BLANTERORBITv101

"ලෝකයේ ආලෝකය" සිතුවම

ඉංග්‍රීසි ජාතික චිත්‍රශිල්පියෙකු වූ විලියම් හොල්මන් හන්ට්ගේ "ලෝකයේ ආලෝකය" සිතුවම අද වනවිට ලොව පුරා බොහෝ කතෝලිකයන් අතර විවිධ වූ සංස්කරණ වලට ලක්වූ ජනප්‍රිය වූ සිතුවමක් බවට පත්ව ඇත.නමුත් මෙම ශ්‍රේෂ්ඨ කලා කෘතියේ සැබෑ අර්ථය දැනගෙන සිටින්නේ ඔබ අතරින් කීයෙන් කී දෙනාද?

බැලූ බැල්මට මෙය ලන්තෑරුමක් අතට ගත් ක්‍රිස්තුන් වහන්සේ, කාගේ හෝ නිවසක දොරට තට්ටු කරන ආකාරය නිරූපණය වේ.නමුත් මෙහි අමුත්තක් ඇත. එය ඔබ නිරීක්ෂණය කර තිබෙනවාද? මෙම දොරෙහි ජේසුස් වහන්සේ සිටගෙන සිටින පැත්තෙන් දොර විවෘත කිරීම සඳහා අල්ලුවක් සවි කර නැත.එබැවින් එය ඇතුළතින් පමණක් විවෘත කළ හැකි දොරක් විය යුතුය.එලෙසම දොරෙන් ඇතුළත සිටින පුද්ගලයා විසින් එම දොර අවුරුදු ගණනාවකින් විවෘත කර නැති බවක් එම දොර පුරා නැඟී වර්ධනය වී ඇති පැළෑටි වලින් විද්‍යාමාන වේ.එලෙසම ඇතුළත සිටින පුද්ගලයා පසුවන්නේ අන්ධකාරයක් මධ්‍යයේ බවද ජේසුස් වහන්සේගේ අතෙහි ඇති ලන්තෑරුමෙන් ගම්‍යය වේ.

සැබවින්ම විලියම් හොල්මන් හන්ට් විසින් මෙම සිතුවමෙන් ප්‍රකාශ කිරීමට උත්සාහ කර ඇත්තේ අපගේ "හෘදය සාක්ෂිය" පිළිබඳවයි.ක්‍රිස්තුන් වහන්සේ සෑම විටම අපගේ හෘදය සාක්ෂිය හරහා අපගේ ක්‍රියාවන් විනිශ්චය කරයි.නමුත් අපි බොහෝ විට හිතුවක්කාරී ලෙස උන්වහන්සේගේ හඬට පිටුපා, අපගේ හෘදය සාක්ෂියට විරුද්ධව අරගල කිරීමට උත්සාහ කරයි.එලෙසම පිටතින් අල්ලුවක් නැති මේ දොර, දෙවියන් වහන්සේ විසින් අපට ලබාදී ඇති නිදහස් කැමැත්තද ( free will ) නිරූපණය කරයි. එලෙසම උන්වහන්සේද අපගේ නිදහස් කැමැත්තට ගරු කරයි.උන්වහන්සේ අපට හරි වැරැද්ද පෙන්වා දෙන නමුත් එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කර දැමීම පැවරෙන්නේ අප පිටය ( It is up to us ).

අපගේ හෘදය සාක්ෂිය නමැති මෙම ස්වයං - මෙනෙහි කිරීමට පිංසිදු වන්නට අපට අපවම දැකගත හැකිය, විශේෂයෙන්ම රාත්‍රීයේදී.ශ්‍රේෂ්ඨ කිවිවරු පවසන ආකාරයට, "සෑම අදේවවාදියෙකුම කළුවරට බියය". මක්නිසාදයත් එහිදී අවංක හඬක් ඔහුන්ට පවසනවා, "ඔබ අසතුටින්! මේක නෙමෙයි මාර්ගය".එවිට අඳුරු අප සිතට ක්‍රිස්තුන් වහන්සේ ගෙන එන ලන්තෑරුම් එළිය භාර ගැනීමට අපි අපේ හද කුටිය විවෘත නොකරන්නේ නම් අපේ හදවත තවදුරටත් අන්ධ වීම නිසා තවදුරටත් අඳුරේම පියවර තැබීමට අපට සිදුවනු ඇත.එලෙසම මෙම සිතුවම සඳහා ශුද්ධවූ ලියවිලිමය පදනමක්ද ඇත:

"මෙන්න, මම දොර ළග සිට තට්ටු කරමි.යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි.ඔහුද මා සමඟ කෑම කන්නෙහිය". - ( එළිදරව්ව 03:20 )

කිතුනු අපේ දේවධර්ම දිනපොත