BLANTERORBITv101

නර්සියාහි ශුද්ධවූ බෙනඩික්ට් මුනිතුමා

වර්ශ 480 මාර්තු මස 02 දා රෝම වංශාධිපතියෙකුගේ පුතෙකු ලෙසත්, ස්කොලස්ටිකා නමැති තම සහෝදරියගේ නිවුන් සොහොයුරා ලෙසත් නර්සියාවේදී උපත ලැබූ ශුද්ධවූ බෙනඩික්ට් මුනිතුමා යුරෝපයේ හා නර්සියාහි නාම සාන්තුවරයාය.අධ්‍යාපනය අවසන් කිරීම සඳහා තරුණ බෙනඩික්ට්ව හෙදියක් ( ගෘහ සේවිකාවක් ) සමඟ රෝමයට යවන ලදි.එකල තරුණ බෙනඩික්ට්ගේ ප්‍රමුඛතම විශය වූයේ ඒත්තු ගැන්වීමේ කථන හා ලිඛිත කලාවක් වන වාගලංකාර ශාස්ත්‍රයයි ( rhetoric ).

මෙහිදී සාර්ථක කථිකයෙකු යනු හොඳම තර්කය හෝ සත්‍යය ප්‍රකාශ කළ අයෙකු නොව, යමක් ඒත්තු ගැන්වීම සඳහා වාග් රිද්මය, වාග් ලීලාව හා පෙළඹවීමේ වාග් තාක්‍ෂණික ශිල්ප භාවිතා කළ අයෙකි.මෙය පුහුණු වන සිසුන්ගේ අධ්‍යාපනික ඉලක්කය වූයේ හදවතේ පදනමක් නොමැති කටහඬේ හුදු බලයක් පමණි.බෙනඩික්ට් තම සගයන්ගේ මෙම නිශ්ඵල ක්‍රියාව දෙස භීතියෙන් බලා සිටියේය.තම ආත්මය පිළිබඳ දැඩිව බියවූ බෙනඩික්ට් රෝමයෙන් පලා ගොස්, තම උරුමයද අතහැර දමා කුඩා ගමක ජීවත් වීමට තීරණය කළේය.දෙවියන් වහන්සේ මේ ජීවිතයෙන් ඔබ්බට වඩාත් ගැඹුරු හුදෙකලාවකට ඔහුව කැඳවූ විට, ශාන්ත බෙනඩික්ට් සුබියාකෝ කඳුකරය වෙතට ගියේය.පැවිද්දෙකු බවට පත්වීම තම ජීවිත අරමුණ නොවූවත්, එහිදී ඔහු රොමානස් නමැති තාපසයෙකුගේ මඟ පෙන්වීම යටතේ පැවිද්දෙකු ලෙස ජීවත් වීමට පටන් ගත්තේය.

එක් දිනක්, විලකට ඉහළින් තිබූ ගුහාවක තාපසයෙකු ලෙස ජීවත් වෙමින් සිටියදී, යක්ෂයා පොළඹවන සුළු කාන්තා රූපයක් ලෙසින් ශාන්ත බෙනඩික්ට්ගේ මනසේ පෙනී සිටියේය.ශාන්ත බෙනඩික්ට් ඔහුගේ සිරුර තුවාල කැළැල් වලින් වැසෙන තුරු කටු පඳුරක පෙරළීමෙන් ඊට විරුද්ධව සටන් කළේය.මෙම ශරීර තුවාල තුළින් ඔහු සිය ආත්මයේ තුවාල සුව කරගත් බව කියනු ලැබේ.වසර ගණනාවක යාච්ඤා ජීවිතයෙන් පසුව ශාන්ත බෙනඩික්ට්ක් තුළ තිබූ ශුද්ධවන්තකම පිළිබඳ පණිවිඩය නිසා අසල්වැසි තාපසයන් තමන්ගේ නායකයා වන ලෙසට ශාන්ත බෙනඩික්ට්ගෙන් ඉල්ලා සිටියේය.

එහිදී ශාන්ත බෙනඩික්ට් ඔහුන්ට අනතුරු අඟවා කියා සිටියේ තමන්ගේ නායකත්වය ඉතා දැඩි එකක් විය හැකි බවයි.නමුත් ඔහුන් ඊට එකඟව බෙනඩික්ට් හට තමන්ට නායකත්වය ලබාදෙන ලෙසට දැඩිව බල කර සිටියහ.ශාන්ත බෙනඩික්ට්ගේ අනතුරු ඇඟවීම සත්‍යයක් බවට පත්වූයේ පසු කලෙක බෙනඩික්ට්ගේම එම අනුගාමිකයන් විසින් ශාන්ත බෙනඩික්ට් හට වස ලබාදීමෙන් අනතුරුවය.කථාව අනුව, තාපසයෝ ශාන්ත බෙනඩික්ට්ගේ පානයකට වස දමා ඔහුව ඝාතනය කිරීමට උත්සාහ කළ නමුත් ශාන්ත බෙනඩික්ට් කුසලානය මතට ආශීර්වාදයක් ඉල්ලා යාච්ඤා කළ විට එය සුනුවිසුනු වී ඇත.මේ නිසා ශාන්ත බෙනඩික්ට් නැවතත් හුදෙකලාව සිටියේය - නමුත් වැඩි කලකට නොවේ.

ශාන්ත බෙනඩික්ට්ගේ ඊළඟ අනුගාමිකයන් පිරිස පළමු අයට වඩා අව්‍යාජ වූ අතර එහිදී ඔහු සුබියාකෝහි හුදෙකලාව වෙන්වී වාසය කරන තාපස පිරිස් 12 ක් සඳහා තාපසාරාම දොළහක් පිහිටුවන ලදී.වෙනත් තාපසයෙකුගේ ඊර්ෂ්‍යාකාරී ප්‍රහාර නිසා තමාගේ අධ්‍යාත්මික නායකත්වය දිගටම කරගෙන යාමට නොහැකි වූ විට ශාන්ත බෙනඩික්ට් හදිසියේම මෙම තාපසාරාම වලින් ඉවත්ව ගියේය.නමුත් මොන්ටේ කැසිනෝහිදී ඔහු ආරම්භ කළ තාපසාරාමය ශුද්ධවූ සභාවේ පැවිදි තාපස ක්‍රමයේ මුදුන් මුලක් බවට පත්විය.එකිනෙකට වෙන්වූ කුඩා තාපස ප්‍රජාවන් ආරම්භ කරනවා වෙනුවට ශාන්ත බෙනඩික්ට් විසින් සිය අනුගාමිකයන් සියලු දෙනාව එකම නොබෙදුනු තනි ප්‍රජාවක් ලෙසින් එකතු කර ගත්තේය.ඔහුගේම සහෝදරිය වන ශාන්ත ස්කොලාස්ටික් තුමියද පැවිදි ජීවිතයක් ගත කිරීම සඳහා ඒ අසලින් පදිංචි වී සිටියාය.

වසර 1500 කට ආසන්න පැවිදි තාපස සම්ප්‍රදාය ශාන්ත බෙනඩික්ට්ගේ මඟපෙන්වීම් වලින් බොහෝ ලෙස පොහොසත් වී ඇත.ශාන්ත බෙනඩික්ට පෙර වෙනත් කිසිවෙකු තාපස ප්‍රජාවන් පිහිටුවා ඔහුන්ව නීති රීති සංග්‍රහයක් ඔස්සේ මෙහෙයවා නැත.පැවිදි තාපස දිවිය පිළිබඳව ශාන්ත බෙනඩික්ට්ගේ විශ්වාසයන් හා මඟ පෙන්වීම් ඇතුළත්, "බෙනඩික්ට්ගේ පාලනය" ( Rule of Saint Benedict ) සියවස් 15 මුළුල්ලේ හා අද දක්වාම අපගේ කිතුනු පැවිදි දිවිය මෙහෙයවයි.එසේම දෙවියන් වහන්සේ වෙතට ළඟාවීම සඳහා කටහඬේ බලය නැති කර ගැනීමටද බෙනඩික්ට් කැමති වූයේ නැත.ඔහු අපට මෙලෙස පවසයි: "හදවතේ ස්වරයට, අපගේ කටහඬ එකඟ වන පරිදි සජ්ඣායනය නගමු".ආහාර ගැනීමට පෙර, අමුත්තන් පිළිගැනීමේදී හා නවකයින්ට ඉගැන්වීමේදී ශාන්ත බෙනඩික්ට්ගේ පැවිදි පංති වල දේව වචනයේ ශබ්ද නඟා කියැවීම් බහුලව භාවිත වී ඇත.

එක් වරක් වචන ඇසීම ප්‍රමාණවත් නොවීය. එබැවින් ශාන්ත බෙනඩික්ට් මෙලෙස සටහන් කර ඇත: "මෙම නියමය ප්‍රජාවට නිතර කියවීමට අපි ප්‍රාර්ථනා කරමු".ශක්තිමත්ම සහ සත්‍යයදායී ලෙසම වචන වල බලය ඇත්තේ, දේව වචනය තුළ බව ශාන්ත බෙනඩික්ට් වටහා ගත්තේය.යාච්ඥාව සඳහා ශාන්ත බෙනඩික්ට්, ජේසුස් වහන්සේ විසින්ම යාච්ඥා කිරීම සඳහා භාවිත කළ ගීතාවලියේ ගීත යොදා ගත්තේය.දවස මුලුල්ලේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම සඳහා අපගේ කටහඬ භාවිතයෙන් ජේසුස් වහන්සේ සමඟ එක්වීම කොතරම් වැදගත්ද කිවහොත් ශාන්ත බෙනඩික්ට් එය “දේව කාර්යයක්” ලෙස හැඳින්වීය.

නමුත් වචන පමණක් කතා කිරීම පමණක් ප්‍රමාණවත් නොවීය.ශාන්ත බෙනඩික්ට් තම අනුගාමිකයන්ට තවදුරටත් උපදෙස් දුන්නේ, ශුද්ධවූ ලියැවිල්ල එදිනෙදා ජීවිතයේදී පුහුණු වන ලෙසටයි. ශාන්ත බෙනඩික්ට් විසින් භාවිත කළ "දිව්‍යමය කියවීම" ( Lectio Divina ) නමැති පියවර පහේ ක්‍රමය අනුගමනය කිරීමෙන් එය මනාව පැහැදිලි වේ.එහි පියවර මෙසේය.එනම්;

(01) කියවීම: බයිබලය තුළ ඡේදයක් සෙමින් හා ප්‍රවේශමෙන් කියවන්න.

(02) යාච්ඤාව: දෙවියන් වහන්සේ සමඟ ප්‍රේමණීය සංවාදයක් පැවැත්වීම.

(03) භාවනා කිරීම: ශුද්ධවූ ලියවිලි පාඨය තුළ ඇති අධ්‍යාත්මික යථාර්ථය පිළිබඳ ගැඹුරින් සිතීම හෝ එය තවදුරටත් විශාල කර බැලීම.

(04) මෙනෙහි කිරීම: දෙවියන් වහන්සේගේ වැඩ සිටීම ( දිව්‍ය සත්ප්‍රසාදය ) ඉදිරියෙහි නිශ්චලව සිටීම.

(05) ක්‍රියාවට නැංවීම: ඉටාගත් ලෙසම ගොස් කරන්න.

මෙම "දිව්‍යමය කියවීම" සඳහා ශාන්ත බෙනඩික්ට් විසින් සෑම දිනකම පැය හතරක් හෝ හයක් වෙන් කරන ලදී.තාපසයින්ට නිදහස් කාලයක් ඇත්නම් එය ගීතාවලියේ "දිව්‍යමය කියවීම" සඳහා යොදාගත යුතු බවට ශාන්ත බෙනඩික්ට් විසින් නියම කර ඇත. ශුද්ධවූ ලියැවිල්ල අපට කට පාඩම් විය යුත්තේ හුදෙක් පොතක් පාඩම් කර පැවසීමෙන් නොව, එදිනෙදා ජීවිතයේදී ශුද්ධවූ ලියැවිලි පාඨ ක්‍රියාවට නැංවීම තුළින් අප ගොඩනඟා ගත් අත්දැකීම් වල මතකයෙන් විය යුතු බවට ශාන්ත බෙනඩික්ට් විසින් අවධාරණය කළේය.ශාන්ත බෙනඩික්ට් දේව වචනය රසවින්දේ දෙවියන් වහන්සේගේ දෑතේ ආයුධයක් වෙමින් එය එදිනෙදා ජීවිතයේදී ක්‍රියාවට නැංවීම මඟිනි.

ශාන්ත බෙනඩික්ට්ගේ තවත් එක් කතාවක මෙලෙස සඳහන් වේ.එක් දුප්පත් මිනිසෙකු තෙල් ස්වල්පයක් ඉල්ලමින් ශාන්ත බෙනඩික්ට්ගේ තාපසාරාමය වෙත පැමිණියේය.එම පුද්ගලයාට අවශ්‍යය කරන තෙල් ලබා දෙන ලෙසට ශාන්ත බෙනඩික්ට් විසින් අණ කළද, තාපසාරාමයේ සිටි ආහාරපාන සැපයීම සඳහා වගකිව යුතුවූ පුද්ගලයා විසින් එය ප්‍රතික්ෂේප කළේය - මන්ද ඉතිරිව තිබුණේ ඉතා සුළු තෙල් ප්‍රමාණයක් පමණි.

දෙවියන් වහන්සේගේ දිව්‍යමය සැපයීම ගැන තම තාපසාරාමයේ සිටි මෙම පුද්ගලයාගේ අවිශ්වාසය ගැන කෝපයට පත් ශාන්ත බෙනඩික්ට් යාච්ඤා කිරීම සඳහා දණ ගැසීය.ඔහු යාච්ඤා කරන අතරතුරදී තෙල් භාජනය ඇතුළතින් බුබුළු නඟන හඩක් නිකුත් විය.අනෙකුත් තාපසයන් බලා සිටියදීම තෙල් භාජනයෙන් පිටාර ගලා ගිය තෙල් පොළව මතටද ගලා ඒමට පටන් ගත්තේය.මේ ආකාරයෙන් අපවම හිස් කර ගැනීමෙන් දෙවියන් වහන්සේගේ බහුල යහපත්කම අපගේ හදවත් තුළට ගලා එන බව නිසැකය.වර්ශ 547 මාර්තු මස 21 වන දින ශාන්ත බෙනඩික්ට් මිය ගියේය.වර්ශ 1220 දී III වැනි හොනොරියස් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් මෙතුමාව ශුද්ධවරයට ඔසවන ලදී.

කිතුනු අපේ දේවධර්ම දිනපොත