BLANTERORBITv101

ආශාව

ආශාව


ඇත්තටම අපිට ආශාව නැති කළ හැකිද? සැබවින්ම වැරැද්ද ඇත්තේ ආශාවේද? මෙය පැහැදිලි කර ගැනීමට අපි දේව වචනය දෙසට හැරෙමු.
 බයිබලීය පුරාතන සර්පයා හා බැඳුණු බොහෝ අර්ථදැක්වීම් ඇත.ඒ අතරින් මේ පුරාතන සර්පයාව, "ආශාවේ ( රුචියේ ) සංකේතයක්" ලෙසද ශුද්ධවූ බයිබල් කතුවරයා යොදාගෙන ඇත.
 "යථාර්ථය තේරුම් ගත නොහැකි වීම" ආශාවේ ප්‍රධාන ලක්ෂණයකි.මෙම පුරාතන සර්පයා උප්පත්ති කතාවේදී "ඒව" හට පවසන පළමු වචන මාලාවෙන් එය පැහැදිලි වේ, "එය සැබෑ නොවේ.ඔබ මැරෙන්නේ නැත.ඔබ ඒ ගසේ ගෙඩි කන දවසේදී ඔබේ ඇස් පෑදී, දෙවියන් හා සමාන වී, ඔබත් හොඳ නරක අවබෝධ කරගන්න බව දෙවියන් වහන්සේ දන්න නිසා එසේ වදාළ සේක" - ( උප්පත්ති 03:04-05 ).යම් දෙයක් කෙරෙහි ආශාවක් ඇති වූ විට අපට සිදුවන්නේත් මේ දෙයම නොවේද? ආශාවෙන් අප අන්ධවී, යථාර්ථය අපට නොපෙනී යනවා නොවේද?

 "සාතන් පව්කාරයන්ව ඔහුන්ගේ ඇස් විවෘතව තබමින් නිරයට ගෙන යන්නේ නැත.ප්‍රථමයෙන් ඌ අපේම පාප වල දුෂ්ඨ අදහස් වලින් අපේම දෑස් අන්ධ කරයි.අපි පාපයට වැටීමට පෙර ඌ අපගේ දෑස් අන්ධ කිරීමට මහත් සේ උත්සාහ කරයි.එමගින් අප විසින් දෙවියන් වහන්සේට විරුද්ධ වීම මගින් සිදු කිරීමට යන පාපය සහ ඉන් අප මතම පමුණුවා ගැනීමට යන විනාශයද අපට නොපෙනී යයි". - ( ශුද්ධවූ ඇල්ෆොන්සස් ලිගුරි මුනිතුමා ) 

 තවද සර්පයා හෙවත් ආශාව/රුචිය කතා කරන විට ස්ත්‍රීයගේ ආශාව ටිකෙන් ටික වැඩිවේ, "ස්ත්‍රීයද ගස පෙනුමට කෙතරම් රමණීයද පල කෙතරම් ප්‍රනීතද නුවණ වැඩුමට කෙතරම් කදිමද කියා දුටු විට එයින් ගෙඩි කීපයක් කඩා කෑවේය" - ( උප්පත්ති 03:06 ). 
ආශාව මෙලෙස වර්ධනය වන විට හොඳ නරක හදුනා ගැනීමට නොහැකි වෙයි.හොඳ නරක අවබෝධ කර ගැනීමේ ගසෙහි විශේෂත්වය ටිකෙන් ටික අඩු වෙයි.අවසානයේදී උයනෙහි වූ අනික් ගස් හා මෙම හොඳ නරක අවබෝධ කර ගැනීමේ ගස අතර වෙනසක් නොදකියි.ඉන්පසු එය මිහිරි ඵල ඇති, ප්‍රඥාව ලබාදෙන, සිත් ඇදගන්නා සුළු, කෑමට සුදුසු ගසක්ම පමණක් ලෙසින් ග්‍රහණය කර ගනියි.

 මේ අනුව සර්පයා තුළින් බයිබල් කතුවරයා එක්තරා ආකාරයකට මිනිසා තුළ ඇති වන "ආශාවේ අසීමිත හඬ ශබ්දය" හෙවත් "ආශාවේ දෝංකාරය" ඉස්මතු කර ඇත.එයට සීමාවක් නැත.හැම දෙයක්ම භුක්ති විඳීමට ඇති වන ආශාව හා උත්සාහය මෙහි විශේෂ ලක්ෂණය වේ.මෙය සංසිඳුවිය නොහැකිය.

 කෙසේවෙතත් "ආශාව" යහපත් හෝ අයහපත් නොවේ. ඉන් මානව පුද්ගලයාට සිදුවන යහපත හෝ අයහපත තීරණය වන මිනුම් දණ්ඩ වන්නේ, "ආශාව" පදනම් කරගෙන මානව පුද්ගලයා තම නිදහස් කැමැත්ත තුළ ගනු ලබන තීරණයයි.
 "සාතන් යනු දම්වැලකින් බැඳ ඇති පිස්සු බල්ලෙක් වැනිය.ඌව බැඳ ඇති දම්වැලේ දිගෙන් ඔබ්බට කිසිවෙකුව ග්‍රහණය කර ගැනීමට ඌට නොහැකිය.ඒ නිසා ඔබ එම දුරස්ථ භාවය තබා ගැනීමට සැලකිලිමත් වන්න.ඔබ ඌට ගොඩක් ළං උනොත්, ඌ ඔබව අල්ලාගනු ඇත.සිහිතබා ගන්න! ඔබේ ආත්මයට ඇතුළු වීම සඳහා සාතන්ට ඇති එකම දොරටුව වන්නේ, ඔබේ නිදහස් කැමැත්තයි". - ( ශුද්ධවූ පාදරේ පියෝ මුනිතුමා )