BLANTERORBITv101

ජපානයේ ශුද්ධවූ ප්‍රාණ-පරිත්‍යාගිවරුන්

 


වර්ශ 1597 සිට 1873 දක්වා කතෝලික ඇදහිල්ල වෙනුවෙන් ජපානයේදී ප්‍රාණ පරිත්‍යාගිවූ කතෝලික පිරිමින්, කාන්තාවන් සහ දරුවන් ජපානයේ කතෝලික සභා ඉතිහාසය තුළ සුවිශේෂි වැදගත්කමක් ගනියි.වර්ශ 1549 අගෝස්තු මස 15 වන දින ජේසු නිකායික පියවරුන් වන ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර්, කොස්මේ ඩි ටොරස් සහ ජුවාන් ෆර්නැන්ඩස් ස්පාඤ්ඤයේ සිට ජපානයේ කගොෂිමා වෙත පැමිණියේ කතෝලික ඇදහිල්ල ප්‍රථමවරට ජපානයට ගෙන ඒමේ බලාපොරොත්තුවෙනි.එම වසරේම සැප්තැම්බර් මස 29 වන දින ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් විසින් ජපානයේ පළමු කතෝලික දූත මෙහෙවර ආරම්භ කිරීම සඳහා අවසර ඉල්ලීමට කාගොෂිමාහි අධිපතිවූ ෂිමාසු තකහිසා වෙත ගියේය. යුරෝපය සමඟ වෙළඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ යටිකූට්ටු අපේක්ෂාවෙන් ෂිමාසු තකහිසා එම ඉල්ලීමට එකඟ විය.වර්ශ 1551 දී ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් ඉන්දියාව වෙත ගියද, එතුමා එම කෙටි කාලය තුළ ජපනුන් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් කතෝලික ඇදහිල්ල වෙතට පරිවර්තනය කළේය.

මින් වසර තිහකට පමණ පසුව ඉතාමත් ඉක්මනින් ජපානයේ කතෝලිකයෝ 200,000 ක් සහ කතෝලික දේවස්ථාන 250 කට වඩා වැඩි ප්‍රමාණයක් බිහිවූ අතර, ජේසු නිකායිකයන් සහ වෙනත් මිෂනාරිවරුන් කතෝලික ඇදහිල්ල ව්‍යාප්ත කිරීමට තවදුරටත් කැපවීමෙන් කටයුතු කළහ.නමුත් 16 වන සියවසේ අග භාගය පමණ වනවිට ජපන් කතෝලිකයන්ගේ සීඝ්‍ර වර්ධනය, තම රාජ්‍යයේ ස්වෛරී බවට තර්ජනයක් ලෙස සිතූ ජපන් අධිරාජයාගේ හමුදා නායකයන් විසින් ජපන් කතෝලිකයන්ව ඝාතනය කිරීමට පටන් ගැනුනි.මක්නිසාදයත්, ඒ සමයෙහි ජපානයේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ යුරෝපීයන් රට ආක්‍රමණය කිරීමට අදහස් කරන බවත් කතෝලික පල්ලිය ඒ සඳහා පෙරටු බලඇණියක් පමණක් බවත්ය.

වර්ශ 1597 පෙබරවාරි මස 05 වැනි දින යුරෝපීය මිෂනාරිවරුන් 08 දෙනෙකුද ඇතුළු කතෝලිකයන් 26 දෙනෙකු නාගසාකිහිදි ප්‍රසිද්ධියේ කුරුසියේ ඇණ ගසා ඝාතනය කරනු ලැබීය.කෙසේනමුත් ඊළඟ දශක එකහමාර තුළ ජපානයේ කතෝලික ඇදහිල්ල නැවත සමෘද්ධිමත් වූ අතර ජේසු නිකායිකයින් 130 ක් සමඟ දොමිනිකානුවන් 30 දෙනෙකුද, ෆ්‍රැන්සිස්කන් වරුන්ද, අගොස්තීයානුවන්ද ඇතුළු පූජකවරුන් බොහෝ පිරිසක් එහි මිෂනාරි කටයුතු සඳහා එක්විය.නමුත් අවාසනාවකට මෙන්, කතෝලික පල්ලියේ දරුණු සතුරෙකු වූ ටොකුගාවා ඉයාසු ජපානයේ හමුදා නායකයෙකු බවට පත් වූ අතර ඔහු විසින් කතෝලික ධර්මය තහනම් කර දැමීමේ ආඥාවක් ප්‍රකාශයට පත් කළේය.ජපානය තුළ කතෝලික පීඩනය නැවත ආරම්භ විය.ටොකුගාවාගේ පුතුන් සහ උරුමක්කාරයන් විසින්ද කතෝලික සභාවට දිගින් දිගටම පීඩා කළෝය.වර්ශ 1622 දී "මහා ප්‍රාණ පරිත්‍යාගය" නමින් හදුන්වන කතෝලික සංහාරය නාගසාකිහිදී සිදුවූ අතර ජපන් හා යුරෝපිය කතෝලිකයන් විශාල ගණනක් ඝාතනයට ලක්විය. වර්ශ 1624 සිට 1627 දක්වා කාලය තුළ තවත් කතෝලිකයන් සිය ගණනක්ව ඝාතනය කිරීම, සිරගත කිරීම හෝ පිටුවහල් කිරීම කරනු ලැබීය. වර්ශ 1637 දී ජපන් කතෝලිකයන් සහ ඔවුන්ගේ සගයන් 37,000 ක් පමණ උතුරු කියුෂුහි ෂිමබරා අර්ධද්වීපයේ බලකොටුවකට ඇතුළු වූයේ කතෝලික පල්ලියට හිංසා පීඩා කිරීමට සහ ප්‍රාදේශීය අධිපතීන්ගේ කුරිරුකම් වලට විරෝධය දැක්වීමටය. නමුත් ඕලන්ද නෞකාවක කාලතුවක්කු ආධාරයෙන් ජපන් ප්‍රාදේශීය නායකයින්ගේ හමුදාව විසින් ඔහුන් සියලුදෙනාවම සමූල ඝාතනය කළෝය. 

වර්ශ 1642 සහ 1648 දී ජේසු නිකායිකයින් සහ දොමිනිකානුවන් ජපානයට නැවත ඇතුළු වීමට උත්සාහ කළ අතර, කිව නොහැකි තරමේ කෲරත්වයක් අත් විඳ ඔහුන් දිවි පිදීය.ජපානයට ඇතුළු වීමට උත්සාහ කළ අවසන් පූජකවරයා වන්නේ වර්ශ 1708 දී අත්අඩංගුවට ගත් ඉතාලි ජාතික අබේ සිඩෝටි පියතුමාය.ඔහු “කිතුනුවන්ගේ කන්ද” නමින් හදුන්වන කිරිෂිටාන් සාකාහි සිර අඩස්සියේ තබා ඇති අතර වර්ශ 1715 දී මිය ගියේය.19 වන සියවසේදී බටහිර මිෂනාරිවරුන් නැවත පැමිණෙන තෙක් ජපානය තුළ කතෝලික පූජකයන්ගේ පැවැත්ම හා දේවධර්මීය ඉගැන්වීම් බිඳී ගියේය.ජපානය තුළ කතෝලික ඇදහිල්ල රහසිගත දෙයක් බවට ඇදවැටුනි.කතෝලික මිෂනාරිවරුන් මින් වසර 250 කට පමණ පසු නැවත ජපානයට පැමිණි විට, රහසින් දිවි ගලවා ගත් මෙම “සැඟවුණු කතෝලිකයන්” ඔවුන්ට හමු විය.ඔහුන්ට අනුව කතෝලිකයන් බොහෝ දෙනෙකුව තම දරුවන් අතේ රදවාගෙන සිටියදීම පණ පිටින් පුළුස්සා ඇත; හිස් ගසා දමා ඇත; කුරුසියේ ඇණ ගසා දමා ඇත.වර්ශ 1614 සිට 1664 දක්වා කාලය තුළ ඇදහිල්ල වෙනුවෙන් මියගිය කිතුනුවන් දහස් ගණනක් නියෝජනය කරමින් ජපානයේ විශාල ප්‍රාණ පරිත්‍යාගික කණ්ඩායම් දෙකක් සිටිති.

ප්‍රාණ පරිත්‍යාගිකයින්ගේ පළමු කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ වර්ශ 1862 ජුනි මස 08 වැනිදා IX වන පියුස් ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් ශුද්ධවරයට ඔසවන ලද ශාන්ත පෝල් මිකි විසිනි.දෙවැනි ප්‍රාණ පරිත්‍යාගි කණ්ඩායම ජේසු නිකායිකයින් තිස් හයදෙනෙක්, ෆ්‍රැන්සිස්කානුවන් විසි හයදෙනෙක්, දොමිනිකානුවන් විසිඑක් දෙනෙක්, අගොස්තිනූයානුවන් පස්දෙනෙක් සහ කතෝලික ගිහි පිරිමින්, කාන්තාවන් සහ ළමුන් එකසිය හත්දෙනෙකුගෙන් සමන්විත විට.එසේම IX වන පියුස්, VIII වන උරුබානු සහ XIII වන ලියෝ ශුද්ධෝත්තම පියවරු ඇතුළු පාප්වරුන් කිහිප දෙනෙකු විසින්ම ඔවුන්ව වසර ගණනාවක් පුරා විවිධ අවස්ථා වලදී භාග්‍යවරයට ඔසවා ඇත.එලෙසම II වැනි ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පාප්තුමා විසින්ද ජපානයේ ප්‍රාණ පරිත්‍යාගින් කිහිප දෙනෙකුමව ශුද්ධවරයට ඔසවා ඇත.මොහුන් ජපානයේ හා පීඩා විඳින කිතුනුවන්ගේ නාම සාන්තුවරුද වෙති.

කිතුනු අපේ දේවධර්ම දිනපොත