BLANTERORBITv101

සිරිලක කිතුනු ඉතිහාසය 01

සිරිලක කිතුනු ඉතිහාසය 01 

• පළමු දිගහැරුම - ශාන්ත තෝමස් අපෝස්තුළුතුමා ඉන්දියාව, ශ්‍රී ලංකාවට පැමිණිම (ක්‍රි.ව. පළමුවන සියවසේ සිට දහසය වන සියවස දක්වා)

(1) හැඳින්වීම 

ශ්‍රී ලංකාව තුළ කිතු දහම රෝපණය වූයේ පෘතුගීසින්ගෙන් පැමිණීමෙන් පසුව බව බොහෝ දෙනා පවසා ඇතත්, සත්‍යය මෙය නොවේ. මෙය සත්‍ය වසන් කිරීමකි. අප රටේ ඓතිහාසික යුග වලින් පළමුවැන්න වූ අනුරාධපුර යුගයේ පටන් ලක්දිව කිතුනු ඇදහිල්ල පැවති බවට සාක්ෂි ඇත. එසේ නම් අප රට කිතු දහම හැඳින ගෙන ඇත්තේ යුරෝපයේ බොහෝ රටවල් කිතු දහම හැඳින ගැනීමට පෙර යුගයක ය.

කිතු දහම බටහිරෙන් (යුරෝපයෙන්) බිහි වූ දහමක් ලෙසත්, එම දහම බටහිර සංස්කෘතික අංගයන්ගෙන් පෝෂණය වූවක් ලෙසත් හුවා දැක්වීම සඳහා නොයෙකුත් ආකාරයේ මතිමතාන්තර ඉදිරිපත් කරනු ලැබුවද, කිතු දහමේ උපත ආසියාතික පලස්තීන දේශයේ සිදු වූ බව කවුරුත් දන්නා සත්‍යයකි. ලක්දිව පැවති පුරාණ කිතුනු ඇදිල්ල පිළිබඳව අප රටේ වංශකතාවන් හි කිසිවක් සඳහන් නොවී තිබුණ ද, දකුණු ඉන්දියාව ප්‍රමුඛ (පැරණි යුගයේ දී ශ්‍රී ලංකාව සමඟ වාණිජ මෙන්ම සංස්කෘතික සබඳතා පැවැති) ආසියාතික රටවල ඒ සම්බන්ධයෙන් විස්තර ලියැවී තිබුන අතර ජනප්‍රවාදයේ ද සඳහන් වේ. තවද, අනුරාධපුර යුගයේ සීගිරි රාජධානිය පැවිති කාලයේ දී ලක්දිව තුළ කිතු දහම පැවති බවට අප රටේ ශිලා ලේඛනගතව ඇති බව ලොව පිළිගත් පුරා පුරාවිද්‍යාඥයකු වූ හිටපු පුරාවිද්‍යා අධිකාරි මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් විසින් වර්ෂ 1972 ජුනි මස 30 දින නිකුත් කරන ලද "The Story of Sigiriya" #the_story_of_sigiri ("සීගිරි කතන්දරය") ග්‍රන්ථයෙහි සඳහන් වී ඇත.

මෙම වැදගත් විෂය සම්බන්ධයෙන් රීටා වෙල්ගම්පල මහත්මිය විසින් අප රටේත් විදෙස්හිත් හමුවන දත්ත ඇසුරෙන් වසර ගණනාවක් පුරා සිදුකරන ලද අධ්‍යනයකින් පසුව "ලක්දිව කිතුනු පුරාණය" නැමැති ග්‍රන්ථය 2003 වසරේ මැයි මස 25 වන දින නිකුත් කරන ලදී. මෙම ග්‍රන්ථයෙන් ලබා ගත් කරුණු අනුව ලක්දිව පැවති පුරාණ කිතුනු ඇදහිල්ල පිළිබඳ තොරතුරු සියල්ල සෙනරත් පරණවිතාන සූරීන්ගේ ග්‍රන්ථයෙන් සෘජුවම උපුටා ගන්නා ලද බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

(02.) ඓතිහාසික දත්තයන් 

(අ) ක්‍රි.ව. 1 වන සියවස 

* ජේසු සමිඳුන්ගේ ගෝලයන් දොළොස් දෙනා අතරින් දෙදෙනකු අප දේශයට කිතු දහම ගෙන ඒමට පුරෝගාමී වූහ. එනම්, ඉන්දියාවේ දී ප්‍රාණපරිත්‍යාගී වූ ශාන්ත තෝමස් අපෝස්තුළුවරයාණන් සෘජු ලෙස ද, පරිසියාවෙහි (අද ඉරානය) ප්‍රාණපරිත්‍යාගී වූ ශාන්ත ජූඩ් තද්දේවුස් අපෝස්තුළුවරයාණන් වක්‍ර ලෙස ද මෙයට දායකත්වය දී ඇත.

* ශාන්ත තෝමස් තුමන් ඉන්දියාවට වැඩම කළේ යුරෝපයේ බොහෝ රටවල් කිතු දහම හැඳින ගැන්මටත් පෙර යුගයකය. එතුමා ක්‍රි.ව. 52 දී ඉන්දියාවේ මලියන්කර් හෙවත් ක්‍රැන්ගනෝර් ප්‍රදේශයට හම්බාන් නමැති වෙළෙන්දෙකු සමඟ පැමිණියේය. දකුණු ඉන්දියාවේ නැගෙනහිර වෙරළ හෙවත් කොරමැන්ඩල් වෙරළෙත් බටහිර වෙරළ හෙවත් මලබාර් වෙරළෙත් එතුමන් ධර්ම දූතික සේවය පළමුව දියත් කළ අතර, පසුව උතුරු ඉන්දියාවේ ද දහම් දූතික කටයුතුවල කටයුතුවල යෙදුණේය. එතුමන්ගේ ධර්ම දූතික සේවයේ කේන්ද්‍රස්ථානය වූයේ බටහිර වෙරළ (මලබාර්) ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ (එනම් කොචින් හා කේරළ ප්‍රදේශයන්හි) කිතුනු බැතිමතුන් විශාල සංඛ්‍යාවක් අද පවා සිටිති. අවුරුදු 17 ක ධර්ම දූතික සේවාවකින් පසුව ශාන්ත තෝමස් තුමන් කිතුදහමට සාක්ෂි දරමින් ඉන්දියාවේදීම ප්‍රාණපාරිත්‍යාගී වූයේය. එතුමන් ගේ සොහොන මදුරාසි නගරයට දකුණින් මයිලපුර්හි පිහිටා ඇත. ("ලක්දිව කිතුනු පුරාණය" පිටු අංක 32 -40)

* ශාන්ත තෝමස් තුමන් ඉන්දියාවේ මලබාර් වෙරළේ සිට කොරමමැන්ඩල් වෙරළට කිහිප වරක් සැපත් වූ අතර, මේ ගමන්වලදී මෙතුමා ලංකාවට පැමිණ ටික කාලයක් සිටිය බව ඉතිහාසඥ, රිබේරියෝ පවසා ඇත. ("Fatalidade History de Ceilao") දකුණු ඉන්දියාවේ මෙතුමන් ක්‍රියාත්මක කළ දහම් දූතික වැඩපිළිවෙළ හා සමාන පුළුල් ක්‍රියාවලියක් ලංකාව තුළ දියත් නොකළද, ලංකාවේ උතුර සහ නැගෙනහිර වෙරළබඩ තීරයේ ධීවර සහ මුතු කිමිදීමේ රැකියාවන් හි හි යෙදී සිටි ජනතාවට මුල්වරට මෙතුමන් අතින් කිතු දහම හඳුන්වා දෙනු ලැබිණ. ("ලංකා කිතුනු පුරාණය" පිටු 41-45)

* ශාන්ත තෝමස් තුමන් ලක්දිවට වැඩම කොට මෙහි කලක් විසීම පිළිබඳව, ජේසු නිකායික ගරු ෆර්නාවෝද ක්වේරෝස් පියතුමන් විසින් ලියන ලද ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වේ: " කොළඹට ආසන්න ගම් පෙදෙසක ශාන්ත තෝමස් නමින් වූ දෙව්මැඳුරකී. කිතුනුවන්ගේ පියා ජීවත් වූයේ මෙහිය. මෙම දෙව්මැදුරේ තිබී සොයාගත් කුඩා ගල්පුවරුවක කොටා ඇති කුරුස ලාංඡනයකි. මෙය මෙම අපොස්තුළුවරයා විසින්ම කරන ලද්දක් යයි කියැවේ". (The Temporal and Spiritual Con quest of Ceylon" by Fr. Fernao de Queyroz) ශාන්ත තෝමස් තුමා යම් තැනක වාසය කළේද එතැන සියතින්ම කුරුස ලාංඡනයද එතුමා අතින් ම කැටයම් කෙරුණු බව සඳහන් වීම වැදගත් කරුණකි. කොළඹ කොච්චිකඩේ ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමුවී ඇති ප්‍රාග් පෘතුගීසි යුගයට අයත් කුරුසිය මෙය වන්නට හැකි බවට මතයක් පවතී.

ශාන්ත තෝමස් තුමා ලංකාවට පැමිණි අවස්ථාවන්හි මෙම ප්‍රදේශයේ ජීවත් වී සිටි නිසා මේ මුලින් "සන්තොම්පිටිය" "සන්තුම්පිටිය" යන නම් වලින් හැඳින්වී, පසුව ජින්තුපිටිය ලෙස ජනවහරේ යෙදෙන්නට ඇතැයි ඉතිහාසඥ පෝල් ඊ. පීරිස් මහතා පෙන්වා දෙයි. අදත්, ශාන්ත තෝමස් නින් ඇන්ග්ලිකානු සභාවට අයත් දෙව්මැඳුරක් ජින්තුපිටියෙහි තිබේ. (ල.කි.පු. පිටු 46-47)

* ශාන්ත තෝමස් තුමන් විසින් කැටයම් කරන ලද කුරුස "මාර්තෝමා සිළුබා" යනුවෙන් ඉන්දියාවේ හැඳින්වේ. ජින්තුපිටියෙන් සොයාගත් කුරුසය මෙම කුරුස විශේෂයට සමානකම් දක්වති. තවද, ජින්තුපිටියේ කුරුසයෙත් අනුරාධපුරයෙන් හමුවූ ඓතිහාසික කුරුසයෙත් එක හා සමාන ලක්ෂණ දක්නට ඇති බැවින්, 8 වෙනි සියවසට අයත් අනුරාධපුර කුරුසය "මාර්තෝමා සිළුබා" කුරුස සුවරූපයට කැටයම් වන්නට ඇතැයි සිතිය හැක. මේ කරුණු අනුව කිතුනු විමුක්තියේ ලාංඡනය වන කුරුසය ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ ශාන්ත තෝමස් තුමන් බව සනාථවේ.

(ලංකා කිතුනු පුරාණය පිටු 47-48)

* ලෝක කිතුනු විශ්වකෝෂයෙහි (" The world Christian Encyclopedia" , Pages 23-32) සඳහන් පරිදි ක්‍රි.ව. පළමුවැනි සියවසේදී ලක්දිව තුළ කිතු දහම පැවතිණි. එයට මුල් වූයේ ශාන්ත තෝමස් තුමන් අතින් දහමේ පිහිටුවනු ලැබූ "තෝමස් කිතුනුවන්"බව තවදුරටත් එහි සඳහන් වේ. (ල.කි.පූ පිටු 52)

(ආ) ක්‍රි.ව. 2 සිට 4 වන සියවස

* ක්‍රි.ව. 335 දී ඉන්දියාවේ මලබාර් වෙරළට පැමිණි කානාන්හි තෝමස් නැමැති සිරියානු වෙළෙඳ නායකයා නිසා එම ප්‍රදේශයේ පැවති කිතුනු ඇදහිල්ලට විශේෂ අනුග්‍රහයක් ලැබුණු බවත්, ඉන්දියාවට ඒ කාලයේදී පැමිණි පරිසියානු කිතුනු පිරිස් අතරින් සමහර දෙනා ලංකාවට පැමිණ ඇති බවත්, 4 වෙනි සියවසේ මැදභාගයේ දී ලක්දිව කිතුනු ඇදහිල්ල දියුණුවෙමින් පැවත ඇති බවත්, ශාන්ත තෝමස් තුමන් නමින් තාපසාරාමයක් තිබුණු බවත්. ඉතිහාසඥ ජේ.ලැබෝර්ට් පවසා ඇත.

(ල.කි.පු. පිටු 52-53)

* වෙළෙදාම සඳහා ලක්දිවට පැමිණි ඉන්දියානු, පරිසියානු, සහ වෙනත් විජාතික වෙළඳුන් අතර කිතුනු අයද සිටිය හෙයින්, පුරාතනයේ පටන් වෙළඳ වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ හලාවත, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව වැනි වෙන තොටුපළ ඇසුරින් දියුණු වූ ප්‍රදේශයන්හි කිතුදහමට ලැබුණේ උසස් ප්‍රතිචාරයකි. වෙළදාම හැරුණකොට මුතු කිමිදීම සහ ධීවර කර්මාන්තය සඳහා ද දකුණු ඉන්දියාවේ මලබාර් වෙරළබඩ ප්‍රදේශයෙන් මෙහි පැමිණි "තෝමස් කිතුනුවන්" රටේ වයඹ පළාතේ සහ උතුරේ ද වෙරළබඩ ප්‍රදේශයන්හි ද ජීවත්ව පසුව ඊට සමීපව පිහිටි ගම්මානයන්ටද ක්‍රමෙන් සංක්‍රමණය වන්නට ඇත. අද පවා ලක් කිතුනු ජනගහනයෙන් ඉහළම ප්‍රතිශතය දක්නට ලැබෙන්නේ හලාවත සහ මන්නාරම යන ප්‍රදේශවලය. ලක්දිව කිතුනු ඇදහිල්ල රෝපණය කිරීමේ පුරෝගාමී වූවන් ධර්මදූත ව්‍යාපාරයන් දියත් කිරීමට මෙහි පැමිණි බවක් නොපෙනේ. පාලන බලය හෝ රටේ වෙළෙඳ ඒකාධිකාරය සිය අතට ගැනීම ඔවුන්ගේ පරමාර්ථය නොවීය. ඔවුන් "එක් අතකින් කුරුසයත් අනෙක් අතින් කඩුවත්" ගෙන මෙහි ආයේ නැත. මොවුහු සාමාන්‍ය ජනතාව හා සංකලනය වී සිය එදිනෙදා ජීවිත චර්යාවන් මඟින් කිතු දහමට සාක්ෂි දරන්නට ඇත. (ල.කි.පු. පිටු 57-61)

(ඉහත සඳහන් කරුණු අනුව, පෘතුගීසි ආක්‍රමණ හේතුකොටගෙන මෙම පළාත්වල කිතු දහම මුල් බැසගත් බව යයි ගෙනහැර දක්වන මතය පිළිගත නොහැක. එහෙත් පෘතුගීසි සමයේදී ධර්මදූතික පූජකවරුන්ට මෙම ප්‍රදේශයේ කිතු දහම පැතිරවීමට ඉහතකී පසුබිම කදිම පිටුවහලක් වූවාට කිසිම සැකයක් නැත.)

* ලක්දිව පුරාතනයේ ඇරඹී පරිසියානු කිතුනු නිකාය පෘතුගීසින්ගේ පැමිණීම තෙක්ම පැවතුන බවත්, ඔවුන් සතු කිතුනු දේවස්ථාන වෙනුවට පෘතුගීසීන් විසින් අලුතින් දේවස්ථාන ගොඩනගන ලද බවත්, ඉන්දියාවේ කිතු සසුන් ඉතිහාසය ලියු ජේ.හෝ නැමති ඉතිහාසඥයා පවසා ඇත. (" A Historry of Christianity in India " by J. Hough, Volume III, Book IV, Page 74.) (ලංකා කිතුනු පුරාණය 11,12)

- මහනුවර වික්ටර් සිල්වා