BLANTERORBITv101

පාතිමාවේ අප දේව මෑණියන්ගේ පසුකාලීන ප්‍රතිමාවන් වල බොහෝ විට පරවියන් තිදෙනෙකුව නිරූපණය කර ඇත්තේ ඇයි දැයි කියා ඔබ දන්නවාද?

 පාතිමාවේ අප දේව මෑණියන්ගේ පසුකාලීන ප්‍රතිමාවන් වල බොහෝ විට පරවියන් තිදෙනෙකුව නිරූපණය කර ඇත්තේ ඇයි දැයි කියා ඔබ දන්නවාද?

ක්‍රි.ව.1946 දී ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුණ අපගේ කන්‍යාවියට පෘතුගාලය කැප කීරීමේ 300 වැනි සංවත්සරය සැමරීමට නියමිතව තිබුණි.එහිදී අපේ ස්වාමිදූ හට පෘතුගාල වැසියන්ගේ ඇති මහත් වූ භක්තිය හා ආදරය පෙන්වීම සඳහා එම සංවත්සරය ඉතා ඉහළින්ම සැමරීමට ඔව්හූ තීරණය කළෝය. එහිදී පාතිමාවේ අප ස්වාමිදූගේ ප්‍රතිමාව සමඟින්, එතුමිය දරුවන් තිදෙනෙකු හට දර්ශනය වූ "කෝවා ඩි ඉරියා" ( Cova de Iria ) සිට ලිස්බන්හි පාතිමාවේ දේව මෑණියන්ගේ දේවස්ථානය දක්වා සැතපුම් 70 ක පමණ ඉතා දිගු පෙරහැරක් සංවිධානය කර තිබුණි. වේදිකාවක් මත තබාගත් පාතිමාවේ දේව මෑණියන්ගේ ප්‍රතිමාව පෘතුගාල වැසියන්ගේ කර මතින් පෙරහැරේ ගමන් කර අතර, සෑම නගරයකදීම එය ඔසවාගෙන යන පුද්ගලයන් වෙනස් විය. පාතිමාවේ අම්මාගේ ප්‍රතිමාව ගමන් කරන සෑම නගරයකටම විශාල කතෝලික ජනතාවක් එක්රැස් විය.රාත්‍රී කාලයේදී පෙරහැර නවතා තැබූ මොහොත වල සිට උදෑසන දිව්‍ය පූජාවෙන් පසුව පෙරහැර නැවත ආරම්භ වන මොහොත දක්වා මුලු රාත්‍රිය පුරාම එම නගර වල ජනතාව විවිධ උත්සව සංවිධානය කරමින් දේව මෑණියන් හට තම ගෞරවාදරය පුද කළෝය.

එලෙසම පාතිමාවේ දේව මෑණියන්ට ගෞරවයක් වශයෙන් ක්‍රි.ව.1946 දෙසැම්බර් මස 01 වැනිදා සුදු පරවියන් 06 දෙනෙකුව ගුවනට නිදහස් කර ඇත.ඉන් තිදෙනෙකු අපේ කන්‍යාවියගේ ප්‍රතිමාව පාමුලට පැමිණ ඇති අතර, එම තිදෙනාම ගමනාන්තය ( ලිස්බන්හි දෙව්මැදුර ) දක්වාම අප කන්‍යාවියගේ ප්‍රතිමා පාමුල රැඳී සිට ඇත.එලෙසම ඔහුන් මුලු ගමන පුරාම ආහාරපාන ආදිය ලබා ගැනීමද ප්‍රතික්ෂේප කර ඇත.එලෙසම දේව මෑණියන්ව බැහැදැකීම සඳහා පැමිණි ජනතාවගේ අධික ශබ්දය,එම ජනතාව විසින් ප්‍රතිමාව වෙතට දමනු ලබන රෝස මල් පෙති ආදිය හා එතුමියට ගෞරවයක් වශයෙන් අහස දෙවනත් කරමින් සිදුකළ ගිනිකෙළි සංදර්ශන වල අධික ශබ්දයද නොසළකා හරිමින් එම පරවියන් තිදෙනාම නොකඩවාම අප ආදර දේව මෑණියන්ගේ පාමුලට තුරුළු වී ගමන් කර ඇත.ඒ යන අතරතුරදී හැමූ විශාල සුළඟක් නිසා එම කුරුල්ලන්ව දේවමාතා ප්‍රතිමාවේ ඉහළ දෙසට තල්ලු වී ගොස් ඇත.එමඟින් මේ සත්ත්වයින්ව ප්‍රතිමාව පාමුල බැඳ තිබෙනු ඇති ලෙසට සැක කළ කටකතා සියල්ලම සුනු විසුනු වී ගියේය.එම අපූරු සිදුවීම කෙතරම් සංවේදී වූවාද කියතොත්, මේ සිදුවීමත් සමගම ප්‍රාදේශීය පුවත්පත් වාර්තාකරුවන් එහි සියළුම තොරතුරු වඩාත් උනන්දුවකින් වාර්තා කිරීමට පටන් ගත් අතර, එමගින් පෘතුගාලයේ සියලු දෙනාගේ උනන්දුව මේ සඳහා අවදි කළේය.

ප්‍රතිමාව අවසානයේදී එම වර්ෂයේ දෙසැම්බර් මස 05 වන දිනය වන විට ලිස්බනය වෙත රැගෙන ආවේය. සුදු පරෙවියන් තවමත් අපේ ආර්යාවගේ පාමුල රැඳී සිටින අතර, තවමත් ආහාරපාන ආදිය ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳූ දේව මාතාවන් වහන්සේගේ මහා මංගලෝත්සවය සැමරීමට සූදානම් කර තිබුණේ දෙසැම්බර් මස 08 වනදායි.ගමනාන්තයට බොහෝ සෙයින් ළඟා වී ඇති බැවින් පරෙවියන් දැන් කුමක් කරනු ඇත්දැයි පෘතුගාලයේ සියලු දෙනාම දෑස් දල්වාගෙන බලා සිට ඇත.

දෙසැම්බර් මස 07 වන දින ප.ව. 03.00 ට පමණ කුඩා ළමුන් දහස් ගණනක් මරිය වහන්සේට කැප කරන ලදී.එදිනම රාත්‍රී 09.30 ට පමණ දැවැන්ත ඉටිපහන් ආලෝක පෙරහැරක්ද විය.ඉන්පසු මුලු රාත්‍රිය පුරාවටම දිව්‍ය පූජා යාගයන් පැවැත්වූ අතර, දෙසැම්බර් මස 08 වැනිදා උදෑසන මංගල්‍යය මහා දිව්‍ය පූජාව පැවැත්විණි.මේ දිව්‍ය පූජාව ඔප්පු වෙමින් පවතින අතරතුරදී හදිසියේම වැරෙන් පියාපත් සලන හඬක් ඇසීමට පටන් ගෙන ඇත.පාතිමාවේ දේව මෑණියන්ගේ පාමුල සිටි සුදු පරවියන්ගෙන් එක් පරවියෙකු අල්තාරයේ කියවීම් කියවන කොටස ( Epistle side ) දෙසටද, තවත් පරවියෙකු සුවිශේෂය කියවන කොටස ( Gospel side ) දෙසටද ඉහළට පියඹා ගොස් ඇත.රදගුරුතුමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව වඩවා ගත් විට දෙපසින් ඉහළට වී සිටි සුදු පරවියන් දෙදෙනා තම පියාපත් ඉහළට විහිදුවා ගනිමින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේව වන්දනා කරන ආකාරයට පියාසර කළහ.තුන්වෙනි සුදු පරෙවියා තවමත් අපේ ආර්යාවගේ පාමුලම රැඳී සිටියේය.

පුදුමයට කරුණ නම් හදිසියේම, තුන්වන සුදු පරෙවියා දේව මාතාවන් වහන්සේගේ පිළිමයේ ඔටුන්න මුදුනට පියාසර කර, රදගුරුතුමා විසින් "මෙන්න දේවාජබාලකයාණෝ...මෙන්න ලොවේ පව් හරින තැනැන්වහන්සේ..." ( "Ecce Angus Dei” - "Behold the Lamb of God” ) යැයි පවසා දිව්‍ය සත්ප්‍රසාද ජේසුව ඔසවන විට එම සුදු පරවියා දේව මෑණියන් වහන්සේගේ ඔටුන්න මුදුනේ සිට පියාපත් විහිදුවමින් ජේසුස් වහන්සේට නමස්කාර කරන ආකාරයට ඒවා විවෘතව තබා ගැනීමයි.

අපගේ ආර්යාව සුදු පරෙවියන්ව තම පාදයේ තබාගෙන මෙපමණ දුරක් පැමිණ ඇත්තේ තමන් වහන්සේගේ නිර්මල පිළිසිඳ ගැනීමේ මංගලෝත්සවයේදී දෙවියන් වහන්සේට මහිමය ලබා දීමටය; ස්තූති කිරීමටය.අනෙක් අතට එමඟින් දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේ අපගේ ආර්යාව වෙත ලබා දුන් මහිමයද තහවුරු කළේය.මේ අපූරු සිදුවීම සිහිපත් වීම සඳහා පාතිමාවේ අප දේව මාතාවන් වහන්සේගේ බොහෝ ප්‍රතිමා වල පාමුල සුදු පරවියන් තිදෙනෙකුවද

සවි කර තිබෙනු දක්නට ලැබෙනු ඇත.පාතිමාවේ අප ස්වාමිදුවෙනි, අප නිසා යාච්ඤා කළ මැනව ♥️✝️🙏


කිතුනු අපේ දේවධර්ම දිනපොත