BLANTERORBITv101

මරිය තුමිය පව් රහිත වීමේ ඉහළ සම්භාවිතාවය

මරියතුමිය, "පූර්ණ ශුද්ධවන්තියක්" ලෙස එනම්, ජන්ම දෝෂයෙන් නිර්දෝෂව ශුද්ධවූ ආනා මුනිශ්වරියගේ කුස තුළ පිළිසිඳ ගෙන, මෙලොව ජීවිතය අවසන් කළ පසුව දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයට ඔසවා ගන්නා තෙක්ම සියලුම පෞද්ගලික පාප වලින්ද නිර්දෝෂීව සිටිය බව කතෝලික අප පවසන විට ඊට විරුද්ධ වෙමින් බයිබල් මූලධර්මවාදීන් පවසන්නේ එය විය නොහැකි දෙයක් බවයි.මක්නිසාද පව් නොකළ කිසිදු මනුෂ්‍යයෙකු නොමැති බවට ශුද්ධවූ ලියවිල්ලේ සඳහන් වන බැවින් මරිය තුමියද ඊට ඇතුළත් වන බවට ඔහුන් චෝදනා කරති.ඒ සඳහා ඔහුන් පහත සඳහන් බයිබල් පාඨද උපුටා දක්වති;

[ සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ ගැළවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටිති - රෝම 03:23 ].

[ අපට පාපයක් නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමු; සත්‍යයද අප තුළ නැත - 01 ජොහන් 01:08 ].

⚫️ මරියතුමිය ජන්ම පාපයෙන් නිර්දෝෂ වීමේ සම්භාවිතාවය.

ප්‍රථමයෙන්ම කිවයුතු වන්නේ මෙම බයිබල් පාඨ සියල්ල මරියතුමිය ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණ බව ප්‍රතික්ෂේප කිරීමට යොදා ගත නොහැකි බවයි.මක්නිසාද මෙම බයිබල් පාඨ උපුටා ගෙන ඇති විශ්ව ලේඛන වල සන්දර්භය දෙස බැලූ විට මෙම බයිබල් පාඨ සියල්ලම සම්බන්ධ වන්නේ අපගේ "පෞද්ගලික පාපයන්" ( Personal sins ) පිළිබඳව මිසක ජන්ම පාපය ( Original sin ) ගැන නොවේ.ජන්ම පාපය යනු අපට නිසඟයෙන්ම උරුම වන දෙයකි.එය අපි සැබවින්ම කළ පාපයක් නොවේ.එලෙසම ජන්ම පාපය පිළිබඳව අපට පාපොච්චාරණය කළ නොහැකිය.ඔබේ ආදි මව්පියන් විසින් කළ පාපයක් ඔබට, ඔබ කළා සේ පාපොච්චාරණය කළ හැකිද? නොහැකිය! ඔබට පාපොච්චාරණය කළ හැක්කේ පෞද්ගලික පාපයක් පමණයි.මක්නිසාද පෞද්ගලික පාපයන් යනු ඔබ විසින් සැබවින්ම ඔබේ අතින් සිදු කරන පාපයන්ය.මූලධර්මවාදීන් උපුටා දක්වන බයිබල් පාඨ වලින් මරියතුමියගේ නිර්මල පිළිසිඳ ගැනීමට අභියෝග කළ නොහැක්කේ ඒවා පෞද්ගලික පාපයන් හා සම්බන්ධ බයිබල් පාඨ නිසාය.රෝම 03 පරිච්ඡේදයේ සදහන් වන්නේ යමෙකු විසින් සැබවින්ම සිදු කරන පෞද්ගලික පාපයන් ගැන මිසක ජන්ම පාපය ගැන නොවේ.එලෙසම 01 ජොහන් 01:08 වගන්තියට වහාම පහළින් අප කරන පව් පාපොච්චාරණය කළ යුතු බව පවසයි.අපට පාපොච්චාරණය කළ හැක්කේ අප විසින් සැබවින්ම සිදු කරන පෞද්ගලික පාපයන් මිසක ජන්ම පාපය නොවේ;

[ ඒ ගැන ශුද්ධ ලියවිල්ල මෙසේ කියයි: "ධර්මිෂ්ඨ වූ කිසිවෙක් නැත, එක් කෙනෙක් වත් නැත; හරි දැනුම ඇති එක් කෙනෙක් වත් නැත; දෙවියන් වහන්සේ සොයන එක් කෙනෙක් වත් නැත.හැම දෙනම මුළාව ගොස් සිටිති.යහපත කරන කිසිවෙක් නැත, එක්කෙනෙක් වත් නැත.ඔවුන්ගේ උගුර විවර වූ මිනී වළක් වැනිය.ඔව්හු සිය දිව් වලින් මුසාවාද පවසති.ඔහුන්ගේ තොල් යට පොළොං විස ඇත. ඔහුන්ගේ මුඛය කටුක සාපයෙන් පිරී ඇත.ඔහුන්ගේ පාද ලේ වැගිරීමට යුහුව දුවයි.ඔහුන් යන තැන විනාශයත් කාළකණ්නිකමත් ඇත.සාම මාවත ගැන ඔවුන්ට දැනුමක් නැත, ඔවුන්ගේ ඇස් ඉදිරියේ දේව බිය නොමැත" - රෝම 03:10-18 ].

[ එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්තවූද, ධර්මිෂ්ඨවූද, දෙවියන් වහන්සේ සියලු පාප වලින්ද අදමිටුකම් වලින්ද අප පවිත්‍ර කරන සේක - 01 ජොහන් 01:09 ].

⚫️ මරියතුමිය සියලු පෞද්ගලික පාප වලින්ද නිර්දෝෂ වීමේ සම්භාවිතාවය.

මූලධර්මවාදීන් උපුටා දක්වන බයිබල් පාඨ, මනුෂ්‍යයන් සියලු දෙනාම පෞද්ගලික පාප කොට පව්කාරයන් බවට පත්ව සිටින බවක් ඔප්පු කිරීමට යොදා ගත නොහැකිය.මක්නිසාද එය එසේ වුවහොත් ජේසුස් වහන්සේද මනුෂ්‍යයෙකු වන බැවින් උන්වහන්සේද ඒ කුලකයට වැටේ.අපට ජේසුස් වහන්සේගේ දේවත්වය මෙන්ම මනුෂ්‍යයත්වයද ප්‍රතික්ෂේප කිරීමට නොහැකිය.ජේසුස් වහන්සේ 100% ක් දෙවියන් වහන්සේ වන අතරතුරදීම උන්වහන්සේ 100% ක් මනුෂ්‍යයෙකුව සිටින බවද ශුද්ධවූ ලියවිල්ල අපට පවසයි.එලෙසම මව් කුස තුළ සිටින නූපන් දරුවන්ද කිසිදු පෞද්ගලික පාපයක් සිදු කර නොමැති බව ශුද්ධවූ ලියවිල්ලේ සදහන් වේ.එලෙසම පව් කිරීම අපගේ නිදහස් කැමැත්ත හා අපගේ සිහිබුද්ධිය මතද රඳා පවතී.අපට නිදහස් කැමැත්තක් නොමැති නම් අපට පව් කළ නොහැකිය.එලෙසම අප කිසිදු සිහිබුද්ධියක් නොමැති මන්දබුද්ධිකයන් නම් එවිටද අපට පව් කළ නොහැකිය.එවිට සංජානනීය ආබාධ සහිත පුද්ගලයන්ටද පෞද්ගලික පාපයන් සිදු කිරීමට නොහැකිය.මේ සියල්ල සළකා බැලීමේදී මනුෂ්‍යයන් අතර පෞද්ගලික පාප වලින් තොර මනුෂ්‍යයන් සිටීමේ සම්භාවිතාව බිලියන ගණනකි;

[ මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි... මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන්වහන්සේගේ මිනිස් බවෙහිම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි - හෙබ්‍රෙව් 04:15 හා කොලොස්සි 02:09 ].

[ එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එකම පියෙක් විය.එහෙත් ඔහුන් උපදින්න කළින් යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර, - රෝම 09:10-11 ].

⚫️ නිර්මල එකම තැනැත්තා දෙවියන් වහන්සේ පමණද?

නිර්මල වීම දෙවියන් වහන්සේට සමාන වීමකි.අප ස්වභාවයෙන්ම කැදවා ඇත්තේ දෙවියන් වහන්සේ හා සමාන වීමටය ( 01 ජොහන් 03:02 ).මක්නිසාද අපව මවා ඇත්තේ දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේගේම ස්වරූපයටය.නිර්මල එකම තැනැත්තා දෙවියන් වහන්සේ නොවේ.පාපයට වැටීමට පෙර දේවදූතයන් පවා නිර්මල විය.පාපයට වැටීමට පෙර අපේ ආදි මව්පියන් පවා නිර්මල විය. ස්වර්ගයේ සිටින ශුද්ධවන්තයන් පවා නිර්මලය. නිර්මලකම යනු දෙවියන් වහන්සේ හා සමානකමක් මිසක අප දෙවියන් වහන්සේ බවට පත්වීමක් නොවේ;

[ ඔව්හු ස්ත්‍රී සේවනයෙන් නොකෙලෙසුනු බ්‍රහ්මචාරීහුය.ඔව්හු, බැටළු පෝතකයාණන් යන යන තැන, උන්වහන්සේ අනුව යන්නෝ වෙති.ඔව්හු දෙවියන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මුදා ගන්නා ලද්දෝය.ඔහුන්ගේ මුඛයෙන් කවදාවත් බොරුවක් පිට නොවීය.ඔව්හු නිර්මලය... අපවිත්‍ර දෙයක් වත්, පිළිකුල් දේ කරන, බොරු කියන කිසිවෙක් වත් එහි ඇතුළු නොවන්නෝය.ඒ නගරයට ඇතුළු වන්නේ බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතෙහි නම් ලියා ඇති අය පමණකි - එළිදරව්ව 14:04-05, 21:27 ].

⚫️ මරිය තුමිය පූර්ණ ශුද්ධවන්තියක් වීමේ සම්භාවිතාවය.

"පවට නැම්ම ඇතිවයි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුවයි, මා මව් කුසේ පිළිසිඳුනේ" ( ගීතාවලිය 51:05 ), මේ ලිපිය ලියන මා ගැන මෙලෙස සඳහන් කළ හැකි වුවද සියලු දෙනාම මව් කුස තුළ කෙලෙස් මලින් උපත ලැබූ බව මට පැවසිය නොහැකිය.මක්නිසාද ඒ සඳහා කිසිදු බයිබලානුකූල සාක්ෂියක් මට නොමැත.එලෙසම මේ ලිපිය ලියන මා අතින් නම් බොහෝ පාපයන් සිදුවී තිබේ.මා පව්කාරයෙකි.නමුත් සියලු දෙනාම පෞද්ගලික පාප කොට ගැළවීමේ මාර්ගයෙන් ඉවත්ව සිටින බව මට පැවසීමට නොහැකිය.මක්නිසාද ඒ සඳහා කිසිදු බයිබලානුකූල සාක්ෂියක් මට නොමැත. එබැවින් මරිය වහන්සේ, පූර්ණ ශුද්ධවන්තියක් ලෙස, ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳ, තම මුළු ජීවිත කාලය පුරාම කිසිදු පෞද්ගලික පාපයකින් හෝ කිළිටි නොවී සිටීම සඳහා ඉතා ඉහළ මට්ටමක සම්භාවිතාවක් ඇති බව මට සහතික ලෙසම පැවසිය හැකිය.


කිතුනු අපේ දේවධර්ම දිනපොත