🏵️ මේ දිනවල විශ්ව කතෝලික සභාව තුළ මෙන්ම ශ්‍රී ලාංකික දේශීය කතෝලික සභාව තුළ ද වැඩි අවධානයක් යොමුවී ඇති හා විවිධ ක්ෂේත්‍රයන්හි කතා බහට මෙන්ම සාකච්ඡාවට ලක්වී ඇති මාතෘකාවක් වී ඇත්තේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ප්‍රකාශයට පත්කළ 2023 වසරේ පවත්වන්නට දැන් තියාම ලොව සෑම රදගුරු වසමකහ සූදානම් වෙන "සිනඩ්" සභාව නැමති රදගුරු සංසදය ගැනයි.
🏵️ " සිනඩ්" යන වචනයට එකිනෙකට සම්බන්ධ තේරුම් බොහොමයක් ඇත. මෙම වචනය "හබ්යදාදි" නැමැති එකම මාර්ගය , නැතිනම් එකම මග යන තේරුම ගෙනහැර පායි. ලතින් භාෂාවෙන් එය "හබයදාම්" ලෙස හැඳින්වෙයි . ශාසනික නායකයින්ගේ රැස්වීම් සම්මේලනය එක්ව ගමන් කිරීම , සම්මුතිය , යම්කිසි ආකෘතියක් නැතිනම් පිළිවෙලක් , මාර්ගයක් වැනි බොහෝ තේරුම් ගෙන හැර පෑම සඳහා මෙම වචනය භාවිත කෙරෙයි. ෆ්‍රැන්සිස් පාප්තුමා මෙම වචනය සභා නායකයින්ගේ සම්මුතිය හා එක්ව ගමන් කිරීම යන තේරුම් දෙක එක්ව යොදාගනිමින් 2023 පැවැත්වෙන "සිනඩ්" සභාව සඳහා නියාමකයන් මේ වන වන විටත් ලොව පුරා විසිරී සිටින සෑම රදගුරු පදවියකටම සපයමින් ඒ සඳහා මෙම සභාවේ සාර්ථකත්වය සඳහා යාච්ඤා කරන ලෙසත් , ඒ සඳහා විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වමින් , අදහස් හා යෝජනා රැස්කරමින් සූදානම් වන ලෙසත් ඉල්ලා සිටියහ. මේ පිළිබඳ තරමක හෝ අවබෝධයක් ලබාගෙන අප හැමදෙනාගේම දායකත්වය සැපයීම සඳහා අවැසි මගපෙන්වීමක් ලෙස පළ වන ලිපි පෙළක ආරම්භය ලෙස "සිනඩ්" සභා වර්ගීකරණය හා එහි ඉතිහාසය පිළිබඳ බිඳක් සොයා බැලීමට උත්සාහ කරමු.
🏵️ "සිනඩ්" යන නම එලෙසම භාවිතා නොකලත් එහි අන්තර්ගතය යථාර්ථය හා ආකෘතිය අපට සභාව ආරම්භයේ දී සිටම දැකගත හැක. එනම් කිතුනු ශ්‍රාවකයින් තමන්ගේ තරාතිරම අනුව සභාවේ දූත සේවාවට දායකත්වය දක්වමින් තමන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කරමින් සවන් දෙමින් තීරණ ගනිමින් පසුගිය ශතවර්ෂ විස්සකට අධික කාලයක් තිස්සේ සභාවේ පැහැදිලි නිරවුල් ක්‍රියාකාරීත්වය සඳහා පිටුවහලක් වෙමින් පූජක ,ගිහි ,පැවිදි සියල්ලන් ඉටු කළ මෙහෙවරයි. "සිනඩ්" සභාවක ස්වභාවය කුමක්දැයි වටහාගැනීමට අපට ඇති හොඳ අවස්ථාවක් නැතිනම් පූර්වාදර්ශයක් ලෙස උත්ථාන වූ ක්‍රිස්තුන්වහන්සේ හා ශ්‍රාවකයින් දෙදෙනා සහභාගිවූ ලූක් තුමාගේ සුවිශේෂයේ 24 වෙනි වැනි පරිච්ඡේදයේ සඳහන් වෙන එම්මාවුස් ගමන සඳහන් කළ හැක. ශ්‍රාවකයින් දෙදෙනා ඇසු දුටු දේවල් නිසා කිසිවක් තේරුම් ගන්නට නොහැකිව ජෙරුසලමෙන් පිටව යද්දී මෝසෙස් සහ සියලු දිවැසිවරුන්ගෙන් පටන් ගෙන මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ක්‍රිස්තුන් වහන්සේ ඔවුනට පහදා දුන්නාක් මෙන් සිනඩ් සභාවකදී ද මූලිකව සිදුවන්නේ සභාව යා යුත්තේ කුමන මාර්ගයේ ද යන්න අවබෝධ කරගැනීම සඳහා ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම තුළින් ක්‍රිස්තුන් වහන්සේට සවන් දීමයි. එලෙස සිනඩ් සභාව අවසානයේ දී ද සෑම කිතුනුවෙකුගේම හදවත දැවී ඇවිලී ගොස් නව ජ්ලිතකමකින් යුතුව ඒ ශ්‍රාවකයින් දෙදෙනා මෙන් තමන් ඇසුණ දේවල් අන් අයටද දන්වමින් සභාව තුළ එකිනෙකා තම තමන්ගේ දූත සේවා කුමක්දැයි වටහා ගෙන කටයුතු කිරීම එහි සාර්ථකත්වයේ මිනුම් දණ්ඩයි.
🏵️ එදා මුල් කිතුනු සභාවේ අන්‍ය ලබ්ධිකයන් කිතුනු දහම වැළඳ ගැනීමේ දී චර්මඡේදනය කළ යුතුද නැද්ද යන අර්බුදකාරී තත්ත්වය පැන නැගුන විට පේදුරුතුමා ප්‍රමුඛ අපෝස්තුළුවරුන් ජෙරුසෙලමට එක් රැස්වී සාකච්ඡා කොට එම මතභේදය නිරාකරණය කර ගත් ආකාරය පිළිබඳ අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොතේ සඳහන් සිද්ධියද සභාවේ ක්‍රියාකාරීත්වය හා පැවැත්ම පිළිබඳ තීරණ ගැනීම පිළිබඳ සාමුහිකත්වය පෙන්නුම් කරන කදිම උදාහරණයකි. ( ක්‍රියා 15: 1-35) එය ද එක්තරා ආකාරයක සිනඩ් සභාවක් ලෙස හැඳින්විය හැක .
🏵️ පසුකාලීනව සභාව ක්‍රම ක්‍රමයෙන් ක විකාශනය වෙමින් රෝමය , ඇලෙක්සැන්ඩ්‍රියාව , අන්තියෝකිය , කොන්ස්තන්තිනෝපල් හා ජෙරුසලම යන ප්‍රධාන නගර කරා ව්‍යාප්ත වෙද්දී ඒ ඒ සභා නායකයින් තම ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගැනීම සඳහාත් , එසේම අවැසි ධාර්මික සත්‍යතාවයන් ඉදිරිපත් කිරීම සඳහාත් , එසේම විනයානුකූල නීති නීතිරීති පැනවීම සඳහාත් ප්‍රාදේශීය මට්ටමින් එක් රැස්වී සාකච්ඡා කළ බව සභා ඉතිහාසයේ පැහැදිලිව සඳහන් වේ. මේ ක්‍රමය වත්මන් සිනඩ් සභාවන්හි උපත නැතහොත් ආරම්භය ලෙස හැඳින්විය හැකිය . මෙවැනි සභාවන්ට සමගාමීව කලින් කලට තැන තැන විසිරී සිටින සියලුම නායකයින් එක්රැස්ව සාකච්ඡා පැවැත්වූ සැටිත් , එමඟින් සභාවේ උන්නතිය හා විධිමත් පරිපාලනය ඇතුළු බොහෝ දේවල් සඳහා තීරණ ගැනීම සිදු වූ අයුරුත් අපට දැකගත හැකිය . මේ විධික්‍රමය මුල් සියවසේ සිටම සභාවේ ක්‍රියාකාරී විය . වසරේ 325 ක් පැවති නීසිය කවුන්සිලය මේ සඳහා ඉදිරිපත් කළ හැකි පැහැදිලි උදාහරණයකි . මේ ක්‍රමය සභා මන්ත්‍රණ සභාවන්ගේ උපත ලෙස සැලකිය හැකිය.
🏵️දෙවන වතිකාන මන්ත්‍රණ සභාව අවසාන වීමත් සමගම 6 වෙනි පාවුළු පාප්තුමන් නිකුත් කළ "Apostolica Sollicitudo" නැමති ලේඛනය මගින් සභාවේ අපෝස්තලික ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් පමණක් ක්‍රියාත්මක වූ සිනඩ් සභාවන් විශ්ව සභාව තුළ ද ක්‍රියාත්මක විය යුතු බව නෛතිකව නිර්දේශ කරන ලදී. එවක් පටන් විවිධ මාතෘකා මුල් කරගනිමින් ද , විශේෂිත කලාප මුල් කරගනිමින් ද , වරින් වර තෝරාගත් රදගුරුතුමන්ලාගේ හා අනිකුත් පූජක, පැවිදි හා ගිහි ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් සිනඩ් සභා පැවැත්වීම දිගින් දිගටම සිදුවිය . පොදුවේ සාමූහික සහභාගිත්වයෙන් පවත්වනු ලබන සිනඩ් සභාවන්හි දී විශ්ව සභාව කෙරෙහි සෘජුව බලපාන කරුණු ගැන සාකච්ඡා කිරීම සිදුවෙයි . එවැනි සභාවක් හඳුන්වනු ලබන්නේ සාමාන්‍ය සිනඩ් සභාවක් ලෙසයි . දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් විසින් 1994 පැවැත්වූ පැවිදි දිවිය පිළිබඳව සිනඩ් සභාවත්, 16 වෙනි බෙනඩික් පාප්තුමන් කැඳවූ දේව වචනය හා ධර්මදූත සේවය පිළිබඳ සිනඩ් සභාවත් මේ සඳහා උදාහරණයන්ය . හදිසි හෝ ඉතා ඕනෑකමින් සලකා බැලිය යුතු කරුණු ගැන සාකච්ඡා කෙරෙන අධි සාමාන්‍ය සිනඩ් සභාවන් පැවැත්වීම ද පැවැත්වීමද සාසන නීතිය නිර්දේශ කරයි. ඒවාට අමතරව යම්කිසි ප්‍රදේශයක් හෝ ප්‍රදේශ කිහිපයක පවතින කරුණු ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂිත සිනඩ් සභා ද පැවැත්විය හැකිය. 1997 දී ලතින් ඇමරිකානු ප්‍රදේශයන් ගැන සාකච්ඡා කිරීම සඳහාත්, 1999 දී යුරෝපයේ සභාව ගැන කරුණු විමසීම සඳහාත් , 2009 දී අප්‍රිකාව ගැන ද , 2019 දී ඇමසොන් ප්‍රදේශවල පවතින තත්වය හා සභාවේ ක්‍රියාකාරිත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා පැවැත්වූ සිනඩ් සභාවත් අධි සාමාන්‍ය හා විශේෂිත සිනඩ් සභාවන් ලෙස හැඳින්විය හැකිය .
🏵️ සිනඩ් සභාවක කාර්යභාරය හා වගකීම වන්නේ යෝජනා කොට ඇති මාතෘකාවට අදාල අධ්‍යයනයක යෙදී ඒ හා සබැඳි නිර්දේශයන් ඉදිරිපත් කිරීමයි. එම නිසා එය තීරණ ගන්නා හෝ තීන්දු ප්‍රකාශයන් නිකුත් කළ හැකි සභාවක් නොව පාප් තුමන්ට උපදේශනය සපයන සභාවකි. පසුව පාප්තුමන් විසින් එම නිර්දේශයන් ස්ථිර කළහොත් ඒවා තීන්දු හා තීරණ බවට පත්වේ. යම් හෙයකින් සිනඩ් සභාවකට පාප්තුමන් තීරණ ගැනීමේ අයිතිය හා හැකියාව පවරා දුනහොත් එවිට නිකුත් කරනු ලබන්නේ නිර්දේශයන් නොව තීරණයන්ය. එම තීරණ පිළිපැදීමට සභාවේ සෑම තරාතිරමකම අය ණය යුක්තියෙන් බැඳී සිටින්නෝය.
🏵️ කුමන හෝ අන්දමක සිනඩ් සභාවක් ක්‍රියාත්මක වන්නේ පාප්තුමන්ගේ පරමාධිකාරී බලය යටතේ ය . එමනිසා අවැසිතාවය ගැන තීරණය කොට සිනඩ් සභාවක් කැඳවීමත්, එය පවත්වන ස්ථානය තීරණය කිරීමත් , යෝජිත සහභාගිත්ව ස්ථීර කිරීමත් , න්‍යාය පත්‍රය තීරණය කිරීමත් , පුද්ගලිකව හෝ නියෝජිතයකුගේ මාර්ගයෙන් මුලසුන දැරීමත් , අවසාන කිරීම හෝ අත් හිටුවීමත් එතුමාගේ බලයට යටත් වේ . (ශාසන නීති වගන්ති 344)
🏵️ සිනඩ් සභාවකින් ඉදිරිපත් කරන නිර්දේශයන් පාප්තුමාගේ අනුමැතියෙන් තීරණ බවට පත්වීමෙන් අනතුරුව ඒවා නියැතින්ම සභාවේ ඉදිරි ගමනට හා දෛනික ජීවිතයට කෙලින්ම බලපෑම් ඇති කරවයි. එම නිසා මේ සූදානම් වෙන සිනඩ් සභාව ශුද්ධාත්මයාණන්ගේ මගපෙන්වීමෙන් කරගෙන යෑමට අවැසි වරම් ඉල්ලා මේ දිනවල අප පාප්තුමා වෙනුවෙනුත් , ඒ සඳහා ක්‍රියාත්මක වෙන සියල්ලන් වෙනුවෙනුත් යාච්ඤා කරමු .
✍️ අතිගරු ෆ්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමා
ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව
0 Comments