BLANTERORBITv101

ශාන්ත මාග්‍රට්

 


ශාන්ත මාග්‍රට්; වැරදි චෝදනා වලට ලක්වූවන්ගේ, නිවාස හා රැකියා නොමැතිව ඉබාගාතේ ඇවිඳින්නන්ගේ, දෙමාපියන් අහිමිවූවන්ගේ, සිහිවිකල් වූ හා මානසික රෝග වලින් පෙළෙන්නන්ගේ, පවුලේ තුන්වැනි දරුවන්ගේ, ශ්‍රද්ධාව නිසා සමච්චලයට ලක්වූවන්ගේ, ගණිකා වෘත්තිය අත්හැර දැමූවන්ගේ හා ලිංගික පෙළඹවීම් වලට ලක්වන්නන්ගේ නාම සාන්තුවරියයි.වර්ශ 1247 දී ඉතාලියේ ලැවියානෝහි උපත ලැබූ ශාන්ත මාග්‍රට්, ප්‍රැන්සිස්කානු තෙවැනි නිකායේ පශ්චාත්තාපික ව්‍යාපාරයේ සාමාජිකාවකි.මෙතුමියගේ පියා සුළු ගොවියෙකි.වයස අවුරුදු 07 දී මෙතුමියගේ මවද මියගොස් ඇත.ඇගේ කුඩම්මාද ඇයට හොඳ සැළකිල්ලක් ලබා දුන්නේ නැත.තම නිවසෙන් ප්‍රතික්ෂේපයට ලක්වීම නිසා ශාන්ත මාග්‍රට්, මොන්ටෙපුල්සියානෝහි තරුණයෙකු සමඟ රහසින් පැනගිය අතර විවාහයකින් තොරව ඇය ඔහුගෙන් දරුවෙකු ලැබුවාය.අවුරුදු 09 කට පසුව ඇගේ පෙම්වතාව ඝාතනයට ලක්වුණි.ශාන්ත මාග්‍රට් මොන්ටෙපුල්සියානෝව අතහැර තම පියාගේ නිවසට පසුතැවිලි වී ආපසු පැමිණියාය.තම පියා විසින් තමාවද, තම දරුවාවද භාර ගැනීම ප්‍රතික්ෂේප කළ විට ශාන්ත මාග්‍රට් කෝර්ටෝනාහි කතෝලික තාපසයන් විසින් පවත්වාගෙන යනු ලබන බාලවයස්කරුවන්ගේ උපස්ථානාගාරයකට ගිය අතර එහිදී ඇයට අවශ්‍යය රැකවරණය ලැබුණි.

එහෙත් ශාන්ත මාග්‍රට් හට තවමත් තම මාංශයේ පරීක්ෂාවන් ජය ගැනීමට අපහසු විය.එක් ඉරිදාවක ඇය ගෙල වැළලා ගැනීමේ අදහසින් නැවත ලැවියානෝ වෙත පවා ගොස් තිබුණාය.දිව්‍ය පූජාවේදී නිතරම ඇය සිය අතීත ජීවිතයේ අපකීර්තිය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියාය.ඇය තම මුහුණ පවා විකෘති කර ගැනීමට උත්සාහ කළ අතර ජියුන්ටා නමැති තාපසයෙකු විසින් ඇගේ එම වැරදි උත්සාහයන් වළක්වා ඇත.ශාන්ත මාග්‍රට් තම පාප වලට වන්දි ගෙවීමක් ලෙස රෝගාතුර වූ කාන්තාවන්ට සාත්තු සප්පායම් කරමින් ජීවත් විය. පසුව ඇය එය අත්හැරියේ රෝගාතුර වූ දුප්පතුන්ට කිසිදු වේතනයක් නොමැතිව සේවය කිරීම සඳහාය. අවසානයේදී, ඇය ශාන්ත ප්‍රැන්සිස්ගේ තුන්වැනි නිකායට සම්බන්ධ වූ අතර, ඇගේ පුතාද වසර කිහිපයකට පසු ප්‍රැන්සිස්කානුවන් සමඟ සම්බන්ධ විය.ශාන්ත්‍ර මාග්‍රට් යාච්ඤා ජීවිතයෙන් වේගයෙන් ඉදිරියට ගොස් ඇති අතර ජේසුස් වහන්සේ සමඟ සෘජුවම කතා කිරීමේ භාග්‍යයද ඇයට ලැබී ඇත. තාපස ජියුන්ටා විසින් දෙවියන්ගෙන් ශාන්ත මාග්‍රට් හට ලැබුණු පණිවිඩ කිහිපයක්ම වාර්තාගත කළේය. ඒ පණිවිඩ සියල්ලම ඇය හා පමණක් සම්බන්ධ වූ ඒවා නොවනු අතර, ඇය ධෛර්ය සම්පන්නව අන් අයට එම පණිවිඩ ඉදිරිපත් කළාය.

වර්ශ 1286 දී ශාන්ත මාග්‍රට් හට රෝගී දුප්පතුන් වෙනුවෙන් ස්ථිර පදනමක් මත වැඩ කිරීමට අවසර ලබාදෙන ශාසනපත්‍රයක් ප්‍රදානය කරන ලදී.සමහරු තම තමන්ගේ පුද්ගලික උපකාරයෙන්ද තවත් සමහරු මූල්‍ය ආධාරයෙන්ද ශාන්ත මාග්‍රට්ගේ සේවාව සමඟ එක් වූහ.මාග්‍රට්, ඇගේ කණ්ඩායම ප්‍රැන්සිස්කානු ගිහි තාපස සංවිධානයක් බවට පත්කරන ලද අතර ශුද්ධවූ සභාව ඔහුන්ව, "දිළින්දන්" ( Poverelle ) ලෙසින් හැදින්වූවාය.ඇය කෝර්ටෝනාහි නව රෝහලක් සහ දයාවේ අප ස්වාමිදුවගේ ආගමික ප්‍රජාවද ආරම්භ කළාය. කෝර්ටෝනාහි සමහරු ශාන්ත මාග්‍රට්, තාපස ජියුන්ටා සමඟ අනියම් පෙමක් පවත්වාගෙන යන බවට වැරදි ලෙස චෝදනා කළහ.ශාන්ත මාග්‍රට් දිගින් දිගටම මෙම අවකල්ක්‍රියාවට එරෙහිව දේශනා කළ අතර බොහෝ දෙනෙක් ඇය හරහා නැවත සක්‍රමේන්තු ජීවිතය වෙත ගියහ.ඇය දිව්‍ය සත්ප්‍රසාදයේ හා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තියේ අභිරහස් කෙරෙහි අසාමාන්‍ය ප්‍රේමයක් පෙන්වූවාය.වර්ශ 1297 පෙබරවාරි මස 22 වැනිදා කෝර්ටෝනාහිදි වයස අවුරුදු 49 දී පමණ ස්වර්ගස්ථ වූ ශාන්ත මාග්‍රට්ව, වර්ශ 1728 මැයි මස 16 වැනිදා, XIII වැනි බෙනඩික්ට් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් ශුද්ධවරයටද ඔසවන ලදී.

කිතුනු අපේ දේවධර්ම දිනපොත