BLANTERORBITv101

7 සහ 8 සියවස් වල සභාව

රෝම අධිරාජ්‍යයේ බිඳවැටීම කළකිරීමට කාරණයක් නොවන සේ සැළකූ මහා ග්‍රෙගරි පාප්තුමා (ක්‍රි.ව. 590-604) මධ්‍යතන යුගයේදී බටහිර යුරෝපය තුළ නැවතත් සභාව ගොඩනගන්නට ක්‍රියා කළේය. ලෞකීක පාලකයන් දූර්වල වූ අවස්ථාවන්හී මධ්‍යම ඉතාලිය පාලනය කිරීමටත් රෝමය ලොම්බාර්ඩ් ගෝත්‍රිකයන්ගේ පහරදීම් වලින් ආරක්ෂාකර ගැනීමටත් ග්‍රෙගරි පාප්තුමාට හැකිවිය. 

ඔහු තම නියෝජිතයන් යවමින් බටහිර සංඝයන් ශක්තිමත් කිරීමට හා ධෛර්මත් කිරීමටත් ඔවුන්ව පාප්තුමාගේ නායකත්වයට බද්ධ කිරීමටත් උත්සහ දැරීය. ඔහු ක්‍රියාවෙන් පමණක් නොව දේවධාර්මීක හා ආධ්‍යාත්මීක ලේඛනකරණය මගින් ද මධ්‍යතන යුගයේ සභාවේ බුද්ධිමය දැක්ම පුළුල් කළේය. පළමුවන ග්‍රෙගරි පාප්තුමා පෞද්ගලිකව අගුස්තීනු නමැති බෙනදිකානු නිකායික තාපසතුමා එංගලන්තයට යවමින් එහි සිටි ඇන්ග්ලෝ සහ සැස්කන් ගෝත්‍රිකයන් කිතුනු ආගම හරවාගැනීමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එවක එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ රජුව සිටි එතෙල්බර්ට් කිතුනු ආගම වැළඳ ගත්තේය.

 එවිට අගුස්තීනු තාපසතුමාව එංගලන්තයේ කැන්ටබරි පදවියේ ප්‍රථම රදගුරුතුමා ලෙස පත්කරන ලදී. ශුද්ධවු එයිඩන් සහ කුත්බර්ට් යන සෙල්ටික් තාපසවරුන් එංගලන්තය කිතුනු රාජ්‍යයක් කිරීමේ කාර්යයට සහය දැක්වූහ. ඉන්පසු එංගලන්තය තම ධර්මදූතවරුන් යුරෝපයටද යවන්නට තරම් ප්‍රබල කිතුනු ජාතියවූ අතර විල්ලේබ්‍රෝඩ් නමැති බෙනදිකානු නිකායික තාපසතුමා නෙදර්ලන්තයේ අපෝස්තුලුතුමා යන නාමයෙන් පිදූම් ලැබූ අතර ක්‍රි.ව. 695දී එම ප්‍රදේශයේම රදගුරුතුමා ලෙස පත්වීම ද ලැබීය. 

නැගෙනහිර කිතුනු සභාව තුළ ක්‍රි.ව. 680-81 පමණ කාලයේදී රදගුරුවරුන්ගේ හයවන මන්ත්‍රණ සභාව කොන්ස්තන්තිනෝපලයේදී පැවැතිවුණු අතර එය කොන්ස්තන්තිනොපලයේ පැවති තුන්වන මන්ත්‍රණ සභාව විය. එහිදී මොනොතෙලෙටිසම් යන වාදය රදගුරුවරුන් විසින් හෙලාදක්නා ලදී. මොනොතෙලෙටිසම් වාදය යනු එවකට පැවති වේදභේදයකි. එම වේදභේදයට අනුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සතුව ඇත්තේ එක කැමැත්තකි. එනම් දේව කැමැත්තයි. නමුත් එවකට පැවති සභා ඉගැන්වීමට අනුව ක්‍රිස්තුන් වහන්සේ සැබෑ මනුෂ්‍යයෙක් හා සැබෑ දෙවිකෙනෙක්ද වන නිසා දේවකැමැත්ත මෙන්ම මනුෂ්‍ය කැමැත්ත උන්වහන්සේ සතුවේ. 

හයවන සියවස තුළ දේශපාලනික වශයෙන් ඉස්ලාම් ධර්මය රෝම අධිරාජ්‍යයට අඳූරු කාලයක් උදාකළේය. එනම් ක්‍රි.ව. 632දී සිදූවූ මොහොමඩ්තුමාගේ මරණය හා සම මුස්ලිම්වරු යුධ බලයෙන් සන්නද්ධව යුරෝපය යටත් කරගැනීමේ ව්‍යායාමයේ යෙදී සිටියහ. නැගෙනහිර ප්‍රදේශයේ ජීවත්වූ කිතුනුවන්ගේ යුධ ශක්තිය නිසා ක්‍රි.ව. 674-78 හා ක්‍රි.ව. 717-718 යන කාලයන් වලදී කොන්ස්තන්තිනෝපලයේදී මුස්ලිම්වරු පරාජයට පත්වූහ. ඉන්පසු ක්‍රි.ව. 732දී ප්‍රංශයේ චාර්ල්ස් මර්ටල්ගේ නායකත්වයෙන් යුක්තව ටුවර්ස් යන ස්ථානයේ ඇවූ යුද්ධයෙන් ද මුස්ලිම්වරු පරාජයට පත් කොට ඉස්ලාම් බලවේගයෙන් යුරෝපය මුදා ගන්නා ලදී. 

අටවන සියවස තුළ කිතුනු සභාව

අටවන සියවස තුළ ද විවිධ ගෝත්‍රික ජනතාවගේ සිත්හැරීමේ කාර්යය තවදූරටත් දියත්විය. ක්‍රි.ව. 723-739 යන කාලයේදී බෙනදිකාන නිකායට අයත් ඉංග්‍රීසි ජාතික පැවදිවරයෙකුවූ වින්ෆ්‍රිඩ් නැතහොත් පසුකලෙක ජර්මනියේ අපෝස්තුළුවරයා ලෙස නම් ලත් ශු. බොනිෆස්තුමාගේ නායකත්වය යටතේ මෙම ධර්මදූත කාර්යය යුරෝපය පුරා ව්‍යාප්ත විය. ශු. බොනිෆස්තුමාගෙන් සිදූවූ ප්‍රාතිහාර්යාත්මක ක්‍රියාවන් බොහෝ දෙනෙකුගේ සිත්හැරීමට හේතු විය (දෙවිවරුන්ගේ වාසස්ථානයක් ලෙස සැලකූ ඉතා විශාල ගසක් තම දේවස්ථානය සෑදීම සඳහා කැපීමේදී එම දෙවිවරුන්ගෙන් කිසිම අනතුරක් සිදූනොවීම). එතුමා යුරෝපයේ කිතුනු ඇදහිල්ල පාප්තුමාගේ මගපෙන්වීම යටතේ ගොඩනඟා මිය ගියේය. 

ශු. බොනිෆස්තුමාගේ උදව් ඇතිව පාප්තුමා ප්‍රංශයේ ප්‍රෑන්ක් ගෝති්‍රක රජතුමා සමග සංධානයක් ඇති කරගත්තේය. එවකට එහි රජතුමාව සිටියේ පෙපින් (Pepin/Pippin) රජුය. ක්‍රි.ව. 754දී දෙවන ස්ටීවන් පාප්තුමා පෙපින් රජු ආලේප කොට රෝමවරුන්ගේ පැට්ට්‍රිෂියන් (Patrician of the Romans) යන ගෞරව නාමයෙන් පුදනු ලැබීය. මෙම නම්බුනාමය මීටපෙර හිමිවූයේ රෝමයේ අධිරාජ්‍යවරුන්ටය. ක්‍රි.ව. 800දී රෝමයේදී ඔටුණු පැළඳ රජකමට පත්වූ පෙපින් රජුගේ පුත් චාර්ල්ස් රජුගේ රාජ්‍ය පාලන සමයේදී (ක්‍රි.ව. 768-814) පාප්තුමා හා රජතුමා අතර පැවති සංධානය තවත් වර්ධනය විය. නැගෙහිර සභාව මෙම සංධානයට අයිති නොවීය. මන්ද නැගෙනහිර සභාවේ කිතුනුවන්ට කොන්ස්තන්තිනෝපලයේ බයිසන්ටයින් අධිරාජ්‍යයාට යටත්ව ජීවත්වන්ට සිදූවීමයි. මහා චාර්ල්ස් රජු බටහිර සහ නැගෙනහිර සභාවන් අතර පවතින සබඳකම් වලට විරුද්ධ විය. ක්‍රි.ව. 787දී නැගෙනහිර සභාවේ පැවති දෙවන නයිසීන මන්ත්‍රණ සභාවේ ගත් තීරණ වලට එකඟනොවූ මහා චාර්ල්ස් රජු බයිසන්ටයින් අධිරාජ්‍යයට අයිති ප්‍රදේශයද අත්පත් කරගැනීමට සටන් කළේය. 

එසේම රජු නැගෙනහිර සභාවට ඇවටිලි කරමින් ෆීලියෝක්වේ (filioque) යන වචන මාලාව නයිසීන විශ්වාස ප්‍රකාශනයට ඇතුළත් කරන ලෙස බලකර සිටියේය. මුල් විශ්වාස ප්‍රකාශනයේ සඳහන් වූ ආකාරයට ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් නික්මෙන (ජුවාම් 15:26) අතර බටහිර සභාව තුළ මහා චාර්ල්ස් රජුගේද මතයට අනුව ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයාණන් වහන්සේගෙන් නික්මෙයි. මෙය අද දක්වාම නයිසීන විශ්වාස ප්‍රකාශනය තුළ එදා සිට අද දක්වාම අඩංගු වන සත්‍යතාවයකි. මෙම මතවාදය නැගෙනහිර හා බටහිර සභාවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කළේය. කෙසේ වෙතත් මහා චාර්ල්ස් රජු කිතුනු සභාව හා කිතුනු විශ්වාසය ආරක්ෂා කිරීමට මෙන්ම එහි උන්නතිය සඳහා ද කටයුතු කළේය. එසේම මෙම යහපත් කි්‍රයාවන් කරන අතර කතෝලික සභාවේ පාලනය ඔහු අතට ගෙන කටයුතු කිරීමට උත්සහ දැරූ බවද ඉතිහාසයේ සඳහන් වේ.

වරෙක මහා චාර්ල්ස් රජු පාප්තුමාට ලිපියක් යවමින් සභාව වෙනුවෙන් යාච්ඤා කිරීම පාප්තුමාගේ කාර්යය වන බවත් සභාව පාලනය කිරීම අධිරාජ්‍යයා වන ඔහු සතු කාර්යය බවත් ප්‍රකාශ කළේය. න්‍යායාත්මකව ලෞකීක හා ආත්මික වශයෙන් අධිකාරී බලය සභාව හා රජය අතර කොටස් දෙකකට බෙදී තිබුණද ප්‍රායෝගික වශයෙන් එය එසේ නොවීය. සියල්ල තීරණය වූයේ පාප්තුමාගේ හා අධිරාජ්‍යයාගේ ප්‍රබලකම මතය. අධිරාජ්‍යයා ප්‍රබලවූ විට ඔහු තමා සතු ලෞකීක පාලන බලයට අමතරව යම් ආත්මික නැතහොත් සභාවේ කටයුතු සම්බන්ධවද අධිකාරී බලයකින් කි්‍රයා කළ අතර පාප්තුමා ප්‍රබල පුද්ගලයෙක් වූ විට තමා සතු අත්මික බලය හා සභාවේ පාලන කටයුතු සම්බදව ඇති අධිකාරී බලයට අමතරව රාජ්‍ය පාලනය හා දේශපාලන කටයුතු නිරතව ක්‍රියා කළේය. 

මහා චාර්ල්ස් රජතුමාගේ ප්‍රධාන කිතුනු ධර්මදාන ක්‍රමවේදය වූයේ විවිධ ප්‍රදේශයන් යටත් කරගැනීමෙන් පසුව එම යටත්විජිත ජනතාවට ජලයෙන් හෝ රුධිරයෙන් තම බෞතීස්මය ලබාගැනීම සම්බන්ධව තෝරාගැනීමක් කිරීමට අවස්ථාව සැළසීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනාගේ ආගම වූයේ රාජ්‍ය පාලකයාගේ ආගමයි. කතෝලික දහම මෙම කාලය වන විට සංස්කෘතික ආගමක් විය. පසුව කිතුනු ධර්මය ගැන කියාදී විශ්වාසය තුළ ස්ථීර කරන අටියෙන් බොහෝ දෙනෙකුට කණ්ඩායම් වශයෙන් (en masse) බෞතීස්ම ස්නාපනය දානය කරන ලදී. මහා චාර්ල්ස් රජතුමා අධ්‍යාපන තත්ත්වය දියුණු කිරීමට වෙහෙසවිය. මේ සඳහා ඔහු තම ලේකම්වරයා වූ ඉංග්‍රීසි ජාතික තාපස අල්කුයින්ගේ (Alcuin) නායකත්වය යටතේ  බුද්ධිමතුන් පිරිසක් ඔහුගේ රජමාලිගාවට එක් රැස් කළේය. තම තමන්ගේ ආසන දෙව්මැදූරට යාබදව පාසැලක් ආරම්භ කරන ලෙස සෑම රදගුරුවරයෙකුටම රජතුමා අණ කළේය. නමුත් ඔහුගේ මරණින් පසු චාර්ල්ස් අධිරාජ්‍යයේ දෙකඩ වීම නිසා අධ්‍යාපනය නගාලීමට ඔහු ගත් පියවරයන් බිඳවැටීමකට ලක්විය. තාපසාරාම වල හැර යුරෝපය පුරා බුද්ධිමය පරිහානියක් හා ආත්මික පරිහානියක් ඇතිවිය. ඉස්ලාම් ධර්මය සමග ගැටෙමින් පැවති නැගෙනහිර කිතුනු ජනතාවට ක්‍රි.ව. අටවන සියවසේදී දේවධර්මය පිළිබඳවද ඇතිවූ ප්‍රශ්න වලටද මුහුණ දීමට සිදූවූහ. 

ක්‍රි.ව. 730දී තුන්වන ලියෝ නැමැති අධිරාජ්‍යයා කිතුවන් හට නීතියක් පණවමින් ආගමික හා කි්‍රස්තුන් වහන්සේගේ පිළිම, රූප හා සංකේත වන්දනාව (iconoclism) තහනම් කළේය. පිළිම, ප්‍රතිමා හා රූප වන්දනාව නැගෙනහිර සභාවේ කිතුනුවන් අතර ඉතාමත් ප්‍රචලිත වුවද එය බයිබලය තුළ පවා තහනම් කර තිබීම මෙයට හේතුව විය. තුන්වන ග්‍රෙගරි පාප්තුමා ඇතුලු නැගෙනහිර කිතුනුවෝ මෙය එරෙහිව නැගී සිටියද එම තහනම ක්‍රි.ව. 787 දී නිසියාවේ පැවති දෙවන මන්ත්‍රණ සභාව තෙක් පැවතිණි. එනම් අධිරාජ්‍යවරියවූ අයිරීන් දකිවා මෙම නීතිය වලංගු විය. මෙම මන්ත්‍රණ සභාව මගින් වන්දනාවේ (veneration) හා නමස්කාරයේ (adoration) වෙනස පැහැදිළිව පෙන්වා දූන්නේය. නමස්කාරය දෙවියන් වහන්සේට පමණකි දිය යුතු බව පෙන්වා දූන්නේය. මෙම මතය රෝමානු කතෝලික සභාවද පිළිගත්තේය. පින්තූර යනු ගිහි ජනතාවගේ පොත් බව මහා ග්‍රෙගරි පාප්තුමා ප්‍රකාශ කළේය. 

සටහන - අසේල දසනායක