දේවස්ථානය නැතහොත් පල්ලිය කිතුනුවන් ලෙස අපගේ කිතුනු විශ්වාසයේ ප්‍රබල සංකේතයයි. අදෘශමාන දෙවියන් වහන්සේ දෘශ්‍යමාන ආකාරයෙන් අපට හමුවන ස්ථානය උන්වහන්සේ සමග සංවාදයේ නිරත වන , එමෙන්ම අපගේ කිතුනු ජිවිතයේ උපතේ සිට මරණය දක්වා අප සමග බැදී පවතින ආධ්‍යාත්මික දිවියේ හිණිපෙත දේවස්ථානයයි. ඇතැම් මූලධර්මවාදීන් දේවස්ථාන පිළිබඳව කිසිදු කරුණු කාරණාවක් නොදැන විවිධ මත පළ කර තත් , දේව වචනය තුළ දේවස්ථානයට හිමිවන්නේ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පුරාණ ගිවිසුමේ එන්නාවූ සියොන් ගිර මත ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ස්ථාපනය කිරීමට සලමොන් රජ දවස ඉදිකළ දේව මාලිගය ඊට කදිම පූර්වාදර්ශයක් වේ. ඒ හා සම්බන්ධ වන වෙනම වූ සුවිශේෂී වත්පිළිවෙත් , යැදුම් - වැදුම් සම්ප්‍රදායන් පාදක වන අතර ඒ ඔස්සේ නව ගිවිසුමේ දේව ජනතාව ද ස්වාමීන් වහන්සේට වන්දනාමාන කිරීමට ද , උන්වහන්සේට නමස්කාර කිරීමට ද , දේව මාලිගාව හෙවත් දේවස්ථානය යොදා ගන්නා ලදී.
සභාව හැදින්වීමට ග්‍රීක භාෂාවෙන් යොදන වචනය වන්නේ "ecclesia" ( ἐκκλησία, ekklesía, (එක්ලෙසියා) වේ. එහි අරුත නම් "සංඝය ", "එකමුතුවීම " යන අරුත් දෙයි. එහෙත් මුල් යුගයේ සිටම දේවස්ථාන ගොඩනැගිල්ල හැදින්වීමට kyriak-ós/-ē/-ón (κυριακόν) හෙවත් " ස්වාමින් වහන්සේට අයත් යන අරුතැ'ති "Kyriakós oíkos" (Kυριακός οίκος) හෙවත් ස්වාමින් වහන්සේගේ ගෘහය යන වදන භාවිතා කර ඇත.
සටහන - අසේල දසනායක

0 Comments