BLANTERORBITv101

වහකෝට්ටේ ව්‍යාජ වෙස් ගත් "පියතුමා”

 වහකෝට්ටේ ව්‍යාජ වෙස් ගත් "පියතුමා” 


(විශ්‍රාමික අතිගරු ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමාගේ "කතෝලික යටගියාව" පොතෙන්) 

මහනුවර රාජධානිය ඉංගිරිසීනට පවරා දෙනු ලැබුවේ ක්‍රි.ව. 1815 මාර්තු මස 2 දා අත්සන් තබන ලද " නුවර ගිවිසුමෙන්" ය. මේ අනුව බ්‍රිතාන්‍යයේ 3 වැනි ජෝර්ජ් රජතුමා ලංකාවේ ද රජ විය. 

නුවර රාජධානියේ අවසාන කාලය තුළ හින්දු රජකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ කතෝලික පූජක තුමන් තම රාජධානියෙන් නෙරපා තිබුණි. මේ අනුව ජුසේ වාස් පියතුමා ගේ දහම් සේවාව හේතුවෙන් කිතු දහම වැළඳගෙන සිටි කතෝලිකයින් සිටියේ අසරණව ය. නුවර රාජධානිය තුළද එකම පියතුමෙකුවත් නොවීය.

බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වීමත් සමඟම රෙපරමාදු "පූජකවරුන්ට" එහි පැමිණීමේ අවසරය හිමිවුණි. එහෙත් එහි කතෝලිකයින් බහුලව සිටියත් රෙපරමාදු කිතුනුවෝ නොසිටියහ. මෙය සැලකීමට ගත් ඔරතෝරියාන නිකායේ ශ්‍රේෂ්ඨාධිපති ජෝකිම් මොන්රෝයි පියතුමා ක්‍රි.ව. 1815 පනවන ලද වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉංගිරිසි ආණ්ඩුකාර තුමාගෙන් ඉල්ලීමක් කළේ ය. වාරණ නියෝගය පැනැවීමට එදා පැවති හේතූන් කිසිවක් අද නැතැයි ද එතුමෝ ආණ්ඩුකාර තුමාට පෙන්වා දුන්හ. තව ද ඉංගිරිසි දේවගැතිවරුනට මෙම අවසරය ඇති හෙයින් කතෝලික පියතුමනට පමණක් ඉඩ නොදීම වැරැදි බව එතුමා පෙන්වා දුන්නේ ය.

එහෙත් මේ වන විට ආණ්ඩුකාරයාව සිටි ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිජ් හැකිතාක් පිළිතුරු පමා කොට සිව් මසකින් පසු ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පිළිතුරක් යැවී ය. එම පිළිතුර වඩාත් අපහාසයකි. ඒ අනුව එක පියතුමකුට පමණක් සීමිත දින ගණනකට වහකෝට්ටේ සහ ගල්ගෝමර යන ගම් දෙකට, නුවර නගරයේ නැවැතී සිට යා හැකි බවත්, එසේ යා යුත්තේ පූජකයකු සැටියට නොව පෞද්ගලික ව ගිහි වස්ත්‍රයෙන් බවත් නුවර නගරය තුළ හෝ වෙනත් කිසි තැනක හෝ ප්‍රසිද්ධ රැස්වීම්, පෙරහර යනාදිය සංවිධානය කිරීම තහනම් බවත් මෙයින් දන්වනු ලැබීය. මෙම පිළිතුර ක්‍රියාත්මක නො කළ හැකි වූ බව රහසක් නොවේ. හුදෙක් විහිළුවක් ම වූ ආණ්ඩුකාරයා ගේ මෙම ලිපිය ප්‍රතික්ෂේප කරන ලදි.

මේ කාලය ක්‍රි.ව. 1817 ඔක්තෝබර් මස ආරම්භ වූ කැරැල්ලෙන් පසුව ය. හය මසක් ගත වන්නට පෙර, කැරැල්ල නුවර රාජධානියේ පළාත් රැසක පැතිර තිබිණි. තවත් බොහෝ පළාත් තුළ එයට එක්වීම සඳහා

සුදානමක් විය. මෙය පහත රට පළාත් වලට ද පැතිර යාමේ බියක් ඉංගිරිසි පාලකයන් තුළ පැවැතිණි. මෙයට නුවර කතෝලික පිරිස ගේ ද සහයෝගය ලැබෙනු ඇතැයි ඔහු විශ්වාස කළෝ ය. මෙයට වැඩියක්ම හේතු

වුයේ එවකට මෙහි සේවය කළ ඔරතෝරියාන පියවරුන් වැඩියක් ගෝවෙන් පැමිණි අය නිසා ඔවුන් ඉංගිරිසියට වඩා පෘතුගීසි බස දැන සිටීමයි. මේ නිසා නුවර හෙළ රජුනට ඉතා සමීපව සිටි මෙතුමන් යළි පෘතුගීසිහු මෙහි ගෙන්වා ගනිත් දැයි ඉංගිරිසීන් තුළ සැකයක් විය.

මේ කාලය තුළ රෙපරමාදු පාදිලි තුමනට රටේ ඕනෑම තැනකට ගමන් කිරීමේ නිදහස සතුව තිබිණි. මෙයින් ප්‍රයෝජනය ගන්නට සිතා ගත් ගරු ජෝර්ජ් බිසේ නමැති එක්තරා රෙපරමාදු පාදිලි තුමෙක් කූටෝපායක් යොදා ගත්තේය. එහි අරමුණ වූයේ වහකෝට්ටේ කතෝලික සැදැහැවතුන් රෙපරමාදු කිතු දහමට සොරා ගැනීම යි.

මෙය අරමුණු කැරගත් මෙතුමා කොළඹ සන්නාලියකු ලවා ඔරතෝරියාන පියතුමන්ලා ගේ සැලසුම ඇති ලෝගුවක් පිළියෙළ කැර ගත්තේය. මෙය පැළඳගත් බිසේ දේවගැති තුමා වහකෝට්ටේ ග්‍රාමයට ගොස් තමන් ඔරතෝරියාන නිකායේ ශ්‍රේෂ්ඨ පියතුමා

වන මොන්රෝය පියතුමන් විසින් එවන ලද කතෝලික පූජක තුමන් බව පවසා සිටියේය. ක්‍රි.ව. 1745 අප්‍රේල් මස 16 වැනි දා සිට පියතුමකු නැතිව සිට, ප්‍රීතියෙන් ඉපිල ගිය වහකෝට්ටේ ජනතාව එතුමන් හරසරින්

පිළිගත්හ. මේ වන විට වහකෝට්ටේ බොහෝ දෙනෙක් කතෝලික පියතුමකු දැක නැති තරම් ය. දීර්ඝ පීඩන සමයක් තුළ ඔවුනට පූජක සේවාවන් අහිමිව සිටියහ.

එහෙත් ඉතා සරල දිවි පෙවෙතක් ගෙන ගිය මෙහි කතෝලික පිරිස '' පියතුමා " ගේ පැමිණීමෙන් සන්තුෂ්ටියට පත්ව දෙව් මැඳුරත්, මීසම් ගෘහයත් එතුමනට විවෘත කැර දුන්නෝය.

කෙසේ වෙතත් වැඩි කල් යන්නට පෙර රහස හෙළිවන්නට පටන් ගත්තේය. ජනතාව අතර මෙතුමන් ගැන සැක පහළ විය. මෙතරම් හරසරින් හා සාදරයෙන් පිළිගන්නා ලද මෙතුමා කිසි දිනෙක දිව්‍ය පූජාව

පැවැත්වූයේ නැත. පාපෝච්චාරණය ඇසීම දිනෙන් දිනකල් යැවීය. දිනපතා දේශන පැවැත් වුවත් කිසිවිටෙක මරියෝත්තමාවන් ගැන. සඳහන් කළේ නැත.අවසානයේ දී ගම්වාසී සියලු දෙනා අතර බයිබල් බෙදා

හැරියේය. ඔවුන් දැන සිටි කතෝලික පියතුමන්ලා ගේ ක්රියාදාමය මීට හාත්පසින් වෙනස් බව ඔවුනට හැගුණි.

මේ ගැන විග්‍රහ කැර බලන්නට වැඩිහිටි පිරිස සන්ක්‍රිස්තියන් මහතාගේ නිවසේ රැස්වූහ. සියලු බාධක අතර ප්‍රධාන වූයේ ' පියතුමා '' බෙදා හැරිය බයිබල් පිටපත්ය.

කතෝලික පියවරුන් සේවා කළ අවධියේ කතෝලික බයිබලයත්, රෙපරමාදු බයිබලයත් අතර වෙනස සොයා ගැනීම සඳහා අවශ්‍ය වන බයිබල් පාඨ ඔවුනට හොඳින් කියා දී තිබිණි. මේ දැනුම ඇතිව සන්ක්‍රිස්තියන් නිවසේ රැස්වුණු පිරිස ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ඉදිරිපත් කැර තිබුණු නව ගිවිසුමේ සිංහල පරිවර්තනයත්, ව්‍යාජ රූඪ පියතුමා බෙදා හැරිය බයිබලයත් සසඳා බලා වෙනස වටහා ගත්තෝ ය. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ පරිවර්තනය සැම ඉරිදාවකම දෙව් මැඳුරේ කියවන ලද හෙයින් එය ඔවුනට හොඳින් හුරු වී තිබුණි.

මෙය සොයාගත් විගස තද කෝපයට පත් මේ පිරිස පොලු, මුගුරු ගෙන මීසම් ගෘහයට කඩා වැදුණෝය.

දේවගැති තුමා තමන් වෙත ළමයින් සහ කාන්තාවන් විසින් දමා ගසන ලද ගල් මුල් සහ එතුමා දුන් බයිබල් මත ඉමහත් ලජ්ජාවට පත්ව ජනේලයෙන් පැන ගොස් කැලෑ වැදුණේය. රාත්‍රි ගතවන තුරු මෙහි සැඟ වී සිට තම කරත්තය ලැබුණු විගස කොළඹ බලා පිටත් විය.

(මෙම සිද්ධිය ජෝන් ඩේවි ක්‍රි.ව. 1821 ලන්ඩනයේ දී පළ කරන ලද ''An account of the interior of Ceylon" නමැති ග්‍රන්ථයේ ද සැකෙවින් පළ කැර ඇත.)

අවසාන කොට (ක්‍රි.ව. 1820 පමණ ) ඔරතෝරියාන ගරු ජෝකීම් මොන්රෝයි පියතුමාට, පියතුමකු යැවීම සඳහා අවසර දෙන ලදි. ඒ අනුව ගෝව පුරවැසි තරුණ පියතුමකු වු ගරු වින්සන්ට් ද රොසාරියෝ පියතුමන් එහි යවනු ලැබීය.

මීට දස සත් වසරකට පසු ලංකාවේ පළමු රදගුරු හිමි පාණන් වශයෙන් ක්‍රි.ව. 1835 දී එතුමෝ පත්වීම් ලදහ.

අදත් ලක්බිම පුරා ඊනියා මූලධර්මවාදීන් නමින් මෙවැනි පිරිස් සැරිසරති. එහෙත් එදා වහකෝට්ටේ වාසය කළ කතෝලික සැදැහැවතුන් ගේ ගැඹුරු විශ්වාසයත්, ප්‍රායෝගික ආගම දැනුමත් ඍජු බවත් ඇති කතෝලිකයෝ වෙත්ද? සිටිත් නම් කොතරම් වාසනාවක්ද?

(මෙම විස්තර සඳහා බලන්න "History of Ceylon" - Professor Peter Courtney - Abridged version by M.G. Francis pp. 660 - 663)