BLANTERORBITv101

අනාවැකි හෝ පෙරැයීම් පිළිබඳ තර්කය ( Argument of prophecies or predictions )

 අනාවැකි හෝ පෙරැයීම් පිළිබඳ තර්කය ( Argument of prophecies or predictions )

මේ ලෝකයේ ඇති ආගම් හා දර්ශන පිළිබඳව කතා කිරීමේදී අපට තාත්වික නොහොත් සැබෑ ලෝක ඉතිහාසයක් ඇති බව යන කාරණය අත්හැර දැමිය නොහැකිය.මනුෂ්‍යයාගේ සදාතනික ඉරණම පිළිබඳව කවුරුන් හෝ යම් පණිවිඩයක් පවසන්නේ නම් එම පණිවිඩය ලෝක ඉතිහාසයේ ජීවත්ව සිටි පළමු මනුෂ්‍යයාගේ සිට වර්තමානයේ ජීවත් වන හා අනාගතයේදී ජීවත් වීමට යන අවසාන මනුෂ්‍යයා දක්වාම එම පණිවිඩය එක ලෙසම ගැලවීමදායක විය යුතුය.එනම් එම පණිවිඩය මනුෂ්‍යය ඉතිහාසය පුරාවටම නිරීක්ෂණය කිරීමට හැකි විය යුතුය.යම් පුද්ගලයෙකු දේශනා කරන ධර්මයක් එම පුද්ගලයාට වසර දහස් ගණනකට පෙර ජීවත් වූ පුද්ගලයාටද එක ලෙසම ගැලවීමදායක නොවන්නේ නම් එය හුදෙක් එය ඉදිරිපත් කළ පුද්ගලයාගේම හිතළු ලෙස නිගමනය කිරීමට හැකිය.ලෝක ඉතිහාසය පිළිබඳ ඇති සියලුම සබදතා අත්හැර දමා යමෙකු මනුෂ්‍යය වර්ගයාගේ සදාතනික ඉරණම පිළිබඳව දේශනා කරන්නේ කෙසේද? ලෝක ඉතිහාසයේ ජීවත්ව සිටියේ අපේම මුතුන් මිත්තන් නොවේද? අප පැමිණෙන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් නොවේද? එසේ නම් අපේ මුතුන් මිත්තන්ට ලැබීමට හෝ අත්දැකීමට බැරිවූ දෙයක් අප ලබාගන්නේ කෙසේද?

ලෝක ඉතිහාසය හා ඇති නොකැඩිය හැකි මේ සබඳතාවය ලෝකයේ බොහෝ ආගම් වල දක්නට ලැබේ.උදාහරණයක් ලෙස ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දර්ශනයේ මතු යම් දිනෙක බුද්ධත්වය ලැබීමට ලෝක ඉතිහාසය පුරාවටම පෙරුම් පුරන බෝසතාණන් වහන්සේලා ගැන සඳහන් වේ. ජුදෙව්වරු ලෝක ඉතිහාසය පුරාවටම ගැලවුම්කරුවෙකුගේ ආගමනයක් පිළිබඳව සූදානම් වෙමින් සිටිති.ඒ අතරතුරම තවත් බොහෝ ආගම් වලට ලෝක ඉතිහාසය හා සමඟ මෙවැනි සම්බන්ධතාවයක් නොමැත.ඒවා බැලූ බැල්මටම එක්වරම ජනිත වූ ඒවාය.උදාහරණයක් ලෙස ඉස්ලාම් ආගමේ මුහම්මද් සල් තුමා මුලින්ම තම ධර්මය පිළිබඳව දේශනා කර ඇත්තේ තම බිරිඳටය. කටුනායක ප්‍රදේශයේ දේවස්ථානයක් සාදාගෙන සිටින ලලිත් අපොන්සු නමැත්තා මුලින්ම තමන් අපෝස්තුළුවරයෙකු බව අනාවරණය කර ඇත්තේ එම ප්‍රදේශයේ ජනතාවටය.ජෙරොම් ප්‍රනාන්දු නමැත්තා මුලින්ම තමන් දිවැසිවරයෙකු බව පවසා ඇත්තේ ඔහුගේ සභාවේ ජනතාවටය.

බොබී හෙන්ඩර්සන් නමැති විශ්ව විද්‍යාලය ශිෂ්‍යයා විසින් ස්පැගටි රාක්ෂයාගේ ආගම මුලින්ම ආරම්භ කළේ නිර්මාණවාදය පිළිබඳව විශ්ව විද්‍යාල වල ඉගැන්වීම හාස්‍යයට ලක් කිරීම සඳහා අන්තර්ජාල ලිපි ලිවීමෙනි.මේවා අපට එක්වරම ඒ ඒ පුද්ගලයන්ගේ හිතළු ලෙසින් බැහැර කර දැමිය හැකිය.නමුත් බැලූ බැල්මට ලෝක ඉතිහාසය සමඟ සම්බන්ධතාවයක් ඇතැයි පවසන බුදු දහම, කිතු දහම, ජුදෙව් ආගම වැනි ආගම් වල පවසන දේවල් අපට එලෙස එක්වරම බැහැර කර දැමිය නොහැකිය.එබැවින් අපට සත්‍යය කුමක්දැයි හරියටම සොයා ගැනීමට මීට වඩා සාර්ථක ක්‍රමයක් භාවිත කිරීමට සිදුවේ.එය "අනාවැකි හෝ පෙරැයීම් පිළිබඳ තර්කන ක්‍රමයයි".මෙමගින් අපට මුළු මනුෂ්‍යය වර්ගයාගේම සදාතන ඉරණම පිළිබඳව මෙම එක් එක් ආගම් පවසන පණිවිඩයේ සත්‍යයවාදී බව පරීක්ෂා කිරීමට හැකි වේ.

අපි දැන් මේ තර්කන ක්‍රමයෙන් ලෝකයේ සිටින ප්‍රධාන ආගමික ශාස්තෘවරුන්ව හා විශිෂ්ඨ පුද්ගලයින්ව පරීක්ෂා කර බලමු.කවුරුන් මේ පරීක්ෂණයෙන් සමත් වේවිද? මේ සඳහා අපි මේ සියලු දෙනාවම සම්මුඛ පරීක්ෂණයකට කැඳවා ඔහුන් හමුවේ ප්‍රශ්න කිහිපයක් තබමු.

"බුදුනි, ඔබ මරණීය අතීසාරය නිසා ජීවිතය අවසන් කරන බව ඔබේ උපතට පෙර කවුරුන් හෝ පවසා තිබුණාද? සොක්‍රටීස් තුමෙනි, ඉතා විෂ සහිත හෙම්ලොක් ශාකයේ යුෂය ඔබේ මරණයට හේතුව වනු ඇති බව කවුරුන් හෝ ඔබේ මරණයට පෙර පවසා තිබුණාද?"

"මාඕ සේතුං, කාල් මාක්ස්, ෆිදෙල් කස්ත්‍රෝ, අඩුම තරමින් ඔබලා වැනි දැවැන්ත චරිත උපත ලබන රට පිළිබඳව හෝ කළින් පවසා තැබීමට කාටවත් බැරි උනාද?"

"මුහම්මද් සල් තුමෙනි, ඔබ නබි වරයෙකු ලෙස ජනතාව අතරේ උපත ලබන බවට ඔබ විසින් ඔබේ බිරිඳට පැවසීමට පෙර එය යම් පුරාණ සම්ප්‍රදායක් මඟින් හෝ එම ජනතාව කලින් දැනගෙන සිටියේ නැතිද?"

"දිවැසිවර ජෙරොම් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම පවා ග්‍රහණයට ගත් ප්‍රසිද්ධ චරිතයක් වූ ඔබ ගැන ඔබේ උපතට පෙර කිසිදු අනාවැකියක් ලංකාව තුළ හෝ ලියවී තිබුණේ නැද්ද? ලලිත් අපොන්සු කටුනායක ශුද්ධෝත්තම අපොස්තුළු තුමෙනි, අධි ස්වභාවික දේව දර්ශන අත්දැකීමට භාග්‍යය ලැබුවා යයි පවසා තම මෑණියන්ගේ සොහොන පවා හාරා එය නැවත ගොඩගත් අරුම පුදුම චරිතයක් වන ඔබ ගැන ඔබේ උපතට පෙර ඔබේ මෑණියන්ට හෝ කිසිදු අනාවැකියක් අධිස්වභාවික මාර්ගයකින්වත් ලැබී තිබුනේ නැද්ද?"

සියලු දෙනාම මේ ප්‍රශ්න වලට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් විය.එබැවින් මම ඔහුන්ව ප්‍රතික්ෂේප කළෙමි, "පසුපසට යන්න, ඔබගේ වචන හා ඉගැන්වීම් සිත්ගන්නා සුළු විය හැකියි.නමුත් මගේ පළමු පරීක්ෂණයේදීම මාව සෑහීමට පත්කිරීමට ඔබලාට නොහැකි විය.ඔබගේ සඟයන් සියලුදෙනාම අතුරෙන් යමෙකුව ඔබගේ සඟයන් සියලුදෙනාටම වඩා විශ්වාස කිරීමට තරම් සුවිශේෂි හේතුවක් මට හමු නොවුනි.අඩුමතරමේ ඔබගේ මෙලොව ආගමනය පිළිබඳව හෝ ලෝක ඉතිහාසය විසින් කළින් ප්‍රකාශයට පත් කර නොමැත.එබැවින් ඔබට ඇත්තේ හුදෙක් ඔබේම වචන පමණකි; ඔබේම පණිවිඩයක් පමණකි; දිව්‍යමය එළිදරව්වක් නොවේ".

නමුත් තව එක් පුද්ගලයෙකු පමණක් ඉතිරිව සිටියේය.මම ඔහුවද ප්‍රශ්න කළෙමි.

"ඔබේ නම කුමක්ද?"

"මම නාසරෙත්හි ජේසුස් ක්‍රිස්තුස්" ඔහු පිළිතුරු දුන්නේය.

"හරි, ඔබගේ ඇති සුවිශේෂත්වය කුමක්ද? අඩුම තරමින් ඔබේ උපතට පෙර ඔබ ගැන ලියැවී තිබූ එක් අනාවැකියක් හෝ මට පෙන්විය හැකිදැ"යි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.

එවිට ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, "මගේ උපතට අවුරුදු දහස් ගණනකට පෙර දිවැසිවරුන් පවසා තිබූ පරිදි මම නියමිත කාලයේදී බෙත්ලෙහෙමේදී කන්‍යාවකගෙන් උපත ලැබුවෙමි.ජුදා ගෝත්‍රයෙන් හා දාවිත් රජුගේ පෙළපතින් එන බව පවසා තිබූ ඊශ්‍රායලයේ රජු මමය.මාගේ උපතටත් පෙර මා පැමිණීමට සිටින එම්මානුවෙල් ( දෙවියන් වහන්සේ අප සමඟය ) බව මාගේ මෑණියන්ට දැන ගැනීමට හැකි විය.ළඳරු වියේදී මට මිසරයට යාමට සිදු වූයේත්, මාගේ උපත අවස්ථාවේදී ළඳරු ඝාතනයක් සිදු වූයේත් දිවැසිවරු කලින් පවසා තිබූ ආකාරයටමය.දිවැසිවරුන් පවසා තිබූ ආකාරයට පව්කරුවන්ගේ සිත් හැරවීම මඟින් මම ගලීලයට ආලෝකයක් උනෙමි.මම දේශනා කරන ලීලාවද දිවැසිවරු කළින් සඳහන් කර තිබුණි.එනම්, උපමා මඟින් ඔහුන්ට ඉගැන්වීමයි.දෙවියන් වහන්සේගේ දුක් විඳින සේවකයා ලෙස මාගේම ජනතාව අතර මා ප්‍රතික්ෂේපයට ලක් වෙමින් පව්කරුවන් මැද මියගොස්, ධනවතුන් අතර මා භූමිදානය වන ආකාරය මට පෙර වසර දහස් ගණනකට පෙර ජීවත් වූ යොසායා දිවැසිවරයා විසින් වාර්තා කර තිබුණේ හරියට ඔහු මාගේ කුරුස ගස යට සිටගෙන සිටිය අයෙකු වගෙයි.තව මොනවද ඔබට මා ගැන දැනගන්න ඕනැ?"යි වදාළේය.

"යුරේකා! යුරේකා යැ"යි පවසමින් නිරුවතින් දිව ගිය ආකිමිඩීස්ට වඩා සතුටක් මට දැන් දැනෙයි.මක්නිසාද ලෝක ඉතිහාසයේ සැබෑම ගැලවීම මම මාගේ දෑසින්ම දුටුවෙමි, දෙකනින්ම ඇසුවෙමි.මෙතුමාගේ මරණය කෙතරම් සුවිශේෂීද? එය මාගේ මුතුන් මිත්තන්ගේ සොහොන් ගෙවල් විවර කරවීමට පවා හේතු විය: සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූහ.උන්වහන්සේගේ පුනර්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුළුව, බොහෝ දෙනෙකුට පෙනුනාහ.ශතාධිපතියාද ඔහු සමඟ ජේසුස් වහන්සේ මුර කරමින් සිටි අයද පොළෝකම්පාවත්, සිදුවූ දේත් දැක ඉතා බියපත්ව, "සැබවින්ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය"යි කීහ - ( ශු.මතෙව් 27:52-54 ).

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙම තර්කන ක්‍රමය මඟින් පරීක්ෂා කිරීමේදී ඉහළින්ම සිටීමෙන් තහවුරු වන්නේ කිතු දහම සැබවින්ම ඓතිහාසික ආගමක් ( historical religion ) වන බවයි.අපේ විශ්වාස ලක්ෂණය දෙස බලන්න.එහි අපගේ ස්වාමීන් වහන්සේ පිළිබඳව කතා කරන සෑම විටම, "ඔහු පෝන්තියුස් පිලාත් යටතේ දුක් විඳ" ඇති බවට සඳහන් කරමු.ඔහු ලෝක ඉතිහාසයේ ඉතා නිශ්චිත ස්ථානයක සිට ඇත.අපි පොන්තියුස් පිලාත් යටතේ දුක් වින්දා යන කාරණය ගැන පමණක් නොව, ලෝක ඉතිහාසයේ සමස්ත පසුබිම ගැනම සැලකිලිමත් වෙමු.එනම්, ලෝක ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ හා ක්‍රිස්තු පූර්ව ලෙස බෙදීමකට ලක්වීමට හේතුවද ඔහුගේ උපතයි. ලෝකයේ අනෙකුත් ආගම් වල කිසිදු ශාස්තෘවරයෙකු තාත්වික ලෝක ඉතිහාසය සමඟ මෙතරම් බැඳී නොමැත.

බලන්න, ක්‍රිස්තුස් වහන්සේගේ මේ සත්‍යය ලෝක ඉතිහාසයේ මුල්ම මිනිසාගේ සිට අප දක්වාම නිරීක්ෂණය කිරීමට හැකිය.දෙවියන් වහන්සේ විසින් ගැලවුම්කරුවෙකුව එවන බවට පොරොන්දු වන්නේ අපගේ ආදි මව්පියන් වන ආදම් සහ ඒව පාපයට ඇඳ වැටුනු පළමු අවස්ථාවේදීමය: තා සහ ස්ත්‍රිය අතරද තගේ වංශය සහ ඇගේ වංශය අතරද බද්ධ වෛරය තබන්නෙමි.ඔහු තගේ හිස පොඩි කරන්නේය; තෝද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහිය - ( උප්පත්ති 03:15 ). එතැන් සිට මනුෂ්‍යයන් අතර විටින් විට ගිවිසුම් ඇති කරගෙන එම ගැලවුම්කරුගේ ආගමනය සදහා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් ජාතිය සූදානම් කරන ආකාරය පුරාණ ගිවිසුම පුරාම දැක ගත හැකිය.එහි කූටප්‍රාප්තිය උදා වූයේ නව ගිවිසුම තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතත් සමඟය.වෙනත් කිසිදු ශාස්තෘවරයෙකුගේ ආගමනයක් සඳහා ලෝක ඉතිහාසය මෙලෙස සූදානම් වී සිටියේ නැත.ඔහුන් පිළිබඳව ජේසුස් වහන්සේ ගැන තරම් විශාල හා සංකීර්ණ අනාවැකි සංඛ්‍යාවක් පළවී නොතිබුණේද ඒ නිසයි.ජේසුස් වහන්සේ අන් සියලු දෙනාටම වඩා සුවිශේෂී වන්නේද ඒ නිසාය.ජේසුස් වහන්සේගේ ධූත කාර්යය අනෙකුත් ශාස්තෘවරුන්ට වඩා සුවිශේෂී වූ එකකි.මක්නිසාද එය දුරාතීතයෙන්ද පැරණි යුගයෙන්ද එන්නකි.

යම් ලෝක ප්‍රසිද්ධ චරිතයක උපත පිළිබඳව අනාවැකි පළ කිරීමට ඔබට අවස්ථාවක් හමු වුවහොත් ඔබ කුමක් පවසාවිද? බොහෝ විට ඔබ ඔහුගේ උපත ලෝක ප්‍රසිද්ධ නගරයක සිදුවන බව පවසාවි.නමුත් බලන්න, ජේසුස් වහන්සේගේ උපතට වසර දහස් ගණනකටත් පෙර දේව ආනුභාවයෙන් දිවැස් වැකි පැවසූ මීකා දිවැසිවරයා ඊශ්‍රායෙලයේ අනාගත රජුගේ උපත සිදුවනු ඇති බවට පවසා සිටියේ නගර අතරින් ඉතා කුඩාම එකක් වූ බෙත්ලෙහෙම් නගරයේය.තවද බොහෝ අනාවැකිවල කියා තිබුණේ ඔහු දාවිත්ගේ රාජකීය පෙළපතෙන් පැමිණෙන බවයි.ජේසුස් වහන්සේ තුළ මෙය ඉටු වීමට නම් අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ පුද්ගලයෙකු වන දාවිත්ගේ පෙළපතෙන් පැවත එන පිරිමින් පරම්පරාවක් අවුරුදු දහස් ගණනකට පසුවද ජීවත්ව සිටිය යුතුය.නමුත් ජේසුස් වහන්සේ ජීවත් වූ කාලය වනවිට එය සිදුවීමට තිබූ සම්භාවිතාවය නොගැනිය හැකි තරම් ඉතාමත් කුඩාය; විරලය.හිටපු ඇමෙරිකානු ජනාධිපති වරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන්ව උදාහරණයක් ලෙස ගනිමු.ඔහුට දරුවන් හතර දෙනෙකු සිටියේය.

ඒබ්‍රහම් ලින්කන් මියගොස් තවම අවුරුදු 156 ක් පමණි.නමුත් අද වනවිට ඒබ්‍රහම් ලින්කන්ගෙන් පැවත එන කිසිදු පිරිමි දරු මුණුපුරු පරම්පරාවක් ඉතිරි වී නැත.එසේ නම් ජේසුස් වහන්සේගේ උපතට වසර දහස් ගණනකට පෙර මියගිය අයෙකුගේ පිරිමි දරු මුණුපුරු පරම්පරාවක් ඉතිරි වී සිටීම ගැන සිතීමටවත් හැකිද? පුරාණ ගිවිසුම හා ජුදෙව්වරුන්ගේ සියළුම සම්ප්‍රදායන් පිළිබඳව හොඳින් දන්නා, ක්‍රිස්තියානියෙකු බවට පත්වූ ජුදෙව් විශාරදයෙකු ජේසුස් වහන්සේ පිළිබඳ පළවී තිබූ අනාවැකි වල විශේෂත්වය පිළිබඳව වරක් මෙලෙස පවසා තිබුණේය.එනම්, ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේදී රබ්බිවරු මෙසියස් වහන්සේ පිළිබඳව කියැවෙන අනාවැකි 456 ක් එකට එකතු කළෝය. 

ඔහුන් රැස්වූ එම ස්ථානය මෙන්ම, ඔහුන් ජීවත් වූ එම කාලයද සැලකිල්ලට ගත් විට එම අනාවැකි සියල්ලම ජේසුස් වහන්සේ තුළ සම්පූර්ණ වීමේ සම්භාවිතාවය කොපමණ විය හැකිද? ඔබට පැන්සලක් තිබේ නම් කොළයක අංක 01 ලියන්න.ඉන්පසු එම ඉලක්කමට යටින් ඉරක් අඳින්න.දැන් ඉරට යටින් අංක 84 ලියන්න. ඔබට වෙලාවක් තිබ්බොත් අංක 84 ට පසුව බිංදු 126 ක් ලියන්න.ඔබට දැන් පෙනේවි ජේසුස් වහන්සේ ජීවත් වූ කාලය වනවිට ජේසුස් වහන්සේ තුළ මේ අනාවැකි සියල්ලම සම්පූර්ණ වීමේ සම්භාවිතාව ට්‍රිලියන ගණනකින් එකක් දක්වා නොගැනිය හැකි තරම් ඉතාමත් කුඩා පරාසයකට දිව යන බව.ජේසුස් වහන්සේ පිළිබඳව ලෝක ඉතිහාසය තුළ පළවී තිබූ අනාවැකි හුදෙක් මිනිස් වචන, සිතුවිලි හා අදහස් වලට එහා ගිය දිව්‍යමය අනාවරණයක් බව මෙයින් මනාව පැහැදිලි වේ.ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව හැරුණු කොට අනෙකුත් ලෝක ආගම් වල ආරම්භකයන් පිළිබඳව මෙවැනි ගනයේ අනාවැකි පළවී නැත; මෙවැනි ගනයේ අනාවැකි සම්පූර්ණවීද නැත.

ජේසුස් වහන්සේ ගැන හැරුණුකොට ලෝක ආගම් වල වෙනත් ආරම්භකයන් ගැන මෙවැනි අනාවැකි පළවී නොතිබුණද එම ආගම් වලද ජේසුස් වහන්සේගේ ආගමනය පිළිබඳව අනාවැකි පළවී තිබීම ඔහුන් අතර ජේසුස් වහන්සේගේ ඇති සුවිශේෂීත්වය මොනවට පැහැදිලි වේ.උදාහරණ ලෙස ගතහොත් මහා දාර්ශනිකයෙකු වූ කොන්ෆියුසියස් තුමා, තමන් පෙරදිගින් මහා ප්‍රඥාවන්ත මිනිසෙකුගේ ආගමනයක් බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන් කර තිබේ."Sutrapridot" හි 03:107 සඳහන් වන පරිදි හා තායිලන්තයේ චියෑං මායිහි "Praising Temple" හිදී හමුවී ඇති පැරණි අත් පිටපත් වල ලියා ඇති පරිදි ගෞතම බුදුන් වහන්සේ විසින් ජේසුස් වහන්සේ පිළිබඳව අනාවැකි පළ කර ඇති බව පැවසේ.එහිදී බුදුන් වහන්සේ ජේසුස් වහන්සේව හදුන්වා ඇත්තේ, "දයානුකම්පාවේ ස්වාමීන් වහන්සේ" ( Lord of Mercies ) ලෙසයි.රජුන්ගේ රජුවන දයානුකම්පාවේ ස්වාමීන් වහන්සේට මිනිස්සුන්ව ඔහුන්ගේ පාප වලින් මුදා ගැනීමේ හැකියාව ඇති බවත්, ඔහු සර්වඥ වන බවත්, මිනිස් සිත තුළ ඇති සියලු දේ දන්නා සියළුම දේවදූතයන්ගේ හා සියළුම මනුෂ්‍යයන්ගේ ස්වාමීන් වන උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වෙනත් කිසිවෙකු නැති බවත් සහ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ තවත් බොහෝ දේ එහිදී ගෞතම බුදුන් වහන්සේ විසින් පවසා ඇතැයි ලියා තිබේ.

තවද තවත් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වූ ප්ලේටෝ පවසා ඇත්තේ දෙවියන් වහන්සේ හා මිනිසුන් ඉදිරියේ අප හැසිරිය යුතු ආකාරය අපට කියා දීමට සාධාරණ මිනිසෙකු පැමිණෙන බවයි.එලෙසම ග්‍රීක නාට්‍යකරුවන් හට නිතරම හැඟී ගියේ යම් විශේෂ දෙවි කෙනෙකු පැමිණිය යුතු බවයි.පෞරාණික ග්‍රීක නාට්‍ය රචකයෙකු වන ඇසිලස් තම කෘතියක් වන "ප්‍රොමේතියස්"හි සඳහන් කරන පරිදි, "යම් දෙවි කෙනෙකු මතුවී අපගේ පාප වල මහත් වූ දුකට තම හිස ලබාදීම පිළිගන්නා තෙක් තවදුරටත් මේ ශාපයේ අවසානයක් බලාපොරොත්තු නොවන්නැ"යි පවසා ඇත.වෙනත් වචන වලින් කිවහොත් ඇසිලස් විසින් එම දෙවියන් අපගේ පව් දරා ගනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිට ඇත.තවද තවත් ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් නිතරම යම් යුක්තිගරුක මනුෂ්‍යයෙකුගේ ආගමනයක් අපේක්ෂාවෙන් සිටියේය.රෝමානු කවියෙකු වූ වර්ජිල්ගේ “හතරවන කුඩා කාව්‍යය" නමැති කවි නිර්මාණය ඔබට මතකද? එය ඔහු කන්‍යාවියකට පැවසූ නිසා එය ඔහුගේ මෙසියානික කවි පංතිය ලෙසද හදුන්වනු ලැබේ: "ඔබේ ළඳරුවාගේ සිනහව නිසා යකඩ යුගය පහව යනු ඇත සහ ස්වර්ණමය යුගයේදී මුළු පොළොවම ඉපදෙන්නේය".

ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව ආගමනය අපට පවසා සිටියේ, උන්වහන්සේ දිවැසිවරුන් විසින් පූර්වයෙන් එළිදරව් කර තිබූ තැනැන් වහන්සේ බවයි. දුෂ්ඨ නායක හෙරොද් පවා මේ අනාවැකි සියල්ලම ජේසුස් වහන්සේ තුළ සම්පූර්ණ වූ බව සැක නොකළේය.රබ්බිවරු මේ දිවැස් වැකි පිළිබඳව හොඳින් දැනගෙන සිටියෝය.ඒ පිළිබඳව ඔහුන් හෙරෝද් රජුටද පැවසූහ.තම සිංහාසනයට තර්ජනයක් වීමට පෙර ඊශ්‍රායෙල් ජාතියේ හා මුළු මනුෂ්‍යය සංහතියේම නව රජු වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේව ළඳරු වියේදීම මරා දැමීමට ඔහු නියෝග කළේ ඒ නිසයි.නමුත් කළින් පවසා තිබූ පරිදිම හෙරොද්ගේ උත්සාහය ව්‍යර්ථ විය.ජේසුස් ස්වාමීන් වහන්සේට වයස අවුරුදු තිහක් පමණ වූ විට උන්වහන්සේ නාසරෙත්හි සිනගෝගයට ගියේය.

එහිදී උන්වහන්සේට දිවැසිවර යෙසායා විසින් මෙසියස් වහන්සේ ගැන පවසා තිබූ දේ සියල්ලන්ම ඉදිරියෙහි කියැවීමට හැකි විය.එහි මෙලෙස ලියා තිබුණි: "සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිළිඳුන් හට සුභාරංචිය දේශනා කරනු වස්, උන්වහන්සේ මා ආලේප කළ සේක.වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද ලැබෙන බව දන්වන්නටත්, පීඩිත වූවන් මුදන්නටත්, සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක" - ( ශු.ලූක් 04:18-19 ).ජේසුස් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක.එකල ධර්මශාලාවේ සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ. උන්වහන්සේ ඔහුන්ට කතා කරන්නට පටන් ගෙන, "අද ඔබ සවන්දී සිටියදීම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වීය"යි වදාළ සේක - ( ශු.ලූක් 04:21 ). ක්‍රිස්තුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය හැරුණුකොට වෙනත් කිසිදු ආගමික ශාස්තෘවරයෙකුට තමන් ප්‍රකාශ කරන ධර්මය හෝ තමන් පිළිබඳව හෝ තම දූත කාර්යය පිළිබඳව හෝ මෙතරම් ගැඹුරු පසුබිමක් තාත්වික ලෝක ඉතිහාසය තුළින් උපුටා දැක්වීමට නොහැකිය.

ලෝකයේ වෙනත් ආගම් තුළ බොහෝ මිත්‍යාවන් මෙන්ම ඇතැම් විට බොහෝ සත්‍යයන්ද හමුවේ.ඒ සමහරක් ආගම් තුළ විශිෂ්ඨ ගනයේලා සැළකිය හැකි ඉගැන්වීම්ද හමුවේ.උදාහරණ ලෙස බුදු දහම, කොන්ෆියුශියානු වාදය වැනි ලෝක දර්ශන වල එවැනි විශිෂ්ඨ ඉගැන්වීම් බොහොමයක් දැකගත හැකිය.නමුත් බුදුන් වහන්සේ හෝ වේවා කොන්ෆියුසියස් තුමා හෝ වේවා මේ සියලුදෙනාම බිත්තර දැමීමට පෙර ඒ සඳහා කැදැල්ලක් සූදානම් කරන කුරුල්ලන් වැනිය.එනම් ලෝකයේ වෙනත් ආගම් තුළ දැකිය හැකි මෙවැනි සත්‍යයන්, ජේසුස් වහන්සේගේ සුභාරංචිය සාදරයෙන් පිළිගැනීම සඳහා සූදානම් වීමක් වශයෙන් අප හදුනා ගත යුතුය.ජේසුස් වහන්සේගේ දිව්‍යමය සත්‍යය වෘත්තයක් වැනිය.මේ ලෝකයේ ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යය නමැති මේ වෘත්තයෙන්, කුඩා කේන්ද්‍රික ඛණ්ඩයක් වත් අන්තර්ගත නොවන ආගමක් නැත.

සමහර විට වෙනත් ආගම් වල මේ දිව්‍යමය සත්‍යයෙන් 2% කුත්, මිත්‍යාවෙන් 98% කුත් අන්තර්ගත විය හැකිය.තවත් ආගමක මේ දිව්‍යමය සත්‍යයෙන් 98% කුත්, මිත්‍යාවෙන් 2% කුත් අන්තර්ගත විය හැකිය.සෑම ආගමකම කුඩා හෝ සත්‍යයක්; කුඩා හෝ විශිෂ්ඨ ඉගැන්වීමක් අන්තර්ගත විය හැක්කේ මේ නිසයි. නමුත් පූර්ණ සත්‍යය වන්නේ ක්‍රිස්තුන් වහන්සේ තුළ දැකිය හැකි දිව්‍යමය සත්‍යයයි.සෑම ආගමකම බොහෝ සමානකම් නිරීක්ෂණය කිරීමට හැකිය. නමුත් මේ සෑම ආගමක්ම දෙවියන් වහන්සේගේ නිර්මාණයක් යැයි අපට නිගමනය කළ නොහැකිය. ඔබ චිත්‍රාගාරයකට ගියහොත් ඔබට එකම වර්ණය බොහෝ සිතුවම් වලදී යොදාගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය.නමුත් එකම වර්ණය බොහෝ සිතුවම් වලදී යොදාගෙන තිබුණද ඒ සිතුවම් සියල්ලම ඇඳ ඇත්තේ එකම චිත්‍ර ශිල්පියෙකු යැයි අපට නිගමනය කළ නොහැකිය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයාය.කිතුනුවාට ක්‍රිස්තියානි ධර්මය තුළ ක්‍රිස්තුස් වහන්සේව අත්‍යවශ්‍ය වන ආකාරයට වෙනත් කිසිදු ආගමක නිර්මාතෘවරයෙකුව ඒ ඒ ආගම් වලට අත්‍යවශ්‍යය නොවේ.යමක් ආරම්භ කිරීමට ආරම්භකයාව අවශ්‍යය බව සත්‍යයකි, නමුත් යම් ආගමක අනුගාමිකයෙකු එම ආගමේ නිර්මාතෘවරයා සමඟ ක්‍රිස්තියානි ධර්මය තුළදී කිතුනුවා ක්‍රිස්තුස් වහන්සේව හමුවන ආකාරයේ අත්දැකීමකට ඇතුළු නොවේ.එයට හේතුව වන්නේ කිතුනුවා ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇති කරගන්නා පෞද්ගලික සම්බන්ධතාවය නමැති තීරණාත්මක සාධකය වේ.ක්‍රිස්තුස් වහන්සේ අනෙකුත් ආගමික ශාස්තෘවරුන්ට වඩා සුවිශේෂී බව මෙහිදීද පැහැදිලිව පෙනෙයි.බුදුන් බුදු දහම තුළද, කොන්ෆියුසියස් කොන්ෆියුශියානු වාදය තුළද, මොහොමඩ් ඉස්ලාම් ධර්මය තුළද, මෝසස් ජුදෙව් ආගම තුළද සිටින ස්ථානයට වඩා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ධර්මය තුළ සිටින්නේ ඉතා වෙනස්ම විදියේ ස්ථානයකය.බුදුදහම තුළ බුදුන්ව විශ්වාස කිරීමට පෙළඹවීමක් සිදු නොකරන අතර ඔබට මාර්ගඵල ලාභී කෙනෙකු බවට පත්වී ආශාවන් මැඩපැවැත්වීමට අවශ්‍යය නම් ඔහුගේ ඉගැන්වීම් අනුගමනය කළ යුතු බව පමණක් පවසයි.

 කොන්ෆියුෂියානුවාදය කොන්ෆියුසියස් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වා ගැනීමක් අපේක්ෂා නොකරයි.ඒ වෙනුවට එහිදී වැදගත් වන්නේ ඔහුගේ ආචාර ධර්ම හා ශික්ෂා පද පිළිපැදීම පමණක් වන අතර, එම ශික්ෂා පද පිළිපඳින ඕනෑම අයෙකුට තම මුතුන් මිත්තන් සමඟ සාමයට ඇතුළු වීමට හැකි බව පවසයි.මෝසෙස්ද මිනිසුන්ට අණ කළේ ඔහුව විශ්වාස කරන්න කියා නොව, දෙවි ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න කියායි.ඉස්ලාමයේද පවසන්නේ අල්ලා දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සිටිය යුතු බව මිසක මොහොමඩ් කෙරෙහි ඇදහිල්ලෙන් සිටිය යුතු බවක් නොවේ. නමුත් ඔබ ක්‍රිස්තියානිය දෙසට පැමිණෙන විට මෙහිදී ඔබට ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඉතා කුළුපග පෞද්ගලික බැඳීමක් අත්‍යවශ්‍යය බව පවසයි.

අපේ මනසින් හදවතින් කැමැත්තෙන් හා අපේ මුළු මානව පුද්ගලයා තුළින්ම තවත් ක්‍රිස්තුවරයෙකුව නිරූපණය කිරීමට අප අපොහොසත් වුවහොත් මෙහිදී අපට කිතුනුවෙකු බවට පත්වීමට නොහැකිය.මෙහිදී අපි උන් වහන්සේ සමඟ එකාත්මික විය යුතුය; ඒකාබද්ධ විය යුතුය.එම ඒකාබද්ධ වීම අපි උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අනුභව කරන හා ශ්‍රී රුධිරය පානය කරන තරමටම ඉතාමත් ගැඹුරුය.මිනිසුන් දිව්‍ය පූජා යාගයේ වටිනාකම කෙතරම්ද කියා දන්නවා නම් දිව්‍ය පූජා යාගයන් සඳහා සහභාගී වන මහා ජනකාය පාලනය කිරීමට දේවස්ථාන වල දොරටු ඉදිරියට පොලීසිය යෙදවීමට සිදුවනු ඇති බවට ශුද්ධවූ පාද්රේ පියෝ මුනිතුමා පැවසුවේ මේ නිසාය.

කිතුනු අපේ දේවධර්ම දිනපොත