BLANTERORBITv101

පියතුමා සහ පාස්ටර්


✅ ගුරුවරයා සහ ටියුෂන් ගුරුවරයා අතර වෙනස ඔබ දන්නවාද ? ටියුෂන් ගුරුවරයා විසින් විෂයානුබද්ධ කරුණු උගන්වනු ලැබේ. ඔවුන්ගේ අරමුණ හා ඉලක්කය වන්නේ තම අනුගාමිකයන් විභාගය සමත් කරවීමයි . එනමුත් පාසල් ගුරුවරයා ඉන් ඔබ්බට ගොස් විශාල සමාජ මෙහෙවරක් ඉටු කරයි . දරුවකු ඉගෙන ගත යුත්තේ විභාග සමත් වීමට පමණක් නොව ජීවිතය ද සමත් කර ගැනීමටය. විභාගය සමත් වූ එහෙත් ජීවිතය අසමත් වූවන් ගැන අපට අසන්නට ලැබී ඇත. විභාග සමත් වූ ජීවිතය අසාර්ථක කරගෙන ඇති අයද බොහෝය.ගුරුවරයා උගන්වන්නේ විෂය කාරණා ගැන පමණක් නොව යහපත් ලෙස ජීවිතය ගෙන යන ආකාරය ගැනය .

👉 යහපත් ගුරුවරයා 👈


🌹 යහපත් ගුරුවරයා කරන්නේ රැකියාවක් නොව සේවයකි .මුදල් ඉපයීමක් නොව ජීවිතය උපයා ගැනීමකි . නිවැරදිව කටයුතු කරන ගුරුවරයා හා ශිෂ්‍යයා අතර ඇත්තේ මූල්‍යමය ගනුදෙනුවත් නොව ජීවිත ගනුදෙනුවකි . ඒ ආදරය , ගෞරවය සහිත සෙනෙහසෙහි බැඳීමකි . ටියුෂන් ගුරුවරයාට අවශ්‍ය වන්නේ තම කාලය ශ්‍රමය සහ දැනුම මුදල් කර ගැනීමටය 

👉 ටියුෂන් ගුරුවරයා 👈


🌹 එබැවින් ටියුෂන් ගුරුවරයා විසින් ශිෂ්‍යයන් අඳින්නේ , පළඳින්නේ , කන්නේ , බොන්නේ කෙසේද ? යන්නේ එන්නේ කෙසේද ? කරන්නේ කුමක්ද ? කියා හෝ දරුවන්ගේ පෞද්ගලික හෝ පවුල් ප්‍රශ්න ගැන හෝ සොයාබලන්නේ නැත. ඒවා ඔහුට අදාළ ද නැත . ඒවා සදහා වැය කිරීමට ඔවුනට කාලයක් ද නොමැත. නමුත් යහපත් ගුරුවරුන් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳව ඉහත සඳහන් සියලු කරුණු ගැන සොයා බලා ඔවුන්ගේ ජීවිත සාර්ථකත්වය සඳහා යොමු කරති .

👉 අමතර සේවාවන් 👈


🌹 එපමණක් නොව වර්තමාන කතෝලික පියතුමකුගේ සහ කන්‍යාසොයුරියකගේ ද කාර්යභාරය යහපත් ගුරුවරයකුගේ කාර්යයට වඩා ඔබ්බට යන්නකි . දූ දරුවන් උපතේ සිට (බෞතිස්මයේ සිට) මරණය දක්වා ද , අවසන් ගමනේදී මෙන්ම ඉන් ඔබ්බට ගොස් එම ආත්මයන් ස්වර්ගීය සම්පත් සදහා එසවීම සඳහා ද යම් මෙහෙවරක් ඉටු කරනු ලබයි . ආකර්ශනීය ලෙසත් චතුර ලෙසත් දේශනා කරමින් ජනතාවට මැජික් පෙන්වන බයිබලය චතුර ලෙස උපුටා දක්වන මෙන් ම ඒවායේ අර්ථකථන දක්වන (තමන්ගේම අර්ථකථන) පාස්ටර්ලා ගැනත් අපි අසා ඇත්තෙමු. ඒත් ජනතාවගේ සමාජ ප්‍රශ්නවලදී , ජීවිත ප්‍රශ්න ප්‍රශ්න වල දී සහ උපතේදී සහ විපතේ දී ද , ඔවුනට කිසි බැඳීමක් නොමැත. ඔවුන් දුප්පතුන්ගේ අවමගුල් පිළිවෙත්වලට හෝ වයෝවෘද්ධ පුද්ගලයකුගේ දුක සැප විමසීමට හෝ පැමිණෙන්නේ ද ? නමුත් බොහෝ පාස්ටර්ලා පොහොසතුන්ගේ කටයුතුවලදී මුල්තැන ගැනීමට කැමතිය. අද දුප්පතුන් සමග සමඟ ජීවිතය බෙදා ගන්නේ ඔවුන් අතර ජීවත් වන්නේ ඔවුන්ගේ දුක සැප සොයා යන්නේ සත්තකින්ම කවරේද ?

👉 පූජක මෙහෙවර 👈

 
🌹 අප සැම ආදරය කළ අප කවුරුත් දන්නා ඉතා සරල වූ පියතුමෙකි ගරු ලොරන්ස් පෙරේරා පියතුමා. එතුමා සමග කලක් සේවය කිරීමට මටද වරම් ලැබුණි .එතුමාට චතුරව දේශනා පැවැත්වීමට කොහෙත්ම නොහැකිය. එතුමාගේ දේශනා ජනතාව විශාල ලෙස ඇද ගැනීමට සමත් නොවීය. 

👉 සරල පූජක ජීවිත 👈


🌹නමුත් එතුමාට කොතරම් මිනිසුන් ආදරය කරනවාද යැයි මම දුටිමි. මීසමේ ජනතාව සහ එතුමා අතර ඇත්තේ පුදුම බැඳීමකි . එතුමා මුළු මීසම පුරාම පවුල් බැහැදැකීමට යයි . එතුමා තම බැටළුවන් සෑම කෙනෙක්ම කටහඩින් අඳුනයි . ලොකු කුඩා සෑම කෙනෙක්ටම එතුමා ආදරණීය තාත්තා කෙනෙකු විය . එතුමාගේ දේශනවලට සියලු දෙනා සාවධානව සවන් නොදුන්නත් එතුමා පවත්වන දිව්‍ය පූජාවට ජනතාව තුළ ඇත්තේ පුදුම ලැදිකමකි. එතුමා විටෙක වියලි ආහාර මල්ලක් රැගෙන මීසමේ දුප්පතුන් බැහැදැකීමට යයි. තවත් විටෙක වැඩිහිටියන් , රෝගීන් , මහලු අයගේ සුවදුක් විමසීමට නොදන්වාම නිවෙස් වලට ගොඩවදී. 

👉 සරල මෙහෙවර 👈


🌹 දුප්පතුන්ට මෙන්ම පොහොසතුන්ට ද එතුමා එකසේ ආදරයෙන් සලකයි. එතුමා කිසිම විටෙක තරහින් හෝ කලබලයෙන් සිටිනවා මා දැක නැත. එසේම එතුමා සුවිසල් ගොඩනැගිලි හෝ මහා දෙව්මැදුරු සාදන්නට මහන්සි වූයේ නැත. නමුත් මිනිසාට අවශ්‍ය ජීවිත කාරණාවලදී වෙහෙස නොබලා ඉමහත් කැපවීමෙන් කටයුතු කරයි.

👉 උතුම් වූ නිහඬ සේවාව 👈


🌹 ඉන්දියාවේ කල්කටා නුවර "ඉවැන්ජලිකල් ප්‍රීචර්ස්" නම් බයිබල් දේශකයින් බොහෝ සිටිති. එහෙත් කිසි විටෙකත් දේශනා නොකොට ශුද්ධ වූ තෙරේසා මවුතුමිය ලොව පුරා බොහෝ දෙනෙකුගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූවාය. රාජ්‍ය නායකයන්ගේ රාජ්‍ය පවුල්වල ගෞරවයට පත් වූවාය . ඇගේ නිර්ව්‍යාජ මෙන්ම නිහඬ සේවාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පවා ප්‍රදානය කරන ලදී . ඇය එම මහා ධනස්කන්ධය ද රෝගී ජනතාව වෙනුවෙන් පිදුවා ය.  

👉 මෙහෙවරේ මුහුණුවර 👈


🌹 චතුර දේශනා දුන්නාට , බයිබල් පාඨ උපුටා දැක්වූවාට බයිබලය ගැන ගැඹුරින් ඉගෙන ගත් පමණින් හෝ ස්වර්ගය කරා යා හැකි වෙනවද ? ශුද්ධවූ කතෝලික සභාවේ සියලු පියතුමන්ලා එක සේ චතුර දේශකයෝ නොවෙති . සියලුම කතෝලිකයන්ට ශුද්ධ වූ වූ බයිබලය පිළිබඳව පූර්ණ දැනුමක් ද නොමැත . එසේ නම් ස්වර්ගයට යාමට අවශ්‍ය වන්නේ කුමක්ද ? පරිසිවරු ද විනයධරයෝ ද ශුද්ධ වූ ලියවිල්ල ගැන චතුර දැනුමක් තිබූ අය ය . එහෙත් ජේසු තුමා වෙත වඩාත් ළං වූයේ අයකැමියන් සහ පව්කාරයන්ය.

ඔවුන්ට ශුද්ධවූ ලියවිල්ල ගැන චතුර දැනුමක් නොවීය . එහෙත් විශ්වාසය ප්‍රබල විය . ලූක් 11:43 " පරිසිවරුනි, ඔබට වන විපතක මහත ! ඔබ නොපෙනෙන සොහොන් ගෙවල් වලට සමානය ." ලූක්.11:53 " විනයධරයෙනි, ඔබට වන විපතක මහත !" ලූක් 12:1 "පරිසිවරුන්ගේ කුහකකම නැමති මුහුණ වලින් පරිස්සම් වන්න ."

👉 ජනතාව වෙනුවෙන් ජීවිත පූජා කිරීම 👈


🌹 පියතුමන්ලා මෙන්ම කන්‍යාසොහොයුරියන් ද ජනතාව වෙනුවෙන් ජීවිත පූජා කරන්නේ ලෞකික සේවයක් පමණක් නොව ඔවුන්ගේ ගුරු දේවයාණන් කල්වාරියේ දී තම රුධිරය පූජා කොට ආරම්භ කළ කතෝලික සභාව කිතුනු අනුගාමිකයන් වන අපෝස්තුළුවරුන් සහ ශාන්තුවරුන්ගෙන් ගලාගිය රුධිරයෙන් පෝෂණය විය . එමෙන්ම අප පූජකතුමන්ලා අද ලෝකයේ විවිධ රටවල මෙන්ම මෙරට දී පවා ජීවිත පූජා කරමින් රුධිරය වගුරවමින් මරණය තුළින් වුව ද සිය බැටළුවන් වෙනුවෙන් කැපවී සේවය කරති . කතෝලික පූජකතුමන්ලා විසින් සිදුකළ මෙවන් ජීවිත පූජාවන් මූලධර්මවාදීන් අතර දැකිය හැකිද ? මෙරට දී ජීවිත පූජා කළ ගරු.මයිකල් රුද්‍රිගු පියතුමා මෙන්ම ගරු අබා කොස්තා පියතුමා උදාහරණ වේ. එබැවින් ඔබේ ජීවිත ගමනට සහ ස්වර්ගීය ගමනට වඩාත් උචිත වන්නේ උපතේ සිට මරණය දක්වා මෙන්ම ඉන් ඔබ්බටද ඔබගේ ගමනට උදව් වන කතෝලික පියතුමන්ලා සහ කන්‍යාසොයුරියන් ද එසේ නැතහොත් තාවකාලිකව ඔබගේ සිත් ඇද ගන්නා ලෙස කතා කරන අවස්ථාවාදී මූලධර්මවාදීන් දැයි ඔබම විමසා බලන්න . යහපත් ගුරුවරයා සහ ටියුෂන් ගුරුවරයා අතර වෙනසින් එය හඳුනාගත හැකිය . 

✝️ එපීස 6:6 ✝️

"මිනිසුන් සතුටු කරන අදහසින් මූනිච්චාවට වැඩ නොකර ක්‍රිස්තුන් වහන්සේගේ දාසයන් මෙන් , දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු සිතින් ඉටු කරන්න." 

🌹 ඒ අනුව යා යුතු නියම මඟ තෝරා ගත හැකිය .

✍️ ශාස්ත්‍රපති, ගරු. කෙනඩි පෙරේරා පියතුමා