BLANTERORBITv101

"සාන්තුවර බැතිය" ශුද්ධ ලියවිල්ලට පටහැනි වන්නේද?

👉19 වන සියවසේදී ආරම්භ කරන ලද බොහෝ "මුලධර්මවාදී" සභාවන් විසින් කතෝලික සභාවට සෘජුවම එල්ල කරන චෝදනාවක් වන්නේ මෙම "සාන්තුවර බැතියයි."එයට ප්‍රධානම හේතුව වන්නේ ඔවුනට "සභා ඉතිහාසය සහ ශුද්ධ ලියවිල්ල" පිළිබදව හරි ආකාර අවබෝධයක් නොමැති කමය.

👉මුල් සභාව තුළ "ප්‍රාණපරිතය්‍යාගීන්"සදහා සුවිශේෂි ගෞරවයක් සහ භක්ති ආදරයක් තිබු බව මොවුන් නොදනිති.මන්දයත්  ක්‍රි:ව 313 දක්වාම සභාව මුහුණ දුන්නේ පීඩන සමයකටය.එහිදී "ජුදා ආගමිකයන්ගේ" සහ "රෝම අධිරාජ්‍යවාදීන්ගේ" පීඩනය හමුවේ බොහෝ ක්‍රිස්තියානින් දිවි පිදුහ.එළිදරව්ව ග්‍රන්ථය බිහි වන්නේ එවැනි පසුබිමක් තුළදීය.එනම් ක්‍රි:ව 80-96 කාල වකවානුව තුළ වූ "දොමීශියන්" අධිරාජ්‍යවාදීයාගේ පීඩන සමය තුළ මෙම ග්‍රන්ථ‍ය බිහිවී ඇත. ප්‍රාණපරිතය්‍යාගීන්ගේ" ආත්ම සෘජුවම ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධ වන බවත් ඔවුන් එහි සිට සැදැහැවතුන්ගේ අයදීම් වෙනුවෙන් "මැදහත්භාවය" ලබා දෙන බවත් මුල් සභාවේ විශ්වාසය විය."එළිදරව්ව ග්‍රන්ථය" එය වඩාත් තහවුරු කරයි.ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුළුවරුන්ගෙන් ශු.ජොහාන් තුමන් හැරුණු කොට අනිකුත් සියළුම "අපෝස්තුළුවරුන්" මෙන්ම ශුද්ධ වු පාවුළු තුමන්ද "ප්‍රාණපරිතය්‍යාගීන්"වීම මුල් සභාව තුළ ප්‍රාණපරිතය්‍යාගීත්වය සදහා තිබු සුවිශේෂි භාවය සදහ ඇති මුලිකම සාක්ෂියකි.

📕9 බැටළු පෝතකයාණන් පස් වන මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචනය නිසා ද තමන් දැරූ සාක්ෂිය නිසා ද මරනු ලැබූවන්ගේ ආත්මයන් "පූජාසනය" යට දිටිමි.

📕10 ඔව්හු කතා කරමින්, ''ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ''යි මහ හඬින් මොරගසා කී හ.

📕11 එවිට ඔවුන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේ ය. ඔවුන් මෙන් ම මරනු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේ ද සහෝදරයන්ගේ ද ගණන සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නැ යි ඔවුන්ට කියන ලද්දේ ය.

             ( එළිදරව්ව 6:9-11 )

👉පුරාණ ගිවිසුම තුළ ගැලවීම ලැබු ආත්මයන් වු නෝවා,ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් වැනි අයගේ ආත්මයන් පවා රැදී සිටියේ "හේදීසිය" නම් ස්ථානය තුළය.මන්දයත් ක්‍රිස්තුන් වහන්සේගේ "ගැලවීමේ ක්‍රියාවලිය" සම්පූර්ණත්වයට පත් වන තුරු ඔවුන්ට "පොරොන්දුව" දිනා ගැනීමට නොහැකි විය.

📕39 මොවුහු සියල්ලෝ ම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත්, පොරොන්දු නොලදහ.

📕40 එසේ වූයේ, දෙවියන් වහන්සේ අප ගැන සලකා, ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමඟ පමණකැ යි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙළ කොට තිබූ හෙයිනි.

         ( හේබ්‍ර්ව් 11:39-40 )

👉නමුත් "ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානයත්" සමගින් එම ආත්මයන් ස්වර්ගයට පිවිසුණු බව "ශුද්ධ ලියවිල්ල" අපට පසක් කර දෙයි.

📕51 දේව මාලිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකඩ ව ඉරුණේ ය; පොළොව කම්පා විය; ගිරිකුළු දෙදරිණි;

📕52 සොහොන් ගෙවල් විවර විය; දිවංගත ශුද්ධවරයෝ උත්ථාන කරනු ලැබූ හ.

📕53 උන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් පසු, ඔව්හු සොහොන් ගෙවලින් නික්ම "ශුද්ධ නුවරට" ඇතුළු ව, බොහෝ දෙනෙකුට පෙනුණාහ.

             ( මතෙව් 27:51-53 )

👉පුරාණ ගිවිසුම තුළ "අති ශුද්ධස්ථානයට" ඇතුළු වීමට හැකියාව තිබුනේ "උත්තම පුජකයාට" පමණක් වන අතර එයත් අවුරුද්දකට එක් වතාවක් පමණි.නමුත් ක්‍රිස්තුන් වහන්සේගේ "උත්ථානයත්" සමගින් දේව මාලිගාවේ තිරය දෙකඩ වීමත් සමගින් "නව ගිවිසුම" තුළ ස්වර්ගය සියළු සැදැහැවතුන් සදහා විවෘත විය.

👉මරණයෙන් පසුව තම ආත්මය ක්‍රිස්තුන් වහන්සේ සමගින් සම්බන්ධ වන බව ශුද්ධ වු පාවුළු තුමන් විසින්ද ප්‍රකාශ කොට ඇත.

📕මරණයට පවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කල නොහැකි බව ශු.පාවුළු තුමන් විසින් පවසන්නේ මේ නිසාවෙනි.( රෝම 8:38 )

📕23 මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය.

             ( පිලිප්පි 1:23 )

📕6 එබැවින් අපි සැම විට ම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නමැති නිවාසයෙහි සිටින තුරු, අපි සමිඳාණන් වහන්සේගෙන් ඈත් ව සිටින බව දනිමු.

📕7 අප ජීවත් වනුයේ දැකීමෙන් නොව, ඇදහීමෙන් ය.

📕8 අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු.

📕9 ඒ නිසා අපි, එහි වේවා, මෙහි වේවා, කොයි නිවාසයෙහි සිටියත්, සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශා වෙමු.

📕10 මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු.

         ( 2 කොරින්ති 5:8-10 )

👉ක්‍රිස්තුන් වහන්සේ විසින්ද මේ බව පැහැදිලි ලෙසම ප්‍රකාශ කොට ඇත.

📕25 ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;

📕26 ජීවත් ව සිටින, මා අදහාගන්න කිසිවෙක් කිසි කලෙක නො මැරෙන්නේ ය. ඔබ මෙය අදහන්නෙහි දැ''යි ඇසූ සේක.

     ( ජොහාන් 11:25-26 )

📕32 ' මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය; ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය; ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය. උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය.''

           ( මතෙව් 22:32 )

👉මෙහිදී ක්‍රිස්තුන් වහන්සේ විසින් ආබ්‍රහම්,ඊසාක් සහ ජාකොබ් ආදර්ශයට ගනිමින් ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ වන බවයි.

👉මරණයෙන් අපගේ "ආත්මය" විනාශ කළ නොහැකි බව ජේසුස් වහන්සේ විසින් ප්‍රකාශ කොට ඇත. 

📕28 ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.

             ( මතෙව් 10:28 )

👉සදාතන ජීවනය ලැබු "ආත්මයන්" අප වෙනුවෙන් මැදහත්භාවය ලබා දෙන ආකාරය "එළිදරව්ව ග්‍රන්ථය" තුළ ඉතා පැහැදිලි ලෙස සදහන් වෙයි.

📕8 එසේ පොත ගත් කල ජීවමාන සත්ත්වයෝ සතර දෙනා හා කුලදෙටුවෝ විසිසතර දෙනා, එකිනෙකා වීණාවක් ද, සුවඳ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍ර ද රැගෙන බැටළු පෝතකයාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය. ඒ සුවඳ ද්‍රව්‍ය නම් "සැදැහැවතුන්ගේ යාච්ඤාය."

📕10 අපගේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබ ඔවුන් රාජකීය පූජක වංශයක් කළ සේක; 

ඔව්හු මිහි පිට රජකම් කරන්නාහ,''

                ( එලිදරව්ව 5:8-10 )

👉මෙහිදී "සැදැහැවතුන්ගේ යාච්ඤාවන්" බැටළුපෝතයාණන් වෙත රැගෙන යන්නේ "කුලදෙටුවන්" විසි හතර දෙනා විසිනි.කුලදෙටුවන්ගෙන් නියෝජනය වන්නේ පුරාණ ගිවිසුමේ ගෝත්‍ර දොළස සහ නව ගිවිසුමේ අපෝස්තුළුවරුන් දොළොසය.( එලිදරව්ව 21:12-14 )

👉සැබැවින්ම ස්වර්ගයෙහි සැදැහැවතුන් "ජයග්‍රාහි සභාව" ලෙස හදුන්වන අතර මිහිපිට ස්වර්ගය දිනා ගැනීම සදහා වෙහෙසෙන අප සැම "සටන් කරන සභාව" ලෙසට හදුන්වයි.මේ සභාවන් දෙකම එකම සභාවක් වෙයි.

👉නමුත් අප සෑම දෙනාම ගැලවීම ලබා ඇත්තේ ක්‍රිස්තුන් වහන්සේගේ "කල්වාරි යාගය" තුළිනි.ඒ ගැලවීම කිසිසේත් දේව මාතාවන්ට හෝ සාන්තුවරයන් හට ලබාදිය නොහැකි බව සිහියේ තබා ගැනීම අතිශයින් වැදගත් වෙයි.( 1 තිමොති 2:5 )

👉නමුත් දේව මාතාවන්ට හෝ සාන්තුවරයන්ට ගෞරව කිරීම සහ භක්ති ආදරය දැක්වීම කිසිසේත් ශුද්ධ ලියවිල්ලට පටහැනි නොවේ.

📕පිදිය යුත්තා පුදන්න ගරු කල යුත්තාට ගරු කරන්න.

            ( රෝම 13:7 )

👉සාන්තුවරයන් යනු අප මතු ලබන "ගැලවීමේ" පෙරමං සලකුණු වන අතර ඔවුන්ගේ ජීවිතාදර්ශය තුළින් අපද සාන්තුවර භාවය සදහා සූදානම් විය යුතු වෙමු.

📕1 මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබ ද, මා ආදර්ශයට ගන්න.

         ( 1 කොරින්ති 11:1 )

📕1 මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා,

2 ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් ද දුවමු.

           ( හේබ්‍ර්ව් 12:1-2 )

සතුට යනු කතෝලිකයකු වීමයි !

✍️සාහිත පෙරේරා

(ලිපියේ මුල්හිමිකාරිත්වය වන සාහිත පෙරේරා සහෝදරයාට ජේසුනි ළංවෙන්න ෆේස්බුක් පිටුවේ අපේ ප්‍රණාමයත් දේවාශිර්වාදයත් පතමු. )

ස්තූතියි 

ජේසු පිහිටයි ❤