BLANTERORBITv101

නමක් හෙළි කරන මරියාවන් පිළිබඳ ගැඹුරු රහස්

දෙවියන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවීමට යන විටදී ඔහුට "උතුම් පියා" යන අර්ථය ඇති "ආබ්‍රම්" යන නාමය වෙනුවට "ජාතීන්ගේ පියා" යන අර්ථය ඇති "ආබ්‍රහම්" යන නාමය ලබා දුන්නේය - ( උත්පත්ති 17:05 ).ආබ්‍රහම්ගේ භාර්යාවට දෙවියන් වහන්සේ ආශිර්වාද කර ඇයව ජාතීන්ගේ මාතාව ලෙස තෝරාගන්නා විටදී ඇයට දෙවියන් වහන්සේ විසින් "නින්දා ලද්දී" යන අර්ථය ඇති "සාරයි" යන නාමය වෙනුවට "කාරුණික" යන අර්ථය ඇති "සාරා" යන නාමය ලබා දුන්නේය - ( උත්පත්ති 17:15 ).එසේම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබඳා ජයගත් බැවින් ජාකොබ් හට "ඊශ්‍රායෙල්" යන නාමය ලැබුණි - ( උත්පත්ති 32:28 ).

හෙබ්‍රෙව් වරුන්ගේ සංස්කෘතියට අනුව යම් පුද්ගලයෙකුගේ නම වෙනස් වීම එම පුද්ගලයා පිළිබඳ ස්ථීර යමක් හෙළිදරව් කරන්නේය.ඉහත සෑම අවස්ථාවකදීම ඒ ඒ පුද්ගලයාට ලැබුණු නාමය ඔහුන්ගේ ධූත කාර්යය පිළිබඳව ස්ථීර යමක් අපට හෙළිදරව් කරයි.ආබ්‍රහම් සහ සාරා ඔහුන්ට ලැබුණු නාමයන් තුළ සදහටම දෙවියන් වහන්සේගේ ජනතාවගේ පියා සහ මාතාව බවට පත්විය - ( යෙසායා 51:01-02 ).එසේම ආදිපිතෘ ඊශ්‍රායෙල්ගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ ජනතාව සදහටම දෙවියන් වහන්සේ සමඟ එක්ව පොරබැඳ ජයගනු ලබන්නීය.එබැවින් ශුද්ධවූ ලියවිල්ල තුළ යමෙකු අලුත් නමක් ලැබීම, එම පුද්ගලයාගේ සදාකාලික භූමිකාව පිළිබඳ බොහෝ තොරතුරු අපට හෙළිදරව් කරයි.

⚫️ මරියතුමියට ලැබුණු අමුතුම ආචාරය.

ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමියට මංගලම් කියන විටදී දේව දූතයෙකු මැදිහත් කර ගනිමින් සැබවින්ම මරියතුමියට ආචාර කරන්නේ දෙවියන් වහන්සේය. නමුත් දෙවියන් වහන්සේගේ මෙම ආචාරය ඉතා වෙනස් වර්ගයේ එකක් විය.එම ආචාර හඬ ඇසූ පසු මරිය වහන්සේද පුදුමයට පත් වන්නේ ඒ නිසයි;

දේවදූතයා ඈ සිටි තැනට පැමිණ, "විපුල ප්‍රසාද ලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟය"යි කීය.එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැයි සිත සිතා සිටියාය. 

- ශු.ලූක් 01:28-29 

ශුද්ධවූ මහා ජුවාම් පාවුළු මුනිතුමා හෙවත් II වැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් සංචාරක සභාවේ දිවිය තුළ මරියතුමිය පිළිබඳව ලියන ලද කෘතියක් වන "Redemptoris Mater" ( 08,09 ) හි සදහන් වන ආකාරයට ගාබ්‍රියෙල් දේවදූතයා ඇයට සාමාන්‍ය ආචාරයකට වඩා වැඩි යමක් කර ඇත. ඇත්ත වශයෙන්ම දේවදූතයා ඇයට නව නාමයකින් හෝ පදවි නාමයකින් ආමන්ත්‍රණය කර ඇත.

⚫️ මරියතුමියට දෙවියන් වහන්සේ දුන්න අලුත් නම.

ග්‍රීක භාෂාවෙන් ආචාර කිරීම සඳහා යොදා ගනු ලබන්නේ "kaire/kekaritomene" යන ග්‍රීක වචන වේ. මෙම "kaire" ( Χαῖρε ) යන පදය යොදාගෙන යමෙකුට ආචාර කරන විට ඊට වහාම පසුව ඇති පද සම්බන්ධයෙහි නමක් හෝ යම් පදවි නාමයක් අනිවාර්යයෙන්ම සඳහන් විය යුතුය.උදාහරණ ලෙස බයිබලය තුළ මෙම "kaire" යන පදය යොදාගෙන ආචාරයන් සිදු කරපු වෙනත් අවස්ථාවන් සළකා බලන්න;

උන්වහන්සේ ළඟට පැමිණ, "ජුදෙව් රජතුමෙනි, සැරදේ! ( kaire / Χαῖρε )" කියමින් උන්වහන්සේට අතුල් පහර දුන්හ

 - ජොහාන් 19:03 


"ක්ලෞදියස් ලිසියස්, ශ්‍රීමත් ෆීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට සුබ පතමින් ( Kairein / Χαίρειν )  ලියා එවන වග නම්: 

- ක්‍රියා 23:26 


නමුත් ගාබ්‍රියෙල් දේවදූතයා මැදිහත් කර ගනිමින් දෙවියන් වහන්සේ විසින් "kaire" යන පදය යොදාගෙන මරියතුමියට ආචාර කරන විට මරියතුමිය පුදුමයට පත්වූයේ එම ආචාරය තුළ "මරියා" යන නාමය ඇතුළත් නොවීමයි.ඒ වෙනුවට දෙවියන් වහන්සේ වෙනත් නමකින් මරියතුමියගේ නම ප්‍රතිස්ථාපනය කර ඇත.එනම් මරියතුමියට අලුත් නාමයක් ලබා දී ඇත.ඒ නාමය වන්නේ "වරප්‍රසාදයෙන් පූර්ණවන්තී" ( full of grace ) වේ.අපි සාමාන්‍යයෙන් දේව මෑණියන්ට යාච්ඤා කරන විට "නමෝ මරියනි" ( Hail, Mary ) හෝ "ප්‍රීති ප්‍රමෝද වන්න, මරියනි" ( Rejoice, Mary ) ලෙසින් යොදා ගත්තද ශුද්ධවූ ලියැවිල්ල තුළ සඳහන් වන ආකාරයට දෙවියන් වහන්සේ එදා මරියතුමියට සැබවින්ම ආමන්ත්‍රණය කර ඇත්තේ "නමෝ, වරප්‍රසාදයෙන් පූර්ණවන්තී" ( Hail, full of grace ) හෝ "ප්‍රීති ප්‍රමෝද වන්න, වරප්‍රසාදයෙන් පූර්ණවන්තී" ( Rejoice, full of grace )ලෙසින්ය;

ගැළවුම්කරුවාණන්ගේ මාතාවන් වීම සඳහා, මරියෝත්තමාවන්ව "ඇයගේ භූමිකාවට ගැළපෙන්නාවූ දීමනාවන්ගෙන්, දෙවියන් වහන්සේ විසින් ඇයව පොහොසත් කරනු ලැබූ සේක.මංගලම් කියනු ලැබූ අවස්ථාවේදී ගාබ්‍රියෙල් දේවදූතයා විසින් ඇයට "වරප්‍රසාදයෙන් පූර්ණවන්තී" යැයි ආමන්ත්‍රණය කරනු ලැබීය.සැබවින්ම මරියාවන් ලැබුවාවූ මහඟු කැඳවීමට විශ්වාසයේ නිදහස් ප්‍රතිචාරයක් දීම සඳහා ඇයට දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් පූර්ණ වූ උපතක් ලැබීමේ අවශ්‍යතාවයක් විය... වරප්‍රසාදයෙන් පූර්ණවන්තියෙනි, ස්වාමීන් වහන්සේ ඔබ සමඟය: දේවදූතයාගේ ආචාරයට සම්බන්ධ මෙම වාක්‍යය කාණ්ඩ දෙක, එකිනෙක ආලෝකවත් කරයි.ස්වාමීන් වහන්සේ එතුමිය සමඟ බැවින්, මරියතුමිය වරප්‍රසාදයෙන් පූර්ණවන්තිය වන්නීය.වරප්‍රසාදයේ නිධානය වූ, දෙවියන් වහන්සේ මරියතුමිය සමඟ සිටීමට හේතුව, එතුමිය වරප්‍රසාදයෙන් පූර්ණවන්තිය වන නිසාය...

- කතෝලික සභා ධර්මෝපදේශය 490, 2676 

⚫️ මරියතුමියට ලැබුණු අලුත් නම අපට හෙළිදරව් කරන්නේ කුමක්ද?

නික්මයාම 03:14-15 හි දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රී නාමය හෙළිදරව් කිරීමේ වැදගත්කම පිළිබඳව අපිට ඉතා විශාල ප්‍රමාණයේ පොතක් වුවද රචනා කිරීමට හැකිය.තම නාමය හෙළිදරව් කිරීම තුළින් දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ස්වකීය දිව්‍යමය ස්වභාවය ගැන අපට බොහෝ දේ හෙළි කළේය.දෙවියන් වහන්සේ ආරම්භයක් හා අවසානයක් නැති පිරිසිදු කෙනකු බවත්, උන්වහන්සේ සියල්ලෙන්ම පරිපූර්ණ බවත්, අපට එමඟින් දැනගත හැකි විය.තවද දෙවියන් වහන්සේ විසින් තම නාමය හෙළිදරව් කිරීමේ තවත් එක් සුවිශේෂී වැදගත්කමක් වූයේ එමඟින් උන්වහන්සේ පෞද්ගලික දෙවි කෙනෙකු ( Personal God ) බව අපට දැන ගැනීමට හැකි වීමයි.මෙය ක්‍රිස්තියානි දේව ධර්මයේ පදනමයි.මෙලෙස හෙබ්‍රෙව් වරුන්ගේ සංස්කෘතියට අනුව අලුත් නමක් ලබාදීම මඟින් එම පුද්ගලයාගේ චරිතය පිළිබඳව සදාකාලිකවම බලපවත්නා තොරතුරු රාශියක් අපට පරාවර්තනය කරයි.එබැවින් මරියතුමියට අලුත් නමක් ලැබීම තුළද එතුමියගේ ඇතුළාන්තය පිළිබඳව සදාකාලිකවම බලපවත්නා දේ අපට දෙවියන් වහන්සේ විසින් අනාවරණය කර තිබේ.

මරියතුමියගේ නව නාමය සඳහන් කිරීමේදී ශුද්ධවූ ලූක් තුමා යොදාගෙන ඇත්තේ "kaire" නමැති ග්‍රීක වචනයේ "perfect passive participle" ස්වරූපය වන "kekaritomene" වේ.Participle එකක් යනු පාර්ශ්වික වශයෙන් ක්‍රියාවක් මෙන්ම පාර්ශ්වික වශයෙන් නාම විශේෂණයකි.මෙමඟින් හුදෙක් සාමාන්‍ය අතීත ක්‍රියාවක් නිරූපණය නොවේ.මන්ද ග්‍රීක භාෂාවේ ඒ සඳහා වෙනත් කාල තාලයක් ඇත."perfect passive participle" එකක් යොදාගනු ලබන්නේ අතීතයේ යම් කාලයකදී යමෙකු විසින් සම්පූර්ණ කර අවසන් වූ ක්‍රියාවක් නිරූපණය කිරීමටය.එලෙසම එම ක්‍රියාව, ක්‍රියාවට ලක්වන පුද්ගලයා හෝ දෙය ( කර්මය/object ) සඳහා නාම විශේෂණයක්ද වේ.එබැවින් මරියතුමියට දෙවියන් වහන්සේ ලබාදුන් නව නාමයේ සැබෑම අර්ථය වන්නේ, "වරප්‍රසාදයෙන් සම්පූර්ණ වී අවසන්ව ඇති තැනැත්තිය" වේ.

දෙවියන් වහන්සේ විසින් ගාබ්‍රියෙල් දේවදූතයා හරහා මරියතුමියට ලබාදුන් නව නාමය මඟින් මරියතුමිය දෙවියන් වහන්සේ වෙතින් ලැබෙන වරප්‍රසාදයෙන් ශුද්ධවූ ආනා මුනිෂ්වරියගේ කුස තුළ පිළිසිඳ ගත් මොහොතේ සිටම සම්පූර්ණ වී අවසන්ව සිටි බව අපට හෙළිදරව් කරයි.නමුත් පාවුළු තුමා වැනි හොඳ කිතුනුවෙක් පවා මෙලොව තම ජීවිත කාලය පුරාම දෙවියන් වහන්සේ වෙතින් ලැබෙන වරප්‍රසාදයෙන් නොකඩවා සම්පූර්ණ වී සිටියේ නැත.ඉන් සම්පූර්ණ වීම සඳහා ඔහු නොකඩවා දිනුම් කණුව බලා දුවමින් සිටියේය;

මේ සියල්ල දැනටම මට ලැබී තිබෙන බවක් වත්, දැනටම මා සම්පූර්ණ වී සිටින බවක් වත් මම නොකියමි.යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කර ගත් සේක්ද, ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීර්යයෙන් දුවමි.සහෝදරයෙනි, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැයි නොසිතමි.එක දෙයක් මට වැදගත්ය: පසුගිය දේ අමතක කර දමා, ඉදිරියෙහි තිබෙන දේ දෙසම නෙත් යොමා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි 

- පිලිප්පි 03:12-14

අප සැම පාපයට වැටෙන්නේ අප වරප්‍රසාදයෙන් සම්පූර්ණ වී අවසන්ව නොසිටින නිසාය. වරප්‍රසාදයෙන් සම්පූර්ණව සිටින පුද්ගලයා තුළ පාපයට ඉඩක් නැත.බෞතීස්ම ස්නාපනය, සමඟි සන්ධානය හා දිව්‍ය සත්ප්‍රසාදය වැනි දේව ප්‍රසාධ නිධාන ලබා ගැනීමේදී සියලුම කිතුනුවන් තාවකාලික වශයෙන් වරප්‍රසාදයෙන් පූර්ණ වෙති.නමුත් ඔහුන් ඉන් පසු තම මෙලොව ජීවිත කාලය පුරාම නොකඩවා දිගින් දිගටම එම වරප්‍රසාදජනක තත්ත්වයේම පවතින බවට සහතිකයක් මරියතුමියට හැරුණු කොට වෙනත් කිසිවෙකුට ශුද්ධවූ ලියැවිල්ල තුළ ලබාදී නොමැත.මක්නිසාදයත් ශුද්ධවූ ලියවිල්ල තුළ මරියතුමියට හැරුණු කොට වෙනත් කිසිදු මනුෂ්‍යයෙකුට "වරප්‍රසාදයෙන් පූර්ණවන්තී" ලෙසින් නාමයක් ලැබී නැත.සදහටම දෙවියන් වහන්සේගේ, "වරප්‍රසාදයෙන් පූර්ණ තැනැත්තිය" නියත වශයෙන්ම පව්කාරියක් විය නොහැකිය.මක්නිසාද පාපය හා වරප්‍රසාදය එකිනෙකට ප්‍රතිවිරෝධීය.මරියතුමිය කිසිදු පාප කැළලක් නොමැති පූර්ණ ශුද්ධවන්තියක් වන්නේ මේ නිසයි.


කිතුනු අපේ දේවධර්ම දිනපොත