BLANTERORBITv101

"ඊශ්‍රායෙලයේ සැඟවුණු සිංහාසනය"ට උරුමකම් කියන්නේ මරියතුමියයි.

ඒ කාලේ ඊශ්‍රායෙල් අධිරාජ්‍යයේ සලමොන් මහරජතුමාට ලොකු ප්‍රශ්නයක් ඇති උනා.ඔහුට බිසෝවරුන්, උප බිසෝවරුන් හා කුමාරිකාවන් 1000 ක් පමණ සිටියා.මේ අතරින් රැජිණ විය යුත්තේ කවුරුන්ද යන ගැටළුව පැන නැඟුණා.සලමොන් රජුද ඊශ්‍රායෙල් අධිරාජ්‍යයේ රැජිණ ලෙස තම මෑණියන් වූ බැත්-ෂෙබාව තෝරා පත් කර ඕතෙමෝට විශේෂ ආසනයක්ද පැනවුවා.ඒ වගේම බැත්-ෂෙබා, සලමොන් මහරජුගේ සිංහාසනය ඉදිරියෙහි මැදිහත්කාරකම් කරන ආකාරයද ශුද්ධවූ බයිබලයේ සඳහන් වෙනවා.බැත්-ෂෙබා, අදෙනියා උදෙසා සලමොන් මහරජ ඉදිරියේ මැදිහත්වීම ඊට හොඳම උදාහරණයයි - ( 01 රාජාවලිය 02:13-18 ).

ක්‍රිස්තුන් වහන්සේ තුළ උදාවන දේව රාජ්‍යය හා පුරාණ ගිවිසුමේ දාවිත්-සලමොන් අධි රජවරුන්ගේ ඊශ්‍රායෙල් අධිරාජ්‍යය අතර ඉතා කුළුපග සම්බන්ඳතාවක් තිබෙනවා.පුරාණ ඊශ්‍රායෙල් අධිරාජ්‍යය බිඳ වැටුනද එය ක්‍රිස්තුන් වහන්සේගේ රාජ්‍යය පුරෝකථනය කරනවා.පෞරාණික ඊශ්‍රායෙල් අධිරාජ්‍යය, දාවිත්ගේ සිංහාසනයේ සිට රජකම් කරන මහේශාක්‍ය ක්‍රිස්තුන් වහන්සේගේ ( එපීස 01:21-23 ) ශුද්ධවූ සභාව තුළ පුනර්ජීවනය ලබා තිබෙනවා.

ජේසුස් වහන්සේ රාජ තේජසින් ජෙරුසලමට වඩින විට ජනතාව උන්වහන්සේට ප්‍රශංසා කළේ, "හෝසන්නා! සමිඳාණන් වහන්සේගේ නාමයෙන් වඩින තැනැන්වහන්සේට  ආසිරි වේවා! ඊශ්‍රායෙල් රජු හට ආසිරි වේවා... අපේ පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේවා ( ශු.ජොහාන් 12:13... ශු.මාක් 11:10 ) කියාය.ඔව්හූ එසේ කළේ දාවිත්ගේ වංශයෙන් පැමිණෙන කෙනෙකු නැවත දාවිත්ගේ සිංහාසනය පිට හිඳුවා රාජ්‍යයද බලයද මහිමයද යළි ස්ථාපිත කරන බවට දෙවියන් වහන්සේ, දාවිත් රජ හට දිවුරුමක් දී තිබුණ නිසාය - ( ක්‍රියා 02:29-31 ).

ජේසුස් වහන්සේ ඊශ්‍රායෙල් රාජ්‍යයේ රජු ලෙස පෞරාණික ඊශ්‍රායෙල් රාජ්‍යය නැවත ප්‍රතිනිර්මාණය කළේ නම් පෞරාණික ඊශ්‍රායෙල් රාජ්‍යයේ, රැජිනගේ සිංහාසනය හා කාර්යයභාරය නිතැතින්ම ක්‍රිස්තුන් වහන්සේගේ මව වූ මරියෝත්තමාවන් හට හිමි විය යුතුයි නේද? එදා බැත්-ෂෙබා ඊශ්‍රායෙල් අධි රජුගේ සිංහාසනය ඉදිරියේ රැජිනක් ලෙස දවිඳු පුත් සලමොන් නිරිදුන් ඉදිරියේ මැදිහත්කාරකම් කළා සේ අද මරිය රැජිණියද ක්‍රිස්තු රජාණන්ගේ සිංහාසනය ඉදිරිපිට පව්කාරවූ අප උදෙසා ඉතා බලගතු ලෙස මැදිහත්කාරකම් කරනු ඇත.

කිතුනු අපේ දේවධර්ම දිනපොත