අපි මෙතෙක් ප්‍රශ්න නොකළ පැත්ත? මේක ගොඩක් දෙනෙක් නොදන්න ඉතා සරල රහසක්!
මුහුණු පොතේ එක්තරා නිරාගමික සමූහයක, "බයිබලයේ තහනම් කර තිබියදීත් කතෝලික සභාව රූප වන්දනාව සිදු කරන්නේ ඇයිදැ"යි විමසමින් එක්තරා නිරාගමිකයෙකු විසින් පෝස්ටුවක් පළ කර තිබුණේය.මෙය මම ඉතා ප්‍රිය කරන මාතෘකාවක් බැවින් මමද එම සංවාදයට එක්විය.පුරා පැය ගණනාවක් තිස්සේ මා විසින් එම පෝස්ට්ව පළ කළ පුද්ගලයාට කතෝලික සභාව කිසිසේත්ම රූප වන්දනාව සිදු නොකර බවත්, රූප වන්දනාව කතෝලික ඉගැන්වීම් තුළද තහනම් දෙයක් බවත් පෙන්වා දුනිමි.මම ඔහුට ඒ බව ශුද්ධවූ බයිබලය තුළින් පෙන්වා දුනිමි; ශුද්ධවූ සභා සම්ප්‍රදාය තුළින් පෙන්වා දුනිමි; මුල් කිතුනු සභාවේ ලේඛකයින්ගේ ප්‍රකාශ තුළින් පෙන්වා දුනිමි.මා ඔහුට ඉදිරිපත් කළ කරුණු බිඳ හෙලීමට සමත් ප්‍රති-තර්කයක් ඔහු සතුව නොතිබුණි.ඒ වෙනුවට ඔහු කතෝලික විරෝධීන් සතු ප්‍රබලතම අවියක් මට විරුද්ධව භාවිත කළේය.මේ අවියට විරුද්ධව සටන් කරන ආකාරය නොදැන සිටීම නිසා බොහෝ කතෝලිකයෝ මේ අවිය නිසා තම විශ්වාසයේ ජීවිතය සිදුරු කර ගෙන තිබේ; කර ගනිමින් තිබෙයි; කර ගනිවී.එය වනාහි නොසළකා හැරීමේ හා අවඥාවට ලක් කිරීමේ අවියයි.ඔහුද මා ඉදිරිපත් කළ කරුණු කාරණා බිඳ හෙලීමට හැකි ප්‍රති-තර්කයක් ඉදිරිපත් කිරීම වෙනුවට මා ඉදිරිපත් කළ කරුණු කාරණා නොසළකා හැරීමට හා අවඥාවට ලක් කිරීමට පටන් ගත්තේය.
"ඔයා කොහෙන්ද මේවා හොයා ගත්තේ.මම අදමයි ඇහුවේ" ඔහු විමසුවේය.
එම ප්‍රශ්නය මාව නිරුත්තර කළේය.මා කුමක් නම් පවසන්නද? මේවා මම ඉගෙන ගත්තේ කතෝලික විද්වතුන්ගෙන් යැයි පැවසුවහොත් ඔහු එය පිළිගනිවිද?
ක්ෂණයෙන් නැවත කඩා වැදුණු ඔහු, "පාප්වහන්සේ හා පූජකයින් කුමක් කීවත් බයිබලය සාක්ෂි! ඕවා කතෝලික පූජකයින්ගේ හිතලු පමණයැ"යි පැවසුවේය.
මාගේ හද ගැස්ම වැඩිවෙන්නට පටන් ගත්තේය.මා මෙතෙක් ඉතා වෙහෙසක් දරමින් පැවසූ සියල්ලම හුදෙක් කතෝලික පූජකයන්ගේ හිතලු ලෙසින් ඉතා පහසුවෙන් ඔහු ලඝු කරයි.පෙනෙන හැටියට නම් එය ඉතාමත් හොඳ තර්කයකි.සැබවින්ම පාප්වහන්සේ කියූ බැවින් හෝ කතෝලික පූජකයන් කියූ බැවින් බයිබලය පිළිබඳව එම විග්‍රහයන් සත්‍යය වෙනවාද?
කතෝලික විරෝධීන් පිළිබඳව දාර්ශනික කියවීමක් නොතිබූ කතෝලිකයෙකු වූවා නම් මෙතැනින් මට සංවාදයේ ජය ඔහුට ලබාදී, අපහාසයද විඳ දරාගැනීමට සිදුවනු ඇත.නමුත් මා මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය නොවේ.ලෝකප්‍රකට අදේවවාදියෙකු වන රිචර්ඩ් ඩෝව්කින්ස් විසින් ඔහුගේ දස හැවිරිදි දියණිය වන ජුලියට් වෙත යවන ලද ලිපිය ගැන ඔබ කවදා හෝ අසා තිබෙනවාද? ඒ පිළිබඳව බංකොලොත් තර්ක නමැති යූටියුබ් නාලිකාවේ වීඩියෝවක්ද පළ කර තිබුණි ( https://youtu.be/u2bgi0yazRo ).එහිදී ආචාර්ය රිචර්ඩ් ඩෝව්කින්ස් විසින් තම දියණියට යමක් විශ්වාස කිරීමට හොඳ හා නරක හේතු පහදා දෙයි.වීඩියෝව කෙතරම් දිගු වුවද එහි සාරාංශය මෙයයි.එනම් සම්ප්‍රදායන් ඔස්සේ, නිල ගුරු අධිකාරියක් ඔස්සේ හෝ දේව අනාවරණයක් ලෙසින් යම් කරුණක් අප වෙත ලැබුණද එම කරුණ විශ්වාස කිරීමට ඒවා හොඳ හේතුවක් නොවන බවයි.එහිදී ආචාර්යවරයා විසින් උදාහරණයක් ලෙස ගනු ලබන්නේ කතෝලික සභාව හා මරියතුමියවයි.ඔහු පවසන ආකාරයට ඔහු වාසය කරන රට එංගලන්තයයි.එහි බහුතරයක් දෙනා බෞතීස්ම ස්නාපනය ලබා ඇත්තේ එංගලන්ත සභාවෙන්ය. නමුත් ඇංග්ලිකන් සභාව ක්‍රිස්තියානි ආගමේ තිබෙන ගොඩක් ශාඛා වලින් එකක් පමණක් වන බවද ඊට අමතරව රුසියානු ඕතඩොක්ස්, රෝමානු කතෝලික හා මෙතෝදිස්ත සභාව වගේ තවත් ශාඛා බොහොමයක් තිබෙන බවද ඔහු පවසයි.තවද ඒ සියලු දෙනා විවිධ විවිධ වෙනස් දේ විශ්වාස කරන බවද සමහර අවස්ථාවලදී ආගම් අතර ඇති මෙම වෙනස්කම් නිසා යුධ කෝලහාල පවා ඇතිවී තිබෙන බවද ඔහු සඳහන් කරනවා.උදාහරණයක් ලෙස ජේසුස් වහන්සේගේ මව වන මරිය තුමිය මිය යාමකින් තොරව ශරීරය පිටින්ම ස්වර්ගයට ගොස් ඇති බව රෝමානු කතෝලිකයන් විසින් විශ්වාස කරන අතරතුර ඊට පටහැනිව අනෙකුත් ක්‍රිස්තියානි සම්ප්‍රදායන් ඊට එකඟ නොවන බවත්, මරියතුමිය අනිත් අය වගේම මිය ගිය බව ඔහුන් විශ්වාස කරන බවත් ඔහු පෙන්වා දෙයි.එලෙසම කතෝලිකයන්ට පටහැනිව මරියතුමියව ස්වර්ගයේ රැජින ලෙස පිළිගැනීම හේතුවෙන් මෙහිදී කතෝලික නොවන ක්‍රිස්තියානීන් ගැන මෙම නිරාගමික ආචාර්යවරයා විසින් ඇගයීමක්ද ලබා දෙයි.ඊට හේතුව ලෙසින් ඔහු පවසන්නේ මරියතුමියව ස්වර්ගයට ඔසවා ගැනීම බොහෝ පැරණි සම්ප්‍රදායක් නොවීම, ඇය මියගිය ආකාරය ගැන බයිබලයේ කිසිදු සඳහනක් නොතිබීම, බයිබලයේ මෙම ස්ත්‍රීය ගැන සදහන් වන්නේ ඉතාම කලාතුරකින් වීම, මේ සම්ප්‍රදාය ආරම්භ වී ඇත්තේ ජේසුස් වහන්සේගේ මරණයෙන් සියවස් හයකට පමණ පසුව වීම හා එය නිල රෝමානු කතෝලික ඉගැන්වීමක් ලෙස ලේඛන ගත වන්නේ ක්‍රි.ව.1950 දී තරම් මෑත කාලයකදී පමණ වීමයි.එලෙසම තවදුරටත් ඔහු පවසන්නේ කතෝලික රටවලදී මරියතුමිය මිය නොගිය කෙනෙකු වීමටත්, රෙපරමාදු උතුරු අයර්ලන්තයේදී මරියතුමිය මිය ගිය අයෙකු වීමටත් නොහැකි බවයි.
කතෝලික විරෝධීන් පිළිබඳව යම් දාර්ශනික කියවීමක් තිබූ නිසා මම මෙහිදී ආචාර්ය ඩෝව්කින්ස්ගේ වහසි බස් වලට ග්‍රහණය වනු වෙනුවට ඔහුව ප්‍රශ්න කිරීමට පෙළඹුනෙමි.බොහෝ කතෝලිකයන් නොකරන්නේද මේ දෙයයි. සියලුදෙනාම කතෝලිකයන්ව ප්‍රශ්න කළද, කතෝලිකයන්ගෙන් කීයෙන් කී දෙනාද තමන්ව ප්‍රශ්නයට භාජනය කරන පුද්ගලයන්ව ප්‍රශ්න කිරීමට පෙළඹෙන්නේ.අපගේ අදහස් නොසළකා හැරීමේ හා අවඥාවට ලක් කිරීමේ කතෝලික විරෝධීන්ගේ අවියට විරුද්ධව සටන් කළ හැකි එකම ක්‍රමය මෙයයි. මා විසින් රිචර්ඩ් ඩෝව්කින්ස්ව ප්‍රශ්න කරන විට ප්‍රථමයෙන්ම මට හසුවූ ඔහුගේ වරද වන්නේ ඔහු විසින් මරියතුමිය මිය නොගිය බව කතෝලික සභාව උගන්වන බව පැවසීමයි.නමුත් සත්‍යය වන්නේ මරියතුමිය මිය ගියාද? එසේත් නැතිනම් මිය ගියේ නැතිද? පිළිබඳව කතෝලික සභාව නිශ්චිතව පවසා නොමැති බවයි.පියුස් පාප්වහන්සේ විසින් 1950 දී නිල වශයෙන් ප්‍රකාශ කළේ, "මරියතුමිය තම මෙලොව ජීවිතය සම්පූර්ණ කළ පසු ස්වර්ගාරෝපණය වූ බවයි".එහිදී මරියතුමියගේ මරණය පිළිබඳව පාප්වහන්සේ නිශ්ශබ්ද වී ඇත.එනම්, එහිදී එතුමියගේ මරණය පිළිබඳව නිශ්චිත මතයක් ශුද්ධවූ සභාව විසින් දක්වා නැත.
ඩෝව්කින්ස්ව ප්‍රශ්න කරන විට මට ඔහු ගැන තවත් ගැටළුව පැන නගියි.එනම් ඔහු කතෝලික ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීමට යොදා ගනු ලබන්නේ කතෝලික නොවන ක්‍රිස්තියානීන්ගේ ඉගැන්වීම් වීමයි.තවද මරියතුමිය පිළිබඳව කතෝලික ඉගැන්වීම් වලට විරුද්ධව මූලධර්මවාදී ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන ඔහු ලබාදෙන ඇගයීම හා, "කතෝලික රටවලදී මරියතුමිය මිය නොගිය කෙනෙකු වීමටත්, රෙපරමාදු උතුරු අයර්ලන්තයේදී මරියතුමිය මිය ගිය අයෙකු වීමටත් නොහැකි යැ"යි පවසන ඔහුගේ ප්‍රකාශයෙනුත් එය මනාව කැපී පෙනෙයි.ඔහු මෙහිදී මරියතුමිය පිළිබඳව කතෝලික ඉගැන්වීම් වැරදි බව පවසන්නේ, මරියතුමිය පිළිබඳව මූලධර්මවාදී ක්‍රිස්තියානීන්ගේ ඉගැන්වීම් සත්‍යය බවට උපකල්පනය කරමින්ය.යම් ගුරුවරයෙකු විසින් තම ශිෂ්‍යයන්ගේ පිළිතුරු පත්‍ර වල හරි වැරදි තීරණය කරන්නේ යම් සමුද්දේශිත නිවැරදි උත්තර පත්‍රයකට අනුව නොවෙයිද? එම උත්තර පත්‍රය දෝෂ සහිත යැයි පවසමින් හෝ එහි නිවැරදි බව පිළිනොගෙන එම ගුරුවරයාට ළමුන්ගේ පිළිතුරු පත්‍ර නිවැරදි කිරීමට හැකිවේවිද? අපට යමක් සංසන්දනය කිරීමට හැකි වන්නේ ඒවා එකිනෙකට වෙනස් වන විටය.සියල්ලෙන්ම සර්වසම බිලියට් බෝල දෙකක් අපට සංසන්දනය කළ හැකිද? සර්වසම නිවුන් දරුවන් දෙදෙනෙකුව සංසන්දනය කිරීම කෙතරම් දුෂ්කරද? එසේ නම් අපට සංසන්දනයක් කළ හැක්කේ වෙනස්කම් ඇති විටය. එබැවින් රිචර්ඩ් ඩෝව්කින්ස්ට කතෝලික සභාව හා අනෙකුත් සභාවන් සංසන්දනය කිරීමට හැකියාව ලැබුණේ ඒවායේ වෙනස්කම් ඇති නිසාය.එබැවින්, "මරියතුමිය ගැන කතෝලික සභාවේ මතය වැරදියි තමයි.එහෙම උනාට කවුද කිව්වේ මම මූලධර්මවාදී ක්‍රිස්තියානීන්ගේ ඉගැන්වීම් පිළිගන්නවා කියලා? යැ"යි පැවසීමට ඔහුට නොහැකිය.මක්නිසාදයත් ඔහුට කතෝලික සභාවේ මරියතුමිය පිළිබඳව ඉගැන්වීම වැරදි බව පැවසීමට නම් මරියතුමිය පිළිබඳව මූලධර්මවාදීන්ගේ ඉගැන්වීම සත්‍යය බවට පිළිගැනීමට සිදුවේ.කතෝලික සභාවත් වැරදි නම්, මූලධර්මවාදී ක්‍රිස්තියානි කණ්ඩායම් වල මතයත් වැරදි නම් එහි වෙනස්කමක් නිරීක්ෂණය කිරීමට නොහැකි වේ.එය එසේ නම් ඔහුට ඒවා සංසන්දනය කිරීමට හැකි වූයේ කෙසේද? ඔහුට ඒවා සංසන්දනය කළ හැකි වූයේ ඉන් එකක් නිවැරදි බවට ඔහු විශ්වාස කරන නිසාය.සුදු සැසඳිය හැක්කේ කළු සමඟය; උස සැසඳිය හැක්කේ මිටි සමඟය; කැත සැසඳිය හැක්කේ ලස්සන සමඟය.එසේම වැරැද්ද සැසඳිය හැක්කේ නිවැරද්ද සමඟය.
මේ න්‍යාය කාටත් පොදුය.එබැවින් කතෝලික ඉගැන්වීම් බොරු කිරීම සඳහා අදේවවාදී ආචාර්ය රිචර්ඩ් ඩෝව්කින්ස් විසින් මූලධර්මවාදී ක්‍රිස්තියානීන්ගේ ඉගැන්වීම් නිවැරදි යැයි විශ්වාස කර ඒවා භාවිත කිරීමට පෙළඹී ඇත.ඊට හොඳම උදාහරණය වන්නේ ඔහු අදේවවාදියෙකු වූවත්, ඔහු මරියතුමිය පිළිබඳව තම අදහස් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකු ලෙස ඉදිරිපත් කිරීමයි: "රෝමානු කතෝලිකයන් වගේ නෙවෙයි මේ අය මරියතුමියව ස්වර්ගයේ රැජිණ ලෙස හදුන්වන්නෙත් නැහැ. මරියාගේ දේහය ස්වර්ගයට ඔසවා ගත් සම්ප්‍රදාය ගොඩක් පැරණි එකක් නෙමෙයි.ඇය මියගිය ආකාරය පිළිබඳව බයිබලයේ කිසිම සඳහනක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ ස්ත්‍රීය ගැන බයිබලයේ සඳහන් වන්නේ ඉතාම කලාතුරකින්.ඇගෙ සිරුර ස්වර්ගයට ඔසවාගෙන ඇති බවට ගෙතූ කතාන්දරය ගොතා ඇත්තේ ජේසුස් වහන්සේගේ මරණයෙන් සියවස් හයකට පමණ පස්සේ.හිම කුමරිය වගේ ඕනම කතාවක් ගොතන විදිහට ඕක හැදුනා.ඒත් සියවස් ගණනාවක් පුරා මේක සම්ප්‍රදායක් විදිහට වර්ධනය උනාට පස්සේ 1950 දී මේක නිල රෝමානු කතෝලික ඉගැන්වීමක් ලෙස ලේඛන ගත උනා.ඒත් ඒකෙන් කියවෙන්නේ නැහැ ඒක ක්‍රි.ව.06 වැනි සියවසේ තිබුණාට වඩා වැඩියෙන් ක්‍රි.ව.20 වැනි සියවසේදී ඒක ඇත්ත උනා කියලා".
රිචර්ඩ් ඩෝව්කින්ස්ගේ මෙම ඉහත විග්‍රහය දෙස හොඳින් බලන්න.මෙහිදී ඔහු පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ පාප්වහන්සේ කියූ පමණින්, සම්ප්‍රදායක් ලෙස සියවස් ගණනාවක් පුරා තිබූ පමණින් මරියතුමිය පිළිබඳව කතෝලික ඉගැන්වීම් නිවැරදි නොවන බවයි.නමුත් ඔබ දුටුවාද කිසිදු විටෙක රිචර්ඩ් ඩෝව්කින්ස් විසින් මෙය ඔබට පෙන්වා දීමට භාවිත කළ දෙය එනම්, මරියතුමිය පිළිබඳව මූලධර්මවාදීන්ගේ ඉගැන්වීම් මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීමකට ලක් කරනවා? මූලධර්මවාදීන්ගේ "Bible only" ( Sola scriptura ) ඉගැන්වීම කෙතරම් පැරණිද කියා ඔහු කිසිදු විටෙක ප්‍රශ්න කර තිබුණාද? නැත.ඔහුට කවුද කිව්වේ බයිබලයේ නොතිබූ පමණින් එය ක්‍රිස්තියානි විශ්වාසයක් නොවන බව? ඔහුට කවුද පැවසුවේ ක්‍රිස්තියානි විශ්වාසයන් සියල්ල අන්තර්ගත වන්නේ බයිබලයේ පමණක් බව? ඔහුට කිසිවෙකුත් එය සෘජුව නොපවසා ඇති.නමුත් මූලධර්මවාදී කිතුනුවන් ඒ පිළිබඳව පවසන දේවල් ඔහු කිසිදු වගවිභාගයකින් තොරව එකහෙළාම විශ්වාස කරන්න ඇති.එනම් ඔහු ආනුභාවය/පෙළඹවීම ( Inspired by ) ලබා ඇත්තේ ක්‍රිස්තියානි මූලධර්මවාදීගෙන්ය.කතෝලික සභාවේ නිල ගුරු බල අධිකාරියේ ඉගැන්වීම් කිසිදු වග විභාගයකින් තොරව ප්‍රතික්ෂේප කළ රිචර්ඩ් ඩෝව්කින්ස්, මූලධර්මවාදී ක්‍රිස්තියානීන්ගේ ඉගැන්වීම් කිසිදු වග විභාගයකින් තොරව එකහෙළාම පිළිගෙන ඇත.ඔහු ඔහුගේම නියම වලට පටහැනිව කටයුතු කර ඇත.එබැවින් අනෙක් අතට ඔහු නොදැන විවේචනය කරගෙන තිබෙන්නේ ඔහුවමය.මානව ඉතිහාසය තුළ ශ්‍රේෂ්ඨ ගත් කතුවරයෙකු වන ජී.කේ.චෙස්ටර්ටන් විසින් මෙය ඉතා හොඳින් පැහැදිලි කර තිබේ;
"නූතන චින්තනය අධිකාරිත්වය මත පදනම්ව කිසිවක් නොපිළිගනීවි, නමුත් අධිකාරිත්වය මත පදනම් නොවන ඕනෑම දෙයක් පිළිගනීවි.වැඩිදුර වගවිභාගයකින් තොරව බයිබලය හෝ පාප්වහන්සේ කියන බැවින් එය නොසළකා හැරිය යුතු යැයි පවසයි. නමුත් ඔබගේම ප්‍රකාශය ඔබ හදුන්වා දෙන්නේ 'මම හිතනවා මට කොහේහරි ඇහුනා කියලා', හෝ 'මම උත්සාහ කරනවා නමුත් මතක් වෙන්නේ නැහැ 'එක එක දේවල්' කියපු එම මහාචාර්ය වරයාගේ නම' හෝ යැයි පවසමිනි, සහ එය එකවරම පිළිගනීවි නොසැලෙන සිද්ධාන්තයක් ලෙස" - ( The Superstition of Divorce )
"බංකොලොත් තර්ක" යූටියුබ් නාලිකාවෙන් ශ්‍රේෂ්ඨ විද්වතෙකු ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ ආචාර්ය රිචර්ඩ් ඩෝව්කින්ස්ගේ බංකොලොත් භාවය රූප වන්දනාව පිළිබඳව මගෙන් ප්‍රශ්න කළ, මම ඉහතදී මුලින්ම සදහන් කළ නිරාගමිකයා සමඟ සංවාදය තවදුරටත් ඉදිරියට කරගෙන යාමට මට මහත් පිටුවහලක් විය.
ඔහු මගෙන් ඇසූ ප්‍රශ්නයට, මම පෙරළා ඇසූ ප්‍රශ්නය වූයේ, "හරි මම පාප්වහන්සේ හරි පූජකවරුන්ගේ හරි විග්‍රහයන් ඉදිරිපත් කරා කියමුකෝ.දැන් ඔයා කියන්නකෝ බලන්න මේ විග්‍රහයන් වැරදියි කියන ඔයාගේ විග්‍රහය ඔයා ඉදිරිපත් කළේ කොහෙන් ලැබුණු කරුණු වලින්ද කියලා?".
ඔහු ප්‍රශ්නය මඟහැර යාම සඳහා වෙනත් වෙනත් පැතිකඩ වලට සංවාදය මාරු වීමට උත්සාහ කළද මාගේ දැඩි පෙරැත්ත නිසා ඔහුට සත්‍යය හෙළි කිරීමට සිදුවිය, "සහෝදරයා, මම අවුරුදු දෙකක් යොහොවා සාක්ෂිකරුවෙක් වෙලා හිටියා.ඒ කාලෙදී මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අන්න ඒ දේවලුත් ඇතුළත් කරලයි ඔයාගේ කමෙන්ට් වලට රිප්ලයි කළේ.ඔයාට මූලාශ්‍ර ඕන නිසයි මම එව්වේ යැ"යි පවසමින් යොහොවාගේ සාක්ෂිකරුවන්ගේ වෙබ් ලිපියක ලින්ක් එකක් ඔහු මට එවනු ලැබුවා
අවසානයේදී මම ඔහුගෙන් ඇසුවා කතෝලික විග්‍රහයන් හුදෙක් පාප්වහන්සේගේ හා පූජකයන්ගේ හිතලු වෙන්නත්, යොහොවාගේ සාක්ෂිකාරයන්ගේ විග්‍රහයන් හිතලු නොවෙන්නත් ඇති හේතුව කුමක්ද කියලා.එකවරම පිළිනොගත්තද මාගේ දැඩි පෙරැත්ත නිසා ඔහුට එයට පිළිතුරු දීම මඟහැර යාමට නොහැකි වූ බැවින් ඔහු සංවාදය අත්හැර දමා යන්නට ගියා.
- කිතුනු අපේ දේවධර්ම දිනපොත
0 Comments