BLANTERORBITv101

අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමා සහ ලක්දිව එතුමන්ගේ භක්තිය

 අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමා සහ ලක්දිව එතුමන්ගේ භක්තිය


සාන්ත සභා මාතාව ඔක්තෝබර් මස 4 වන දින අනිවාර්‍ය අනුස්මරණ මංගල්‍යයක් ලෙස අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන්ගේ මංගල්‍යය සමරන්නීය. 12 වන සියවසේදී සභා නවෝදකයා සහ ධර්මදානිය මෙහෙවර තුළ ප්‍රකට නිකායක් වන ප්‍රැන්සිස්කාන තාපස පංතියේ පිතෘවරයාණන් වූ මෙතුමාණෝ පරිසරයට හා සතා සිව්පාවුනට ප්‍රබල ලැදියාවක් දැක්විය. එතුමන් තුළ වූ චාම් ,සරල, අල්පේච්ඡ දිවි මග එකල සභාවට මෙන්ම මෙකල සභාවටද මහඟු ආදර්ශයක් දක්වාලයි. තුරුණු වියේදී ලෞකික කිර්තිය හා සැනසුම සොයා යන්නට උත්සුක වුනිද, දෙවිසමිඳුන් ඔහුගෙන් බලපොරොත්තු වූ අරමුණු සාක්ෂාත් කරමින් සමිදුන් වෙතට ම තිළිණයක් වෙමින් සභා නවෝදයකට මුලපිරිය සමිදුන් කෙරේ දක්වාලූ ප්‍රේමය නිසා ම ශ්‍රී වණ කැළැල් දිනා ගන්නටද මෙතුමාණෝ භාග්‍ය ලැබුවේය. 

 පෘතුගීසි සමයේදී මෙරටට පැමිණි ප්‍රථම ධර්මදූතවරුන් වූයේ ප්‍රැන්සිස්කාන පියවරුන් වේ. ක්‍රි.ව. 1505 වසරේ දී ලොරෙන්සෝ ද අල්මේදා සමග ලක්දිවට සපැමිණ ලක්දිව ප්‍රථම දිව්‍ය යාගය සිදු කරන ලද්දේ ද ප්‍රැන්සිස්කාන නිකායික ගෞ. වින්සෙන්තේ නම් දරන ලද පූජාප්‍රසාදීන් වහන්සේ කෙනෙකු බව ලංකා සභා ඉතිහාස තොරතුරු වල සඳහන් වේ. එතැන් සිට කෝට්ටේ රජු ගේ අනුග්‍රහය රජුගේ අනුග්‍රහය යටතේ කෝට්ටේ රාජධානියට අයත් විවිධ ප්‍රදේශවල ප්‍රථමයෙන් වෙළඳ ගබඩා ඉදිකරමින් , පසුව එම ස්ථානවල බලකොටු සහ කුඩා දෙව්මැදුරු ඉදිකළ බව සඳහන් වේ. ඒවායේ ආධ්‍යාත්මික සේවය කරන ලද්දේ ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතවරුන් විසිනි. ක්‍රි.ව. 1543 වසරේ දී කෝට්ටේ බුවනෙකබාහු රජු විසින් තම මුණුබුරු වූ ධර්මපාල කුමරුගේ රන් පිළිරුවක් සලප්පු ආරච්චි නම් තැනැත්තෙකු අතේ යවා පෘතුගාලයේ ලිස්බන් නුවරදී පෘතුගාලයේ එවකට රජුව සිටි පස්වන ජෝන් රජු අතින් එම පිළිරුවට ඔටුණු පළඳවා ලංකාවේ රාජත්වය තහවුරු කරන ලදී. එහිදී බුවනෙකබාහු රජු විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ලංකාවේ ධර්ම දූතික මෙහෙවර සිදු කිරීම සඳහා ධර්ම දූතවරුන් එවන ලෙස ඉල්ලා සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගෞ. ජෝන් විලා ද කොන්දේ පුජාප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්ම දූතවරුන් පස් නමක් මෙරටට පැමිණි බව සඳහන් වේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1552 වසරේ දී අභිනවයෙන් කෝට්ටේ රාජත්වයට සපැමිණි ධර්මපාල රජු ඇතුළු මුහුදුබඩ වැසියන් 52,000 ක් පමණ බව්තීස්ම-ස්නාපනය ලැබූ බව සඳහන් වේ. එය ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතවරුන්ගේ මහගු මෙහෙවරක් ලෙස සැලකේ. එනමුදු කල්යත්ම දේශපාලනික බලය හේතුවෙන් ඔවුහු අදූරදර්ශී ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් ධර්ම දූතික මෙහෙවරෙහි යෙදුණෝය. ඒ හේතුවෙන් මෙරට පැවැති විහාරස්ථාන හා දේවාල විනාශ කොට ඒවායේ දෙව්මැදුරු ඉදිකළ බව සඳහන් වේ. එය මෙරට කතෝලිකයන් ලෙස අපට අදත් එල්ලවන්නා වූ බරපතල චෝදනාවකි. මන්ද ඔවුන්ට අවශ්‍ය වූයේ එකල පැවති පද්‍රෝ ආඩෝ ගිවිසුම මගින් මෙරට ශුද්ධ කතෝලික රාජ්‍යයක් ගොඩනැගීමට ය. එය අසාර්ථක ප්‍රතිඵලයක් වුණි. ක්‍රි.ව. 1602 වසරේ දී මෙරටට ජේසූ නිකායික ධර්ම දූතවරුන් පැමිණෙන තෙක්ම සේවය කරන ලද්දේ ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතවරුන් විසිනි.

පෘතුගීසි සමයේදී ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතවරුන් අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් නමින් කැප කරන ලද දෙව්මැදුරු කීපයක්ම මෙරට පැවති බව සඳහන් වේ. ඒවා මෙසේය

1/ කොළඹ කොටුවේ පැවති ප්‍රැන්සිස්කාන තාපසාරාමය - ක්‍රි.ව. 1518 දී පෘතුගීසින් විසින් අභිනවයෙන් ඉදිකරන ලද කොළඹ කොටුව ශක්තිධාරි අප ස්වාමිදු නමින් කැපකරන ලදී. ක්‍රි.ව. 1543 දී හත්වන බුවනකබාහු රජුගේ ආරාධනයෙන් මෙරටට පැමිණි ප්‍රැන්සිස්කාන නිකායික ධර්මදුතවරුන් හට ඉදිකරන ලද ලක්දිව ප්‍රථම මධ්‍යස්ථානය මෙය විය. මෙහි තාපසාරාමයක් සහ විද්‍යාලයක් පැවතිණි. පසුකාලීනව පෘතුගීසි ආණ්ඩුකාරවරුන්ගේ සහ කපිතාන්වරුන්ගේ රූකඩයක් බවට පත්වු කෝට්ටේ අවසන් රජුවූ දොන් ජුවන් ධර්මපාල රජු විසු මාලිගය මේ තාපසාරාමයට යාබදව පිහිටා තිබුණි. ක්‍රි.ව. 1597 මැයි මස 27 වනදා දොන් ජුවන් ධර්මපාල රජු මියගිය පසු මිහිදන් කරන ලද්දේ මෙම ප්‍රැන්සිස්කාන තාපසාරාමය තුළය. අද ජනාධිපති මන්දීරය පිහිටි ස්ථානයේ පෘතුගීසි සමයේදී මෙම තාපසාරාමය තිබු බව කියැවේ. ක්‍රි.ව. 1543 සිට 1658 එනම් ලන්දේසීන්ගේ පැමිණිම තෙක් මෙම තාපසාරාමය පැවතිණි. මෙහි දෙව්මැදුර කැප කර තිබුණේ ශාන්ත අන්තෝනි මුනි තුමන් නමිනි.

2/ චාවකච්චේරිය - ශ්‍රී වණ කැළැල් ලාභී අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් නමින් කැපකරන ලද දේවස්ථානය ( මෙහි කතෝලික පිරිස 4374කි.)

3/ වැලිසර - ශු. ප්‍රැන්සිස් මුනිදුන්ගේ ශ්‍රී වණ කැළැල් නමින් වූ දෙව්මැදූර අයත් පිරිස 1100 ඉක්ම වූහ.

4/ වැලිකඩ - ශ්‍රී වණ කැළැල් ලාභී අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් නමින් කැපකරන ලද දේවස්ථානය ( කතෝලික පිරිස 700කි)

5/ කළුතර - ශ්‍රී වණ කැළැල් ලාභී අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් නමින් කැපකරන ලද දේවස්ථානය ( මෙහි කතෝලිකයෝ 1300 ඉක්මවූහ.)

ඊට අමතරව SAO FRANCISCO හෙවත් අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් නමින් කොළඹ කොටුවේ බැස්ටියමක් කැප කරන ලද බව සදහන් වේ. 

ලංකා සභා නවෝදනය යුගය හෙවත් ඕලන්ද පීඩන සමයේදී ලංකා අපොස්තුළුවර ශු. ජුසේ වාස් මුනිතුමන් දෙව්සත්හල් ශිෂ්‍යයෙකු ලෙසත් තරුණ සහෝදරතුමකු ලෙසත් සිය පුජක දිවියට පාදක කරගත් පරමාදර්ශී චරිත දෙකක් විය. ඒ අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් සහ ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ය. පරණ ගෝව නගරයේ බෝම් ජේසු බැසිලිකාවේ ස්ථාපිත ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ගේ නොදිරන සිරි සිරුර දකින වාරයක් වාරයක් පාසාම ජුසේ වාස් මුනිතුමන්ද ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිදුන් මෙන් තමන් ද ධර්මදුතවරයෙකු වීමට අපේක්ෂා කරන්නට විය. එතුමන්ගේ ජීවිතය තුළ පරමාදර්ශ ශුද්ධවරුන් දෙදෙනෙකු ගත් අතර ඒ දෙදෙනා වන්නේ අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් සහ ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිඳුන්ය. අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් මෙන් දිළිඳුකම මුල් කර ගත් සරල චාම් දිවියක් ගත කරන්නට මෙතුමාණෝ අපේක්ෂා කළ අතර ශා. ප්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන් මෙන් ප්‍රබල ධර්මදුතවරයෙකු වන්නට ද අධිෂ්ඨාන කර ගත්තේය. එම නිසාම එතුමන්ගේ දිවි ගමන තුළ ඉහත කි ප්‍රැන්සිස් යන ශුද්ධවරුන් දෙදෙනාගේම සංකලනයක් දක්නට ලැබේ. 

මරුද මඩු සිද්ධස්ථානයේ නිර්මාතෘවරයාණන් වන ‘සම්මනිසි ස්වාමි” සහ වන්නියේ අපෝස්තුළුවරයාණන් ලෙස විරුදාවලියෙන් පිදෙන ගෞ. පේඩ්‍රේා් ෆෙරාඕ පුජාප්‍රසාදීතුමා සිය අනුනායකතුමන් වූ ජුසේ වාස් මුනිතුමන් පිළිබදව එතුමා සමාන කර ඇත්තේ වණ කැළැල් දැරූ ෆ්‍රැන්සිස් අසීසියේ ශු. ප්‍රැන්සිස් මුනිතුමන් ලෙසිනි. ධර්මෝධ්‍යානය නම් ග්‍රන්ථය තුළ සිය පන්හිදෙන් මෙතුමන්ගේ චරිතාපදානය රචනා කර ඇති පඩිවර ගෞ. ජාකෝමේ ගොන්සාල්වෙස් පුජාප්‍රසාදීන් වහන්සේ ඇතුළු ගෝවේ ඔරතෝරියාන නිකායික ධර්මදුතවරුන් මෙතුමන් කෙරේ ප්‍රබල භක්තියක් දැක්වුවෝය.

වර්තමානයේ එතුමන්ගේ නාමයට ගෞරවය පිණිස කොළඹ අගරදගුරු වසමේ උඩුගම්පොළ දේවස්ථානය හා බඩල්ගම මීසමට අයත් මේස්ලන්ඩ් දේවස්ථානය ද, මහනුවර රදගුරු වසමේ කවුලහේන දේවස්ථානය ද, ගාලු රදගුරු වසමේ තංගල්ල දේවස්ථානය ද, හලාවත රදගුරු වසමේ ආනවිලුන්දාව දේවස්ථානය හා කල්ලඩිය දේවස්ථානය ද කුරුණෑගල රදගුරු වසමේ හිරිපොකුණ මිසමේ කිරින්දේගම දේවස්ථානය සහ මඩකලපුව රදගුරු වසමේ කුරුක්කල්මඩම් දේවස්ථානය කැපකර ඇති අතර එංගලන්ත සභාවේ ආදර ගෞරවය ලබන ශුද්ධවරයෙකු ලෙස මෙතුමන් නම් කර ඇත. එම නිසා ලක්දිව ලංකා සභාවේ එතුමන්ගේ නාමයට ගෞරවය පිණිස ගල්කිස්ස සහ උඩුපිටිය හලුගම ප්‍රදේශයේ දේවස්ථාන කැපකර තිබේ. 

ස්වාමිනි , මා ඔබගේ සාමයේ උපකරණයක් කළ මැනව,

වෛරයෙන් පිරුණු තැනට ප්‍රේමයද ,

අසමගියේ තුවාලයන්ට ශාන්තියේ සුවයද ,

අවිශ්වාසය යුත් තැනට විශ්වාසයද,

බලපොරොත්තුව සුන් තැනට බලාපොරොත්තුවද,

ශෝකය වටලාගත් තැනට ප්‍රීතිය ද

අඳුරෙන් වැසි ගිය තැනට ආලෝකයද , ගෙන යාමට වරම් දුන මැනව.

දිව්‍ය ගුරුතුමාණෙනි සැනසීම ලැබීමට වඩා සැනසීම දීමටද

මා තේරුම් ගැනීමට වඩා අන් අය තේරුම් ගැනීමටද,

ප්‍රේමය ලැබීමට වඩා ප්‍රේම කිරීමටද , මා යොමු කළ මැනව.

මක්නිසාදයත් දීමෙන් අපට ලැබීමත්, සමාව දීමෙන් සමාවත්

මරණයෙන් අපට සදා ජිවිතයේ ඉපදීමත් අත්වන හෙයිනි.

ආමෙන්