BLANTERORBITv101

පරිශුද්ධ දේවමාතාවන් වන මරිය වහන්සේ.(Theotokos)

පරිශුද්ධ දේවමාතාවන් වන මරිය වහන්සේ.(Theotokos). මෙම වේද සත්‍යතාව වචනාර්ථයෙන් විස්තර කරන්නට උත්සාහ කරන මූලධර්මවාදීන් දේව මාතාවන් වහන්සේට අපහාස කිරීමට වැරදි ඉගැන්වීමක් සිදු කිරීමට උත්සාහ කරයි.එම උත්සාහ කිරීම තුළ ඔවුන් දේව මාතාවන් වහන්සේට අපහාස කරනවා  පමණක් නොව  විශ්වාසය සම්බන්ධ සමස්ත දේව වචනමය  පදනම විනාශ කර දැමීමට උත්සාහ කරයි. එනිසා අප විසින් විශ්වාස කරනු ලබන මේ විශ්වාසය ගැඹුරෙන් තේරුම් ගැනීමට උත්සාහ කරමු.එසේම අපගේ සෙසු කතෝලික සහෝදර සහෝදරියන් අතර මෙය බෙදා හැරීමට උත්සාහ කරමු.

මරි මවුන් දේවමාතාවන් වහන්සේ බව සභාවේ ආරම්භයේ සිටම විශ්වාස කරනු ලබන  වේද සත්‍යතාවයකි. එහෙත් මේ පිළිබඳව නිල ප්‍රකාශනයක් සිදුවන්නේ සිදු වන්නේ ක්‍රිස්තු වර්ෂ  431 දී පැවැත්වෙන එෆෙසස් මන්ත්‍රණ සභාවේ දී ය. එහෙත් එම මන්ත්‍රණ සභාවට පෙර එතුමියව දේව දේවමාතාවන් ලෙස හැඳින්වූ බව සභා ඉතිහාසය අපට සාක්ෂි දරයි. දෙවන ශතවර්ෂයේ අවසාන භාගයේ අපට හමුවන සුබ්තුම්  යාඥාව එතුමියව හඳුන්වන්නේ දේවමාතාව ලෙසය. වර්ෂ 250 ඇලෙක්සැන්ඩ්‍රියාවේ දියෝනිස් තුමා, දී 254 දී ඔරිගන් තුමා ,330 දි අතනාසියුස් තුමා ,370දී ජෝන් ක්‍රිසෝස්තම් තුමා සිය ඉගැන්වීම් වල එතුමියව හඳුන්වන්නේ දේවමාතාවන් වහන්සේ ලෙසය.

එෆෙසස් මන්ත්‍රණ සභාව තුළ මෙම ඉගැන්වීම ස්ථීර කිරීමට හේතුව වන්නේ නෙස්ටෝරියුස් විසින් ඉදිරිපත් කරන ලද වේද භේදයකට පිළිතුරු වශයෙනි. එම වේද භේදයට අනුව මිනිසා වන ජේසුස් වහන්සේ හා දෙවියන් වන ජේසුස් වහන්සේ දෙදෙනෙකි .එනිසා දේව මාතාවන් වහන්සේ මිනිසා වන ජේසුස් වහන්සේගේ මව  විනා දෙවියන් වන ජේසුස්  වහන්සේගේ මව නොවේ. එහිදී මන්ත්‍රණ සභාවේ ප්‍රධාන ඉගැන්වීම වූයේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේ හා මිනිසා වන බැවින් එම ස්වභාවයන්  දෙක වෙන් නොකළ හැකි ආකාරයෙන් උන්වහන්සේ තුළ පැවැති බවයි.  නෙස්ටෝරියානු වේද භේදයට විරුද්ධව හඬ නැගූ ප්‍රධාන දේව ධර්ම ආචාර්යවරයා වූයේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් තුමාය.

 (රෝම 1:3) අනුව උන්වහන්සේ වංශයට අනුව දාවිත්ගේ පුත්‍රයා ය. එනිසා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙළොවට බිහි කළ මව මරියතුමී බව පිළිගන්නේ නම් ඒබව  දේව වචනය සාක්ෂාත් කරන්නේ නම් අනිවාර්යෙන්ම  ඇය දේව මාතාව දේවමාතාව ය. මන්ද යත් දේව පුත්‍රයා තුළ දෙව් මිනිස්  ස්වභාවය එක සේ පැවැතිමයි. මේ තත්ත්වය ගැන මූලධර්මවාදය වැරදි අර්ථකථන දුන්නද කතෝලික සභාව මෙය තේරුම් කරන ආකාරය දැන ගත යුතුය. එහි තේරුම දේව පුත්‍රයාණන් කුස දරා ගත්,තම කුස තුළ පිළිසිදීමේ  සැලැස්මට ඉඩ දුන්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයා වන විට,මැවිලි  කරුවාණන් මැවිල්ලේ ස්වභාවයට ඇතුළුවන විට එයට සහය දුන් හා එම දරුවා ලොවට බිහිකළ මෑණියන් යන අදහස ය. එතුළ දේවමාතාවන් වහන්සේ දෙවියන් වහන්සේ වඩා පැරණි බවක් හෝ දෙවියන් වහන්සේ බිහිවීමේ මූලාශ්‍රය දේව දේවමාතාව යන අර්ථය කිසිසේත් නොපවසයි.

"ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍යයකු වූ බව නො පිළිගන්නා  බොහෝ අය ලෝ පුරා විසිර ගොස් සිටිති" (2ජොහාන්1:9) "ධර්මයාණෝ මිනිසත්බව ගෙන අප අතර  විසූ සේක"(ජොහාන්1:14). එය ප්‍රබල ලෙස ප්‍රකාශ කරන්නේ දෙවිඳුන් මාංශ ගතවීමේදී ඒ සඳහා දේවමාතාවන් වහන්සේ දැක්වූ දායකත්වයයි.

මූලධර්මවාදීන් විසින් කියන්නට උත්සාහ කරන්නේ මරියතුමිය ලෝකයට බිහිකළේ දේව ස්වභාවය නොව  මිනිස් ස්වභාවය යන්නයි.නමුත් දරු උපතක් ලෙස සිදුවන්නේ ස්වභාවයක් නොව පුද්ගලයකු ගේ බිහිවීමකි.

තවත් සමහර මූලධර්මවාදීන් පවසන්නේ දේවත්වය පසුව ඇතුල් වූ බවයි.එසේ වී නම් එය සිදුවූයේ කොතනද? උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක "පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක"(ලූක් 1 :32)." මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා නිවසට වඩින්නට තරම් මම කවරෙක්ද?"(ලූක් 2:43). මේ කාරණා දෙකම සිදු වන්නේ සිදුවන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ පිරිම හා වසා ගැන්ම හේතුකොටගෙනය. එනම් බිහි වන්නට යන දරුවාගේ දේවත්වය හා මිනිසත් බව ගැන සාක්ෂි දරන්නේ ශුද්ධාත්මයන් වහන්සේය. 

"ධර්මයාණෝ දෙවියන් වහන්සේව ම සිටි සේක"(ජොහාන් 1 :1) එනම් දේව දේවමාතාවන් වහන්සේගේ කුස තුල  මාංශ ගතවන දෙවියන් වහන්සේය.එනිසා ඇය දේවමාතාවන් වහන්සේ ය.

ශාන්ත මරියනි, දේව මෑණියනි ,පාපී වූ අප උදෙසා   දැනුත් අපේ මරණ වේලෙහි දිත් යාච්ඤා කළ මැනව ආමෙන්.


ස්තූතියි 
ජේසු පිහිටයි ❤ 
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව