BLANTERORBITv101

ස්මර්නාහි ශාන්ත පොලිකාප් මුනිඳුන්

 


ලියොන්හි ශාන්ත ඉරනේසියුස් හා ටර්ටූලියන් යන දෙදෙනාම ශාන්ත පොලිකාප්, ජොහාන් අපෝස්තුළුවරයාගේ ශ්‍රාවකයෙකුව සිටි බවට වාර්තා කර ඇත.එසේම ශාන්ත ජෙරොම් විසින්ද ශාන්ත පොලිකාප්ව, ජොහාන් අපෝස්තුළුවරයා විසින් ස්මර්නාහි රදගුරුතුමා ලෙසින් අභිෂේක කළ බවට වාර්තා කර තිබේ - ( Illustrious Men.17 ).වර්ශ 65 දී උපත ලැබූ ශාන්ත පොලිකාප්ව; රෝමයේ I වැනි ශාන්ත ක්ලෙමන්ට්, අන්තියෝකියේ ශාන්ත ඉග්නාසියුස් වැනි අපෝස්තලික සභා පියවරුන් අතර ප්‍රධාන සභා පියෙකු ලෙස ගණන් ගනු ලැබේ. අපෝස්තුළුවරුන්ගේ පාමුල හිඳගෙන ජේසුස් වහන්සේ පිළිබඳව කතා ඔහුන්ගේම දෙතොල් වලින් ඇසීමට ලැබීම කොතරම් භාග්‍යයක්ද? ජේසුස් වහන්සේ සමඟ ගමන් කළ, ජේසුස් වහන්සේව තම දෑත් වලින්ම ස්පර්ශ කළ අය සමඟ ඇවිදීමට ලැබීම හා ඔහුන්ව තම දෑත් වලින්ම ස්පර්ශ කිරීමට ලැබීම කොතරම් භාග්‍යයක්ද? ජොහාන් අපෝස්තුළුවරයාගේ ශ්‍රාවකයෙකු වීමෙන් ශාන්ත පොලිකාප් ඒ භාග්‍යය ලැබුවේය.

අපෝස්තුළුවරුන්ගෙන් පසුව වහාම ශුද්ධවූ සභාවේ ලේඛක පරපුර ලෙස පත්වූ අපෝස්තලික සභා පියවරුන්ට, දේව වචනය ඉගැන්වීමේ කටයුතු වලදී අපෝස්තුළුවරුන් මුහුණ නොදුන් ගැටළුවකට මුහුණ දීමට සිදුවිය.ජේසුස් වහන්සේව ඇසින් දුටු සාක්ෂිකරුවන් අතුරුදහන් වූ විට කරන්නේ කුමක්ද? ජේසුස් වහන්සේගේ නිවැරදි ඉගැන්වීම් ඉදිරියටත් පවත්වාගෙන යන්නේ කෙසේද? මින් පෙර කිසි දිනෙක දහම ගැන මතු නොවූ නව ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ කෙසේද? අපෝස්තුළුවරුන්ගේ අභාවයත් සමඟ විවිධ මිත්‍යාදෘෂ්ටීන්, සත්‍යය ඉගැන්වීම් ලෙසින් ඉස්මතු වීමට පටන් ගැණුනි.කිතුනු පීඩනයද දරුණු වීමට පටන් ගැණුනි.ජනවන්දනාව ගැන මතභේදද ඉස්මතු වීමට පටන් ගැනුණි.ශුද්ධවූ මිනිසෙකු හා ස්මර්නාහි රදගුරුතුමා ලෙසින් ශාන්ත පොලිකාප් හට මෙයට තිබුණේ එක් පිළිතුරක් පමණි.එනම්, ජේසුස් වහන්සේගේ ජීවිතය අනුකරණය කිරීමයි. අන්තියෝකියේ ශාන්ත ඉග්නේසියුස්, ශාන්ත පොලිකාප්ට පැවසුවේ, “ඔබේ මනස නොසැලෙන පර්වතයක් මෙන් දෙවියන් වහන්සේ තුළ පදනම් වී ඇති” බවයි.මිත්‍යාදෘෂ්ටිකයන්ට එදිරිව ශාන්ත පොලිකාප්ගේ මුහුණුවර ඉතා සෘජු එකක් විය.ශාන්ත ඉග්නාසියුස් එම මුහුණුවර දැක පුදුමයට පත්විය. ශාන්ත පොලිකාප් තුළින්, ජේසුස් වහන්සේ කෛරාටික පරිසිවරුන්ට නොබියව මුහුණ දුන් ආකාරය ඔහු දුටුවේය.මාරිකන් මිත්‍යාදෘෂ්ටිකයන්ගේ නායකයා තමාට ස්වයං-ගෞරවය බලාපොරොත්තුවෙන් ශාන්ත පොලිකාප්ට පැවසුවේ, "පොලිකාප්, අපව හදුනාගන්න" කියාය.ශාන්ත පොලිකාප් ඔහුට ප්‍රතිචාර දැක්වූයේ, "මම ඔබව හඳුනා ගත්තෙමි.ඔව්, මම සාතන්ගේ පුත්‍රයාව හඳුනා ගත්තෙමි" කියාය. 

ශාන්ත පොලිකාප්, ක්‍රිස්තුස් වහන්සේ වින්ඳාක් මෙන් දුක් පීඩා වලට මුහුණ දුන්නේය.ඔහුව හැදින්වූයේ, "සුභාරංචියේ ආදර්ශය" කියාය.දිනක් අති කෘෘර ප්‍රාණ පරිත්‍යාග වීමකදී, ක්‍රිස්තියානීන්ට මල්ලව භූමියේදී වන සතුන් පහර දෙන විට ප්‍රේක්ෂකාගාරයේ රැස්ව සිටි සමූහයා ක්‍රිස්තියානීන්ගේ රුධිරය තව තවත් වැඩියෙන් ඉල්ලා කෑ ගැසුවෝය: "අදේවවාදීන්ව සම්පූර්ණයෙන්ම බිම හෙළන්න, පොලිකාප් වත් සොයාගන්න".ඔහුන් සිතුවේ ක්‍රිස්තියානීන් අදේවවාදීන් කියාය.මක්නිසාදයත් ක්‍රිස්තියානීන් ඔහුන්ගේ මිත්‍යාදෘෂ්ටික දෙවි දේවතාවුන්ව විශ්වාස කළේ නැත.ශාන්ත පොලිකාප් සන්සුන්ව සිටි නමුත් අනෙක් අය ඔහුව නගරයෙන් පිටවී අසළ ගොවිපලක සැඟවීමට පෙළඹවූහ.ඔහු තමා දන්නා අය සහ පල්ලිය වෙනුවෙන් යාච්ඤා කරමින් එහි කාලය ගත කළේය.ඔහු යාච්ඤා කරන අතරතුර, ඔහු ඔහුගේ කොට්ටය ගිනි ගන්නා ආකාරයේ දර්ශනයක් දුටු අතර, එහි අර්ථය තේරුම් ගත් ශාන්ත පොලිකාප්, ක්‍රිස්තු පීඩකයින් තමන්ව පණ පිටින් පිළුස්සා දැමීමට නියමිත බව ඔහු තම මිතුරන්ට දන්වා සිටියේය.

පීඩකයින්ගේ සෝදිසි කිරීම් නිසා ශාන්ත පොලිකාප් වෙනත් ගොවිපලකට පළා ගිය නමුත් පිරිමි ළමයින් දෙදෙනෙකුට වධහිංසා පමුණුවා ඔහුන් ශාන්ත පොලිකාප් සිටින තැන සොයා ගත්තේය.නිවසේ උඩුමහලේ සිටි ශාන්ත පොලිකාප්ට, ඔහුගේ මිතුරන් කුඩා අනතුරු ඇඟවීමක් කළ නමුත් "දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේ" යැයි කියමින් ඔහු එහිම නැවතී සිටීමට තීරණය කළේය.ඉන්පසු ශාන්ත පොලිකාප් පහළට ගොස්, ඔහුව අල්ලා ගැනීමට පැමිණි අය සමඟ කතා කොට ඔවුන්ට ආහාර වේලක්ද ලබා දුන්නේය.එසේ කිරීමෙන් ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තමාට යාච්ඤා කිරීමට පැයක් ලබා දෙන ලෙසයි.ඔහු තමන් දන්නා සෑම කෙනෙකුම සහ පල්ලිය වෙනුවෙන්ද යාච්ඤා කරමින් පැය දෙකක්ම ගත කළේය.ඔහුව අත්අඩංගුවට ගන්නට ආ බොහෝ දෙනෙක් කල්පනා කරන්නට පටන් ගත්තේ මේ ශුද්ධවූ රදගුරුවරයාව අත්අඩංගුවට ගත් යුත්තේ මන්ද යන්නයි.නමුත් එය ඔහුව සබත් දවසේදී මල්ලව භූමියට ගෙන යාමෙන් වළක්වා ගත්තේ නැත.ඔහු පිටියට පිවිසෙත්ම රැස්ව සිටි සමූහයා, ඔහුන් විසින් වෙනදාට ඔල්වරසන් දෙන සතුන් මෙන් ශාන්ත පොලිකාප්ව දුටු විට ක්‍රෝධයෙන් ගෙරෙව්වෝය.නමුත් තමාව මරා කෑමට බලන් සිටින සමූහයාට ඉහළින් ශාන්ත පොලිකාප්ට ස්වර්ගයෙන් හඩක් ඇසුනි: "පොලිකාප් නිර්භීත වෙන්න! මිනිහෙක් වගේ ක්‍රියා කරන්න".

වයස අවුරුදු අසූ හයක් වයසැති මෙම රදගුරුතුමාගේ වයස ගැන සළකා හෝ ඔහුව තමාට භාර දෙන ලෙසට ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය. ශාන්ත පොලිකාප් සන්සුන්ව සමූහයා දෙසට හැරී, ඔවුන් දෙස කෙළින්ම බලා, “අදේවවාදීන්ගෙන් ඉවතට යන්නැ”යි පැවසීය.ආණ්ඩුකාරවරයා දිගින් දිගටම ශාන්ත පොලිකාප් වෙනුවෙන් අයැද සිටියේය.තම ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය නම් සීසර්ගෙන් සමාව අයැද ඔහුට දිවුරුමක් ලබා දෙන ලෙසට ආණ්ඩුකාරවරයා ශාන්ත පොලිකාප්ට පැවසුවේය. නමුත් සාන්තුවරයා පිළිතුරු දෙමින්, "මම සීසර්ට දිවුරුම් දෙනු ඇතැයි ඔබ සිතන්නේ නම්, මම කවුදැයි කියා ඔබ නොදනී.මම කිතුනුවකු බව ඔබට පැහැදිලිව කියන්නමි"යි පැවසුවේය.ශාන්ත පොලිකාප්ගේ බය නැතිකම නිසා, ඔහුව පණපිටින් පුළුස්සා දමන බවට ආණ්ඩුකාරවරයා විසින් ඔහුට පැවසූ නමුත්, පැයක් පුරා දැවෙන ඒ තාවකාලික ගින්න, සදාකාලික නිරා ගින්නට වඩා හොඳ බව ශාන්ත පොලිකාප් දැන සිටියේය.තමාව පණ පිටින් පුළුස්සා දැමීමට බැඳ දමන විට, ශාන්ත පොලිකාප් යාච්ඤා කිරීමට පටන් ගත්තේය.යාච්ඤාව අවසන් කර, "ආමෙන්" යැයි පැවසූ වහාම ගින්න දැල්වෙන්නට පටන් ගැනුණි.ගිනිදැල් ඉහළ නැඟී ශාන්ත පොලිකාප් වටා තිබූ සියල්ලම පාහේ පිළිස්සි විනාශ වී ගියේය. නමුත් ශාන්ත පොලිකාප්ට ගින්නෙන් කිසිදු හානියක් නොවීය.එබැවින් ඔහුන් ශාන්ත පොලිකාප්ට පිහි වලින් ඇණ මරාදැමීමට කටයුතු කළෝය.ශාන්ත පොලිකාප් වෙතින් ගලා ගිය රුධිරයෙන් ගින්න නිවී ගිය බවද පැවසේ.

පීඩකයන් විසින් කිතුනුවන් හට ශාන්ත පොලිකාප්ගේ දේහය භාර දීමට බිය වූහ.එසේ කළහොත් කිතුනුවන් ඔහුගේ දේහය තබාගෙන එයට ගෞරව භක්තියක් පිරිනැමීමට පටන් ගනු ඇතැයි ඔව්හු බිය වූහ.ඔහුන් ශාන්ත පොලිකාප්ගේ මළකඳ ගිනිතබා විනාශ කිරීමට සැලැස්වූ නමුත්, කිතුනුවන් ශාන්ත පොලිකාප්ගේ ඇටකටු කිහිපයක් රහසින් ඉන් ලබාගෙන, එය වර්ශ 155 දී ඇදහිල්ල වෙනුවෙන් නිර්භීතව තම ප්‍රාණය පරිත්‍යාග කළ ශාන්ත පොලිකාප්ව සිහිකිරීමටද, ඔහුට ගෞරව කිරීමටද, අනාගත පරපුර ක්‍රිස්තියානි පීඩනයන් සඳහා ධෛර්යමත් කිරීමටද යොදා ගත්හ.

කිතුනු අපේ දේවධර්ම දිනපොත