලික පූජකයෙකු නොමැතිකමින් පුත්තලමේ කතෝලික වැසියො පීඩා විදින්නට විය. ජේසු නිකායික පියතුමන්ලා පුත්තලමේ කතෝලිකයන්ගේ සහයට පැමිණියත්, එලෙස පැමිණි පියවරුන්වත් ලන්දේසීන් විසින් මරාදමා තිබුණි. තවත් පිරිසක් පිටුවහල් කරදමා තිබුණි. බොහෝ කතෝලිකයන් ප්රසාද ස්නාපනය (බව්තීස්මය) ලබා තිබුනද දිව්ය පූජාවකට සහභාගි වූ කාලයක් මතක නැති තරම් විය.එවැනි සමයක් තුළ ඔවුන් අතරට පැමිණි ජුසේවාස් පියතුමන්ව ඔහුන් ඉතාමත් ආදරයෙන් ඔවුන් අතරට පිළිගන්නා ලදි.වර්ශ 1690 දී පුත්තලමේ පදිංචියට ගිය ජුසේ වාස් පියතුමාට වසරක් තුළදී පුත්තලමේ කතෝලික ජනතාව නගා සිටුවීමෙහිලා විශාල වැඩ කොටසක් ඉටු කිරීමට හැකිවිය.පුත්තලම ප්රදේශයේ ජේසු නිකායික පියවරුන් ගොඩනැගූ දේවස්ථාන මෙතුමාගේ සේවාව සඳහා මනා පිටුවහලක් විය. තවද කතෝලික පියතුමකු නොමැති අවස්ථා වලදී අධ්යාත්මික කටයුතු කරගෙන යෑම සඳහා අන්නාවිවරුන් පත්කරන ලදි.විශේෂයෙන්ම කල්පිටිය, හලාවත, මුන්නේෂ්වරම්, කම්මල, මාදම්පේ, මාරවිල, කටුනේරිය, ඇටියාවල, මාකඳුර හා මැටියන්ගහ යන ප්රදේශ වලට එතුමන්ගේ සේවය වඩාත් ඵලදායි විය. ජුසේවාස් පියතුමන් වර්ශ 1690 අගෝස්තු මස 15 වැනි දින ඔරතෝරියානු නිකායේ ප්රධාන පියතුමා වෙත ලිපියක් යවමින් ශ්රී ලංකාවේ ඇතිවී තිබෙන ඛේදනීය තත්වය පිළිබඳව දැනුවත් කරන ලදි.
එතුමන් පුත්තලම දිස්ත්රික්කයේ ඇති කල්පිටිය අර්ධද්වීපයේ ග්රාමීය පෙදෙස්වලටද තම සේවය ලබා දෙන්නට අමතක නොකලේය.විශේෂයෙන්ම මුක්කුවාර්වරු ජීවත්වූ මාන්තිව්, නාවක්කුඩා, හා මාන්පුරි ප්රදේශ වලටද එතුමන්ගේ සේවය හිමිවිය. වන්නි ප්රදේශයේ ගල්ගමුව ග්රාමයේ ජීවත්වන මිනිසුන්ට වනඅලින්ගෙන් හා සර්පයන්ගෙන් සිදුවන කරදර හේතුවෙන් බොහෝ දුක්ගැහැට විඳින්නට සිදුවිය.ජුසේවාස් පියතුමා එම ස්ථානයේ ලී කුරුසියක් සිටවූ අතර අදටත් එම ග්රාමය වන සතුන්ගෙන් ආරක්ෂාවී තිබෙන බව ගම්මුන් විශ්වාස කරයි.එදා ජුසේ වාස් මුනිතුමා මෙලෙස පලු ගස යට කළුවර ලීයෙන් සෑදූ කුරුසිය සිටවන විට තවත් ප්රාර්ථනයක් කළේය.එනම්, අනාගතයේදී වත් කිසිඳු කතෝලික පූජක තුමකු සර්ප දෂ්ටනයකින් මිය නොයේවා කියාය.එතැන් සිට මේ දක්වාම එහි සර්ප දෂ්ටනයකින් මියගිය කතෝලික පියතුමකු ගැන අද වනතුරුත් වාර්තා වී නැත.එවකට කුරුණෑගල රදගුරුතුමන් මෙම කුරුසිය සංරක්ෂණයට පියවර ගෙන ඇති අතර ජුසේවාස් පියතුමන්ගේ ප්රතිමාවක් එම ස්ථානයේ ස්ථාපිත කර ඇත.එම පෙදෙස දැන් හඳුන්වන්නේ “ජුසේ වාස් පුරය” යනුවෙනි.මේවන විට එම කුරුසිය විශේෂ කුටියක පිහිටුවා ඇත. කුරුණෑගල රදගුරු පදවියේ ජනතාව අද දවස දක්වා මෙම දේවස්ථානයේ ජුසේවාස් පියතුමාගේ වාර්ෂික මංගල්යය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.
පුත්තලමේ සිට කම්මල දක්වා විහිදී ඇති සත්කෝරළය එවකට ලන්දේසි පාලනයට අයිතිව තිබූ ප්රදේශයකි.සත්කෝරළය පුත්තලමට වඩා බහුලව කතෝලිකයන් ජීවත්වූ ප්රදේශයකි.ජුසේවාස් පියතුමා මහනුවර බලා යෑමට පෙර මෙම ප්රදේශ වලටද පැමිණ ඇත.ඒ වසර 40කට පසු මෙහි පැමිණි ප්රථම පියතුමා ලෙසය.මීට පෙර පුත්තලමට සේවය සඳහා පැමිණි කතෝලික පියවරුන් මෙම ප්රදේශවලට පමිණියත් ලන්දේසින් විසින් ඔවුන්වද දරුණු වධ බන්ධන වලට පමුණුවා රටින් පිටුවහල් කොට තිබුණි.කොළඹ කොමාන්ඩරිය යටතේ පාලනය වූ මෙම ප්රදේශවල පවතින අවදානම තේරුම්ගත් ජුසේවාස් පියතුමා සහ එතුමාගේ සහයක වූ ජෝන්, කන්ද උඩරට බලා යාමට සූදානම් විය.
17 වන සියවස වන විට ලංකාවේ අගනගරය වූයේ කන්ද උඩරට ප්රදේශයයි.ලන්දේසි පාලන ප්රදේශවල තිබුණු අවදානම හැරුනුකොට කන්ද උඩරටට යෑම සඳහා බලපැ අනෙකුත් හේතුව වන්නේ ඇන්ටෝනියෝ සූසා නම් පෘතුගීසි ජාතිකයකුගෙන් එතූමාට ආරාධනාවක් ලැබීමයි.ඇන්ටෝනියෝ සූසා නුවර ප්රදේශයේ ජීවත්වූ පුද්ගලයෙක් විය.ඔහු නිතරම වෙළදාම් කටයුතු සඳහා පුත්තලමට ආ ගිය කෙනෙකි. ඔහු ජුසේවාස් පියතුමා මුණගැසී කන්ද උඩරට විශාල කතෝලික බැතිමතුන් පිරිසක් සිටින බවත්, ජනතාවගේ ආගමික කටයුතු ඉටුකර දීමට උඩරටට සැපත්වන ලෙසත් ඉල්ලා සිටියේය.එමෙන්ම ඔහු උඩරට රාජකීය අධිකරණයේ නිලධාරියෙකු හඳුනන බවත්, ඔහු හරහා උඩරට පැමිණීමට සිංහල රජුගේ අවසරය ලබාගත හැකි බවත් පවසන ලදි.
මෙම කාල වකවානුව වන විට ජුවාම් ද බ්රැගන්සා නම් පියතුමෙක් පුත්තලමේ මුක්කුවාර්වරු ජීවත්වූ ප්රදේශවල සේවය කර ඇත. ජුසේවාස් පියතුමාගේ අරමුණ වූයේ එතුමන්ව යවා කන්ද උඩරටට ආරක්ෂාකාරීව ඇතුල් විය හැකි ක්රමයක් සෙවීමයි. හදිසියේම එතුමන් රෝගාතුර වූ බැවින් ජුසේවාස් පියතුමන්ට වෙනත් විකල්පයක් නොවීය.එතුමන් වර්ශ 1690 අගෝස්තු මස ගෝවේ තම ප්රධානීන්ට යවන ලද ලිපියකද මේ තත්වය පිලිබඳව වැඩිදුරටත් සඳහන් වේ.පුත්තලමේ සිට නුවරට සැතපුම් 80 ක් පමණ වෙයි.එලෙස ගමන් කළ විට හමුවන වෑඋඩ ප්රදේශයේ උඩරට රාජධානියට ඇතුල්වීම සඳහා වන කඩවතක් පිහිටා ඇත.එතැන් සිට තවත් සැතපුම් 18ක් නුවරට ළඟා වීම සඳහා ගමන් කළ යුතුව තිබුණි.ඇන්ටෝනියෝ සූසාගේ නිවස පිහිටියේද වෑඋඩ බැවින් පියතුමාට එහිදී ඔහු හමුවිය.තමන්ගේ නිවසට ජුසේ වාස් පියතුමන්ව ආදරයෙන් පිළිගත් සුසා එතුමන්ට තම නිවසේ නවාතැන් පහසුකම් සලස්වා උඩරට අධිකරණයේ සේවය කරන තම හිතවතා සොයා මහනුවරට පිටත් විය.ඒ පියතුමාට නුවරට ඇතුළු වීමට අවසර ලබා ගැනීම පිළිබඳව එම නිලධාරියා සමඟ සකච්ඡා කිරීමටය.ජුසේවාස් පියතුමා එහි සිටියදී පෘතුගීසි ඔත්තුකරුවෙකු යැයි සිතා කන්ද උඩරට දෙවන විමලධර්මසූරිය රජුගේ භටයන් විසින් ඔහුව අත් අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව මහනුවර මහා හිරගෙදර එතුමාව ඔව්හු සිරගත කළහ.
වර්ශ 1696 දී මහනුවර ප්රදේශය පුරාම දැඩි නියං තත්වයක් ඇතිවන්නට විය.ගොවි ජනතාව බොහෝ දුක් මහන්සියෙන් කළ වගාවන් පාළු වන්නට පටන්ගත්තේය.සතුන්ට බීමට ජලය නොමැතිව මිය යන්නට විය.ඉඩෝර කාලය එන්න එන්නම දරුනු වන්නට විය.එය කෙතරම් දරුණු වුවාද කියතොත් මහනුවර රජතුමාටද මෙය මහත් ගැටළුවක් විය. රජතුමාද මේ නියඟයෙන් රට බේරාගැනීමට කළ හැකි සියල්ලම සිදුකරන ලෙස තම නිළධාරීන්ට උපදෙස් දෙන්නට විය.සිදුකල කිසිදු කටයුත්තක් සාර්ථක නොවීය.කිසිදු යාතු කර්මයක් හෝ ආගමික සජ්ඣායනයක් සාර්ථක නොවීය.එන්න එන්නම ඉඩෝරය දරුනු වන්නට විය.රජුට තම හිර භාරයේ සිටින ජුසේවාස් පියතුමා ගැන කන වැකුණි.රජතුමා ඔහු කැඳවා තමන් අදහන දෙවියන්ට යාච්ඤා කර වර්ෂාව ලබාදෙන ලෙස වාස් පියතුමාගෙන් රජතුමා ඉල්ලා සිටියේය.
රජුටත් ජනතාවටත් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන ලෙස උපදෙස් දුන් වාස් පියතුමා අධික මර්ධන ක්රියා වලින් පසුව රජ මාළිගාව ඉදිරිපිට කුරුසියක් තැබු පීඨයක් තබා දනින් වැටී සියල්ල කළ හැකි දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නට පටන් ගත්තේය.මද වෙලාවකට පසු එම ස්ථානයට මහා වර්ෂාවක් ඇඳ හැළෙන්නට විය.නමුත් එතුමාට හෝ පූජාසනයට හෝ එකදු වැහි බින්දුවක් පතිත නොවීය. මෙම සිද්ධිය වර්ශ 1745 දී ලිස්බන් නඟරයේ පලකරන ලද වාර්ථාවකද සඳහන් විය.මෙම සිදුවීමෙන් පසු රජතුමාත් ජනතාවත් වාස් පියතුමා කෙරෙහි දැඩි ගෞරවයක් හා කරුණාවක් දක්වන්නට විය.එපමනක් නොව ජුසේවාස් පියතුමා නිදහස් කොට මහනුවර ප්රදේශයේ ආගමික කටයුතු නිදහස්ව කරගෙන යෑමට එතුමාට පූර්ණ අනුග්රහය හිමිවිය. රජුගේ අවසරය ඇතිව ගෝවේන් තවත් කතෝලික පියතුමන්ලා කන්ද උඩරටට ගෙන්වා ගැනීමටත් වාස් පියතුමාට හැකිවිය.එසේම මුලු මහනුවරම එකම සොහොන් බිමක් බවට පත්කළ වසූරිය වසංගත සමයේදී ශාන්ත ජුසේවාස්ගේ මෙහෙය අද අපි කාටත් මහඟු ආදර්ශයකි.රජු පවා නගරය අත්හැර පසු බසින විට, වාස් පියතුමා නගර සීමාවේ සිට මළ මිනී කර ගසමින් ඔහුන්ව භූමිදාන කර, රෝගාතුර වූවන්ට උපස්ථාන කළේය.වාස් පියතුමාගේ මෙම සේවය ගැන කතෝලික විරෝධීන් වූ ඇතැම් උඩරට නිලධාරීන් විසින් රජුට ගතු කේලම් කීවද, ජුසේවාස් පියතුමා ගැන පැහැදී සිටි රජු ඒ චෝදනා සියල්ලම බැහැර කළේය.
වර්ශ 1711 ජනවාරි මස 16 වැනිදා මහනුවරදී ශුද්ධවූ ජුසේවාස් මුනිතුමාගේ ස්වර්ගස්ථ වීමෙන් පසුව, එතුමාගේ ශුද්ධවන්තභාවය ගැන ශ්රී ලංකාව, ඉන්දියාවේ ගෝව පමණක් නොව පෘතුගාලය ආදි යුරෝපා රටවලද අවධානය යොමුවිය.වර්ශ 1995 ජනවාරි මස 21 වැනිදා ශුද්ධෝත්තම දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් කොළඹදී එතුමාව ශුද්ධවරයට එසවූ අතර, වර්ශ 2015 ජනවාරි මස 14 වැනිදා ශුද්ධෝත්තම පළමුවැනි ප්රැන්සිස් පාප්වහන්සේ විසින් එතුමාව කොළඹ ගාලුමුවදොර පිටියේදී ශුද්ධවරයටද ඔසවන ලදී.එය ශ්රී ලංකාවේ වර්තමානයේ අප කාටත් අමතක නොවන ඓතිහාසික සිදුවීමකි.