BLANTERORBITv101

කන්ද උඩරට රෝමානු කතෝලික සහ හින්දු ආගම්වල ව්‍යාප්තිය.

 

ශ්රී ලංකාවේ අවසාන දේශපාලන බල කේන්ද්රය වූ කන්ද උඩරට රාජධානිය මෙරට බෞද්ධ උරුමය ආරක්ෂා කළ ප්රධාන ප්රවාහය බවට පත්විය. ක්රි.ව. 1505 දී මෙරටට පැමිණ වෙරළබඩ තීරයේ පාලකයන් වූ පෘතුගිසීන් රිසි සේ තම ආගමික කටයුතු ව්යාප්ත කිරීමත් සමග බෞද්ධාගමට දැඩි තර්ජන හටගත්තේ ය. දළදා වහන්සේ උඩරටට වැඩම කිරීමෙන් පසු බෞද්ධාගමේ ආරක්ෂිත භූමිය වූයේ මහනුවරයි. විශේෂයෙන් ම දහඅට වැනි සියවස වනවිට ලන්දේසී බල වර්ධනය හමුවේ පහතරට ප්රදේශයේ රෙපරමාදු ධර්මය ශීඝ්රයෙන් ව්යාප්ත විය. නව ආගමික පසුබිම රෝමානු කතෝලිකයන්ට තර්ජනයක් වූ අතර ඔවුන්ට අවශ්ය රැකවරණය කන්ද උඩරට තුළ සැකසුනේය. දෙවන විමලධර්මසූරියගෙන් පසු වීරපරාක්රම නරේන්ද්රසිංහට දරුවන් නොමැති
වූ නිසා නායක්කර් (වඩුග) වංශිකයන්ට මෙරට සිහසුනට උරුමකම් කීමට හැකි වූ බව පෙනේ. එතැන් පටන් හින්දු සිරිත් විරිත් රජවාසල තුළට පමණක් සීමා නොවී රාජධානිය පුරා පැතිරුණේ ය. හින්දු බලපෑම පොළොන්නරු යුගයෙන් පසු බෞද්ධාගම සමග පුළුල් ව සම්මිශ්රණය වේ. හින්දු ආගමේ බලපෑම උඩරට බෞද්ධාගමට ද ක්රමික ව බලපෑම් කළේය. මෙම ලිපියේ ප්රධාන පරමාර්ථය වන්නේ රෝමානු කතෝලික
සහ හින්දු ආගමිවල බලපෑම දහඅට වැනි සියවස තුළ කන්ද උඩරට ප්රදේශයේ බෞද්ධාගමික කටයුතු සඳහා කෙබඳු ආකාරයකට සිදුවූවේ දැයි හඳුනාගැනීමය.

ලක්දිව කතෝලිකයන් ගැන පළමු වරට අසන්නට ලැබෙන්නේ ක්රි.ව. හයවැනි සියවසේදීය. මේ සමය වනවිට ඊජීප්තු සහ පර්සියන් වැසියෝ මෙරට වෙළදාමට පැමිණි අතර ඔවුන් "නෙස්ටෝරියන්” නම් නිකායට අයත් ක්රිස්තු ලබ්ධිකයෝ වූහ. දේශීය වශයෙන් ඔවුන් මෙරට ආගම් ව්යාප්ත කිරීමට උත්සාහ නොකළ අතර බෞද්ධාගමට ද තර්ජනයක් නොවීය. ක්රි.ව. 1505 මෙරටට පැමිණි පෘතුගීසීන්ගේ ප්රධාන පරමාර්ථයක් වූයේ ආගම ව්යාප්ත කිරීමයි. පෘතුගීසිහු සිය බලය තහවුරු කරගැනීම සඳහා ආගම ප්රධාන සාධකයක් කර ගත්හ. ධර්මපාල රජුගේ රූපයට ඔටුනු පැලදවීම සඳහා ලිස්බන් නුවරට ගිය ලංකා තානාපතියන් සමග පෘතුගීසි පූජකවරු මෙහි පැමිණියහ. කෝට්ටේ රජුගේ ආරක්ෂාව සහ පෘතුගිසිගේ අනුබලය ලත් පූජකවරු ලක්දිව කතෝලික ආගම ප්රචාරයෙහි නිරත වූහ. ධර්මපාල රජු බෞතීස්ම වීමත්, ක්රි.ව 1556 ධීවර ජනතාව ප්රසිද්ධියේ ක්රිස්තු ලබ්ධිය වැළදගැනීමත් සහ ප්රැන්සිස් ෂාවියර් පියතුමා යාපනයේ ශිව භක්තිකයන් පිරිසක් කතෝලික ආගමට හැරවීමත් යන සිද්ධීන් හේතු කොටගෙන කිතුසමය වඩාත් ජනප්රියභාවයට පත්විය.

රොබට් නොක්ස් ලංකා සමාජයේ විවිධ ක්ෂේත්ර පිළිබඳ ව ඉතා වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කර ඇත. එදා උඩරට සමාජයේ සිටි කතෝලිකයන් පිළිබඳව ඔහු සඳහන් තොරතුරු ද ඉතා වැදගත් වේ. මහනුවර කතෝලිකයන්ට පල්ලියක් නැත. පූජකයන් නැත. තමන්ගේ ගෙවල්වල රැදී යාච්ඤා කරති. ඉරුදින වැඩ නොකරති. එදින යාච්ඤාවේ යෙදී සිටිති. ඔවුහු තම දරුවන්, ජලය රැගෙන පියා, පුත්රයා, ස්ප්රීතු සහ සාන්තු යන නමින් බෞතීස්ම කරති. ඔවුන්ට ක්රිස්තියානි නම් දෙන අතර කරේ කුරුස එල්ලාගෙන බෞද්ධ ඇදහිලි මිශ්රවී තිබේ. මෙවැනි පසුබිමක් උඩරට කතෝලිකයන් අතර පැවතියත් ඔවුන් ක්රමික ලෙස ස්වකීය බලය ගොඩනගාගත් බව කිව හැකිය.

පෘතුගීසීන් පැමිණ නොබෝ කලකින් උඩරට රාජධානියේ ද කතෝලික බල ව්යාප්තියක් සිදු වේ. උඩරට රාජධානිය පෘතුගීසි පාලනයෙන් මිදී පැවතිය ද කතෝලික දේවස්ථානයක් මුලින් ම ඇරඹුණේ ක්රි.ව. 1543 ජයවීර රජුගේ කාලයේය. විශේෂයෙන් ම එය ඉදිරිකිරීම සඳහා ජයවීර රජුගෙන් අවසර ඉල්ලා ඇත්තේ පස්කෝල් නම් පූජකයෙකි. දාහත් වැනි සියවස ආරම්භයේ ෆ්රැන්සිස්කන් දෙව්මැදුරක් මහනුවර පැවැති අතර එය " යහපත් ජේසුතුමාගේ දෙව් මැදුර” යයි නම් කර තිබුණි. එනමුත් මෙම අවධියේ කතෝලික ආගමේ බල වර්ධනයක් හෝ ව්යාප්තියක් සිදු නොවේ.
මෙහිදී පැහැදිලි වන ප්රධාන කරුණක් වන්නේ ස්වල්ප වශයෙන් හෝ කතෝලික ජනගහනය මහනුවර රාජධානියේ වර්ධනය වන්නේ පෘතුගීසි බලය දුර්වල වී ඔවුන් උඩරට රාජ්යයට තර්ජනයක් නොවූ කාලයේදී ය. ලන්දේසීන් පහතරට කතෝලිකයන්ට පීඩාකිරීම ආරම්භ කළ විට දෙවන රාජසිංහ රජු (ක්රි.ව.1637-87) ඔවුන්ට උඩරට රැකවරණය ලබා දුන්නේ ය. එහිදී සියයක් පමණ කතෝලික ජනතාව උඩරටට පැමිණ රැකවරණය ලබාගත්තහ. එසේ පැමිණි අය රත්නපුර, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, නුවර සහ වහකෝට්ටේ යන ප්රදේශවල පදිංචි වූහ. මෙසේ පැමිණ පදිංචි වූ කතෝලිකයින් කාලයක් යන විට උඩරට රජුගේ අනුග්රහය යටතේ ආගම ව්යාප්ත කිරීමේ ව්යාපාරයක් ගෙනගිය බව පෙනේ. උඩරට ප්රභූවරු කතෝලික ලබ්ධිය වැළඳගැනිම නිසා ස්වකීය ආගම ප්රචාරයට පහසු මගක් උදා වූ බව පෙනේ. කරල්ලියද්දේ බණ්ඩාර, ජයවීර, දෝන කතරිනා, දොන් ජෝන්, කොනප්පු බණ්ඩාර, දොන් පිලිප්, නිකපිටියේ බණ්ඩාර, මාතලේ විජයපාල, දොන් සමරකෝන්, සීමන් කුරේ, දොන් ජෙරනිමෝ ආදීන් කතෝලික ආගම වැළඳ ගැනීමත් සමග දහස් ගණන් සිංහලයෝ එම මග අනුගමනය කළහ. මේ සිංහල
අධිපතීන් හා සමග ඔවුන්ගේ අනුගාමිකයින් ද සිය ගණනින් ක්රිස්තුසමය වැළදගත් හෙයින්, මහනුවර රාජ්යයෙහි මධ්ය කාලය වනවිට සිංහල ගම් නියම්ගම් ගණනාවක් කතෝලිකයන්ගෙන් පිරී පැවතුණි. ලන්දේසීන් මෙරටට පැමිණීමෙන් පසු කතෝලික ආගමේ බලය පිරිහෙන්නට විය. ඔවුන් ප්රධාන සතුරා ලෙස සැලකුවේ බෞද්ධයන් හෝ බෞද්ධ භික්ෂූන් හෝ නොව කතෝලිකයන් සහ රෝමානු කතෝලික පූජකවරුන් ය. කොළඹ පාලනය සියතට ගත් ලන්දේසීන් ක්රි.ව. 1658 දී කතෝලික පාදිලි කෙනෙකුට නවාතැන් දීම, මරණීය දණ්ඩනය ලබාදිය හැකි වරදක් ලෙස පෙන්වා දුන්නේ ය." හෙන්ද්රික් බැකර් ආණ්ඩුකාරවරයා කතෝලික නිකායෙහි චාරිත්රයක් වූ පිළිම භාවිතය තහනම් කොට බරපතල දඬුවම් පැනවූ අතර පන් ගොලැන්ස් ආණ්ඩුකරු පූජක තනතුරු සඳහා අධ්යාපනය හැදැරීම තහනම් කළේය. මෙසේ ලන්දේසීන් කතෝලිකයන්ට හිරිහැර කරන්නට පටන්ගත් කල්හි තත්කාලීන සිංහල රජවරු ඔවුන්ට උපකාරි වූහ. දෙවන විමලධර්මසූරිය, ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ, ශ්රී විජය රාජසිංහ සහ කීර්ති ශ්රී රාජසිංහ යන රජවරු මේ අතර වැදගත්ය.

දෙවන විමලධර්මසූරිය (ක්රි.ව.1687-1705) රජු බෞද්ධ භික්ෂූන් යටතේ හැදී වැඩුණු කෙනෙකි. මෙම රාජ්ය සමයේදී ද කතෝලික පූජකයන්ට අනුග්රහය ලැබුණු බව පෙනේ. විශේෂයෙන් ම ජුසේවාස් පියතුමා ඇතුළු කතෝලික පියවරුන්ට සහ කතෝලිකයන්ට නොයෙක් අයුරින් උපකාර කර ඇත. සිංහලයේ අවසන් රජු වූ වීරපරාක්රම නරේන්ද්රසිංහ (ක්රි. ව.1701739) සමයේදී ද උඩරට පුරා කිතුණු ආගම ජනප්රිය භාවයට පත් විය. මෙම රජවරුන්ගේ අනුග්රහය උඩරට කතෝලික පල්ලි ඉදිකිරිමට ද, පෙරහැර පැවැත්වීමට හා වෙනත් භක්ති පූජාවන්ට අවසර ලැබුණි. නරේන්ද්රසිංහ රජු දේව මෙහෙය පවත්වන දිනවල බෝවලවත්ත දේවස්ථානයට ඉටිපන්දම් පවා යවා ඇත. මෙම සිදුවීම් නිසා කිතුනු ආගමේ ශීඝ්ර වර්ධනයක් දක්නට ලැබිණි. මෙම කාලයේදී ජාකොමේ ගොන්සාල්වෙස් හා ඉග්නේස් ද අල්මේදා යන කතෝලික පියවරුන් නරේන්ද්රසිංහ රජුගේ සහයෝගය ඇතිව උඩරට රාජ්යයේ මිෂනාරි කටයුතු ව්යාප්ත කළ බව පෘතුගිසි මූලාශ්රයවල දක්නට ලැබේ. මෙම පූජකවරු දෙදෙනාට තම මුදියන්සේලාට දක්වන ආචාරශීලීත්වය, නම්බු තලම්බු හා ගරු සැලකිලි දැක්විය යුතුයැයි රජු අණ කළ බව කියනු ලැබේ. විදේශීය පිරිසක් කෙරෙහි මෙපමණ විශේෂත්වයක් දැක්වීම පිළිබඳ උඩරට භික්ෂූන් වහන්සේ මෙන්ම රදළවරු ද අසතුටට පත් වූහ.
ශ්රී විජය රාජසිංහ (ක්රි.ව. 1739-1747) සමයේදී පෙර අවධිවලදී මෙන් කතෝලික දහම පමණකට ව්යාප්ත නොවූ බව පෙනේ. ඊට හේතුව වූයේ මේ සමයේ සරණංකර හිමියන් සමග ගොඩ නැගෙන බෞද්ධ පුනර්ජීවනයත්, උපාය ප්රවීණ වූ ලන්දේසීන් බුද්ධාගමේ දියුණුවට බලපාන කටයුතුවලට උපකාර කිරීමත් ය. මෙරට උපසම්පදාව පිහිටුවීමට භික්ෂූන් සොයනු සඳහා තැන තැන පිරිස් යැවීමට ස්වකීය නැව් දීමෙන් ලන්දේසිහු උදව් කළහ. එක් අතකින් බෞද්ධාගම පුනර්ජීවනය වීම කතෝලික ආගමේ අනුගාමිත්වයට ද බලපෑවේ ය.

කීර්ති ශ්රී රාජසිංහ රජුත් පෙර පරිදි වරින්
වර සිංහල කතෝලිකයින්ට උපකාර කළ අතර රජු සහ බෞද්ධයින් අතර කිසියම් දුරස්ථවීමක් එමගින් සිදුවිණි. සත්ය වශයෙන්ම පෙර සිටි ශ්රී විජය රාජසිංහට ද මෙබඳු ප්රශ්නවලට හා විරුද්ධතාවන්ට මුහුණදීමට සිදු වූ බව පෙනේ. එබැවින් මෙම රජවරු දෙදෙනාගේ ම කාලයේදී රෝමානු කතෝලිකයින්ට හිරිහැර කිරීම ද සිදුවූ අතර එය බෞද්ධයින් තුළ එම රජවරුන්ගේ ආගමික ලැදියාව පිළිබඳ සැකය දුරුකරවා ගැනීමේ අපේක්ෂාවෙන් ම සිදු කරන ලද්දක් බව පෙනේ.

සෙංකඩගලපුරයේ කතෝලික ආගම ජනප්රිය කිරීමෙහි ලා වැදගත් මෙහෙවරක් මිෂනාරින් විසින් සිදු කර ඇත. ඔවුන් අතරින් ජුසේවාස් සහ ජාකොමේ ගොන්සාල්වෙස් යන මිෂනාරි පූජකවරුන්ගේ භූමිකාව සුවිශේෂි එකකි. ශ්රී ලංකාවේ කතෝලික ආගමේ පුනරුත්ථාපනයේ ආදි පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ජුසේවාස් පියනම ය. ලන්දේසි පාලනයෙන් පීඩාවට පත් වූ කතෝලික ජනතාව ආත්මික වශයෙන් පුබුදුවාලීමට මෙතුමා රහසිගත සේවයක් දියත් කළේය. ක්රි.ව. 1687 දී කුලීකරුවෙකු ලෙස මන්නාරමට පැමිණි එතුමා මැයි මාසයේදී එතැනින් යාපනය වෙත ගියේ ය. ඔහු අවුරුදු දෙකහමාරක් පමණ එහි සේවය
කරන ලදි. හෙතෙම කතෝලික ජනතාව හඳුනාගෙන යාචකයෙකු ලෙස බැතිමතුන්ගේ නිවෙස්වලට ගොස් ආගම ප්රචාරය කර ඇත. අනතුරු ව යාපනයෙන් පිටවී වන්නි ප්රදේශයට ද, එතැනින් පුත්තලමට ද පැමිණියේ ය. ඉන්පසු කම්මල, හලාවත, මුන්නේශ්වරම, මාදම්පේ, කටුනේරිය, ඇටියාවල, මාකඳුර, මැටියගනේ යන ස්ථානවල සේවය කර අවසානයේදී එතුමා මහනුවරට ද පැමිණියේ ය. එසේ මහනුවරට පැමිණෙන විට දෙවන විමලධර්මසූරිය රජතුමා උඩරට රාජ්ය පාලනය කළේය. ඔහු මෙම රජුගේ ද සහයෝගය ලබමින් මහනුවර අවට කතෝලික ධර්මය ව්යාප්ත කිරීම සඳහා අවශ්ය පියවර ගත්තේය. ක්රි.ව. 1693 දී නගරය තුළ දේවස්ථානයක් ඉදිකර එහි පදිංචිවීමට රජතුමා අවසර දීමත් සමග ඔහුගේ අපේක්ෂා ඉටු වූ බව පෙනේ. පුත්තලමේ සහ මාතෝට්ටම් යන නගර දෙකේ ඔහු පල්ලි ගොඩනැගුවේ ය. මේ හැරුණු විට පොල් අතු සහ ලී යොදා තැනු පල්ලි 55 ක් ඔහුගේ කාලයේ ගොඩනැගු බව වාර්තා වේ. කතෝලික ආගමේ මෙලෙස ඇති වූ පිබිදීම බෞද්ධාගමට ද දැඩි ව බලපෑවේය. එනමුත් මහනුවර ප්රදේශයේ පදිංචි වී සිටි කතෝලිකයගේ බහුතරය වූයේ සරණාගතයන් ලෙස උඩරට රාජ්යයට පැමිණි ජනයාය. වර්තමානයේ දී මෙන් එදා ද අසරණභාවයට පත් ජනතාවට මිෂනාරීහු පිළිසරණ ලබා දුන්හ. ක්රි.ව. 1697 දී සෙංකඩගලපුරයේ වසූරිය පැතිර ගිය විට රෝගීන්ට සේවය සඳහා ජුසේවාස් තුමා විසින් අවශ්ය කටයුතු ඉටුකරන ලදි. ජුසේවාස් ධීවරයෙකු, යාචකයෙකු, ලස්කිරිඤ්ඤ
භටයෙකු හෝ කම්කරුවෙකු ලෙස වෙස් වළාගෙන ආගම ව්යාප්ත කිරීමේ නිරත වූ බව පෙනේ.

එතුමා විවිධ පොත පත රචනා කරමින් ජනතාවට එම ධර්මය එත්තු ගැන්වීමට පියවර ගත්තේය. දෙමළෙන් සම්පාදනය කර තිබු ඥාන උපදේශ, ප්රාර්ථනා පාද නමස්කාර, ජපමාලා සහ අභිරහස් ආදි සුලු යාච්ඤා පොත් කිහිපයක් සංශෝධනය කිරීමෙන් හෙළ බසට නැගුවේ ය. මෙම ක්රියාවලිය ද කතෝලික ආගම ප්රචලිතවීමට ඉවහල් විය. ජුසේවාස්ගේ මරණයෙන් පසු උඩරට කතෝලික ආගම ව්යාප්ත කිරීම සඳහා සුවිශේෂි භූමිකාවක් ඉටුකරනු ලබන්නේ ජාකෝමේ ගොන්සාල්වේස් ය. කතෝලික ආගමේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ ඔහු ලේඛකයෙකු මෙන් ම කලා ශිල්පියකු වශයෙන් හඳුනාගත හැකිය. ක්රි.ව. 1705 දී ලංකාවට පැමිණි එතුමා මෙරට ධර්මය ව්යාප්ත කිරීමේ නිරත වූ බවට තොරතුරු හමු වේ. එතුමා සතුව පැවති සුවිශේෂි භාෂා හැකියාව සහ ග්රන්ථකරණය පිළිබඳ හැකියාව ආගම් ව්යාප්ත කිරීමට යොදාගෙන තිබේ. එම ග්රන්ථ ලිවීමේ මුඛ්ය පරමාර්ථය වූයේ සිංහල කතෝලික ජනතාවට මෙම ආගමේ සත්යයන් විස්තර කර දීමය. එබැවින් ඇතැම් පොත් ස්වකීය සමයට ජනයා වැඩිපුර බඳවා ගැනීම පරමාර්ථකර ලියන ලද ඒවා ය. සිංහලෙන් පොත් 22, දෙමල භාෂාවෙන් 25, පෘතුගිසි භාෂාවෙන් 4 ක් සහ ඕලන්ද බසින් එක් පොත බැගින් ලියා ඇත. මෙම පොත් රචනා කිරීමෙන් කතෝලික ධර්මය ප්රචාරයට පමණක් නොව සිංහල භාෂාවේ වර්ධනයට ද මෙහෙයක් සිදු විය. ගොන්සාල්වේස්ගේ එම කෘතින් අතුරින් විවාදාත්මක ලේඛන හතරකි. මාතර ප්රත්යක්ෂය, අඥාන ඖෂධය, භේදකාරයින්ගේ තර්කය සහ බුදුමුල යන ග්රන්ථ එම ග්රන්ථ සතර වේ.

ශ්රී වීරපරාක්රම නරේන්ද්රසිංහ සමය වනවිට උඩරට ප්රබල භූමිකාවක් ජාකොමේ ගොන්සාල්වේස් ද ඉටුකර ඇත. ඔහු මෙම
රජතුමාගේ ඉතා විශ්වාසවන්ත, සමීප අයෙකු ලෙස කටයුතු කර තිබේ. හෙතෙම ප්රසිද්ධියේ මහනුවර සහ හඟුරන්කෙත යන ප්රදේශවල ක්රිස්තු ධර්මය ප්රචාරය කළේය. පහතරට ප්රදේශයේ සිටි අසරණභාවයට පත් කතෝලික ජනතාව උඩරට ප්රදේශවල පදිංචි කිරිමෙන් අනතුරු ව, ක්රමික ව බෞද්ධාගමේ ඉදිරි ගමනට බාධාවක් වූ බව පෙනේ. මෙහි විශේෂත්වය වන්නේ පෘතුගීසි පාලනය මෙරටින් තුරන් වූ පසු එම අභියෝගය ඇති වීමයි. පහතරට දී එල්ල වූ තරම් අභියෝගයක් උඩරට ප්රදේශයේදී බෞද්ධාගමට ඇති නොවුණි. එනමුත් සමකාලීන ව එල්ල වූ කතෝලික බලපෑම උපසම්පදාව පිහිටුවීමෙන් පසු අඩපණ වූ බව පෙනේ. තවද පහතරට පාලනය කළ ලන්දේසීන්ගේ ආගම වූ රෙපරමාදු කතෝලික ආගමේ බලපෑම උඩරට බුදුසමයට එතරම් ම දැනුනේ නැති බව පැහැදිලි වන කරුණකි. එයට හේතු වූයේ ස්වකීය ආගම ව්යාප්ත කිරීමේදී ප්රබල අභියෝගයක් ඇති කළේ බෞද්ධාගමෙන් නොව රෝමානු කතෝලික ආගමෙන් නිසාය. දහඅට වැනි සියවසේ උඩරට බුදුසමය පිළිබඳ සිදුකරනු ලබන සාකච්ඡාවේදී පසක් වන ප්රධාන ප්රස්තුතයක් වන්නේ හින්දු සමය ප්රබල මට්ටමකින් ක්රියාත්මක වූ බවයි. තත්කාලීන ව සමාජයේ ඇති වූ වෙනස්වීම් බෞද්ධාගමට ද සෘජු ව බලපෑවේ ය. ගම්පොළ හා කෝට්ටේ රජුගේ කාලයේ ලංකාවට පැමිණි විවිධ වර්ගයේ දකුණු ඉන්දියානු ද්රවිඩයෝ මේ රටේ සිංහල සමාජයට ඇතුළු වූහ. දකුණු ඉන්දියානු හින්දු සංස්කෘතිය ලක්දිව පැතිර යාම නිසා දෙවියන් ඇදහීමත් දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් පුද සිරිත් පැවැත්වීමත් බහුල විය. ඉන්දියානු දෙවියන් වූ විෂ්ණු, කාර්තික, පත්තිනි, විභීෂණ යන දෙවිවරු උදෙසා දේවාල කෝවිල් කරවා ඒවායේ නඩත්තුව සඳහා සිංහල ද්වීපයෙහි විශාල භූමි භාගයක් දේවාල ගම් වශයෙන් වෙන් කිරීමට පාලකයෝ ක්රියා කළහ. මෙරට ජනතාව ද ඒවායේ රාජකාරි සේවා සඳහා යොමු කළ බව පෙනේ. මෙවැනි පසුබිමක් තුළ ජන සමාජයෙහි දේව ඇදහිල්ල වඩාත් ජනප්රිය විය.

දිවයින පුරා පැතිරී තිබුණු හින්දු ආගමේ වර්ධනය වඩාත් තහවුරු කළ සාධක උඩරට රාජධානි සමයේ ආරම්භයත් සමග ම ඇති විය. පහළොස් වැනි හා දහසය වැනි සියවස්වල දකුණු ඉන්දියාව වෙත එල්ල වූ මුස්ලිම් ආක්රමණවල ප්රතිඵලයක් ලෙස පෙදෙස්වැසි බ්රාහ්මණ ජනයා ලංකාවට පැමිණියහ. එසේ පැමිණි ඔවුහු දේශීය පාලකයින් සහ රදළවරුන්ට බලපෑමක් ඇති කිරීමට සමත් වූහ. අතීතයේ සිට හින්දු සමය මෙරට ජනප්රිය ව පැවතීම, පළමුවන රාජසිංහ රජු ශිවාගම වැළඳ ගැනීමෙන් හින්දු ආගම සීතාවක රාජධානියේ රාජ්ය ආගම බවට පත් වීම වැනි හේතු නිසා ක්රමික ව වර්ධනය වූ හින්දු ආගම දිවයිනේ සෙසු ආගම්වලට තර්ජනකාරී බලවේගයක් බවට පත් වූ බව පෙනේ. නායක්කර් රජවරු බෞද්ධයන් බවට පත්වුවද හින්දු පුදසිරිත් හා චාරිත්ර දිගටම පවත්වා ගෙන ගියහ. ශ්රී වික්රම රාජසිංහ රජු බෞද්ධ වෙහෙර විහාර ආදියට අනුග්රහ කරමින් බෞද්ධ රජෙකු ලෙස කොතෙක් ක්රියා කළේ වී නමුත් ඔහුගේ ඥාතින් පමණක් නොව කලක් ඔහු ද ශරීරයෙහි අළු ගෑම වැනි හින්දු චාරිත්ර ගරු කළ බව ඇහැලේපොළ
වර්ණනාවෙහි ශ්රී වික්රම රාජසිංහ රජුගේ ඥාතින්ට අපහස මුඛයෙන් කෙරෙන " මෝරු බිබී රුව මහ ඌරු කැලක් සේ දෙමළුන් සරු
පුහුල් ලෙස අළු හොඳ සිරු ලෙස ගගා" යන වර්ණනයෙන් පෙනේ. වැලිවිට සරණංකර තෙරුන්ගේ ප්රධාන අනුග්රහකයා බවට පත්ව සිටි කීර්ති ශ්රී රාජසිංහ රජු ද මෙබදු දැඩි ශිව බැතිමතෙකු වූ අතර සෙසු පාලකයන් විසින් කරනු ලැබූ නළලෙහි අළු ගෑමේ සිරිත පවා ඔහු අත් නොහළ තැනැත්තෙකු බව කියැවේ.' රජු මරා දමා වෙනත් කෙනෙකු පාලකයා ලෙස පත්කරගැනීමට බෞද්ධ ප්රභූ භික්ෂු පිරිසකගේ මැදිහත්වීමෙන් එකල කුමන්ත්රණයක් පවා ක්රියාත්මක කරන ලද්දේ නායකවරු තුළ පැවති හින්දු ආගමික නැඹුරුව නිසා ය. 'කීර්ති ශ්රී රාජසිංහ රජු මුන්නේශ්වරම් වැනි හින්දු කෝවිල් පවා ප්රතිසංස්කරණය කළ බව සඳහන් වේ.

විශේෂයෙන් ම මහනුවර අවධියෙහි ලක්දිව ජනාවාස වූ භූමියෙන් හතරෙන් කොටසක් පමණ දේවාලවලට යටකොට දේවාලගම් කිරීම නිසා සමාජයෙහි හීනවීන තත්ත්වය ක්රමයෙන් දියුණු විය. තවද වීරපරාක්රම නරේන්ද්රසිංහ රජු විසින් මධුරාපුරයෙන් බිසෝවරුන් සහ ද්රවිඩ කුමාරවරුන් ගෙන්වා ගැනීමෙන් පසු මෙරට සිටි දකුණු ඉන්දියානුවන්ගේ බලය වැඩි වූ බව පෙනේ. මෙනිසා අප්රධාන ව සිටි දකුණු ඉන්දිය දෙවිවරුන් හා යකුන් ඇදහීම සහ තේවාවන් ඉටු කළ කපු මහත්වරුන්ට සමාජයෙහි උසස් තැනක් ලැබුණි. මහනුවර ඇසළ පෙරහැර පවත්වන ලද්දේ හින්දු දෙවිවරුන්ට සිදු කරන පූජාවක් වශයෙනි. සමාජයේ ඇති වූ මෙම වෙනස්වීම බෞද්ධ භික්ෂුවට සහ පිළිවෙත්වලට බලපාන ලදි. දේව විශ්වාස බුදුදහම සමග සම්මිශ්ර වූ අතර පිරිත් පින්කම් යනාදිය ශාන්ති කර්මයන්හි ස්වභාවයක් ඉසිලීය. මේ නිසා සිංහල බෞද්ධ සංස්කෘතියේ ප්රබල විපර්යාසයක් හටගත්තේය.

ශ්රී ලංකාවේ බෞද්ධාගමිකයෝ බොහෝ අවස්ථාවල හින්දු දෙවියන්ගේ පිහිට පැතු පිරිසක් වූහ. විහාර සංස්ථාව සහ දේවාල සංස්ථාව යන දෙක ම රජයේ පිළිගැනීම මෙන්ම අනුග්රහය ද ලැබ එකට ම පැවතීම තුළින් බෞද්ධාගම සහ හින්දු ආගම සුසංයෝගීව පැවතෙන අන්දම මූර්තිමත් කරයි. උඩරට සමයේ මෙවැනි තත්ත්වයක් හටගැනීමට හේතු වූයේ ක්රි.ව. 1739 නායක්කර් රජවරුන්ගේ පැමිණීමත් සමග ස්වකීය රාජ්යත්වය ආරක්ෂා කරගැනීමට බෞද්ධාගමට අනුග්රහය දක්වා, තම
බිසෝවරුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා දේවාල ඉදිකිරීමට කටයුතු කිරීමයි. මේ නිසා දේවාගම වඩාත් ජනතාව අතර ප්රචලිත විය. එය වඩාත් පැහැදිලි වන්නේ බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාව අබියස ඇති නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල ඉදි වීමයි. මෙම සතර දේවාල තුළ පිළිබිඹු වන්නේ රජවාසලත්, දළදා මාලිගාවත් සමග දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති සම්බන්ධතාවයි. මහනුවර මහවාසලට නුදුරින් දේවාල සතරක් ඉදිකිරීමෙන් පසුව ශ්රී විජය රාජසිංහ රජුගේ කාලයේ සිට ම එම දේවාල සතරෙහි පෙරහැර උත්සව පවත්වා ඇත. දළදා පෙරහැර දේවාල පෙරහැරවලට සම්බන්ධ කෙරුණේ කීර්ති ශ්රී රාජසිංහ පාලන සමයේදීය. මෙම යුගය තුළ පත්තිනි දෙවියන් ඉමහත් ප්රසිද්ධියට පත්ව සිටියේ ය. ඇය ඇසළ පෙරහැරේ ගෞරවයට පාත්ර වූ දෙවිවරුන් සිව්දෙනාගෙන් කෙනෙකි. හින්දු ධර්මයේ බලපෑම දෙවිවරුන් සම්බන්ධයෙන් දේශීය ජන කොටස් අතර පැවති ඇදහිලි විශ්වාස පරික්ෂා කිරීමෙන් පැහැදිලි වේ. දිවුරුම් කළ යුතු අවස්ථාවන්හිදී බලවත් දෙවි කෙනෙකු වූ විෂ්ණු දෙවියන්ගේ නාමය ද සඳහන් කොට දිවිරීම එවකට සිරිත විය. විෂ්ණු දෙවියන් උදෙසා උත්සව පැවැත්වීම ද ඇසළ පෙරහැරේ අංගයකි.
වර්තමානයේ දළදා වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන තේවාව හා බැඳුණු චාරිත්රයන් තුළ ද එවකට සිදු වූ හින්දු ආගමේ බලපෑම ගම්ය වන්නේ ය. තේවාවට ගන්නා උපකරණ අතර තාලත්විය, (තේවාවට ගන්නා පඩික්කම) පයිඬකරනවා යන ඒවා ද්රවිඩ බලපෑම මත සකස් වූ වචනයි. දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන නානුමුර මංගල්යය ද දකුණු ඉන්දියානු හින්දු කෝවිල්වල සිදුකරන චාරිත්රවලට අතිශයින් සමානය. ආලත්ති අම්මාවරුන් විසින් ඉටුකරන දළදා පෙරහැර සහ දළදා ප්රදර්ශන අවසානයේ ඇස්වහ සහ කටවහ පිච්චීම හින්දු බලපෑම මත වරතමානයේ ද සිදු කරනු ලබයි. මෙම සිදුවීම් විචාරාත්මක ව බැලිමෙන් පසක් වන්නේ ඉතා දැඩි ව හින්දු බලපෑම පවතින බවකි. එදා පැවති සිව් මහා දේවාලයන්ට පරිබාහිර ව තවත් දේවාල උඩරට රාජ්ය පුරා විසිරී පැවතිණ. මේවායෙහි චාරිත්ර සිදු කර ඇත්තේ කපුරාළවරුන් විසින්ය. සතර මහා දේවාල හා පරිවාර දේවාල පාලනය කිරීම බස්නායක නිළමේ නම් පුද්ගලයාට භාර විය. ඔහු පත්කිරීම රජතුමා විසින් සිදු කර ඇත. ඒ තුළින් පැහැදිලි වන්නේ දේවාල පිළිබඳ කටයුතු සඳහා උඩරට රජුගේ සෘජු මැදිහත් වීමක් පැවති බවයි. විශේෂයෙන් ම ක්රි.ව. 1815 මාර්තු 2 දින අත්සන් කළ උඩරට ගිවිසුමේ ජනතාවගේ දේවාගම පිළිබඳ සඳහන් කිරීමෙන් මෙම සමාජයේ දේවාගම ජනප්රියව පැවතුනා ද යන්න පැහැදිලි වේ. මෙලෙස උඩරට බෞද්ධ සමාජය තුළ දේශපාලන අරමුණු ඉටුකරගැනීමට පාලකයා බුදුදහමට අනුග්රහය දැක්වුව ද අඩුවක් නොමැති ව ගලා ආ හින්දු අදහස් ද සමග බෞද්ධාගම මහජනයාගේ සමාජ සංස්කෘතික ජීවන ක්රමයට ඒකාංග ව බැදි ගියේ ය. මහනුවර යුගයේ අභිනවයෙන් ඉදි වූ විහාරස්ථාන දෙස බලනවිට පැහැදිලි වන්නේ විහාරස්ථානයේ අනිවාර්යයෙන් ම දේව රූපයක් හෝ දේවාලයක් දක්නට ලැබීමයි. ඉන් මිදී යම් නිර්මාණ බිහි වූයේ කලාතුරකිනි.

මෙතෙක් සාකච්ඡා කරන ලද තොරතුරුවලින් පැහැදිලි වන්නේ පෘතුගීසි ජාතිකයන්ගේ පැමිණීමත් රෝමානු කතෝලික ආගම පහතරට මෙන් ම උඩරට ප්රදේශවල ද ප්රචලිත වූ බවයි. එමෙන් ම අතීතයේ සිට පැවති හින්දු ආගමේ බලපෑම ශීඝ්රයෙන් එම ප්රදේශයේ ජනප්රිය ලෙස පැතිර ගියේය. මෙම ආගම්වල ව්යාප්තිය නිසා නැවත සසුනෙහි පසුබෑමක් දක්නට ලැබුණි. යුගයේ අභියෝග ජයගෙන සසුනේ වත්පිළිවෙත් ආරක්ෂා කළේ ගණින්නාන්සේ විසිනි. කතෝලික සහ හින්දු ආගම්වල බලපෑම මධ්යයේ උඩරට මෙන් ම පහතරට සසුන රැක්කේ ද ගණිනාසේ ය. ඔවුන් විසින් රැකඳුන් ශාසනික සම්ප්රදාය එතැන් පටන් ඉදිරියට ආරක්ෂා වන්නේ සරණංකර හිමියන්ගේ භූමිකාව තුළිනි.


පසිදු කල්හාර


ආශ්රිත මූලාශ්රය ග්රන්ථ:

• කොටගම වාචිස්සර, සරණංකර සංඝරාජ සමය, විසිදුනු ප්රකාශන,1960.
• අනුරාධ සෙනෙවිරත්න, කන්ද උඩරට මහනුවර, පරි. වෑතර මහින්ද, මධ්යම සංස්කෘතික අරමුදල , කොළඹ, 1989.
• ඉන්ද්රකීර්ති සිරිවීර, රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, දයාවංශ ජයකොඩි සහ සමාගම, කොළඹ, 2001.
• පී. පී. වී. සෝමරත්න , ශුද්ධ බයිබලයේ ඉතිහාසය, කල්වරි දේවස්ථානය, කොළඹ, 1991.
• රොබට් නොක්ස්, එදා හෙළදිව" පරි. ඩේවිඩ් කරුණාරත්න, ඇම්. ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ.
• පී. පී. වී. සෝමරන්න, ශ්රී ලංකාවේ ක්රිස්තු ශාසන ඉතිහාසය 1800 දක්වා, දේවධර්ම ශාස්ත්රාලය, කොළඹ, 1960.
• පුංචිබණ්ඩාර සන්නස්ගල, සිංහල සාහිත්ය වංශය. ලේක්හවුස්, කොළඹ 1961.
• කේ.ඩබ්. ගුණවර්ධන, ශ්රී ලංකාවේ ලන්දේසි බලය පිහිටුවීම, අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුව, කොළඹ, 1974.
• ඒ. එච්. මිරැන්ඩෝ, 17 සහ 18 වැනි සියවස්වල සිංහල සාහිත්යය, එස්.ගොඩගේ සහ සමාගම, කොළඹ, 1989.