BLANTERORBITv101

හෘදය සාක්ෂිය මඟහැර යාමේ ප්‍රතිවිපාකය

මගේ අසල්වැසියා හැමවෙලාවෙම වැරදියි! පුවත්පත් වල පළ කර තිබෙන මෙවැනි ලිපි කවදා හෝ ඔබේ නෙත ගැටී තිබේද? ඒවා සෑමවිටම ආරම්භ වන්නේ තම අසල්වැසියාව විවේචනය කරමින්ය.

"මගේ ස්වාමිපුරුෂයාගේ ඇති ප්‍රශ්නය තමයි..."

"මගේ බිරිඳව මට පෙන්නන්න බැහැ.මොකද..."

"මගේ පුතා හරිම හිතුවක්කාරයි.ඒ නිසා..."

අසාධාරණ ලෙස අපේ අසල්වැසියාව නිතරම විවේචනය කිරීමේ අපගේ මෙම හැසිරීම් රටාවට හේතුව කුමක්ද? හිටපු ඇමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වරක් මේ සඳහා නිවැරදි පිළිතුරක් ලබා දුන්නේය.

ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සිවිල් යුද්ධය අතරතුරදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ රෝහලක් වෙත ගියේය.මේ සමයේ බොහෝ දෙනා ජනාධිපතිවරයා පිළිබඳව හොඳින්ම දැන සිටියේ නැත.ඇරත් ඔහුගේ මාධ්‍යය ලේකම් විසින් ජනාධිපතිවරයාගේ ඡායාරූප නිතරම ජනතාව අතර සංසරණය කිරීම සඳහා උනන්දුවක් දක්වා තිබුණේද නැත.ලින්කන් රෝහලට ඇතුළු වන විට තරුණයෙකු ඔහු වෙතට දිව ගොස් බිම දිගා වී, ජනාධිපතිවරයාට කෑ ගැසුවේය.

"කැහැටු, රිටක් වගේ උස, දරදඬු උඹ මගේ පාරෙන් අහකට පලයන්!"

ජනාධිපතිවරයා ඔහු දෙස බලා ඔහුගෙන් මෙලෙස ඇසුවේය, "තරුණයා, ඔබේ ඇතුළාන්තයෙන් ඔබට කරදර කරමින් සිටින්නේ කුමක්ද?"

යුක්තිය හා සාධාරණත්වය පිලිබඳ සැබෑ හැඟීමකින් අප සැම සවිඥානික වුවද නිතරම අපි උත්සාහ කරන්නේ අනෙකුත් සියල්ල නිවැරදි කිරීමට පමණයි. උදාහරණයක් ලෙස ඡායාරූප පෙළක් එල්ලා ඇති කාමරයක, ඒ අතරින් එක් ඡායාරූපයක් අඟල් දෙකක් පමණ ඇදවී තිබෙන විට, එම ඡායාරූපය කෙලින් කිරීමට උත්සාහ නොකර සිටින්නේ අප අතරින් කීයෙන් කී දෙනාද? අපට සෑම දෙයක්ම හරියාකාරව තිබීමට අවශ්‍යයි; නමුත් අපව හැර!

අපි මොහොතකට මහ ගත්කතුවරයෙකු වන විලියම් ශේක්ස්පියර් වෙත හැරෙමු."මැක්බත්" නමැති නාට්‍යය ඔහුගේ ශ්‍රේෂ්ඨතම ශෝකාන්ත සතරෙන් එකකි. ඇතැම් විචාරකයින්ගේ මතය අනුව "මැක්බත්" ශෝකාන්තය ඉංග්‍රීසි නාට්‍යය සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම නිධානයයි.එයට සමාන කිරීමට ඉංග්‍රීසි සාහිත්‍යයේ එකදු කෘතියක් වත් නැත.ප්‍රධාන වශයෙන් ස්කොට්ලන්තය තුල සිදුවන මෙම කතාවෙන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරනුයේ, තමාගේම අභිවෘද්ධිය උදෙසා බලය සොයන්නන්ගේ දේශපාලනික අභිලාෂයන් නිසා ඔවුන්ටම අත්විඳීමට සිදුවන විනාශකාරී භෞතික සහ මනෝමය ප්‍රතිවිපාකයන් වේ. 

"මැක්බත්" නාට්‍යයයෙහි කථානායකයා වන්නේ මැක්බත්ය.මැක්බත් යනු ස්කොට්ලන්තයේ යුධ නායකයකු හා වංශවතෙකු වේ.මායාකාරියෙකුගේ අනාවැකියක් හා තම බිරිඳ වන මැක්බත් ආර්යාවගේ බලවත් පෙළඹවීම නිසා ඔහු ඩන්කන් රජුව ඝාතනය කරදමා ස්කොට්ලන්තයේ රජු බවට පත්වෙයි.නමුත් එයින් පසු දැඩි බියකින් හා පසුතැවිල්ලකින් ජිවත් වන ඔහු තමන්ගේ වංශවතුන් කෙරෙහිද තිබූ නිරන්තර අවිශ්වාසය නිසා තවදුරටත් නොකඩවාම ඝාතන සිදු කළේය.මරා දැමීම් නවතා සතුටින් ජිවත් වෙන ලෙස මැක්බත් ආර්යාව කළ ආයාචනයද නොසලකා ඔහු ඉතා භීෂණයෙන් පිරුනු පාලනයක් ගෙන ගියේය.ඔහු කෙතරම් මානසිකව අස්ථාවරත්වයට පත්වූවාද කියතොත් ඔහු විසින් ඝාතනය කළ ඩන්කන් රජුගේ අවතාරයද ඔහුට පෙනුනු බව පැවසේ.එලෙසම රජුව ඝාතනය කළ කිනිස්ස නිතරම ඔහු ඉදිරියෙහි තිබුණි, "මාගේ ඇස් ඉදිරිපිට තිබෙන මේ කිනිස්ස කුමක්ද?" මේ පරිකල්පනය නිතරම ඔහුගේ ඇතුළාන්තයේ ඇති වරදකාරී බව ඔහුට පිළිබිඹු කළේය.ඉන්පසු ඔහු තමාගේ ජීවිතය කෙටි ඉටිපන්දමකට සමාන කරගන්නා අතර එය කිසිදු අර්ථයක් නැති දෙයක් ලෙස සැලකීමට පටන් ගත්තේය:

"ජීවිතය ඇදී යයි හිමිහිට දවසින් දවස,

අන්තිම කෙළවර දක්වා - අපගේ සියල්ලම,

ඊයේ දවස ආලෝකමත් විය

දූවිලි සහිත මරණය වෙත දිවෙන මාර්ගයක

නැතිවී, නැතිවී යන ඉටිපන්දම!"

හෘදය සාක්ෂියට එරෙහිව විප්ලවයක් කරන සෑම මොහොතකදීම එකල්හි: සංශයවාදය ( skepticism ), සැකය, අදේවවාදය ( atheism ) හා ජීවිතය අර්ථ විරහිත යැයි නිගමනය කරමින් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමේ දර්ශනවාදයක් එහි ප්‍රතිඵලයක් ලෙස පැමිණෙන බව මෙහිදී අපට පෙන්වා දීමට උත්සාහ කරන ශේක්ස්පියර්ගේ විශිෂ්ට ප්‍රඥාව අනගිභවනීයය.සංශයවාදයට, අඥෙයවාදයට ( agnosticism ) හා අදේවවාදයට කිසිදු තාර්කික පදනමක් නොමැති බවත් ඒවා උපත ලබන්නේ අයහපත් හෘදය සාක්ෂියක ගර්භාෂයෙන් බවත් වන්දනීය ෆූල්ටන් ජේ.ෂීන් අගරදගුරුතුමා අපට පවසන්නේද මේ නිසයි.ඒවායේ පදනම සැකසී ඇත්තේ හෘදය සාක්ෂියට එරෙහිව කරන ලද විප්ලවයක් නිසා ගොඩනැඟුණු සදාචාරයක් ( moral ) මතය.නිරාගමිකයෙකු වුවද තමාටද හෘදය සාක්ෂියේ හඬ ඇසෙන බවත්, නිරාගමිකයෙකු වීම නිසාවෙන් ඉන් පලා යාමට සුවිශේෂී සුපිරි බලයක් තමාට නොලැබෙන බවටත් නිරාගමිකයෙකු වූ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් පවා බොහෝ අවස්ථාවලදී සාක්ෂි දරා ඇත.බොහෝ මිනිස්සුන් මේ දැරිය නොහැකි හෘදය සාක්ෂිය නමැති "බර ගලෙන්" මිදීම සඳහා නිදි පෙති වලටත්, බීමත්කමටත් ඇබ්බැහි වන අවස්ථා ඇත.නමුත් විසඳුම එයද නොවෙයි.තවද මැක්බත් පවා තමන්ට දැන් ඉතිරිව ඇති එකම සැනසීම නින්දට යාම පමණක් බව පවසා ඇත.

එලෙසම ඩන්කන් රජුව ඝාතනය කර දැමීමට මැක්බත් හට ශක්තියක් වූ ගැහැණිය වූ මැක්බත් ආර්යාව දෙස බලන්න.අරාබියේ ඇති සියලුම සුවඳ විලවුන් යෙදුවත් තමන්ගේ කුඩා දෑත් තමාට ප්‍රියමනාප කරවාගත නොහැකි බවට ඇය පවසයි. තම හෘදය සාක්ෂියට විරුද්ධව සටන් කරමින් ඇය තම ආත්මය වෙනුවට සෑම පැය කාලකට වරක්ම තම දෑත් සෝදා ගත්තාය.අවසානයේදි සිහි විකල් වූ මැක්බත් ආර්යාව රජ මාලිගාවේ ඒ මේ අත දුවමින් සිට පසුව සියදිවි නසා ගත්තාය.

තවදුරටත් ශේක්ස්පියර්ගේ "තුන්වෙනි රිචඩ්" නාට්‍යයේ එන ආකර්ශනීය මොහොතක් වන කුලී ඝාතකයන් දෙදෙනෙක් විසින් ක්ලැරන්ස්ව ඝාතනය කිරීමට යන අවස්ථාවේ "හෘදය සාක්ෂිය" පිළිබඳව ඝාතකයන් අතර ඇතිවන ඉතා හරබර සංවාදය දෙසට හැරෙමු.මෙම සංවාදය වෙතට දෙවියන් වහන්සේ හා දස පණත පැමිණීමත් සමඟ එයින් කතුවරයා අපට පරාවර්තනය කිරීමට උත්සාහ කරන පණිවිඩය අතිශයින්ම තීව්‍ර ලෙස අපගේ සිත් තුළට කඩාවදියි.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්භාව්‍ය කෘතියක තිබෙන අපගේ ජීවිතය හා ලෝකය තේරුම් ගැනීමේ මූලධාර්මික සිතා බැලීම් පිළිබඳව නැවත ගවේෂණය කිරීමට මෙහිදී ශේක්ස්පියර් අපව තල්ලු කරයි.ඔහුගේ එම උත්සාහය මැක්බත් හා හැම්ලට් නාට්‍යය තරමටම, සමහර විට ඊටත් වඩා මෙහිදී කැපී පෙනෙයි.එහි එන දෙබසක් මෙසේය:

"මම හෘදය සාක්ෂිය ගැන කරදර වෙන්නේ නැහැ.ඒක මිනිහෙක්ව බයගුල්ලෙක් කරනවා විතරයි. මිනිහෙකුට බෑ හොරකමක් කරන්න, ඒක අපිට චෝදනා කරනවා.දිවුරුමක් කරන්න බැහැ, ඒක අපිව පාලනය කරනවා.අල්ලපු ගෙදර ගෑනි එක්ක නිදි වදින්න බැහැ, ඒක එළියට දානවා.ඒක මිනිහෙකුගේ හදවත පතුලේ ඉඳගෙන ඒ මිනිහව බොහෝම අපහසුවට පත් කරන එකක්.ඕක හන්දා මම දවසක් රන් පසුම්බියක් අයිතිකාරයටම ආපහු දුන්නා.ඕක ඕනම මිනිහෙක්ව හිඟන්නෙක් කරනවා.නගර, ගම් දනව් හැම එකකින්ම ඕක විසිකරලා දාලා තියෙන්නේ. හොදට ජීවත් වෙලා ඉන්න කැමති ඕනෑම මිනිහෙක් ඕක අල්ලලා දාලා තමන් ගැන විශ්වාසය තියලා ඉන්න ඕනේ.මම ශක්තියක්, අධිෂ්ඨානයක් තියෙන කෙනෙක්.ඒ නිසා ඒකට බැහැ මාව අභිබවා යන්න"

තමන් හිසට තම අතමය සෙවණැල්ල, මගේ ජීවිතය - මගේ නීතී, මගේ ගර්භාෂය අයිති මටයි, තමන් ගැන විශ්වාස කරන්න! ඔය කියන කිසිම දෙවි කෙනෙක් එන්නේ නෑ ඔයාට උදව් කරන්න... මෙන්න මේ වගේ ප්‍රකාශන අද සමාජයේ දකින්නට නැති තැනක් නැහැ. ශේක්ස්පියර් පරාවර්තනය කිරීමට උත්සාහ කරන අන්දමට මෙවැනි හැසිරීමක් නිරූපණය වන්නේ අපගේ හෘදය සාක්ෂියට විරුද්ධව අපි විප්ලවයක් කිරීමට උත්සහ කරන විටයි; හෘදය සාක්ෂිය පිටුපස ඇති නීතියට එරෙහිව අපි විප්ලවයක් කිරීමට උත්සහ කරන විටයි; හෘදය සාක්ෂියේ නීතිය සකස් කළ තැනැන් වහන්සේට එරෙහිව අපි විප්ලවයක් කිරීමට උත්සහ කරන විටයි.

අපේ ඇතුළාන්තයෙන් නික්මෙන නීතියක් තිබෙනවා. එය අපට, "මෙය ඔබ කළ යුතුයි! මෙය ඔබ නොකළ යුතුයි! යැ"යි පවසනවා.අපි යහපතක් කළ විට හෘදය සාක්ෂිය අපට යහපතක් දැනීමට සලස්වනවා; අයහපතක් කළ විට අයහපතක් දැනීමට සලස්වනවා. මේ නීතිය අපේ ඇතුළාන්තයට පැමිණෙන්නේ කොහෙන්ද? එහි නිර්මාතෘ මම නම් මට එය නිෂ්ප්‍රභ කර, විනාශ කර දැමීමට හැකිව තිබිය යුතුයි.නමුත් මට එය කළ නොහැකියි.එයට එකඟව කටයුතු කරන තුරුම එය මාව රිදවනවා; අඬවනවා; ඉතා බරපතල ලෙස දෝෂාරෝපණයට ලක් කරවනවා.සමහර විට එය පැමිණෙන්නේ අප ජීවත් වන සමාජය වෙතින් විය හැකිද? ස්ථීර ලෙසම එලෙස විය නොහැකියි. මක්නිසාද සමහර අවස්ථාවලදී මුළු මහත් සමාජයම යම් දෙයක් නිසා අපව හෙළා දකින විට අපේ හෘදය සාක්ෂිය පමණක් අප සමඟ සිනාසෙමින් අපව සතුටු කරවනවා.හෘදය සාක්ෂිය අපගේ ක්‍රියාවන් විනිශ්චය කර අපව ඇගයීමට ලක් කරනවා.අපි කරන හොඳ ක්‍රියාවක් අපේ දෙමව්පියන් විසින් අගය කරන විට අපට සතුටක් දැනෙනවා; නරක ක්‍රියාවක් දෙමාපියන් විසින් හෙළාදකින විට අපට දුකක් දැනෙනවා. මෙලෙසම දිව්‍යමය තැනැන් වහන්සේ විසින් අපගේ හෘදය සාක්ෂිය හරහා අපගේ ක්‍රියාවන් විනිශ්චයට ලක් කරමින් අපව ඇගයීමට ලක් කරනවා.එබැවින් අපගේ හෘදය සාක්ෂිය පැමිණෙන්නේ අපගේ දෙවි මහෝත්තමයාණන් වෙතින්ය:

"ව්‍යවස්ථාවේ නියමයන් ඔහුන්ගේ සිත්හි ලියවී ඇති බව ඔහුන්ගේ පැවැත්මෙන් පෙනේ.ඔහුන්ගේ හෘදය සාක්ෂිය එය සැබෑ බව සහතික කරයි.මන්ද, ඔහුන්ගේ සිතුවිලි සමහර විටක ඔහුන් සදොස් බවත් සමහර විටක ඔහුන් නිදොස් බවත් හඟවන බැවිනි. දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ලවා මිනිසුන්ගේ සිත්වල අභිරහස් විනිශ්චය කරවන සේක.මාගේ සුබ අස්න මෙයයි". - ( රෝම 02:16 )

අපේ ඇතුළාන්තයෙන් ඇති ඇටයක් බිඳුණු විට දැනෙන වේදනාවට සමාන වේදනාවක් අපේ හෘදය සාක්ෂිය විසින්, "ඔබ වැරදි යැ"යි පවසන විට අපට දැනෙයි.බිඳුනු ඇටය එය තිබූ ආකාරයට නොතිබෙන බැවින් රිදුම් දෙයි.එලෙසම අපේ හෘදය සාක්ෂියද අපි කළින් සිටියාවූ මහිමාන්විත ස්වභාවයෙන් ඉවත්ව යන විටදී රිදුම් දීමට පටන් ගනියි.මෙම ස්වයං - මෙනෙහි කිරීමට පිංසිදු වන්නට අපට අපවම දැකගත හැකිය, විශේෂයෙන්ම රාත්‍රීයේදී.ශ්‍රේෂ්ඨ කිවිවරු පවසන ආකාරයට, "සෑම අදේවවාදියෙකුම කළුවරට බියය".මක්නිසාදයත් එහිදී අවංක හඬක් පවසනවා, "ඔබ අසතුටින්! මේක නෙමෙයි මාර්ගය".

කිතුනු අපේ දේවධර්ම දිනපොත