BLANTERORBITv101

පව් රහිත මරිය වහන්සේට ගැලවුම්කරුවෙකු අවශ්‍යය වූයේ ඇයි?

කතෝලික අපි මරිය වහන්සේව කිසිදු පාප කැළලක් නොමැති, "පූර්ණ ශුද්ධවන්තියක්" ලෙසින් සැළකුවද බයිබල් මූලධර්මවාදීන් එතුමියව එලෙසට ගණන් නොගනිති.මරිය වහන්සේද අනෙක් සෑම මනුෂ්‍යයෙක් වාගේම තවත් එක් පව්කාරියක් පමණක් බව ඔව්හු විශ්වාස කරති.ඔහුන්ගේ මේ විශ්වාසයට ප්‍රබල වශයෙන් පදනම් වී ඇති කාරණයක් වන්නේ මරිය වහන්සේ විසින්ම එතුමියගේ උදාන ගීය තුළ තමන්ටද ගැලවුම්කාර දෙවි කෙනෙකු සිටින බවට ප්‍රකාශ කර තිබීමයි.ඔහුන් පවසන ආකාරයට ගැළවුම්කරුවෙකු සිටිය හැක්කේ පව්කාරයෙකුට පමණයි.එබැවින් මරිය වහන්සේටද ගැළවුම්කරුවෙකු සිටිය බැවින් එතුමියද පව්කාරියක් බව ඔව්හු විශ්වාස කරති;

එවිට මරිය තුමී මෙසේ උදන් ඇනුවාය : "මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි, මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි; 

- ශු.ලූක් 01:46-47 

⚫️ ගැලවුම්කරුවෙකු අවශ්‍යය වන්නේ පව්කරුවෙකුට පමණද?

පව්කාරයෙකුට ගැළවුම්කරුවෙකු අවශ්‍යය වේ.එය සත්‍යයකි.නමුත් ගැලවුම්කරුවෙකු අවශ්‍යය වන සියලු දෙනාම පව්කාරයන් බව අපට නිගමනය කිරීමට නොහැකිය.මක්නිසාද ශුද්ධවූ ලියැවිල්ල තුළ සඳහන් ආකාරයට ගැළවුම්කාර දෙවියන් වහන්සේට අපව පාපයට වැටීමට පෙරාතුව වුවද අපව ඉන් ගළවාගෙන ආරක්ෂා කිරීමට හැකියාව තිබේ;

කතෝලික බයිබලය:- ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිතවද, ඉමහත් ප්‍රීතියෙන්ද පිළිගැන්වීමටත් හැකි, අපගේ ගැළවුම්කාර එකම දෙවියන් වහන්සේට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් මහිමය හා තේජසද, පරාක්‍රමය හා බලයද, සියලු යුග වලට ප්‍රථමයෙන් වූ ලෙස, දැනටත්, යුගයෙන් යුගයටත් වේවා! ආමෙන්. 

- ජූද් 01:24-25 

යොහොවාගේ සාක්ෂිකාරයන්ගේ පරිවර්තනය:- එහෙයින් පව් කිරීමෙන් ඔබව ආරක්ෂා කළ හැකි, තම තේජස ඉදිරියේ මහත් ප්‍රීතියක් ඇතුව නිකැළැල් කෙනෙකු ලෙස පෙනී සිටීමට ඔබට උපකාර කළ හැකි තැනැත්තාද වන, අපට ගැලවීම සලසා දෙන දෙවිට, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් සියලු තේජසද ගෞරවයද ශ්‍රේෂ්ඨත්වයද බලයද පෙර මෙන් දැනුත් සදහටත් ලැබේවා! ආමෙන්. 

- යූද් 01:24-25  

අනෙකුත් මූලධර්මවාදීන්ගේ පරිවර්තනය:- ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,

අපගේ ගැළවුම්කාරවූ එකම දෙවියන්වහන්සේට අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගෞරවයද මහන්තත්ත්වයද පරාක්‍රමයද බලයද සියලු කාලවලට ප්‍රථමයෙන් සහ දැනටත් සදාකාලේටත් වේවා. ආමෙන්. 

- යූදස් 01:24-25

මෙහිදි ඉහත "නොවැටෙන ලෙස, පව් කිරීමෙන් හා නොපැකිළෙන ලෙස" යන පරිවර්තන සඳහා මුල් ග්‍රීක පිටපතේ යොදාගෙන ඇති වචනය වන්නේ, රූපකාත්මක විශේෂණ පදයක් වන "aptaistous" ( ἀπταίστους ) වේ.නව ගිවිසුම තුළ අපට මෙම වචනය හමුවන්නේ ජූද් 01:24 හි පමණයි.එය පැමිණෙන්නේ "ptaio" නමැති ග්‍රීක ක්‍රියා පදයේ සෘණාත්මක ස්වරූපය ලෙසය.මෙම ක්‍රියා පදය යොදා ගනු ලබන්නේ "අකීකරුකම නිසා වරදෙහි වැටීම" යන අර්ථය ගෙනදෙන රූපකයක් ලෙසය.එනම් මෙම ග්‍රීක වචනය මෙහිදී යොදාගෙන ඇත්තේ "වරදෙහි වැටීමෙන්" එසේත් නොමැතිනම් "පාපයට පය පැකිළී වැටීමෙන්" යන රූපකාත්මක අර්ථයෙන්ය.එනම් අප ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට අපව පාපයට වැටීමට පෙරාතුව වුවද ගළවා ගැනීමට හැකියාව පවතී.මේ නිසා ගැළවුම්කරුවෙකු අවශ්‍යය වන සියලු දෙනාම පව්කාරයන් නොවෙති.මන්ද, පාපයට වැටීමට පසුව මෙන්ම පාපයට වැටීමට පෙරාතුව, පාපයට වැටීමෙන් ආරක්ෂා කිරීමෙන්ද දෙවියන් වහන්සේට අපව ගළවා ගත හැකි බව දේව වචනය අපට සනාථ කරයි.

⚫️ සමිඳාණන් වහන්සේගේ ඉතා නීච දාසිය හා ඇයගේ ස්වර්ගීක අන්ධභාවය.

ජේසුස් වහන්සේගේ මාංශගත වීම පිළිබඳව ගාබ්‍රියෙල් අග්‍ර දේවදූතයා විසින් මරිය වහන්සේට සැළ කළ පසුව මරිය වහන්සේ විසින්ම තමන්ව දාසියක් ලෙසට පහත් කර ගන්නා ආකාරය අපට නිරීක්ෂණය කිරීමට හැකිය;

"බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙසම මට ඉටු වේවා"යි කීවාය. 

- ශු.ලූක් 01:38 

දෙවියන් වහන්සේගේ දාසයෙකු වීම යනු මෙලොවදී අන්ධයෙකු බවට පත්වීමට සමාන දෙයක් බව ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වේ.තවද "දුක් විඳින සේවකයා" ලෙස ක්‍රිස්තුස් වහන්සේ යනු ( යෙසායා 42:01-09 ) මෙලොව සිටි හොඳම අන්ධයාය; බිහිරාය.මෙම අන්ධ බව හා බිහිරි බවෙන් අදහස් වන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ ඇති කීකරු කමයි.අපේ ආදි මව්පියන්ව යක්ෂයා විසින් පාපයට පොළඹවා ගන්නා විටදී දෙවියන් වහන්සේට අකීකරු වී තහනම් ගසේ ගෙඩි කෑම නිසා ඔහුන්ගේ ඇස් පෑදුන බව පවසයි ( උත්පත්ති 03:05 ).තවද ඒව විසින් දෙවියන් වහන්සේට අකීකරු වී තහනම් ගසේ ගෙඩි කෑමට සූදානම් වන විට එම ගෙඩි ඇයගේ ඇස් හමුවේ ඉතාමත් රමණීය ලෙස පෙනීමට පටන් ගත්තේය ( උත්පත්ති 03:06 ).අවසානයේදී දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම අකීකරු වීමෙන් ඔහුන් පාපයට වැටීමෙන් අනතුරුව ඔහුන් දෙදෙනාගේම ඇස් පෑදී ඔහුන් නග්නව සිටින බව ඔහුන්ට පෙනෙන්නට පටන් ගත්හ ( උත්පත්ති 03:07 ).එනම් මේ බයිබලීය සන්දර්භය තුළ "අන්ධ

වීම" යනු දෙවියන් වහන්සේට අකීකරු නොවීමෙන් පාපයට නොවැටීමයි.එම අන්ධයන්ව දෙවියන් වහන්සේ විසින් තම මාර්ගයේ ගෙන ගොස් විශේෂාකාරයකින් ගළවා ගනු ලබයි. එසේම මේ බයිබලීය සන්දර්භය තුළ "ඇස් පැදීම" යනු දෙවියන් වහන්සේට අකීකරු වීමෙන් පාපයට වැටීමයි.මරිය තුමිය දෙවියන් වහන්සේගේ දාසිය වශයෙන්, මෙම ස්වර්ගීක අන්ධභාවය ලබා තිබූ නිසා මරියතුමියව දෙවියන් වහන්සේ විසින් පාපයට වැටීමට පෙරාතුව ගළවා ගෙන තිබේ.බයිබල් විශාරදයන් පවසන ආකාරයට ජූද් 01:24-25 වගන්ති, යෙසායා පොතේ සඳහන් වන පාපයට වැටීමෙන් තොරව දෙවියන් වහන්සේ විසින් තම සේවකයන්ව ගළවා ගැනීමට සම්බන්ධ කළ හැකිය.මක්නිසාද ජූද් 01:24-25 සදහන් වන "වැටීම" සඳහා යොදා ගෙන ඇති, "aptaistous" නමැති රූපකාත්මක ග්‍රීක වචනය ඉහත සඳහන් කළ ආකාරයට, "අකීකරු කම නිසා වරදෙහි වැටීමක්" අර්ථ ගැන්වීමට යොදා ගනියි.මහා ගංඟා මැදින් යන විට නොඟිලෙන ලෙසත්, ගිනි මැදින් යන විට නොදැවෙන ලෙසත් අපව ගළවා ගත හැකි අපේ මිදුම්කාර දෙවියන් වහන්සේට පව්කාරයන් අතර පව්කාරයෙකු නොවන ලෙසටත් අපව ගළවා ගැනීමට හැකිය; අප පාපයට නොවැටී ස්වාමීන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරන ලෙසට අප ගමන් ගන්නා මාර්ගයේ අනතුරු හා පාපයේ විෂ දළය අපට පූර්වයෙන්ම ඉවත් කර දමා අපව ගළවා ගැනීමට උන්වහන්සේට හැකිය;

අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔහුන් නොදත් මාර්ග වලින් යන්න මම සලස්වන්නෙමි.ඔහුන් ඉදිරියේ අන්ධකාරය ආලෝකයට හරවා, ඇද තැන් ඇද හරින්නෙමි.මම මේ දේවල් නොවරදවාම කරන්නෙමි.මම ඔවුන් අත් නොහරින්නෙමි... සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: "බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, හොඳින් බලන්න.මාගේ සේවකයාට වඩා බිහිරි වූ වෙන කිසිවෙක් සිටිත්ද? මට කැපවූ, සමිඳුන්ගේ මෙහෙකරුවා තරම් අන්ධ කිසිවෙක් ඇද්ද? ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත.නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත... කොල්ලකාරයන් අතට ඉශ්රායෙල්වරුන් භාර දුන්නේ කවරෙක්ද? සමිඳාණෝ නොවන සේක්ද? අප පව් කෙළේ එතුමන්ට විරුද්ධවය.එතුමන්ගේ මාර්ගයෙහි අපි ගමන් නොකෙළෙමු.එතුමන්ගේ අණ පනත් වලට අපි කීකරු නොවීමු... එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක: "බිය නොවන්න; මම නුඹලා මුදා ගතිමි.නුඹලාගේ නම කියා මම හඬගැසීමි.නුඹලා මාගේය.නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි.නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේය.නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.

 - යෙසායා 42:16, 18-20, 24 හා 43:01-02 

⚫️ පරාණ දේවධර්මවේදීන්ගේ ප්‍රතිසමයන්.

මීට වසර හයසීයකට පමණ පෙර ශ්‍රේෂ්ඨ ප්‍රැන්සිස්කානු දේවධර්මවේදියෙකු වූ ඩන්ස් ස්කොටස් විසින් පාපයට වැටීම, යම් මනුෂ්‍යයෙකු විසින් ඔහු ගමන් කරන මාර්ගයේ ඇති ඉතා ගැඹුරු මඩ වළක් ගැන නොදැනුවත්ව ගොස් එම ගැඹුරු මඩ වළෙහි වැටීමට සමාන කළ හැකි බව පෙන්වා දුන්නේය.ඔහු එම මඩ වලට වැටුනු පසු ඔහුව ඉන් ගළවා ගැනීම සඳහා කවුරුන් හෝ පැමිණ මඩ වළ තුළට ලණුවක් දැමිය යුතුය.එසේම යම් පුද්ගලයෙකුට මේ ගැඹුරු මඩ වළෙන් ගැළවිය හැකි තවත් ආකාරයක් තිබේ. එනම් මේ මඩ වළ ගැන නොදැනුවත්ව පැමිණෙන පුද්ගලයින්ව ඒ පිළිබඳව දැනුවත් කර එම මඩ වළට වැටීමට ප්‍රථමයෙන් ඔහුන්ව ගළවා ගැනීමයි.මේ ආකාරයට අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේටද පාපයට වැටුනු පව්කාරයන්ව ඉන් ගොඩට ගැනීමෙන් මෙන්ම පාපයට වැටීමට පෙර නිර්මල අයව පාපයෙන් ආරක්ෂා කිරීමෙන්ද අපව ගළවා ගැනීමට හැකිය.

⚫️ කතෝලික සභාවේ නිල ඉගැන්වීම කුමක්ද?

පව් රහිත මරිය වහන්සේටද ගැළවුම්කරුවෙකු සිටින බව කතෝලික සභාව අධිකාරිත්වයෙන් යුතුව උගන්වන්නීය.දෙවියන් වහන්සේ මරියතුමියව ගළවා ගත්තේ ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වූ ආකාරයට වැටීමට පෙර ආරක්ෂා කිරීමෙන්ය;

ශතවර්ෂ ගණනාවක් පුරාවටම ශුද්ධවූ සභාව, මරියාවෝ දෙවියන් වහන්සේ කරණකොටගෙන වරප්‍රසාදයෙන් පූර්ණව ඇය පිළිසිඳගත්තාවූ මොහොතේ සිටම ගැලවීම ලැබූ බව දැනුවත් කමින් පසු වන්නීය.එකොළොස්වන පියුස් ශුද්ධෝත්තම පියාණන් 1854 දී ප්‍රකාශයට පත් කළ නිර්මල පිළිසිඳ ගැනීමේ ධර්ම සත්‍යයතාවෙන් ප්‍රකාශ වන්නේ එයයි.

                                 භාග්‍යාවත් කන්‍ය මරියෝත්තමාවෝ ඇය පිළිසිඳ ගත් පළමු මොහොතේ සිට, සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලබා දුන්නාවූ, සුවිශේෂී වූ වරප්‍රසාදයකින් හා අයිතිවාසිකමකින්ද, මුළු මනුෂ්‍යය සංහතියේම මිදුම්කරුවාණන් වූ ක්‍රිස්තුන් වහන්සේගේ කුසල් හේතුවෙන්ද, ජම්ම පාපයේ සියලු කිළිටෙන් සුරක්ෂිත කරනු ලැබුවාය.


ඇයට පමණක් ආවේණික සම්පූර්ණ ශුද්ධත්වයේ ඓශ්චර්යයෙන් මරියාවන් පිළිසිඳුනාවූ පළමු මොහොතේ සිටම පොහොසත් කරනු ලැබුවාය.එය මුලුමනින්ම ක්‍රිස්තුන් වහන්සේගෙන් පැමිණියාක් මෙන්ම, ඇය උත්කෘෂ්ඨ අන්දමින් පුත්‍රයාණන්ගේ කුසල් හේතුකොටගෙන ගළවනු ලැබුවේය... 

- කතෝලික සභා ධර්මෝපදේශය 491 හා 492 


කිතුනු අපේ දේවධර්ම දිනපොත