BLANTERORBITv101

පළමු ක්‍රිස්තියානි තාපසයා වන තීබ්ස්හි ශුද්ධවූ පාවුළු මුනිතුමා

වර්ශ 227 දී ඊජිප්තුවේදී උපත ලැබූ මෙතුමාව මහා අන්තෝනි මුනිදුන්ගේ ගෝලයෙකු වූ සරල පාවුළු සමඟ පටලවා නොගත යුතුය.තීබ්ස්හි ශාන්ත පාවුළුගේ කතාව, "පළමු තාපසයා වන ශාන්ත පාවුළුගේ ජීවිත කතාව" ( Vita Pauli primi eremitae ) ලෙසින් වර්ශ 375–376 අතර සභාපිය ශාන්ත ජෙරොම් විසින් ලතින් භාෂාවෙන් රචනා කර ඇත. වයස අවුරුදු 15 දී අනාථයෙකු බවට පත්වූ ශාන්ත පාවුළු, වසර 250 දී පමණ ට්‍රජානස් ඩෙසියස් අධිරාජ්‍යයාගේ ( වර්ශ 201-251 දක්වා ) ක්‍රිස්තියානි පීඩනය නිසා මිතුරෙකුගේ නිවසේ සැඟවී සිටියේය. ශාන්ත පාවුළුගේ දේපළ වල අයිතිය ලබා ගැනීමේ අදහසින් ශාන්ත පාවුළුව පාලකයන් වෙතට පාවා දීමට ඔහුගේ මස්සිනා විසින් උත්සහ කිරීම නිසා ශාන්ත පාවුළු වයස අවුරුදු 22 දී පමණ ඊජිප්තු කාන්තාරයේ පිහිටි ගුහාවක් වෙත පලා ගියේය. තත්වය පාලනය වූ පසු ශාන්ත පාවුළු ආපසු සිය රට බලා යාමට සැලසුම් කර තිබූ නමුත් කාන්තාරයේ තිබූ සාමකාමී හුදකලාව බව ඔහුව එහි තවදුරටත් නැවතී සිටීමට පොළඹවා ගත්තේය.ඔහු වාසය කළ ගුහාව අසළ තිබූ තල් ගසක් හා දිය උල්පතක් ඔහුට වයස අවුරුදු 43 වන තෙක්ම ආහාර, ඇඳුම් පැළඳුම් සහ ජලය ලබා දුන්නේය.එසේම ඒ කාලයෙන් පසුව, එළියා දිවැසිවරයාට සිදු වූවාක් මෙන්, විශාල කළු කපුටෙකු සෑම දිනකදීම ශාන්ත පාවුළු වෙත පාන් රැගෙන පැමිණියේය.

ශාන්ත පාවුළු පිළිබඳව දැනගත් කාන්තාරයේ මහ අන්තෝනි මුනිතුමා ( වර්ශ 251-356 දක්වා ) විසින් ශාන්ත පාවුළුව සොයා ගිය අතර අන්තෝනි හට වයස අවුරුදු 113 ක් වූ ශාන්ත පාවුළුව ඔහුගේ ගුහාව තුළදී ශාන්ත අන්තෝනිට හමුවිය.මේ තාපසයන් දෙදෙනාම එක රැයකින් හොඳ මිතුරන් දෙදෙනෙකු බවට පත්විය.ඔවුන් දෙදෙනා කපුටා ගෙනා පාන්ද බෙදාගෙන, ලෝකයේ සිදුවීම් ගැන සාකච්ඡා කරමින් යාච්ඤා කළෝය.ශාන්ත අන්තෝනි සිතුවේ තමාට හොඳ සහකාරයෙක් හමු වූ බවයි.නමුත් ශාන්ත පාවුළු දැනගෙන සිටියේ දෙවියන් වහන්සේ ශාන්ත අන්තෝනිව තමා වෙතට එව්වේ තමාගේ මරණයට උදව් කිරීමට බවයි.

ඔවුන් දෙදෙනාගේ හමුවීම ශාන්ත පාවුළුගේ චරිතාපදානයේ විස්තර කර ඇත.ශාන්ත පාවුළු විසින් ශාන්ත අන්තෝනි හට මෙසේ කීවේය: "මෙම ප්‍රදේශ වල ඔබ වාසය කරන බව මම බොහෝ කාලයක සිට දනිමි.දෙවියන් වහන්සේ දිගු කලක් තිස්සේ ඔබව මට සහකරුවෙකු ලෙස ලබාදෙන බවට පොරොන්දු වී තිබේ.මාගේ සදාකාලික නින්දේ පැය පැමිණ ඇති නිසාත්, මම නිතරම ක්‍රිස්තුස් වහන්සේ සමඟ විසීමට කැමති නිසාත්, දිවීම අවසන් කර තිබෙන මට ඇදහිල්ලේ කිරීටය ඉතිරිව තිබේ.ඔබව දෙවියන් වහන්සේ එවා ඇත්තේ මාත් සමඟ භූමියෙන් භූමියට යාමට වඩා මගේ තුච්ඡ දේහය භූමිදානය කිරීමටය".

කඳුළු සලමින් එම වචන අසා සිටි ශාන්ත අන්තෝනිව සතුටු කිරීම සඳහා ශාන්ත පාවුළු විසින් තම භූමිදානය සඳහා ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශාන්ත අතනාසියස්ගේ ( වර්ශ 296-373 ) සළුව රැඟෙන එන ලෙසට ඉල්ලුවේය.ශාන්ත අන්තෝනි විසින් එය රැගෙන ආපසු එන විට ශාන්ත පාවුළු දෑත් දිගු කොට දණ ගසා සිටිනු දුටුවේය.නමුත් ඔහු දැනටමත් මියගොස්ය.සිංහයන් දෙදෙනෙකු විසින් ශාන්ත පාවුළුගේ සොහොන හැරීමට උදව් වී ඇති අතර ශාන්ත අන්තෝනි විසින් ඔහුව ශාන්ත අතනාසියස් විසින් ලබාදුන් සලුවෙන් ඔතා භූමදාන කළේය.ශාන්ත පාවුළු විසින් අගය කොට සැළකූ ඔහුගේ තල් කොළ වස්ත්‍රය සංරක්ෂණ කර තබාගත් ශාන්ත අන්තෝනි, එය පාස්කු හා පෙන්තකොස්ත මංගල්‍යය වලදී ශාන්ත පාවුළුව සිහිවීම සඳහා පැළඳ ගත්තේය.

ශාන්ත පාවුළු තාපසාරාමය ( Deir Mar Boulos ), ශාන්ත පාවුළු වාසය කළ ගුහාවේ සහ ඔහුගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ ඉදිකර ඇතැයි සම්ප්‍රදායිකව විශ්වාස කෙරේ.මෙම තාපසාරාමය රතු මුහුද අසල, ඊජිප්තුවේ නැගෙනහිර කාන්තාර කඳුකරයේ පිහිටා ඇත.ශාන්ත පාවුළු පිලිපීනයේ සැන් පැබ්ලෝ රදගුරු පදවියේ නාම සාන්තුවරයා වන අතර පිලිපීනයේ ලග්නාහි සැන් පැබ්ලෝහි පිහිටි ආසන දෙව්මැදුර කැප කර ඇත්තේද එතුමාගේ නමටය.13 වන ශතවර්ෂයේදී ශාන්ත පාවුළුගේ ගෞරවය පිණිස ඔහුට කැප කළ පළමු පැවිදි පංතිය හංගේරියාවේදී ආරම්භ කරන ලදී.ඔහු සාමාන්‍යයෙන් තල් ගසකින්, සිංහයන් දෙදෙනෙකුගෙන් සහ කපුටෙකුගෙන් නිරූපණය කෙරේ.

කිතුනු අපේ දේවධර්ම දිනපොත