BLANTERORBITv101

ශුද්ධවූ ජෝන් නිව්මන් මුනිඳුන්

ඇමෙරිකාවට සංක්‍රමණය වූ මෙම සාන්තුවරයා උපත ලබා ඇත්තේ වර්ශ 1811 මාර්තු මස 28 වෙනිදා බොහීමියාවේය.නිව්මන් වර්ශ 1835 දී පූජකවරයෙක් වීම සඳහා කටයුතු ආරම්භ කළේය. නමුත් බොහීමියාව කතෝලික පූජකවරුන්ගෙන් පිරී ඉතිරී පැවති නිසා තවදුරටත් පූජක සිසුන් බඳවා ගැනීම ඒ වනවිට බොහීමියාවේ රදගුරුතුමා විසින් නතර කර දමා තිබුණි.කතෝලික පවුල් 1500 කට වඩා ජීවත් වන උස්වැටකෙයියාව වැනි විශාල කතෝලික මීසම් වල පාලක පියතුමාගේ සහයට තවත් එක් සහයක පියතුමෙකුව හෝ ලබාදීමට නොහැකි තරමට ලංකාවේ කතෝලික පූජකවරුන්ගේ ප්‍රතිශතය පහළ ගිය අවධියක ජීවත් වන අපට බොහිමීයාවෙන් ඇසුනු මේ කතාව බොහොම ආගන්තුක බව දනිමි.නමුත් අපගේ කුඩා කාලයේදී ලංකාවේ පැවතියේද බොහීමියාවට නොදෙවෙනි තත්වයකි.ඒ සමයේ ලංකාවේ දෙව්සත්හල්, පූජක ශිෂ්‍යයින්ගෙන් කෙතරම් පිරී පැවතියද කිවහොත් පූජකවරුන් වීම සඳහා සිහින දුටු බොහෝ කතෝලිකයන්ට එම සිහින අත්හැර දමන්නට සිදුවිය. නමුත් එදා එවැනිම තත්වයකට මුහුණ දුන් තරුණ ජෝන් නිව්මන් පූජකවරයෙකු වීමේ තම සිහිනය අත්හැර නොදමා නොකඩවා උත්සහ කළේය.

ඔහු යුරෝපය පුරා රදගුරුවරුන් හට ලිව්වේය.නමුත් යුරෝපයේ අනෙකුත් රටවල් වල තත්ත්වයද බොහීමියාවට දෙවැනි වී නැත.ජෝන් නිව්මන්ගේ ශුද්ධවූ කැඳවීමට මුළු යුරෝපයේම දොරගුළු වැසුනි. නමුත් එයින්ද නොසැලුණු ජෝන් නිව්මන් ඉංග්‍රීසි කම්කරුවන් සේවය කරන කර්මාන්ත ශාලාවකට බැඳී ඔහුන් හරහා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේය. දෙවියන් වහන්සේ කුමක් හෝ දොරක් තමා වෙනුවෙන් අනිවාර්යයෙන්ම විවෘත කරන බවට ඔහු දැඩිව විශ්වාස කළේය.ඔහු ඇමෙරිකාවේ රදගුරුවරුන් වෙතද ලිව්වේය.අවසානයේදී නිව්යෝර්ක්හි රදගුරුතුමා ඔහුට පූජකවරය දානය කිරීමට එකඟ විය.දෙවියන් වහන්සේ විසින් තමන්ට නියම කර ඇති ශුද්ධවූ කැඳවීම වැලඳගැනීම සඳහා ජෝන් නිව්මන් තම ගම රට අත්හැර දමා ඇමෙරිකාව වෙත සංක්‍රමණය වී වර්ශ 1836 දී පූජාත්වරය ලැබුවේය. තමන්ගේ නෑදෑ හිත මිතුරන් හා මව් රට පවා හැරදමා දන්න අඳුරන කිසිවෙකුත් නොමැති රටක සේවයට යාමට තරම් ජෝන් නිව්මන් තුළ තිබූ ඇදහිල්ල අද අප සැමටම විශාල ආදර්ශයකි.දෙවියන් වහන්සේ තුළ ජීවත් වන මනුෂ්‍යයාට, දෙවියන් වහන්සේ උදෙසා අත්හැරීමට නොහැකි කිසිවක් නැත.මක්නිසාදයත් දෙවියන් වහන්සේට වඩා වටිනා වස්තුවක් නොමැත.

නිව්යෝර්ක්හි කතෝලිකයෝ ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයකට එදා සිටියේ කතෝලික පූජකවරුන් 36 දෙනෙකු පමණයි.ජෝන් නිව්මන්ද ඒ අතරින් එකෙකි.බටහිර නිව්යෝර්ක්හි ජෝන්ගේ මීසම, ඔන්ටාරියෝ විලේ සිට පෙන්සිල්වේනියාව දක්වා විහිදී ගියේය.නිව්මන්ගේ දේවස්ථානයට උස් ශිඛරයක් හෝ උඩු මහළක් නොමැති විය.එය ඔහුට ගැටළුවක් වූයේද නැත.මක්නිසාදයත් ඔහු බොහෝ විට තම කාලය ගත කළේ කඳු තරණය කර, ගමින් ගමට සංචාරය කරමින් රෝගීන් බැහැදැක, මුළුතැන් ගෙවල් වල මේසවල් මත දිව්‍ය පූජාව සමරමින්ය.බොහෝ විට තානායම් හා අට්ටාල වල නවාතැන් ගෙන සිටිමින් දේව වචනය ඉගැන්නුවේය.මෙය අද අප සැමටම කදිම ආදර්ශයකි.යුරෝපයේ අද අහස උසට ගොඩනැඟුණු දේවස්ථාන ඇත.නමුත් ඉන් බොහොමයක් විශ්වාසය තුළ ජීවත් වන කතෝලිකයන්ගේ හිඟකම නිසා අත්හැර දමා හෝ විකුණා දමා ඇත.අපි අහස උසට ගොඩනැඟිය යුත්තේ ගොඩනැගිලි වලට වඩා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයයි.මක්නිසාදයත් එය ස්වර්ගයට ඉනිමඟකි.

ඔහුගේ මීසමේ කාර්යයන් සහ හුදෙකලාව නිසා, ජෝන් ප්‍රජාව කෙරෙහි දැඩි ආශාවක් දැක්වූ අතර, දුප්පතුන්ට සහ අතහැර දැමූ අයට උපකාර කිරීම සඳහා කැප වූ පූජකවරුන්ගේ සහ සහෝදරයන්ගේ නිකායක් වූ දිව්‍ය ගැලවුම්කාරයන්ගේ නිකාය සමඟ ජෝන් නිව්මන් එක් විය.වර්ශ 1852 දී ජෝන් නිව්මන් පිලඩෙල්පියාහි රදගුරුතුමා ලෙසින්ද තේරීපත් විය. එසේම මේ දක්වා ශුද්ධවරයට ඔසවන ලද පළමු සහ එකම ඇමෙරිකානු එක්සත් ජනපද රදගුරුවරයා වන්නේ ශුද්ධවූ ජෝන් නිව්මන් මුනිතුමාය.

ඇමෙරිකාව තුළ ප්‍රථම වරට කතෝලික පදවි පාසල් පද්ධතියක් ස්ථාපිත කලේ රදගුරු ජෝන් නිව්මන්ය. ඇමෙරිකාවේ කතෝලික පාසල් පද්ධතියේ නිරිමාතෘ වන ජෝන් නිව්මන් ඔහුගේ රදගුරු පදවිය තුළ පමණක් කතෝලික පාසල් ගණන 0 සිට 100 දක්වා වැඩි කළේය.එසේම කතෝලික අධ්‍යාපනයේ නාම සාන්තුවරයා වන්නේද ශුද්ධවූ ජෝන් නිව්මන් මුනිතුමාය.එසේම ජෝන් කිසි විටෙකත් ජනතාව කෙරෙහි දැක්වූ තම ආදරය හා සැලකිල්ල නැති කර ගත්තේ නැත.එය පිලඩෙල්පියාවේ ප්‍රභූ පැලැන්තියටද මහත් හිසරදයක් විය.එක් පිටිසර ප්‍රදේශයක පිහිටි මීසමකට ගිය අවස්ථාවේදී, එහි සිටි පූජකවරයා විසින් ජෝන් නිව්මන්ව ගොම පොහොර කරත්තයක් මත නංවාගෙන යමින් පිළිගත්තේය.කරත්තයේ ගොම පොහොර මත තබා තිබූ ලෑල්ලක වාඩිවී සිටි ජෝන් නිව්මන් විසින් එම පූජකවරයාට මෙලෙස විහිලු කළේය: "ඔබ කවදා හෝ රදගුරුවරයෙකු සඳහා මෙවැනි පිරිවරක් (කැටුව යන සෙනඟක්) දැක තිබේද?".උදේට අඳින ලෝගුවේ සවස් වන විටත් එක් මඩ පැල්ලමක් හෝ නොගෑවෙන පූජකවරුන්ට මෙය කෙතරම් කුරුසියක්ද? අභියෝගයක්ද?

ජෝන් නිව්මන්ව ඇමෙරිකාව වෙත ගෙන ඒමට උපකාරී වූ ඔහුගේ භාෂා ඉගැනීමේ හැකියාව ඔහුට ස්පාඤ්ඤ, ප්‍රංශ හා ලන්දේසි භාෂාවන් ඉගෙන ගැනීමටද උපකාරී විය.මේ නිසා අඩුම තරමින් භාෂාවන් 06 කින් පමණ පාපොච්චාරණ ඇසීමේ හැකියාව ඔහුට ලැබුණි.ඇමෙරිකාව වෙත අයර්ලන්ත සංක්‍රමණයන් ආරම්භ වූ විට ජෝන් නිව්මන් අයර්ලන්තයේ ගේලික් භාෂාව හොඳින් ඉගෙන ගත්තේය.ඇමෙරිකාවේදී එතුමාගෙන් සේවය ලබා ගත් අයර්ලන්ත ජාතික කතක් ඒ පිළිබඳව මෙලෙස පවසා ඇත: "අපට අයර්ලන්ත රදගුරුවරයෙක් සිටීම ලොකු දෙයක් නොවේද?".ක්‍රිස්තුන් වහන්සේව සියල්ලන් වෙත බෙදා දීම සඳහා නව මංපෙත් සොයා නිතරම වෙහෙසීමෙන් ශ්‍රී ලාංකික අපටද ශුද්ධවූ ජෝන් නිව්මන් මුනිතුමා මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇමෙරිකානුවෙක්, බොහීමියානුවෙක්, ඉන්දියානුවෙක්, දෙමළෙක්, මුසල්මානුවෙක්, නිග්‍රෝවරයෙක්, මොංගෝලියානුවෙක් බවට පත්විය හැකිය.

වරක් ජර්මනියේ සංචාරයක නිරත වූ ජෝන් නිව්මන් වර්ෂාවෙන් හොඳටම තෙමී නැවත තමන් නවාතැන් ගෙන සිටි නිවස වෙතට පැමිණියේය.වැස්සට තෙමීම නිසා අබලන් වූ ඔහුගේ සපත්තු මාරු කර දමන ලෙසට එහි තානායම්කරු ජෝන් නිව්මන් හට යෝජනා කළ විට ජෝන් නිව්මන් පැවසුවේ, "මට මගේ සපත්තු වෙනස් කළ හැකි එකම ක්‍රමය වන්නේ වම් පස සපත්තුව දකුණු පස පාදයටද, දකුණු පස සපත්තුව වම් පස පාදයටද දැමීමෙන් පමණයි. මොකද, මා සතුව ඇති එකම සපත්තු යුගලය මෙය පමණයි".සැබවින්ම රදගුරුවරයෙකුට මෙවැනි අල්පේච්ඡ ජීවිතයක් ගත කළ හැකිද? ඔව් පුළුවන්. නමුත් එවැන්නක් අද එවැනි අය වෙතින් අප නොදකින නිසා ජෝන් නිව්මන් රදගුරුතුමාගේ අල්පේච්ඡ බව අපට ආගන්තුකය.

ජෝන් නිව්මන් වර්ශ 1860 ජනවාරි මස 05 වන දින වයස අවුරුදු 48 ක් වනවිට ස්වර්ගස්ථ විය.මෙතුමාව VI වන පාවුළු ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් වර්ශ 1863  ඔක්තෝබර් මස 13 වැනිදා භාග්‍යවරයටත්, වර්ශ 1977 ජුනි මස 19 වැනිදා ශුද්ධවරයටත් ඔසවන ලදී.

ශාන්ත ජෝන් නියුමාන් මුනිඳුනි, කතෝලික අධ්‍යාපනයේ නාම සාන්තුවරයාණෙනි, ඔබතුමා එක්සත් ජනපදයේ කතෝලික අධ්‍යාපනය සංවිධානය කිරීමට බොහෝ උපකාර කළේය.එලෙසම කරුණාකර අප ශ්‍රි ලංකාවේද සියලුම කතෝලික පාසල් දෙස බලා, ඔවුන්ගේ වචන වලදී මෙන්ම ක්‍රියාවන් වලදීද ක්‍රිස්තියානි ධර්මයේ සැබෑම ආදර්ශයක් වීමට ඔවුන්ට උදව් කළ මැනව.මේ කීදේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.ආමෙන්!

කිතුනු අපේ දේවධර්ම දිනපොත