පුරාණ ගිවිසුම පිටපත් 2 කින් සමන්විත වෙයි.එනම්
1- හේබ්ර්ව් පිටපත හෙවත් මැසරොටික පිටපත
2- ග්රීක පිටපත හෙවත් සෙප්ටුවාජීන්ත පිටපත
හේබ්ර්ව් පිටපතට අදාල ග්රන්ථ සංඛ්යාව 39 කි.නමුත් ග්රීක පිටපත සදහා අදාල ග්රන්ථ සංඛ්යාව 46 කි.ඒ අනුව කතෝලික බයිබලයේ පුරාණ ගිවිසුමට පොත් 7 ක් වැඩිපුර අන්තර්ගත වෙයි.ඒවා නම්
1- තෝබිත්
2- ජුදිත්
3- සලමොන්ගේ ප්රඥාව,
4- උපදේශකයා හෙවත් සිරාක්
5- බාරුක්
6-1 මකබි
7- 2 මකබ්
ප්රොතෙස්ත්රන්ත වරුන් විසින් මෙම "ද්ව්තීය සම්මත ග්රන්ථ" බැහැර කරනු ලබයි.
ද්ව්තීය සම්මත ග්රන්ථ යනු දෙවනුව සම්මත වු ග්රන්ථයි.
නමුත් මෙම ග්රන්ථයන් "මැසරොටික" පිටපත සකස්වීමට පෙර සිටම "ග්රීක සෙප්ටුවාජීන්ත" පිටපත තුළ අන්තර්ගත විය.
මෙම ග්රන්ථ ක්රි:පු 400-100 ත් අතර රචනා වී ඇත.ක්රි:පු 3න් වන ශතවර්ෂයේ ඊජීප්තුවේ ඇලෙක්සැන්ඩ්රියාවේ විසු ජුදෙව්වන් ග්රීක සංස්කෘතියේ බලපෑම මත ග්රීක භාෂාව තමන්ගේ මව් භාෂාව ලෙස සලකන ලදී.එම නිසා ඔවුන් විසින් මුළු ශුද්ධ ලියවිල්ල ග්රීක භාෂාවට පරිවර්තනය කරන ලදී.
තවද ප්රොතෙස්ත්රන්ත වරුන් විසින් ද්ව්තීය සම්මත ග්රන්ථයන් බැහැර කිරීම සදහා යොදා ගනු ලබන මුලිකම තර්කයක් වන්නේ ක්රි;ව 90 දී "ජමිනියාවේදී" පැවති ජුදා රබ්බි වරුන්ගේ සමුළුවකි.මෙහිදී කුමන ග්රන්ථ සම්මත ග්රන්ථයන් සදහා යොදා ගැනීම පිලිබදව තීරණය වූවාදැයි යන්න පිලිබදව නිශ්චිත එකගතාවයක් නොමැත. කෙසේ වෙතත් ක්රිස්තුන් වහන්සේගේ උත්ථානය සහ ස්වර්ගාරෝහණයෙන් අවුරුදු 50 කට පමණ පසුව පැවති ජුදා රබ්බි වරුන්ගේ සමුළුවකදී ගත් තීරණයක් ක්රිස්තුන් වහන්සේගේ සභාව විසින් "දේවානුභාවය" තුළ ගත් තීරණයක් වන්නේ කෙසේද?යන්න මෙහි ඇති අනෙක් ගැටළු සහගත තත්වයයි.
ද්ව්තීය සම්මත ග්රන්ථ ශුද්ධාත්මානුභාවය තුළ ලියවුනු බවට පවතින ලිඛ්ත සාක්ෂි
1- නව ගිවිසුමෙහි කතුවරුන් ග්රන්ථ ලේඛන ගත කිරීමේදී පුරාණ ගිවිසුමේ උපුටා ගැනීම් 350 න් 300ක්ම සෙප්ටුවාජීන්ත පිටපතින් උපුටා ගෙන තිබීම සහ ඉන් කරුණු 18ක්ම ද්ව්තීය සම්මත ග්රන්ථයන්ගෙන් උපුටාගෙන තිබීම.
මරණින් මතු ජීවිතය විශ්වාස නොකල සදුසිවරුන් විසින් එකම ස්ත්රියක් සරණ පාවා ගනිමින් මියගිය සහෝදරයන් සත්දෙනා පිලිබදව ජේසුස් වහන්සේගෙන් විමසා සිටී.මෙම සිද්ධිය ඇතුලත් වන්නේ ද්ව්තීය සම්මත ග්රන්ථයන් තුළ වීම
23 සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?''
( මාක් 12:23 )
මෙම ප්රකාශය උපුටා ගෙන තිබෙන්නේ ද්ව්තීය සම්මත ග්රන්ථයක් වන "තෝබිත්" ග්රන්ථයෙනි.
14 එවිට තෝබියස් රපියල්ට උත්තර දෙමින්, ''අසරියස් සොහොයුර, ඇය හත් වරක් විවාහ කොට දුන් බවත් ඒ සැම වාරයකදී ම මංගල කුටියෙහි දී ඒ මනාලයන් මියගිය බවත් මට දැනගන්නට ලැබී තිබේ. මනාලයා, ඇගේ කාමරයට ඇතුළු වූ එම රාත්රියේ ම මිය ගොස් ඇත. තවද, යක්ෂයකු ඔවුන් මරාදැමූ බව ද මිනිසුන් කියනු මා අසා ඇත.
( තෝබිත් 6:14 )
"ක්රිස්තුන් වහන්සේ" විසින් තමන්ගේ ඉගැන්වීම් සදහා ද්ව්තීය සම්මත ග්රන්ථයන් වල ඇති කරුණු සෘජුවම අනුසාර කර ගැනීම.
28 ''වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.
29 මා ගුණවත්, මෘදු, නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
( මතෙව් 11:28-29 )
මෙම ප්රකාශය උපුටා ගෙන ඇත්තේ ද්ව්තීය සම්මත ග්රන්ථයක් වන උපදේශකයා හෙවත් සිරාක් ග්රන්ථයෙනි.
26 ඔබේ කර එහි වියගස යට තබන්න.
ඔබේ සිතට පුහුණුව ලැබේ වා!
එය ඔබ ළඟ ම ඇත්තේ ය.
( සිරාක් 51:26 )
ක්රිස්තුන් වහන්සේගේ "අපෝස්තුළුවරුන්" විසින් තමන්ගේ ඉගැන්වීම් සදහා ද්ව්තීය සම්මත ග්රන්ථ අනුසාර කර ගැනීම
5 දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.
6 ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැබිය යුතු වුව ද, ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්රීතිවන්නහු ය.
7 එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත.
( 1 පේදුරු 1:5-7 )
ශු.පේදුරු තුමන් විසින් ඇදහිල්ලට එල්ලවන පරීක්ෂාවන් පිලිබදව කරුණු උපුටාගෙන ඇත්තේ ද්ව්තීය සම්මත ග්රන්ථයක් වන "ජුදිත්" ග්රන්ථයෙනි.
25 ''මේ සියලු හේතු ගැන කල්පනා කර අපේ පියවරුන් පරීක්ෂා කර බැලුවාක් මෙන් අප ද පරීක්ෂා කර බලන අපේ දෙවි ස්වාමීන් වහන්සේට ස්තුති ප්රශංසා කරමු.
( ජුදිත් 8:25 )
2- ජුදා ජාතිකයන් මෙන්ම මුල් ක්රිස්තියානින් පවා "ශුද්ධකාගිනිස්ථානය" පිලිබදව විශ්වාස කරන ලදී.මේ පිලිබදව මකබිවරුන්ගේ ග්රන්ථයේ සදහන් වීම.මාටින් ලූතර් විසින් මෙම ද්ව්තීය සම්මත ග්රන්ථයන් බැහර කිරීමට හේතු වු ප්රධාන කාරණවක් වන්නේද මෙයයි.
44 මන්ද, මළාවූ අය යළි උත්ථාන වීම ගැන ඔහු බලාපොරොත්තු වූයේ නැත්නම් මළවුන් සඳහා යාච්ඤා කිරීම අනවශ්ය මෝඩ ක්රියාවකි.
45 එහෙත් භක්තිමත් ලෙස මෙලොවින් තුරන් වන අයට වෙන් කර තිබෙන අනගි විපාකය ගැන ඔහු කල්පනා කෙළේ නම්, ඒ සිතිවිල්ල ශුද්ධ වූ ද බැතිමත් වූ ද එකකි. ඔවුන් විසින් මළවුන් උදෙසා පූජාවක් ඔප්පු කරනු ලැබීමට ඔහු කටයුතු සැලැස්වූයේ ඒ නිසා ය. මන්ද, එවිට ඔවුන්ගේ පාපවලින් ඔවුන් නිදහස් වන බැවිනි.
( 2 මකබ් 12:44-45 )
මෙය තවදුරටත් සනාථ කිරීම සදහා ශු.පාවුලු තුමන්ගේ "ශුද්ධකාගිනිස්ථානය" පිලිබදව ඉගැන්වීමක් පහත දක්වමු.
14 ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි.
15 යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත.
( 1 කොරින්ති 3:14-15 )
3- මරණින් මතු ජීවිතය පිලිබදව ඉගැන්වීම් වඩාත් පැහැදිලි ලෙසට ද්ව්තීය සම්මත ග්රන්ථයන් තුළ සදහන් වීම
1 සුදනන්ගේ ජීවිත දෙවිඳුන්ගේ රැකවරණයෙහි ය.
කිසි ම හිංසාවක් කිසිදාක ඔවුන්ට නොපැමිණෙනු ඇත.
2 අනුවණයන්ගේ ඇස් ඉදිරියෙහි ඔව්හු මියයන්නාක් මෙන් වූ හ.
ඔවුන්ගේ මරණය විපත්තියක් මෙන් පෙනුණි.
3 ඔවුන් අප අත්හැර යාම නැත්තට ම නැති වීමක් මෙන් විය.
එහෙත් ඔව්හු සාමදානයෙන් සිටිති.
(සලමොන්ගේ ප්රඥාව 3:1-3 )
4- "සෙප්ටුවාජීන්ත" පිටපත තුළ සම්මත ග්රන්ථයන් සහ ද්ව්තීය සම්මත ග්රන්ථයන් එකිනෙකට සමීපව සකස් කර තිබීම නිසා මෙම ග්රන්ථයන් එකම පූජනීය මට්ටමකින් සලකන ලද බව පෙන්වා දිය හැකිය.
උදා- නෙහිමියා ග්රන්ථයට පසුව තෝබිත් සහ ජුදිත් ග්රන්ථ ඇතුලත් කර තිබීමත් ඉන්පසුව එස්තර් ග්රන්ථය ඇතුළත් කර තිබීම.
5- ක්රි:ව 393 "හිප්පෝ"මන්ත්රණ සභාව 397 සහ 419 "කාර්තේජ්" මන්ත්රණ සභාව මගින් ද්ව්තීය සම්මත ග්රන්ථයන් හී දේවානුභාවය තහවුරු කරනු ලැබීම.
16 දේවානුභාවයෙන් යුත් මුළු ශුද්ධ ලියවිල්ල, ඉගැන්වීමට ද දුර්මත දුරු කිරීමට ද හික්මවීමට ද දමිටු ජීවිතයක් ගත කිරීම පිණිස උපදෙස් දීමට ද ප්රයෝජනවත් වෙයි.
( 2 තිමොති 3:16 )
6- සිව්වන සියවස තුළදී සාන්ත ජෙරම් තුමන් විසින් මුළු ශුද්ධ ලියවිල්ල ලතින් භාෂාවට පරිවර්තනය කිරීමේදී (වල්ගේට් පරිවර්තනය ) සෙප්ටුවාජීන්ත පිටපත ඒ සදහා අනුසාර කර ගැනීම
16 වන සියවසේදී සභාව හැර ගිය මාටින් ලූතර් විසින් ශුද්ධ ලියවිල්ල ජර්මන් භාෂාවට පරිවර්තනය කිරීමේදී ජෙරම් තුමන්ගේ පරිවර්තනය ඒ සදහා අනුසාරකර ගැනීමද විශේෂත්වයකි.
මාටින් ලුතර් විසින් ද්ව්තීය සම්මත ග්රන්ථ බැහැර කරන අවස්ථාවේදී එලිදරව්ව, හේබ්ර්ව් සහ ජාකොබ් තුමන්ගේ හසුන් වල "දේවානුභාවයද" ප්රතික්ෂේප කරන ලද අතර නමුත් පසුකාලිනව ප්රොතෙස්ත්රන්ත බයිබලය සදහා එම ග්රන්ථයන් ඇතුළත් කිරීම හාස්යජනක කරුණක් වෙයි.
එබැවින් වඩාත් වැදගත් වන්නේ සමස්ථ "ශුද්ධ ලියවිල්ලෙන්" පොත් ප්රමාණයක් බැහැර කරන ලද සභාවක සාමාජිකයෙකු වීමද නැතිනම් සමස්ථ ශුද්ධ ලියවිල්ලම අනුසාර කරන "අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධ වු කතෝලික සභාවේ" සාමාජිකයෙකු වීමද යන්න පිලිබදව මදක් සිතා බලන්න.
සතුට යනු කතෝලිකයකු වීමයි!
0 Comments