BLANTERORBITv101

මරියතුමිය නියත වශයෙන්ම පව්කාරියක් නොවන්නේ ඇයි?

කතෝලිකයන් ඇතුළු බොහෝ දෙනා දන්නේ මරිය වහන්සේ ජන්ම පාපයේ සියලුම කැළල් වලින් තොරව ශුද්ධවූ ආනා මුනිෂ්වරියගේ කුස තුළ පිළිසිඳ ගත් බව පමණයි.නමුත් ශුද්ධවූ කතෝලික සභාව, අධිකාරිත්වයකින් යුතුව උගන්වනු ලබන්නේ මරිය වහන්සේ ජන්ම පාපයේ සියලුම කැළැල් වලින් නිදොස්ව පිළිසිඳ ගත් බව පමණක් නොවේ, එතුමිය මෙලොව ජීවිත කාලය අවසානයේදී දෙවියන් වහන්සේ විසින් ස්වර්ග රාජ්‍යයට ඔසවා ගන්නා තෙක්ම සියලුම පෞද්ගලික පාප වලින්ද තොරව සිටි බවයි.එනම් එතුමිය "පූර්ණ ශුද්ධවන්තියක්" බවයි; එතුමිය තුළ කිසිදු ආකාරයක පාපයක් දක්නට තිබුනේ නැති බවයි;

දෙවි පියාණෝ ඒවගෙන් පැවත එන්නන්ගෙන් තම පුත්‍රයාගේ මව වීමට කන්‍ය මරියතුමියව තෝරා ගත් සේක... පිළිසිඳ ගැනීමේ සිට ඇයව සම්පූර්ණයෙන්ම ජන්ම පාපයෙන් සහ සෑම පාප ප්‍රස්ථාවකින් සහ පාප කිළුටෙන් නිදොස් වූවා පමණක් නොව පෞද්ගලික පාපයන්ගෙන් තොරව මුළු ජීවිත කාලය තුළම පිරිසිදුව ගත කළාය

 - කතෝලික සභා ධර්මෝපදේශය 508 

⚫️ මරියතුමිය පව් රහිත අයෙකු විය යුත්තේ ඇයි?

කෙසේවෙතත් මුහුණු පොතේ එක්තරා මූලධර්මවාදී දේවගැතිවරයෙකු පළ කර තිබූ වීඩියෝවක සදහන් වූයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව තම කුස තුළ දරා ගැනීම සදහා මරිය වහන්සේ පාපයෙන් තොර අයෙකු වීමේ කිසිදු අත්‍යවශ්‍යතාවයක් නොතිබුණු බවයි. නමුත් ශුද්ධවූ ලියවිල්ල දෙසට හැරී බැලීමේදී අපට පැහැදිලි වන්නේ ජේසුස් වහන්සේව තම කුස තුළ දරා ගැනීම සඳහා එතුමන්ගේ මාතාව පව් රහිත අයෙකු වීමේ දැඩි අවශ්‍යතාවයක් තිබූ බවයි.ටෝරාවේ අපට හමුවන සරල හා අලංකාර යාච්ඤා අතර දෙවියන් වහන්සේට තම ජනතාව අතර වැඩ වාසය කරන ලෙසට අයදින මෝසස් තුමාගේ යාච්ඤාව ඉතා විශේෂ වේ.නමුත් එම ආරාධනාවට දෙවියන් වහන්සේගේ පිළිතුර වූයේ, "නැත" යන්නයි.ඊශ්‍රායෙල් ජනතාවගේ පව්කාරකම, දෙවියන් වහන්සේට ඔහුන් අතරට වැඩම කිරීමට බාධකයක් වී ඇති බව දෙවියන් වහන්සේ මෝසස්ට පෙන්වා දුන්නේය;

 කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන දේශයට යන්න. එහෙත් නුඹ සමඟ මම නොයමි.මන්ද, නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟක් බැවින් මා අතරමඟදී නුඹලා වනසාලන්නට පිළිවනැ"යි වදාළ සේක... උන්වහන්සේ මෝසස් අමතා, "නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි.මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි.එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගළවා දමන්න.එවිට නුඹලාට කුමක් කළ යුතුද කියා මම දන්නෙමි'යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ"යි වදාරා තිබුණි 

- නික්මයාම 33:03 හා 05

පාපය, මෙලෙස දෙවියන් වහන්සේගේ මෙලොව ආගමනයට බාධාවක් වූවා නම්, මරිය වහන්සේ යනු පව්කාර මනුෂ්‍යය වර්ගයා අතරට දෙවියන් වහන්සේගේ ආගමනය සඳහා තිබූ එම බාධකය ඉවත් කිරීමක් විය යුතුය.ඒ සඳහා එතුමිය සියලු පව් කැළැල් වලින් නිදොස් පූර්ණ ශුද්ධවන්තියක් වීම අත්‍යවශ්‍ය කරුණකි.එබැවින් ප්‍රේමයෙන් උන්වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධව නොකැළැල්ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අපව තෝරාගන්නා විටදී මරියතුමියවද ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පූර්ණ ශුද්ධවන්තියක් ලෙස තෝරා ගත යුතුව තිබුණි  ( එපීස 01:04 ).

⚫️ මෝසස් තුමාගේ කන් කෙඳිරියට පිළිතුරු දෙන දෙවියන් වහන්සේ.

දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීම් නොතකා මෝසස් තුමා දෙවියන් වහන්සේට දිගින් දිගටම තම ජනතාව අතරේ වැඩ වාසය කිරීමට පැමිණෙන ලෙසට යාච්ඤා කළේය;

ඉන්පසු ඔහු කතා කොට, "සමිඳුනි, ඔබ ඉදිරියෙහි මම අනුග්‍රහය ලබා ඇත්තෙම් නම්, මාගේ සමිඳුන් වන ඔබ අප සමඟ වඩින ලෙස මම අයැද සිටිමි.මේ සෙනඟ නම් මුරණ්ඩුය.අපේ දුෂ්ටකම හා පාප කමා කොට අප ඔබේම උරුමය වශයෙන් ගත මැනව"යි කීය

 - නික්මයාම 34:09 

මෝසස්ගේ අයැදුමට දෙවියන් වහන්සේ සවන් දුන්නේය.නමුත් ඊශ්‍රායෙල් ජාතියේ පාපයන් නිසා මොසැසි ගිවිසුම තුළ දෙවියන් වහන්සේ එය ඉෂ්ඨ කළේ නැත.ඊශ්‍රායෙල් ජාතියේ පාපයන් නිසා දෙවියන් වහන්සේ, ලීයෙන් හා රත්‍රං වලින් සෑදූ ගිවිසුම් කරඬුවක ප්‍රථමයෙන්ම කාන්තාරයේ තාවකාලික කූඩාරමක් තුළ හා පසුව දේවමාළිගාව තුළද පමණක් වැඩ වාසය කළේය;

තවද, නුඹලා අතර වාසය කිරීම පිණිස මට ඔවුන් ශුද්ධස්ථානයක් සෑදිය යුතුය... තවද, ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැට හයක් පළල, සෙන්ටිමීටර් හැට හයක් උස කරඬුව සෑදිය යුතුය.එහි ඇතුළතද පිටතද තනි රනින් ආලේප කොට, එය වටා රන් ලී ස්තරයක් සෑදිය යුතුය... මමද එහිදී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඊශ්‍රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි 

- නික්මයාම 25:08,10-11 හා 22 

⚫️ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව සමඟ පිහිටුවා ගත් නව ගිවිසුම.

ශුද්ධවූ බයිබලයේ පුරාණ ගිවිසුමේ සඳහන් වන කවර වර්ගයක හෝ පුද්ගලයෙක්, දෙයක් හෝ සිදුවීමක් වනාහි නව ගිවිසුමේ සඳහන් වන යම් දෙයක මතු පූර්වාදර්ශයකි.මහා දේවධර්මවේදී හිප්පොහි ශුද්ධවූ අගොස්තීනූ මුනිඳුන් මෙලෙස පවසයි;

පුරාණ ගිවිසුම වනාහි සැඟවුණු නවතාවයකි.නමුත් නව ගිවිසුම වනාහි පුරාණ එළිදරව්වකි 

- Catechizing of the Uninstructed 4:8

පුරාණ ගිවිසුමේ, ගිවිසුම් කරඬුව තුළ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම යනු හුදෙක් මතු පැමිණීමට නියමිතව තිබූ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යය වර්ගයා අතර සැබවින්ම වැඩ වාසය කිරීමේ ඡායාවක් නැතහොත් සෙවණැල්ලක් වැනි දෙයක් පමණි. මෝසස් දෙවියන් වහන්සේගෙන් අයැදූ ආකාරයට සැබවින්ම දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව අතර වැඩ වාසය කිරීම පැමිණෙන්නේ දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව සමඟ ඇති කර ගන්නා නව ගිවිසුම තුළය;

මෝසස් මණ්ඩපය සාදන්නට යන කළ: "කන්දේදි නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ"යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක.ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක්ව තිබෙන දේවලට සේවය කරති... එහෙත් දෙවියන් වහන්සේ ඔහුන්ට දොස් නඟමින් මෙසේ වදාරන සේක: "බලන්න, මා ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය සමඟ අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේය"... එහි රන්මුවා ධූම පූජාසනයද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුවද තිබුණේය... මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි.එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි.මේවා කෑමබීම වලින් හා විවිධාකාර ආගමික ධෝවන වලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි.මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණය... ව්‍යවස්ථාව වනාහි මතු පැමිණෙන යහපත් දේ වල ඡායාවක් මිස එහි නියම රූපයම නොවේ.ඔහුන් වසරක් පාසා, නැවත නැවත ඔප්පු කරන එම පූජා වලින් පුදපූජා කරන්නන් පරිපූර්ණ කිරීමට කවදාවත් ව්‍යවස්ථාවට නොහැකිය 

-  හෙබ්‍රෙව් 08:05 හා 08, 09:04 හා 09-10, 10:01 

පුරාණ ගිවිසුම තුළ ඡායාවක් පමණක්ව තිබූ ඊශ්‍රායෙල් ජනතාව අතර දෙවියන් වහන්සේගේ වැඩ සිටීම සැබෑවක් බවට පත්වූයේ නව ගිවිසුමේ මැදිහත්කරුවාණන් වන ජේසුස් වහන්සේ හා නව ගිවිසුමේ, ගිවිසුම් කරඬුව වන මරිය වහන්සේ තුළය ( නව ගිවිසුමේ ගිවිසුම් කරඬුව පිළිබඳව වැඩිදුර තොරතුරු).මෙසියස් වහන්සේගේ පැමිණීමේ හා දෙවියන් වහන්සේගේ නව ගිවිසුමේ දිනය පිළිබඳව ශුද්ධවූ ලියැවිල්ල තුළ බොහෝ වාරයක් දේවානුභාවයෙන් පිරුණු දිවැසිවරුන් විසින් පවසා ඇත;

දාවිත්ගේ රජ පෙළපත නමැති වෘක්ෂයෙන් රාජාංකුරයක් හට ගන්නේය.එහි මුල් වලින් අලුත් පැළයක් නැඟී එන්නේය.සමිදුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව හා නුවණද අනුශාසනා බුද්ධිය හා බලයද දැනගැනීම හා දේව ගරුබියද එතුමාණන් කෙරෙහි පිහිටන්නේය... දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේය.ජාතීහු එතුමන් සොයා යන්නෝය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේය.ඒ කාලය පැමිණි විට සමිදාණන් වහන්සේ අසරියාවේද මිසරයේද පත්‍රෝසේද එතියෝපියාවේද ඒලාමේද ෂීනාරේද හමාතේද මුහුදු දිවයින් වලද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක... ඒ දවසේදී සෙනඟ මෙසේ පැසසුම් ගී ගයන්නෝය: "සමිඳුනි, ඔබට මම ප්‍රශංසා කරමි.මා කෙරෙහි ඔබ උදහස්ව සිටි නමුත්, දැන් ඒ උදහස නිවී ගොස් ඇත.ඔබ මට සැනසීම දී ඇත... සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඊශ්‍රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින්ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින්ද සතුටින් හඬ නඟා ගී ගයන්න" 

-  යෙසායා 11:01-2 හා 10-11, 12:01 හා 06 

⚫️ සයොන් කන්‍යා දියණිය වන මරිය වහන්සේ.

දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජනතාව මධ්‍යයේ වැඩ වාසය කිරීම පිණිස ඔහුන් සමඟ නව ගිවිසුමක් ඇති කර ගැනීමට සූදානම් විය.නමුත් ඊශ්‍රායෙල් ජාතිය තවමත් පව්කාර ජාතියකි.පාපය තවමත් ඔහුන් තුළ විය.එසේ නම් ඊශ්‍රායෙල් ජාතියේ පව් කමා කිරීම සඳහා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය අතරට පැමිණෙන්නේ කෙසේද? මේ සඳහා දෙවියන් වහන්සේ පොළව තුළ අලුත් දෙයක් මවා ඇත.අලුත් මැවිල්ලක් යනු පාපය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති නිර්මල දෙයකි.මිනිසා පාපයට වැටීමට පෙර ඔහු අලුත් මැවිල්ලක්ව පැවතුණි.එලෙසම මිනිසා පසුතැවිල්ලේ බෞතීස්ම ස්නාපනය හා ප්‍රසාධ නිධාන ලබා ගත් විටද ඔහු අලුත් මැවිල්ලකි.මේ අලුත් මැවිල්ල දෙවියන් වහන්සේට ප්‍රිය ප්‍රසන්නය; එය දෙවියන් වහන්සේගේ දෑස් ඉදිරිපිට මනහරය. මක්නිසාද අලුත් මැවිල්ලක් තුළ පාපය සොයාගත නොහැකි වීමයි;

අහෝ! අකීකරු ජනයෙනි, නුඹලා කොතෙක් කල් සැකෙන් සැලෙන්නහුද? සමිඳුන් වන මා පොළොවේ අලුත් දෙයක් මවා ඇත.කාන්තාවක් ඇගේ පුරුෂයා යළි සොයමින් යන්නීය"... ඒ කාලය පැමිණි විට, 'පියවරු ඇඹුල් මිදි පල කෑවෝය.දරුවන්ගේ දත් හිරි වැටුනේය'යි තවත් කියනු නොලබන්නේය.එහෙත්, එකිනෙකා නසින්නේ තම තමන්ගේ පව් නිසාය.දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේමය". සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: "ඉශ්රායෙල් සෙනඟ හා ජුදා සෙනඟ සමඟද මා අලුත් ගිවිසුමක් කරන කාලය පැමිණෙන්නේය 

- ජෙරමියා 31:22 හා 29-31

දෙවියන් වහන්සේ පව්කාර ඊශ්‍රායෙල් ජනතාව අතර වාසය කිරීමට තෝරා ගන්නා ලද පව් රහිත මෙම අලුත් මැවිල්ල කවුද? ඒ අලුත් මැවිල්ල දෙවියන් වහන්සේගේ ආදරණීය "සියොන් පුරඟන"යි;

"සියොන් පුරඟන, ප්‍රීතියෙන් ගී ගයන්න.මම නුඹලා සමඟ වාසය කරන පිණිස එන්නෙමි'යි කියා සමිඳාණන් වහන්සේ වන මම කියමි" 

- සෙකරියා 02:10 

ශුද්ධවූ ලියවිල්ල තුළ බොහෝ වචන වලට අර්ථයන් රාශියක් තිබෙන අවස්ථාවන් අපිට දැකිය හැකිය. උදාහරණ ලෙස එළිදරව්ව පොතේ 17 වැනි පරිච්ඡේදයේ සඳහන් මෘගයාගේ හිස් සතෙන්, එක් විටෙක කදු සතක් නිරූපණය වේ.තවත් විටෙක ඉන් රජවරු සත් දෙනෙකුව නිරූපණය වේ - ( එළිදරව්ව 17:09 ).බයිබල් විශාරදයන් විසින් මෙය ශුද්ධවූ ලියැවිල්ලේ බහු-සංයුජ ස්වභාවය ( The polyvalent or multi-layered nature of scripture ) ලෙසින් හදුනා ගනිති.එලෙසම ශුද්ධවූ කතෝලික සභාවද, "සියොන් පුරඟන"ට බහු අර්ථයක් ඇති බව පෙන්වා දෙන්නීය. එනම්, "සියොන් පුරඟන" යන්නෙන් ඊශ්‍රායෙල් ජනතාව, සියොන් නගරය, දේව ජනතාව හා තවත් විටෙක මරිය වහන්සේවද නිරූපණය වන බවයි. සන්දර්භය දෙස බැලූ විට දෙවියන් වහන්සේ පව්කාර මනුෂ්‍යන් අතර වාසය කිරීමට තෝරාගන්නා ලද පව් රහිත අනාවැකිමය සියොන් කන්‍යා දියණිය මරියතුමිය වේ;

 ... දෙවියන් වහන්සේ තම වාසස්ථානය කර ගැනීමට තෝරා ගත්තාවූ මරියතුමිය, පුද්ගලයෙකු ලෙස සියොන් දියණියයි; ගිවිසුම් දාගැබයි; දෙවියන් වහන්සේගේ මහිමාලංකාරය පවතින ස්ථානයයි. එතුමිය මනුෂ්‍යයන් මැද දෙවියන් වහන්සේගේ වාසස්ථානයයි ...

 - කතෝලික සභා ධර්මෝපදේශය 2676 

⚫️ මරියතුමිය, සියොන් දියණිය බව දෙවියන් වහන්සේ විසින් දිවැසිවරුන් හරහා හෙළිදරව් කළ අවස්ථාවන්.

දෙවියන් වහන්සේ විසින් පුරාණ ගිවිසුම තුළ සියොන් නගරය, ප්‍රසව වේදනාවෙන් තොරව පිරිමි දරුවෙකු ප්‍රසූත කල කාන්තාවකට සමාන කර තිබේ;

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: "මාගේ ශුද්ධ නගරය වනාහි, ප්‍රසව වේදනාව ඇති වන්නට පෙර පිරිමි දරුවෙකු බිහි කළ මාතාවක වැනිය

 - යෙසායා 66:07 

ප්‍රසව වේදනාව යනු ජන්ම පාපයේ විපාකයකි.ඒවගේ ගැබ් ගැනීමේ වේදනා දෙවියන් වහන්සේ විසින් බොහෝ වැඩි කරන ලද්දේ ඇයගේ පව්කාරකමට දඬුවමක් ලෙසය.එබැවින් ප්‍රසව වේදනාව නොමැතිව දරුවෙකු බිහි කිරීමට හැකියාව ඇත්තේ ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණ, පාපයට කිසිදු නෑකමක් නොකියන ස්ත්‍රියකටය.මනුෂ්‍යය ඉතිහාසය තුළ එම ස්ත්‍රීය, මරිය වහන්සේම හැරුණු කොට වෙන කවුරුන්ද? මූලධර්මවාදීන් මීට ප්‍රති තර්කයක් ලෙස ගෙන ඒමට උත්සාහ කරන්නේ මෙම බයිබල් පාඨයට වහාම පහලින් ඇති බයිබල් පාඨයයි;

මෙබඳු දෙයක් ඇසූ දුටු කෙනෙක් සිටිත්ද? කිසි කලෙක එක් දවසකින් රටක් බිහිවී ඇද්ද? එක මොහොතකින් ජාතියක් බිහිවේද? සියොන් අඟන, ප්‍රසව වේදනාව වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවා බිහි කළාය 

- යෙසායා 66:08 

මෙය සිදු විය හැකිද? දෙවියන් වහන්සේ එක් තැනක සියොන් නගරය, ප්‍රසව වේදනාව නොමැතිව දරුවෙකු බිහි කළ මාතාවකට සමාන කරයි.ඒ දෙවියන් වහන්සේම තවත් තැනක සියොන් නගරය ප්‍රසව වේදනා වින්ඳ බව සඳහන් කරයි.මූලධර්මවාදීන් පවසන ආකාරයට "සියොන් දියණිය" යන්නෙන් නිරූපණය වන්නේ දෙවියන් වහන්සේගේ ආදරණීය දේව ජනතාව පමණක් නම්, එය මෙහිදී දේව වචනය තුළ පරස්පරතාවයක් ඇති කිරීමට හේතු වේ.දෙවියන් වහන්සේගේ වචනය පරස්පර විරෝධී විය නොහැකිය.එබැවින් අප ඉහතදී පැවසූ ආකාරයටම "සියොන් දියණිය" සඳහා බහු අර්ථයක් තිබිය යුතුය. තවද සියොන් දියණිය යන්නෙන් මෙහිදී දේව ජනතාවද නිරූපණය වුවද, දේව ජනතාව මෙහිදී කිසිදු පිරිමි දරුවෙකුව බිහි නොකළ බව යෙසායා දිවැසිවරයා විසින්ම පවසා ඇත;

සමිඳුනි, ඔබ සිය සෙනඟට දඬුවම් කළ විට, ඔව්හු දුක් බරින් ඔබ සොයමින් ඔබට යාච්ඤා කළහ.එසේය සමිඳුනි, වේලාව පැමිණි විට, ගර්භණියක ප්‍රසව වේදනාවෙන් කෑ ගසන්නාක් මෙන් කෑ ගැසීමට ඔබ අපට සැලසූ සේක.ගර්භණියක මෙන් කටුක වේදනා වින්ඳ නමුත්, අපි කිසිවක් බිහි නොකෙළෙමු; අපේ මව්බිම උදෙසා කිසිදු ජයක් නොලදිමු.කිසිම දෙයක් ඉෂ්ඨ නොකෙළෙමු.අපේ මළ ගිය අය නැවත ජීවත් වනු ඇත; ඔහුන්ගේ මළ සිරුරු නැවත පණ ගැන්වෙනු ඇත.සොහොන් වල සැතපී සිටින සියළු දෙන පිබිද ප්‍රීතියෙන් ගී ගයත්වා! බැබළෙන පිණි පොළව ප්‍රාණවත් කරන සේ බොහෝ කළක් මැරී සිටින අය අප සමිඳාණෝ නැවත පණ ගන්වන සේක 

- යෙසායා 26:16-19 

දේව ජනතාව කිසිවක් බිහි නොකළේ නම් දෙවියන් වහන්සේ පැවසූ ආකාරයට ප්‍රසව වේදනාවකින් තොරව පිරිමි දරුවෙකු බිහි කළ සියොන් දියණිය කවුද? ඇය ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණ මරිය වහන්සේය.එසේම දේව ජනතාව සම්බන්ධයෙන් ගත් කළ ඔහුන් ප්‍රසව වේදනා වින්ඳා වුවද කිසිවක් බිහි නොකළ සියොන් දියණියයි.දේව ජනතාව සම්බන්ධයෙන් ගත් කළ "ප්‍රසව වේදනාව" යන්නෙන් නිරූපණය වන්නේ දරු උපතකදී දැරීමට සිදුවන වේදනා නොවේ.ඉන් නිරූපණය වන්නේ ගැලවීමේ ඉතිහාසය පුරා ඔහුන් විඳින ලද විවිධාකාර වූ දුක් වේදනාය.මේ දුක් වේදනා නිසා මේ දේව ජනතාව බෙලහීන හා දුර්වල ජනතාවක් බවට පත්ව තිබේ.එසේම යෙසායා 26:19 සඳහන් වන ආකාරයට මොහුන්ව නැවතත් ප්‍රාණවත් කිරීමට ක්‍රිස්තුස් වහන්සේ නමැති ශක්තිමත් පුරුෂයා පැමිණෙනු ඇත. මෙය ජෙරමියා 31:22 ට කෙළින්ම සම්බන්ධ වේ. ජෙරමියා 31:22 හි සඳහන් වන ආකාරයට, "සමිඳුන් වන මා පොළොවේ අලුත් දෙයක් මවා ඇත. කාන්තාවක් ඇගේ පුරුෂයා යළි සොයමින් යන්නීය".

මෙහි ග්‍රීක පරිවර්තනයට අනුව මෙම කාන්තාව දුර්වල වූ කාන්තාවකි.මෙම පුරුෂයා ශක්තිමත් පුරුෂයෙකි.එමඟින් දුක් වේදනා නිසා බෙලහීන වූ දේව ජනතාව ක්‍රිස්තුස් වහන්සේව සොයා යන ආකාරය නිරූපණය වේ.එලෙසම සමිඳුන් පොළවේ මවා ඇති අලුත් මැවිල්ලෙන් නිර්මල මරියතුමියව නිරූපණය වේ.මක්නිසාදයත් අලුත් මැවිල්ලක් තුළ පාපය නිරීක්ෂණය කිරීමට නොහැකිය.බොහෝ බයිබල් විශාරදයන් මෙය මරියතුමියගේ නිර්මල බව ඔප්පු කිරීමට බහුලව යොදා ගනු ලබති.

⚫️ මරියතුමිය, සියොන් දියණිය බව දෙවියන් වහන්සේ විසින් අග්‍ර දේවදූතයන් හරහා හෙළිදරව් කළ අවස්ථාවන්.

දිගු කාලයක් පුරා විවිධ දුක් ගැහැට වලින් පීඩා විඳ බෙලහීනව සිටින දේව ජනතාවව දෙවියන් වහන්සේ විසින් ශක්තිමත් කිරීමට පටන් ගත්තේය. උන්වහන්සේ එසේ කළේ උන්වහන්සේගේ ආගමනය පිළිබඳව දේව ජනතාවව දැනුවත් කිරීමෙනි;

සියොන් පුරඟන, සොම්නසින් ගී ගයන්න; ජෙරුසලම් වැසියෙනි, කෑමොරගසන්න; ඉශ්රායෙල් ජනයෙනි, ප්‍රීති ප්‍රමෝද වන්න.සමිදාණෝ ඔබට විරුද්ධව තිබුණු නඩු තීන්දු අවලංගු කළ සේක; ඔබේ සතුරන් නෙරපා දැමූ සේක; ඉශ්රායෙල්හි රජවන සමිදාණෝ ඔබ සමඟ සිටින සේක.විපතට බිය වීමක් තවත් නැත."එදින ජෙරුසලම මෙසේ කියනු ඇත."සියොන් නගරය, බිය නොවන්න; ඔබ අත දුබල වන්නට ඉඩ නාරින්න.ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟය; ඔබට ජය අත්කර දෙන සෙබළාණෝය.එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක; සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක; ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක; මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක; ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහ කරන සේක 

-  ශෙපනියා 03:14-18 

එදා දෙවියන් වහන්සේ විසින් සියොනට පැවසූ සියල්ල නව ගිවිසුම තුළදි ගාබ්‍රියෙල් අග්‍ර දේවදූතයා හරහා දෙවියන් වහන්සේ විසින් නැවත මරිය වහන්සේට පැවසීමෙන් මරිය වහන්සේ, සියොන් කන්‍යා දියණිය බව දෙවියන් වහන්සේ විසින්ම අපට හෙළිදරව් කරන්නේය;

දේව දූතයා ඈ සිටි තැනට පැමිණ,”විපුල ප්‍රසාදලත් උත්තමිය  ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය”යි කීය.එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැයි සිත සිතා සිටියාය. දේව දූතයා ඈට කතා කොට, ”මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහිය.මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට "ජේසුස්"යන නාමය තබන්න.”උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන සේක; උන්වහන්සේ ගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය”යි කීය 

- ශු.ලූක් 01:28-33 

මෙහිදී ගාබ්‍රියෙල් දේවදූතයා විසින් මරියතුමියට මංගලම් කීමේදී භාවිත කරන ග්‍රීක වචනය, "kaire" වේ.එය, "ප්‍රීති ප්‍රමෝද වන්න" ( Rejoice ) ලෙසින්ද පරිවර්තනය කළ හැකිය.එලෙසම එහි ස්ත්‍රී ලිංග පදය වන "kecharitomene" යන ග්‍රීක පදය යොදා ගැනීමෙන් එය, "ප්‍රීති ප්‍රමෝද වන්න, බෝහෝ ප්‍රිය මනාප වූ තැනැත්තිය" ( Rejoice, highly favored woman ) ලෙසින්ද පරිවර්තනය කළ හැකිය.එලෙසම දෙවියන් වහන්සේ විසින් එදා සියොනටද, "ප්‍රීති ප්‍රමෝද වන්න, එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේකැ"යි පවසා තිබේ.තවද ගාබ්‍රියෙල් දේවදූතයා කිසිදු තැනකදී මරියතුමියට, "දෙවියන් වහන්සේ ඔබ සමඟ වන සේක්වා"යි පවසා නැත.ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමියට පවසන්නේ එදා දෙවියන් වහන්සේ විසින් සියොනට පැවසූ ආකාරයටම, "දෙවියන් වහන්සේ ඔබ සමඟය" කියාය.සියොනට, "බිය නොවන්න" ලෙසින් පවසන දෙවියන් වහන්සේ, ගාබ්‍රියෙල් දේව දූතයා හරහා මරිය වහන්සේටද, "බිය නොවන්නැ"යි පවසයි. ශෙපනියා 03:14-18 හි දෙවියන් වහන්සේ පවසන අනාවැකිමය සියොන, යම් පුරාතන සියොනක් නොවේ.දෙවියන් වහන්සේ විසින් එලෙස ශක්තිමත් කළ පුරාතන සියොනක් බයිබලය තුළ අපට හමු නොවේ.දෙවියන් වහන්සේගේ මෙම අනාවැකිමය සියොන පිළිබඳව යමක් අපට පළමුවෙන්ම හමු වන්නේ සියොන් කන්‍යා දියණිය වන මරිය වහන්සේ තුළ පමණි.වෙනත් කොතැනකවත් දෙවියන් වහන්සේ පොරොන්දු වූ එම අනාවැකිමය සියොන අපට නිරීක්ෂණය කළ නොහැකිය.බෙලහීන වූ ඊශ්‍රායෙල් ජාතිය ශක්තිමත් කළ තැනැත් වහන්සේට සියොන් කන්‍යා දියණිය ලෙසින් මරිය තුමිය විසින් සමස්ත දේව ජනතාවගේම ස්තූතිය තම උදාන ගීයෙන් ( ශු.ලූක් 01:46-55 ) දෙවියන් වහන්සේ වෙතට ඔසවන්නේද සියොන පිළිබඳව දෙවියන් වහන්සේගේ අනාවැකි තමන් තුළ ඉෂ්ඨ සිද්ධ වූ නිසාය;

ගාබ්‍රියෙල් දේවදූතයා එතුමියට "සියොන් දියණිය ප්‍රීති වන්න" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම ඉතාමත් නිවැරදි විය.මරියතුමිය ( තම උදාන ගීයෙන් ) තමන් තුළ අනාදිමත් දේව පුත්‍රයාණන් දරාගෙන ශුද්ධාත්මයාණන් සමඟින්, පියාණන් වෙත ඔසවනුයේ මුළු දේව ජනතාවගේ, ශුද්ධවූ සභාවේ ස්තූති ප්‍රශංසාවය 

- කතෝලික සභා ධර්මෝපදේශය 722 

⚫️ දේව ජනතාවගේ හා ශුද්ධවූ සභාවේ යුගාන්තවාදී අනුරුව වන මරිය වහන්සේ.

"සියොන" යනු "ජෙරුසලම" සඳහා භාවිත කළ නාමයකි.දෙවියන් වහන්සේගේ ශුද්ධ නුවර, සියොන හෙවත් ජෙරුසලමයි.දෙවියන් වහන්සේ යුගාවසානයේදී තම දේව ජනතාව අතර වැඩ වාසය කරනුයේ ස්වර්ගීක ජෙරුසලමේය.ස්වර්ගීක ජෙරුසලම යනු දෙවියන් වහන්සේගේ මනාලියය.දෙවියන් වහන්සේගේ මනාලිය යනු දෙවියන් වහන්සේගේ ශුද්ධවූ සභාවය;

 තවද, තමාගේ ස්වාමි පුරුෂයාට සරසන ලද මනාලියක මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නගරය වන අලුත් ජෙරුසලම, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු දිටිමි... අන්තිම වසංගත සතෙන් පිරුණු පාත්‍ර සත දැරූ දේව දූතයන් සත් දෙනාගෙන් එක් තැනැත්තෙක් මා වෙත පැමිණ, "එන්න, බැටළු පෝතකයාණන්ගේ බිරිඳවන මනාලිය ඔබට පෙන්වන්නෙමි"යි කීය.ආත්මයාණන්ගේ ආනුභාවයෙන් ඔහු මහා උස් කන්දකට මා ගෙන ගොස්, ශුද්ධ නගරය වූ ජෙරුසලම දේව තේජසින් විරාජමානව, දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වීය... මම එහි දේව මාලිගාවක් නොදිටිමි.මන්ද, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේත්, බැටළු පෝතකයාණෝත් ඒ දේව මාලිගාව වූ සේක 

- එළිදරව්ව 21:02, 09-10 හා 22 

පව් සහිත කිසිදු අයෙකුට ස්වර්ගීය සියොන හෙවත් ස්වර්ගීය ජෙරුසලමට ඇතුළු විය නොහැකිය.එය නිර්මලකමේ ලාංඡනයකි;

"එකළ සියලු ජාතීන් සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරමින් උන්වහන්සේට පමණක් එක සිතින් නමදින පිණිස මම ඔහුන්ට පිවිතුරු බසක් දෙන්නෙමි.විසිරී ගොස් සිටින මාගේ සෙනඟ ඈත එතියෝපියාවෙන් වුවද මා හට පඬුරු ගෙනෙනු ඇත.ඒ කාලයේදී, මාගේ සෙනඟ වන නුඹලා මට විරුද්ධව කළ ද්‍රෝහී ක්‍රියා නිසා ලැජ්ජාවට පත් නොවන්නහුය.මන්ද, අහංකාරී, අභිමානවත් සියලු දෙනා මම නුඹලා අතරෙන් පහ කරන්නෙමි.ඉන්පසු නුඹලා කිසි කළෙක මාගේ ශුද්ධ කන්දෙහි කැරළි නොගසන්නහුය.නිහතමානී, යටහත් පහත් සෙනඟක් නුඹලා අතර මම ඉතිරි කරන්නෙමි. ඔව්හු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සරණ සොයා යන්නෝය.ඉශ්රායෙල්හි ඉතිරි වන සෙනඟ තවත් අයුතුකම් නොකරන්නෝය; බොරු නොකියන්නෝය.වංචාව ඔහුන්ගේ කතාවෙහි නොවන්නේය.ඔහුන්ට සෞභාග්‍යයද සුරක්ෂිතකමද ඇති වන්නේය.කිසිවෙකු ඔවුන් බිය ගන්වන්නේ නැත"... අපවිත්‍ර දෙයක් වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝය.ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි 

- ශෙපනියා 03:09-13... එළිදරව්ව 21:27 

සියොනේ හෙවත් ජෙරුසලමේ දියණිය ලෙස මරියතුමිය දේව ජනතාවගේ හා ශුද්ධවූ සභාවේ මූලිකාදර්ශය ( Typus ) වන්නීය.ස්වර්ගීක ජෙරුසලම, නිර්මලකමේ සංකේතයක් වනවා සේම ජෙරුසලමේ දියණිය වන මරියතුමියද කිසිදු පවක් නොමැති පූර්ණ ශුද්ධවන්තියකි.මෙලෙස ශුද්ධවූ සභාවේ යුගාන්තවාදී අනුරුව වන එතුමිය ශුද්ධවූ සභාවේ අති විශිෂ්ඨ වූ හා සකලාකාරයෙන් අසහාය වූ සාමාජිකාවද වන්නීය;

ශුද්ධවූ සභාව, එහි ආරම්භය, දූත කාර්යය හා අවසානය පිළිබඳව කරුණු හැදෑරීමෙන් අනතුරුව, මරියතුමිය වෙතට හැරෙනු විනා, අවසානය සලකුනු කිරීමට වෙනත් සුදුසු මඟක් නැත.විශ්වාසයේ වන්දනා ගමනක යෙදෙන ශුද්ධවූ සභාව ඇගේ අභිරහස්මය ජීවිතය කවරාකාරද යන්න හා එම ගමන අවසානයේ ඇගේ ස්ථීර වාස භූමියෙහි ඇය කවරාකාර වේද යන්න පිළිබඳව මරියතුමියගේ ජීවිතය තුළින් අපි භාවනා කරමු.මහිමාන්විත හා අති පාරිශුද්ධ වූ ත්‍රීත්වයේ ඒකත්වයද සියලු සාන්තුවරයන්ගේ සමෝස ධර්මලාභයේද ආනන්දයට හේතුවූ ස්වාමීන් වහන්සේගේ මාතාවන් තමන්ගේ මාතාව ලෙස පිළි ගැනීමට සභාව බලා සිටී. ආත්මයෙන් හා ශරීරයෙන් ස්වර්ගයෙහි මහිමප්‍රාප්තව සිටින ජේසුස් ස්වාමීන් වහන්සේගේ මාතාවෝ මතු ලොවෙහිදි පිරිපුන් වන්නට නියමිත ශුද්ධවූ සභාවේ අනුරූපයත්, ආරම්භයත් මෙන්ම ස්වාමීන් වහන්සේගේ දිනය පැමිණෙන තුරු මේ ලෝකයෙහි සිටිමින්, සංචාරක සභාවේ දේව ජනතාවට ස්ථීර බලාපොරොත්තුවේද, සැනසීමේද ලකුණක් වශයෙන්, සුදිලෙන්නාහ 

- කතෝලික සභා ධර්මෝපදේශය 972 

සරලවම කියනවා නම් කතෝලික අපේ මේ ජීවිතයේ අවසාන බලාපොරොත්තුව විය යුත්තේ, කවදාහරි දවසක මරිය වහන්සේ ස්වර්ගයේ ඔටුනු දරාගෙන රැජිණක්ව ඉන්නවා වගේ අපටත් ඉන්නට ලැබීමයි.


කිතුනු අපේ දේවධර්ම දිනපොත