BLANTERORBITv101

මළවුන් සම්බන්ධ කතෝලික සභාවේ ඉගැන්වීම

කතෝලික විශ්වාසය හා ඉගැන්වීම අනුව, මනුෂ්‍යයෙකුට ස්වභාවික ශරීරය හා අමරණීය ආත්මය යනුවෙන් දෙකොටසක් ඇත. මෙම දෙකොටස එකිනෙක හා දැඩිව සම්බන්ධ වී ඇත. අමරණීය ආත්මය අදෘෂ්‍යමාන ය. මනුෂ්‍යයෙකු මරණයට පත් වූ විගස අමරණීය ආත්මය ඔහුගේ ශරීරයෙන් වෙන්වී දෙවියන් වහන්සේ ඉදිරියට පමුණුවයි. ශරීරය පොළොවට දිරා පත් වේ. එම පුද්ගලයා මෙලොව ජීවිතයේ දී තමන් කළ කී ‍සියලු දේ අනුව, දෙවියන් වහන්සේගේ සාධාරණ කාරුණික විනිශ්චයට භාජනය වේ. මෙම විනිශ්චය "තනි නඩුව" යන නමින් හඳුන්වයි. මනුෂ්‍යයාගේ එම අමරණීය ආත්මය පත්වන තත්ත්වය හා ඉන්පසු එය යන ස්ථානය තීරණය කරන්නේ දෙවියන් වහන්සේ ය. මෙලොවේ දී දේව කැමැත්ත ඉටු කරමින් ඉතා ශුද්ධවන්ත දැහැමි නිදොස් ජීවිතයක් ගත කළ පුද්ගලයාට ස්වර්ගය ද, සුළු පව් ඇත්තාට තාවකාලික දඬුවමකින් ශුද්ධවන්තභාවය ලබා ගැනීම සඳහා ශුධිකාගිනිස්ථානයට ද, බරපතල පව් ඇතිව (අවම වශයෙන් මරණ මංඤ්චකයේ දී වත් මනස්ස්ථාපනය - පසුතැවිලි - නොවී) මිය යන්නාට කිසිදා ගැළවීමක් හෝ සැනසීමක් නැති සාතන්‍ ඇතුළු නිරාදූතයන්ගේ බලය ඇති නිරය හෙවත් සදාතන විනාශයට ද යාමට සිදුවේ. 

ස්වර්ගයේ දී ශුද්ධවන්ත ආත්මයන්ට හිමිවන පරම සතුට වන්නේ දෙවියන් වහන්සේව නිරතුරු දර්ශනය කරමින් ඔවුන්ගේ වහන්සේගේ අමිල ප්‍රේමය හා සුවය භුක්ති විඳීමේ වාසනාවට උරුමකරුවන් වීමය. නිරයේ දී අශුද්ධ ආත්මයන්ට හිමිවන දැඩි වේදනාව වන්නේ, දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ හා කරුණා වරප්‍රසාදයේ මිහිර අත්විඳීමට නොහැකි වීමෙන් ආත්මයේ ඇති කරවන වචනයෙන් කිව නොහැකි තරම් වූ දැඩි සාපිපාසාවත්, තමන් හා සමග මෙලොවෙහි ජීවත් වූ දැහැමි අය ස්වර්ගීය සුවය අත් විඳින ආකාරය දර්ශනය කිරීමෙන් වන දැඩි ඊර්ෂ්‍යාවත් ය. (ධනපතියා ලාසරස්ගේ උපමාව - ලූක් 16 : 19 - 31. විශේෂයෙන් 22 - 23 වගන්ති) එසේම දැඩි දුක් විඳීමකට හා දඬුවමකට භාජනය වී සිටින සාතන් ඇතුළු නිරා දූතයන්ගේ නිරන්තර පීඩාවට ද භාජනය වීමට සිදුවේ. ශුධිකාගිනිස්ථානයේ දුක් විඳින ආත්ම වලට මීට බොහෝ සමාන තත්ත්වයක් පැවතුණ ද, කෙදිනක හෝ තමන්ට ඉන් නිදහස් වී ස්වර්ගය කරා යාමට හැකිවේ යන බලාපොරොත්තුවත්, දේව කරුණා වරප්‍රසාදයත් නිසා සුළු සැනසීමක් අත්විඳමට හැකියාව ලැබේ. කිසියම් ආත්මයක් මෙම ස්වර්ගය හෝ නිරය හෝ ශුධිකාගිනිස්ථානයට හෝ පත් කිරීමේ සම්පූර්ණ බලය, අයිතිය හා හැකියාව ඇත්තේ දෙවියන් වහන්සේට පමණි. එබැවින් අප බිය විය යුත්තේ මෙලොව මිනිස් බලවේග වලට හෝ සාතන්ගේ බලයට හෝ නොව, අප "....... නැසුණු පසු නිරයේ හෙළීමට බලය ඇති තැනැන් වහන්සේට (දෙවිඳුන්ට)....." පමණක් බව ජේසුස් වහන්සේ ප්‍රකාශ කර ඇත. (ලූක් 12 : 4 - 5) 

කතෝලික සභාවේ ධර්මෝපදේශය [Catechism of the Catholic Church (No. 1030-1032)] තුළ ශුධිකාගිනිස්ථානයේ කෙරෙන ආත්ම පිවිතුරුකරණය පිළිබඳව විස්තර කර ඇත. 

"දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා සබැඳියාව තුළ විශ්වාසයේ සැතපෙන, එහෙත් තවමත් අසම්පූර්ණ පවිත්‍රතාවයෙන් ජීවත්ව සිටින අයට සදාතන ගැළවීම ස්ථිරව සහතික ‍කර ඇති නමුදු, ඔවුන්ගේ මරණින් පසුව ස්වර්ග රාජ්‍යයට ඇතුළත් වීමට නම්, පවිත්‍ර වී ශුද්ධවන්තභාවය ලබා ගත යුතු වේ." 

"කතෝලික සභාව මෙම තෝරාගත්තවුන්ගේ අවසන් පිවිතුරුකරණයට 'ශුධිකාගිනිස්ථානය' යන නාමය දෙන අතර, එය නිරයට වඩා මුළුමනින්ම වෙනස් වූ දඬුවමකි."

"කතෝලික සභාව ශුධිකාගිනිස්ථානය පිළිබඳ ඇයගේ විශ්වාසයේ ධර්මවේදීය ඉගැන්වීම ගෙන ඇත්තේ ෆ්ලොරෙන්ස් හි හා ත්‍රිදෙන්තීන (ට්‍රෙන්ට්) ධර්ම සංඝායනා වලිනි. කතෝලික සභා සම්ප්‍රදායයේ හා නිශ්චිත ශුද්ධ ලියවිලි වල සඳහන් ප්‍රකාර මෙය ශුද්ධවත් කරන ගිනි ස්ථානයකි."

"අවසාන විනිශ්චයට පෙර, අපගේ සුළු ඇදවැටීම් (පාප) උදෙසා වන අග්නිමය පිවිතුරුකරණය විශ්වාස කළ යුත්තකි. "යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කතා කරන්නේ ද එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ වත් කමා කරනු නොලබන"(මතෙව් 12 : 32) බව සත්‍යය වන ඔවුන් (ජේසුස්) වහන්සේ ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශනයෙන් අප අවබෝධ කර ගත යුත්තේ, ඇතැම් පාපයන් මෙම යුගයේ දී කමා කළ ද, ඇතැම් ඒවා ට කමාව හිමි වන්නේ මතු යුගයේ දී බවය."        

"මෙම ඉගැන්වීම වුව ද ශුද්ධ වූ ලියවිල්ලේ සඳහන් කර ඇති පරිදි, මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරීම මත පදනම් වී ඇත. (ජුදාස් මකබේයුස් මළවුන්ගේ පාප කමා කිරීම පිණිස පිළිවෙතක් පැවැත්වීමට ක්‍රියා කළේය. - 2 මකබ් 12 : 41 - 46 ) එබැවින් කතෝලික සභාව ආරම්භයේ සිට ම මළවුන්ට ගරු කිරීමට හා ඔවුන්ගේ ගැළවීම වෙනුවෙන් යාච්ඤා කිරීම හා සියල්ලට වඩා දිව්‍ය යාගය (දිව්‍ය පූජාව) ඔප්පු කිරීම මගින් දෙවියන් වහන්සේගේ අලංකාර දර්ශනය දැකීමේ භාග්‍යය හිමි කර දීමට ක්‍රියා කරන්නීය. එසේම කතෝලික සභාව මළවුන් උදෙසා දාන පින්කම් කිරීම, පූර්ණ ඵල දානය කිරීම හා (පාප වලට වන්දියක් වශයෙන් දුක් පීඩා විඳීම, නිරාහාරශීලය රැකීම වැනි) පශ්චාත්තාපික ක්‍රියා කිරීම කරන්නීය."

"ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේ විසූ සාන්ත ජෝන් ක්‍රිසොස්තම් තුමා කී පරිදි, 'අපි ඔවුන්ව (මළවුන්ව) සිහිකර ඔවුනට පිහිට වෙමු. (පුරාණ ගිවිසුමේ) ජෝබ්ගේ දැහැමි පරිත්‍යාගයන් මගින් ඔහුගේ පුත්‍රයන් පවිත්‍ර වූවාක් මෙන් අපගේ පරිත්‍යාගයන් මගින් මළවුන්ට කිසියම් සහනයක් ලැබ දිය නොහැකි යැයි අනුමාන කරන්නේ මන්ද? මළවුන් උදෙසා පිහිට වීමට මැළි නොවී, අපගේ යැදුම් ඔවුන් වෙනුවෙන් පුද කරමු.'

ක්‍රිස්තු වර්ෂ 211 දී පමණ "ඔටුන්න" [The Crown 3 : 3] යන නමින් කළ කෘතියක ටූර්ටලියන් [Tertullian], "අප මළවුන්ගේ උපන් දින සාංවත්සර උත්සව වල දී ඔවුන් වෙනුවෙන් පරිත්‍යාගයන් පුද කරන්නෙමු," යනුවෙන් සඳහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ 253 දී කාර්තේජ් හි සිප්‍රියන් තුමා [Cyprian], කළ පුකාශනයකට අනුව, "බොහෝ දෙනෙකුට තම මහත් වූ පාප නිසා වෙන් දිගු කලක් ගින්නෙන් දුක් විඳීමට සිදු‍වීම එක් දෙයකි." ක්‍රිස්තු වර්ෂ 419 දී සාන්ත ඔගස්ටින් තුමා කළ ප්‍රකාශනයකට අනුව, "‍ඇතැම් අයට මෙලොවේ දී පමණක් ද, ඇතැමුන්ට ස්වකීය මරණයෙන් පසුව ද, සමහරුන්ට මෙලොවේ දී හා තම මරණයෙන් පසුව ද, තමන් කළ පාප වලට තාවකාලික දඬුවම් විඳීමට සිදුවූවත්, ඒ සියල්ල අවසාන විනිශ්චයට පෙර සිදු වන්නකි. සමහර අය තාවකාලික දඬුවමින් නිදහස ලැබුවත් ඔවුන්ගේ මරණින් පසුව අවසාන විනිශ්චයේ දී සදාකාලික දඬුවමට පාත්‍රවීමට සිදුවේ."