BLANTERORBITv101

ලෝකයෙම ආදරය දිනාගත් දුප්පතුන්ගේ පාප්තුමා - පළමුවන ෆ්‍රැන්සිස්

දුප්පත් මිනිසුන්ගේ පාප්වහන්සේ ලෙස විරුදාවලී ලත් පළමුවන ෆ්‍රැන්සිස් පාප්තුමා 2013 මාර්තු 13 වෙනිදා එම පදවියට පත් වූ දා පටන් අද වෙනතුරු ආගම් භේදයකින් තොරව කෝටි සංඛ්‍යාත දෙස් විදෙස් ජනතාවගේ භක්ත්‍යාදරයට පත් වී තිබේ.

මෙතුමා ජේසු නිකායෙන් පත්වූ ප්‍රථම පාප්තුමා වේ. එසේම ඇමෙරිකානු රටකින් පත්වූ ප්‍රථම පාප්තුමා හා දකුණු අර්ධගෝලයෙන් පත්වූ ප්‍රථම පාප්තුමා ද වේ.

 ක්‍රිස්තු වර්ෂ 741දී 3වන ග්‍රෙගරි පාප්තුමා මියයාමෙන් පසු පාප් ධූරය යුරෝපයෙන් බැහැරට ගොස් නොතිබුණි. ශත වර්ෂ දහතුනකට පසු නැවත සැරයක් පාප් පදවිය යුරෝපයෙන් පිටස්තරයෙකුට හිමිවූයේ මෙතුමා නිසාවෙනි.

එසේම මෙතුමට පෙර පාප් පදවිය දැරූ 16වන බෙනඩික් පාප්තුමා හා මෙතුමා එක් වරෙක මුණගැසී තිබේ. එයද ශතවර්ෂ හතකට පසු සිදු වූ ඓතිහාසික සිදුවීමක් ලෙස පිළිගනී.

මෙතුමා උපත ලැබුවේ 1936 දෙසැම්බර් 17 දින ආර්ජන්ටිනාවේ බියුනෝස් ඒරිස්හිදී ය. එතුමාගේ උපන් නාමය ජෝර්ගෝ මාරියෝ බර්ගෝග්ලියෝ ය. පියා මාරියෝ ජොසේ බර්ගෝග්ලියෝ වන අතර මව රිගිනා මරියා සිවෝරි විය. දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ඔහූය.

1969 දී පැවිදි දිවියට ඇතුළත් වන මෙතුමා 1973 සිට 1979 දක්වා කාලය තුළ එම පළාතේ ජේසු නිකායේ ප්‍රධාන පූජකවරයා ලෙස කටයුතු කෙරූ අතර 1998 දී අගරදගුරු පදවියෙන් පිදුම් ලැබුවේය. 2001 වර්ෂයේදී 2වන ජෝන් පෝල් පාප්වහන්සේ විසින් මෙතුමාව කාදිනල්වරයෙක් ලෙස පත් කරනු ලබන්නේය.

2013 පෙබරවාරි 28 දින 16 වන බෙනඩික් පාප්වහන්සේගේ ඉවත්වීමෙන් පසු පැවැත්වුණු නිලවරණයේදී එයින් ජයග්‍රහණය කර 2013 මාර්තු 13 වන දින නව පාප්වහන්සේ ලෙස වැඩ භාර ගත්තේය. 16 වන බෙනඩික් පාප්වහන්සේ එලෙස තනතුරෙන් ඉල්ලා අස් වී තිබුණේ 1415 න් පසු පළමු වතාවටය. ඒ හත්වන ග්‍රෙගරි පාප්තුමාගේ ඉල්ලා අස්වීමෙන් ශත වර්ෂ හතකට පමණ පසුය.

පාප් වහන්සේ යනු කිතුනු භක්තිකයන්ගේ අති පූජනීය වූත් අති ගෞරවනීය වූත් අධ්‍යාත්මික නායකයා සේම වතිකානය නම් ධර්ම රාජ්‍යයේ ප්‍රධාන පාලකවරයා ද වේ. නමුත් අපගේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අදටත් තනතුරු බලයෙන් උදම් නොවී, ආර්ජන්ටිනාවේ ජීවත් වූ කාලයේ ගතකල සරල දිවිපැවැත්ම එයාකාරයෙන්ම පවත්වාගෙන යයි.

මෙතුමා ආර්ජන්ටිනාවේ කාදිනල් ධූරය හොබවන කාලයේද මහත් වූ සැප සම්පත් ලද බවක් හෝ සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බවක් මා අසා නැත. මෙතුමා සියලූම ගමන් බිමන් සිදු කරන ලද්දේ තම දෙපයිනි. බොහෝ දුර ගමනක් වෙතොත් ඒ සදහා පොදු ප්‍රවාහන මාධ්‍යය භාවිතා කරන්නට තරම් මෙතුමා නිහතමානී පුද්ගලයෙක් විය.

එදා පටන් අද දක්වාම මෙතුමාගේ ප්‍රියතම ආහාරය පීට්සා වන අතර අයිසක්‍රීම් වලටද මහත් රුචියක් දක්වන්නේලු. ඔහූගේ ආහාර පාන ඔහූ විසින්ම සකසා ගන්නා අතර ඒ සදහා සේවකයන්ට කරදර කරන්නේද නැත. ඇත්තටම මෙතුමා දක්ෂ කෑම පිසින්නෙකි.

මෙතුමා පාප් ධූරයට නම් කෙරුණු පසුව, ඔහූ වෙනුවෙන් විශේෂ වරප්‍රසාද රැසක් හිමි වේ. නමුත් ඔහූ කිසිවක් භාරගත්තේ හෝ ආස කලේ නැත. පාප් ධූරය පිළිගැනීමේ උත්සව අවස්ථාවට පැමිණුනේද වෙඩි නොවදින මෝටර් රථය පසෙකලා වහළ ඉවත් කරන ලද සාමන්‍ය මෝටර් රථයක නැගී මග දෙපස ජනතාවට ආචාර සමාචාර කරමිනි.

ලෝ වටා කොහේ ගියත් එතුමා සැරසෙන්නේ පාප් තුමාට හිමි සම්ප්‍රදායික ඇඳුම වෙනුවට බොහොම සරල සුදු ඇඳුමකිනනි. රනින් කරන ලද කුරුසය සහිත මාලය මුදුවක් ඔහූට හිමි අතර ඔහූ තවමත් පළදින්නේ ආර්ජන්ටිනාවේදී පැළදි සාමාන්‍ය කුරුසයමයි. අතේ පළදින්නේ හයවෙනි පාවුලු පාප්තුමාට හිමිව තිබූ රිදී මුදුවකි.

පාප් තුමා ශුද්ධ වූ වතිකානු නුවරෙහි නායකයාය. වතිකානය පිහිටා ඇත්තේ ඉතාලියේ රෝම අගනුවර මධ්‍යයේය. වතිකානු නුවරෙහි ශුද්ධ වූ දෙමැදුරු, කෞතුකාගාරම එකොළහක්, මයිකල් ආන්ජලෝගේ කලා නිර්මාණ, සිත් ඇදබැඳ ගන්නා උද්‍යාන බොහෝ ඇත. නුවර පුරාම මත්ස්‍ය තටාක හා කුරුළු පාරාදීසය. සාමයෙන් වෙසෙන ජනී ජනයාය.

ටැංගෝ සංගීත නාදය ඇසෙත්ම, මෙතුමාගේ ඇඟ නර්ථන රිද්මයෙන් නලියන්නට ගනී. ටැංගෝ සංගීතයට නර්ථනයේ යෙදීම පාප්තුමාගේ විනෝදාංශයකි. පීසා හා අයිස්ක්‍රීම් ඔහූගේ ශරීර සෞඛ්‍යයට අයහපත් බැව් වෛද්‍යවරුන් පවසා තිබුණත් ඔහූ ඒ වගක් කණට ගන්නේනම් නැත. ජීවත්වන සුළු කාලය තුළ ජීවිතය රසවිඳිය යුතු බව නිතරම ඔහූගේ මුවින් පිටවන්නකි.

උස් පහත් භේදයකින් තොරව සියලු ආගම් හා දර්ශනයන්ට ගරු කරන ඔබට, සියලු ධර්මයන්ගේ ආශිර්වාදය ලැබී තව බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩවසන්නට, ධෛර්යය වාසනාව ශක්තිය ලැබේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.

උපුටාගැනීමකි 

මුල් අයිතිය - චතුර වීරක්කොඩි