BLANTERORBITv101

පූප කැඩීම සහ දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ

📌️ 1 කොරින්ති 11: 23 - 25

" මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී රොටියක් රැගෙන, 

ස්තුති කොට, කඩා: ''මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ''යි වදාළ සේක.  එලෙස ම රාත්‍රි කෑමෙන් පසු කුසලාන ද රැගෙන: ''මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ''යි වදාළ සේක. 

🏵️ ශුද්ධ වූ පාවුලු තුමාගේ ඉහත දැක්වෙන බයිබලීය වගන්ති අනුව ශුද්ධ වූ කතෝලික සභාවේ ශුද්ධ වූ දිව්‍ය සත්ප්‍රසාදය නැමැති සක්‍රමේන්තුවෙහි ගැඹුරු අර්ථයක් දැක්වේ. දිව්‍ය සත්ප්‍රසාදය ක්‍රිස්තුන්වහන්සේගේ ශ්‍රී ශරීරය සංකේතයක් හෝ සැමරීමක් නොවේ. එය උන්වහන්සේගේ ශ්‍රී ශරීරය සහ ශ්‍රී රුධිරයයි . එය අපට දානය කරන ලද්දේ ක්‍රිස්තුන්වහන්සේ විසින්ම ය.  එසේම ඒ තුළ ක්‍රිස්තුන් වහන්සේ ජීවමානව වැඩ සිටිති. 

📌️ පූප කැඩීම 

🏵️ මූලධර්මවාදී සභාවල පූප කැඩීම සහ කතෝලික සභාවේ දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ අතර විශාල වෙනසක් පවතී . ඔවුන් පාන් හෝ රොටි හෝ කඩා එකිනෙකා අතර බෙදා ගැනීම කිසිසේත් ක්‍රිස්තුන්වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනයට සමකල නොහැක . 

🏵️ අන්තිම රාත්‍රී භෝජනයේ දී උන්වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ ස්ථාපිත කලා පමණක් නොව එය සැමරීම සඳහා ශුද්ධ වූ පූජකවරය ද ස්ථාපිත කරන ලදී. ඒ අනුව දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ සැමරීම උන්වහන්සේ විසින්ම අපෝස්තුළුවරුන් මත පිහිටවූ අතර එය අපෝස්තුළුවරුන්ට පමණක් සීමා වූ පූජක කාර්යයකි. 

🏵️ එම පූජක කාර්යය සෑම කෙනෙකුටම ලබා දුන්නේ නැත . ඒ අනුව ඕනෑම අයකු හෝ කණ්ඩායමක් රොටියක් හෝ පාන් ගෙඩියක් ගෙන ඒවා කඩා කා බී තෘප්තිමත් වීම සහ දිව්‍ය සත්ප්‍රසාද පූජක මෙහෙවර අතර ඇත්තේ ඉමහත් වෙනසකි.

📌️ ශ්‍රී රුධිරය

🏵️ ජේසුස්වහන්සේ තම මාංශය මෙන්ම තම රුධිරය ද එකසේම ස්ථාපිත කළ සේක . ඒ සඳහා භාවිත කරන ලද්දේ සුවිශේෂ වූ මුද්‍රිකපානයක් වූ අතර එමගින් උන්වහන්සේගේ ශ්‍රී රුධීරය සංකේතවත් කිරීමක් නොව එය ශ්‍රී රුධිරය බවට හැර වෙන බව උන්වහන්සේ ජුවාම් සුවිශේෂයෙහි පැහැදිලිවම වදාරා ඇත . 

📌️ ජුවාම් 6:51

"ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය''යි වදාළ සේක. 

🏵️ මූලධර්මවාදී සභාවල මෙය ගෙන ඇත්තේ විහිළුවකටය. ඔවුන් විවිධ පානයන් සහ වයින් වර්ග ගෙන ඒවා බෙදාගෙන බීම ,ජේසුතුමාගේ ශ්‍රී ශරීරයට කරන නිගරුවකි. 

📌️ පූජක මෙහෙවර 

🏵️ දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත ඕනෑම ගිහියෙකුට කළ හැකි පිළිවෙතක් නොවේ . ඒ සඳහා ශුද්ධ වූ බයිබලය පදනමක් සහ ශුද්ධ වූ මෙහෙවරක්  සිදුකළ යුතුය . අවසාන රාත්‍රී භෝජනය උන්වහන්සේ සිදු කරනු ලැබුවේ තමාගේම කුරුසයේ දුක්විඳීම සහ මරණය යි. එහිදී යාගය සහ යාග වන දෙය අතර වෙනසක් නොමැත .

🏵️ දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙතේදී ද පියතුමා ක්‍රිස්තුන්වහන්සේගේ යාගය ඔප්පු කරන්නේ තමාවම පුදසුන මත යාගයක් ලෙස ඔප්පු කිරීමෙනි. එනමුත් යම් මූලධර්මවාදී කණ්ඩායම් බොහෝ ගිහියන් විසින් සිදු කරනු ලබන පූප කැඩීම කතෝලික සභාවේ පැවත එන දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත සමඟ සම කරන්නට උත්සාහ කිරීම විහිළුවකි. 

📌️ ශුද්ධත්වය

🏵️ ජේසුතුමන් අවසන් රාත්‍රී භෝජනය සැමරීම සඳහා විශේෂ ස්ථානයක් තෝරාගෙන ඇත. එලෙසම දිව්‍ය සත්ප්‍රසාදවහන්සේ සැමරීම යන සුවිශේෂී පුදසුනක් මත මෙන්ම විශේෂයෙන්ම සූදානම් කළ ස්ථානයක එහි ශුද්ධත්වය රැකෙන පරිදි සිදු කළ යුතුය. එසේ නමුත් මූලධර්මවාදී සභාවල එවන් තත්ත්වයක් දක්නට නොලැබේ. 

📌️ දිව්‍ය පූජාව සහ බයිබල් මෙහෙය

🏵️ දිව්‍ය පූජාව ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වන බව කතෝලිකයෝ දනිති. පළමුවෙන්ම දේව වචන පිළිවෙත හෙවත් දේශනය දක්වා , දිව්‍ය පූජාවේ පළමුවන කියවීම ,දෙවන කියවීම , පිලිතුරු ගීය සහ සුවිශේෂයයි . දිව්‍ය සත්ප්‍රසාදීය පිලිවෙත දිව්‍ය පූජාවේ දෙවන කොටසයි. 

🏵️ දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙතට අවතීර්ණ වීමට ප්‍රථමයෙන් සෑම විටම දේව වාක්‍ය පිළිවෙත සිදු කරන ලදී. අපෝස්තුලුවරුන්ගේ පූප කැඩීම හෙවත් මුල් කිතුනු සංඝවල අවසාන රාත්‍රී භෝජන පිලිවෙත සිහිකිරීමේ මෙහෙයන් හිදී මෙන්ම  ක්‍රිස්තුන්වහන්සේගේ උත්ථානයෙන් පසු උන්වහන්සේ සිය ගෝලයන්ට විටින් විට දර්ශනය වී පූප කැඩීම සිදුකළ අවස්ථාවන්වලදී ප්‍රථමයෙන්ම දේව වචනය පහදා දෙන ලදී.

🏵️ ඒ අනුව දේව වචනය මෙහෙය පරිපූර්ණ වන්නේ දිව්‍ය සත්ප්‍රසාදීය මෙහෙය තුළ වන අතර දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙත පරිපූර්ණ වන්නේ දේව වාක්‍ය මෙහෙය තුළය .

🏵️ දිව්‍ය පූජාවේදී දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙතට ප්‍රථමයෙන්ම දේව වචනය මෙහෙය අනිවාර්ය වේ. ඒ අනුව පෙනීයන්නේ මූලධර්මවාදීන්ගේ බයිබල් මෙහෙයන් දිව්‍ය පූජාවට හෝ දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙතට කිසිසේත්ම සම කළ නොහැකි බවයි . දිව්‍ය සත්ප්‍රසාදීය පිලිවෙත ඔවුන්ගේ (පූප කැඩීම ) මෙහෙයන්හි දී  අසම්පූර්ණ බව පැහැදිලිය.

🏵️ මෙම කරුණු මත කතෝලික දිව්‍ය සත්ප්‍රසාදීය උත්තරීතර පිලිවෙත , මූලධර්මවාදීන්ගේ බයිබල් මෙහෙයන් සමඟ කිසිසේත් සම කළ නොහැක .

✍️ ශාස්ත්‍රපති , 

ගරු කෙනඩි පෙරේරා පියතුමා

ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුව