BLANTERORBITv101

ලූර්දුහි අප ස්වාමිදු


.ප්‍රංශයේ ලූර්දු නුවර මසබියෙල් පර්වතයේ ගුහාවක් තුළ සිට 18 වතාවක්ම මරියෝත්තමාවෝ, බර්ණදෙත් සොබිරස් නම් කුඩා දැරියට, වර්ශ 1858 පෙබරවාරි මස 11 වැනිදා සිට ජූලි මස 16 වැනිදා දක්වා දර්ශනය වී ඇත.වර්ෂ 1858 පෙබරවාරි මස 11 වැනිදා මසබියෙල් පර්වතය අසළට දර කඩන්නට කුඩා බර්ණදෙත්ද, ඇගේ නැඟණිය වූ තුවානෙට් සහ අසල්වැසි යෙහෙළියක් වූ ජීන් අබාඩි යන අය නික්ම ගියෝය.කුඩා බර්ණදෙත් මසබියෙල් පර්වතය අසළින් ගලන දිය දහර තරණය නොකළේ ඇය ඇදුම රෝගයෙන් පෙලුණු නිසාය.එබැවින් අනෙක් දෙදෙනා දර කඩන්නට ගිය අතර බර්ණදෙත් මසබියෙල් පර්වතය අසළම නැවතුණාය.එවිට වයස අවුරුදු 14 ක් පමණ වූ මෙම කුඩා දැරියට ඉතා සුවිශේෂ වූ ආලෝක ධාරාවකින් මසබියෙල් පර්වතය වැසී යන අයුරු හා සුළි සුළඟක් ඇති වන විට නැගෙන හඬකින් පරිසරය පිරී ගිය අයුරුත් දැක ගැනීමට හැකි විය.

ඒ සැනෙන් මසබියෙල් පර්වතයේ ගුහාවක සුදෝ සුදු ඇඳුමින්ද, හිස පලඳනාවකින්ද, බඳ වටා නිල් පටියකින්ද සැරසුණු අතෙහි ජපමාලය රැගත් ඉතා සුන්දර වූ කාන්තාවක් ඇයට දර්ශනය වූවාය. බර්ණදෙත් ජපමාලය යැදීමට පටන් ගත් අතර, එය නිමවූ පසුව එම සුන්දර කාන්තාව තමන්ට ළං වන ලෙසට බර්ණදෙත් හට අඟවා ඇති නමුත් එක්වරම ඇයව නොපෙනී ගොස් ඇත.මෙම අත්දැකීම තම නැගණියට හා යෙහෙළියට කීවද ඔවුන් එය පිළිගත්තේ නැත.එලෙසම බර්ණදෙත්ගේ මවද එය දැනගත් විට එය බර්ණදෙත්ගේ මනඃකල්පිත කතාවක් ලෙස සිතුවාය.කෙසේ හෝ ආපහු පෙබරවාරි මස 14 වැනිදා නැවතත් බර්ණදෙත්ද ඇයගේ නැගණිය හා ඔවුන්ගේ යෙහෙළියද කැටුව මසබියෙල් පර්වතය අසළට පැමිණියේ ආසිරි පැන්ද සමගය.

මෙම ගුහාවේ දර්ශනය වන්නේ යක්ෂයෙක් නම් ආසිරි පැන් ඉසින විට එම යක්ෂයා පළා යනු ඇතැයි බර්ණදෙත්ගේ විශ්වාසය විය.එබැවින් බර්ණදෙත් විශ්වාස කළ ලෙසම දෙවන වරටත් එම සුන්දර කාන්තාව දර්ශනය වූ විටදී ඇය එතුමිය වෙතට ආසිරි පැන් ඉසින ලද නමුත්, එම සුන්දර කාන්තාව ඉතා සුන්දර වූ සිනහවකින් පමණක් බර්ණදෙත් හට ප්‍රතිචාර දැක්වූවාය.බර්ණදෙත් හැර අන් කිසිවෙකුට එතුමියව දැකීමේ භාග්‍යය මෙහිදී හිමිවූයේ නැත.

කෙසේ වෙතත්, මෙම දර්ශනයේ අනන්‍යතාවය සති කිහිපයක් යන තුරුම බර්ණදෙත් දැනගෙන සිටියේ නැත.බර්ණදෙත්ට නැවතත් එම සුන්දර කාන්තාව පෙබරවාරි මස 18 වන දින දී දර්ශනය වී, දින 15 ක්ම එක දිගටම එම ස්ථානයට පැමිණ යාච්ඥා කරන ලෙසට ඕතොමෝ ඇයගෙන් ඉල්ලුවාය.වැඩිහිටියන් කිහිපදෙනෙක්ද පෙබරවාරි මස 18 වැනිදා බර්ණදෙත් සමඟ ඇගේ මෙම තුන්වන ගමනට එක්විය.නමුත් බර්ණදෙත්ට හැර වෙනත් කිසිවෙකුට එම සුන්දර කාන්තාව දැකගත නොහැකි විය.එලෙසම මෙදින, "ඇය මෙලොවේදී මාව සතුටු නොකරන නමුත් ඊළඟ ජීවිතයේදී එලෙස කරන බවත්" එම සුන්දර කාන්තාව විසින් ප්‍රකාශ කළ බවට බර්ණදෙත් විසින් පසුව ලියා තිබුණි.මෙම සිද්ධිය ගම තුළ ප්‍රචාරය වූ අතර ඒ නිසාම බර්ණදෙත්ට මසබියෙල් පර්වතය අසළට යාමට තහංචි පැනවුණි.නමුත් එම තහංචි නොසළකා සුන්දර කාන්තාව බර්ණදෙත්ට දිගටම දර්ශනය වූ අතර බර්ණදෙත්ද එතුමියගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා මසබියෙල් පර්වතය අසළට නොකඩවා පැමිණියාය.පෙබරවාරි මස 19 වැනිදා සිදුවූ හතරවන දර්ශනයේදී බර්ණදෙත්ගේ මුලු පවුලටම එම අත්දැකීම ලැබීමට හැකි වූ අතර එතෙක් එය බර්ණදෙත්ගේ මනඃකල්පිතයක් ලෙසට සිතූ බර්ණදෙත්ගේ පවුලේ අයද, එතැන් පටන් ඇය කියූ දේ පිළිබඳ විශ්වාස කරන්නට පටන් ගත්හ.

ඊළඟ සති කිහිපය තුළ 100 කට වැඩි පිරිසක් ගුහාව අසළට එක්රැස් වීමට පටන් ගැනුණි.මේ නිසා ලුර්දු නගරයේ දොමිනික් පයිරමලේ පියතුමා මෙන්ම පොලිසියේද අවධානය මෙයට යොමු විය.පෙබරවාරි මස 20 වැනිදා සිදුවූ පස්වන දර්ශනයේදී ආශිර්වාද කරන ලද ඉටි පන්දමක් රැගෙන ඇවිත් යාච්ඥා කරන ලෙසට සුන්දර කාන්තාව විසින් බර්ණදෙත්ගෙන් ඉල්ලා සිටියාය. අදටත් ලූර්දු ගුහාව අසළට පැමිණෙන සියලු දෙනා ඉටිපහන් ඇතිව මෙලෙස දෙවිඳුන් යදින අයුරු සැමදා අපට දැක ගත හැකිය.හත්වන දර්ශනය සිදුවූ පෙබරවාරි මස 23 වැනිදා බර්ණදෙත් හට මරියතුමිය විසින් විශේෂ රහස් තුනක් ප්‍රකාශ කොට ඇති නමුත් කිසිදිනක බර්ණදෙත් ඒ රහස් මොනවා දැයි හෙළි කළේ නැත.

අටවන දර්ශනය පෙබරවාරි මස 24 වැනිදා සිදුවූ අතර එදින 250 දෙනෙකු පමණ බර්ණදෙත් කඳුළු හෙළන ආකාරය දැක ඇත.නමුත් සුන්දර කාන්තාවගේ පණිවිඩය ඇසුනේ බර්ණදෙත් හට පමණි.එනම්, "මනස්ථාපනය" යන වදන තුන් වරක්ම එහිදී සුන්දර කාන්තාව විසින් බර්ණදෙත් හට ප්‍රකාශ කොට ඇත: "මනස්ථාපනය! මනස්ථාපනය! මනස්ථාපනය! පව්කාරයන් වෙනුවෙන් දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න".මෙම විශේෂ දර්ශනය වීම තුළ ඕතොමෝගේ අභිලාෂය වූයේ මිනිස් ජීවිත වෙනස් කරගැනීම බව මින් ඉතාමත්ම පැහැදිලි වනු ඇත.අති විශාල පිරිසක් එක්රැස්ව සිටි නමවන දර්ශනය සිදුවූ පෙබරවාරි මස 25 වැනිදා මසබියෙල් පර්වතය අසළ දිය උල්පතකින් වතුර පානය කරන්නට සුන්දර කාන්තාව, බර්ණදෙත්ගෙන් ඉල්ලා සිටියාය.ඒ අසළ දිය උල්පතක් සොයා බර්ණදෙත් එහි පොළව තම දෙඅත් වලින් හාරන්නට විය.එහිදී එකවරම ඒ අසළින් දිය උල්පතක් මතුවී තිබේ.මුලදී දිය උල්පතේ ජලය මඩ පැහැති විය.බර්ණදෙත් මඩ වතුර බොන විට බොහෝ දෙනා ඇයව සැක කිරීමට හා සමච්චලයට ලක් කිරීමටද පෙළඹුණි.නමුත් පසුදා එනම්, පෙබරවාරි මස 27 වැනිදා වනවිට ජලයේ මඩ ගතිය සම්පූර්ණයෙන්ම නැතිව පැහැදිලි වී තිබුණි.

එලෙසම කාන්තාවක් එම ජලයෙන් තම අතසෝදා ගත් විට එම කාන්තාවගේ ස්නායු ආබාධයක්ද සුවවී ඇත.ඇයගේ එම සුවය, ලූර්දුහි පළමු ප්‍රාතිහාරාත්මක සුවවීම ලෙස සැළකේ.මේ නිසා බොහෝ දෙනා නැවත එහි එක්රැස් වීමට පටන් ගැනුණි.අදටත් එහි එම දිය උල්පත දැක ගත හැකි අතර දිනකට ගැලුම් 27000 ක පමණ ජලය ඉන් සැපයෙන අතර ලූර්දු පැමිණෙන සියලු දෙනා පානය කරන්නේ සහ ස්නානය කරන්නේ මෙම ජලයෙනි.පෙබරවාරි මස 28 වැනිදා සිදුවූ එකොළොස් වන දර්ශනයේදී එම ස්ථානයේ දෙව්මැදුරක් ගොඩනගන ලෙසද, පෙරහැරින් එම දෙව්මැදුරට පැමිණෙන ලෙසද සුන්දර කාන්තාව විසින් බර්ණදෙත්ගෙන් ඉල්ලා සිටියාය: "යන්න, පූජකයන්ට කියන්න පෙරහැරේ මිනිසුන් මෙහි ගෙනැවිත් මෙහි දේවස්ථානයක් ඉදිකරන්න කියා".සුන්දර කාන්තාවගේ ඉල්ලීම බර්ණදෙත් විසින් එවකට එම ප්‍රදේශය භාරව කටයුතු කළ ගරු පියතුමන්ලාට දැන්වුවද ඔවූහූ එය එකහෙළාම එදා ප්‍රතික්ෂේප කළහ.

මක්නිසාදත් එම සුන්දර කාන්තාව කවුරුන්දැයි ඔහුන්ට සහතික වී නොතිබුණි හෙයිනි.නමුත් අද එම ස්ථානයේ කොයි තරම් විශාල දේවස්ථාන ගොඩනැගී ඇත්දැයි ලූර්දු ගොස් ඇති අය දනිති.එලෙසම ලූර්දුහි පැවැත්වෙන සත්ප්‍රසාදීය පෙරහැරද, සෑම දිනකම රාත්‍රියේ පැවැත්වෙන ඉටිපන්දම් පෙරහැරද එහි අති විශේෂවූ අවස්ථාවන්ය.නොකඩවා සිදු කරන බර්ණදෙත්ගේ ආයාචනා නිසා නොසන්සුන්තාවයට පත්වූ ලූර්දුහි දොමිනික් පයිරමලේ පියතුමා අවසානයේදී එම කාන්තාවගේ නම කුමක්දැයි අසන ලෙසට බර්ණදෙත් හට පැවසුවේය.

බර්ණදෙත්ද සුන්දර කාන්තාවගෙන් ඇය කවුදැයි අසන විට සුන්දර කාන්තාව තවදුරටත් සිනාසී නිහඬව සිටියාය.නමුත් ඉන් සති තුනකට පමණ පසුව එනම්, මාර්තු මස 25 වැනිදා සිදුවූ දහසයවන දර්ශනයේදීද බර්ණදෙත් විසින් සුන්දර කාන්තාවගෙන් ඇයගේ අනන්‍යතාවය පවසන ලෙසට ඉල්ලා සිටි විට එම සුන්දර කාන්තාව විසින් අවසානයේදී තම දෑත් වැඳගෙන අහස දෙස බලාගෙන තමන්, "ජන්ම දෝෂයෙන් නිර්දෝෂවූ තැනැත්තියැ"යි බර්ණදෙත් හට ප්‍රකාශ කළාය. භක්තිමත් නමුත් නූගත් අයෙකු වූ බර්ණදෙත් මෙම වචනවල තේරුම කුමක්දැයි හරියටම දැන සිටියේ නැත.සුන්දර කාන්තාව තමන් කවුදැයි සහතික ලෙසම බර්ණදෙත් සහ එහි රැස්ව සිටි සියලු දෙනාට හඳුන්වා දුන් පළමු අවස්ථාව මෙය විය.එම සුන්දර කාන්තාව වෙන කවුරුවත් නොව, අපගේ මරියෝත්තමාවියයි.එබැවින් අදටත් ලුර්දු මාතාව ලෙස අපේ ආදරයට සහ ගරුත්වයට ලක්ව සිටින්නේ, "ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිලිසිඳ ගත් මරිය මාතාවන්ය".

බර්ණදෙත් එම වචන දොමිනික් පයිරමලේ පියතුමාට පැවසුවාය.මවිතයට පත්වූ පියතුමා එය තම රදගුරුතුමාට දැනුම් දුන්නේය.වර්ශ 1858 දී බර්ණදෙත් තවත් දෙවරක්ම භාග්‍යවන්ත කන්‍යා මරියතුමිය දුටුවාය.එනම්, පාස්කු ඉරිදාට පසු බදාදා දිනයේදී සහ කාර්මෙල් මාතාවන්ගේ මංගල්‍යය දිනයේදීය.ලූර්දුවේ සිදුවූ මෙම සිදුවීම් මාලාව කතෝලික සභාව විසින් එක්වරම පිළිගැනීමට අකමැති වුනාය.නමුත් සිය දහස් ගණන් ජනයා මෙම ස්ථානයට ඇදී එන්නට පටන් ගත් අතර යාච්ඥාව මඟින් ජීවිත වෙනස් වීම, රෝග සුව වීම සහ ප්‍රාතිහාර්යයන් බොහෝ සිදු වන්නට පටන් ගැනීම නිසා වසර හතරක දීර්ඝ විමර්ශනයකින් පසුව, වර්ශ 1862 ජනවාරි මස 18 වැනිදා එම ප්‍රදේශය භාරව සිටි රදගුරුතුමා විසින් මෙම ස්ථානය විශේෂිත වන්දනා ස්ථානයක් ලෙස මුලින්ම පිළිගන්නා ලදී. ඉන්පසු වර්ෂ 1876 ජුනි මස 03 වැනිදා නමවන පියුස් ශුද්ධෝත්තම පියාණන් විසින් ලූර්දුව "ඉතා විශේෂ වන්දනා ස්ථානයක්" ලෙස කතෝලික සභාව තුළ නිල වශයෙන් පිළිගන්නා ලදී.මේ වනවිට ලූර්දු මාතාවන්ට කැපවූ දේවස්ථාන ලෝකයේ හැම රටකම පාහේ බිහිවී ඇත.ලූර්දු මාතාවන්ගේ මැදිහත් බව තුළ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අත්දකින, අත්දුටු විශාල ජනතාවක් මේ වනවිට බිහිවී ඇත.

කිතුනු අපේ දේවධර්ම දිනපොත