BLANTERORBITv101

ජෙරුසලමේ දේව මන්දිරය

දේවවචනය තුළ දේවස්ථානය යන ගොඩනැගිල්ලේ පුර්ව සලකුණ සහ සංකේන්ද්‍රය වී ඇත්තේ පුරාණ ගිවිසුමේ එන ජෙරුසලමේ සියොන් ගිර මත පිහිටි " ස්වාමින් වහන්සේගේ දේවමාලිගාව " වේ. මේ සඳහා හෙබ්‍රෙව් බයිබලයෙහි දක්වා ඇති හෙබ්‍රෙව් නම වන්නේ බෙයිට් යාවේ ( යාවේ ස්වාමින් වහන්සේගේ ගෘහය), බෙයිට් හාඑලොහිම් "දෙවියන්ගේ ගෘහය," හෝ සරල වශයෙන් බෙයිටි "මගේ ගෘහය", බෙයිටෙකාහ් "ඔබගේ ගෘහය" යනාදි ලෙසිනි. හෙකාල් "ශාලාව" හෝ ප්‍රධාන ගොඩනැගිල්ල යන පදය, පැරණි ඉංග්‍රීසි බයිබලයන්හී බොහෝ විට පරිවර්තනය කෙරුණේ "දේවමාළිගය" ලෙසිනි. රබ්බිවරුන්ගේ සාහිත්‍යයෙහි දේවමාළිගය හදුන්වා දී ඇත්තේ බෙයිට් හාමික්ඩාෂ්, "පවිත්‍ර කෙරුණු ගෘහය" ලෙසින් වන අතර, ජෙරුසෙලෙමෙහි දේවමාළිගය පමණක් එම නමින් ව්‍යවහාර වී තිබු බව සදහන් වේ. තවද මේ සඳහා හෙබ්‍රෙව් බයිබලයේ දක්වා ඇති හෙබ්‍රෙව් නම එක්කෝ හෙවත් නික්මයාම 25: 8 හි භාවිතා කර ඇති පරිදි මික්ඩාෂ් ( מקדש) හෝ සරල බසින්  බේට් / බීට් අඩෝනායි (בית) නමින් ද හදුන්වා දී ඇත. රබ්බිවරුන්ගේ සාහිත්‍යය තුළ  දේවමාලිගාව අයත් ප්‍රදේශය වන්නේ බෙයිට් හාමික්ඩාෂ් ( בית המקדש) ලෙසය. එහි අර්ථය වන්නේ “ශුද්ධ මන්දිරය” වන අතර ජෙරුසලමේ දේවමාළිගාව පමණක් මෙම නමින් හැඳින් වූ බව ඉතිහාසයේ සදහන් වේ.කෙසේ වෙතත් මේ සදහා යෙදෙන ග්‍රීක වචනය හෙවත් (ἱερὸν) අරුත වන්නේ උසාවිය හෙවත් අධිකරණය යන යෙදුම්ය. පුරාණ ගිවිසුමේ ජනතාව දේවමාලිගාව තුළින් "දෙවියන්වහන්සේ වැඩ සිටින ශුද්ධ වූ මන්දිරයක්", "දේව වරප්‍රසාදයේ සංකේතයක්", "දෙවියන් වහන්සේ වැඩසිටින මූලස්ථානයක් " යනුවෙන් විශ්වාස කළෝය. ජෙරුසලම් දේවමන්දිරය ජුදෙව්වරුන්ගේ ජීවිතය හා බැඳී, තම ජීවිතයටත් වඩා උසස්දෙයක් ලෙස සලකන ලදි.

ජෙරුසලමේ දේවමාලිගාව නිර්මාණය කිරීමේ පළමු ආරම්භකයා වන්නේ ඉශ්‍රායෙලයේ කීර්තිමත් රජු ලෙස සලකන දාවිත් රජතුමාය. දාවිත්ගේ ජයග්‍රණයන්, පලස්තීනය හා සිරියාව එක් වී ඉශ්රායෙලය බලවත් රාජ්‍යයක් බවට පත්කිරීමට සහය විය. දාවිත්ගේ රාජ්‍යවාදී පාලනය, ඊජීප්තුවේ අධිරාජ්‍යවාදී පාලනයට සමාන විය. ජෙරුසලම අගනුවර කර, එහි යාච්ඤා ගෘහයක් ඉදිකර, ස්වාමින් වහන්සේගේ ගිවිසුම් කරඩුව ජුදාහි බායාලේ සිට  රැගෙනවිත් ජෙරුසලමේ තැන්පත් කරන ලදී. (1 වංශාවලිය 13/1-14, 15/ 25- 16/6,43) තවද දේව මෙහෙයයන් වල දී ශුද්ධවූ සංගීතය භාවිත කිරීමේ ක්‍රමයක් ඇති කරන ලදී. දාවිත් එහි තමනට මාළිගාවක් තැනූ අතර, දේව මාළිගාවක් තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය රැස්කර තැබීය. ජෙරුසලම් මෙහෙයයන් වල දී, පුදපූජා පැවැත්වීමට පූජකයින් පත් කරනු ලැබූහ. දාවිත් රජුගේ රාජ්‍ය සමයේ දී ජෙරුසලම අගනුවර බවට පත් කළ අවස්ථාවේ, තම දෙවිඳුන්ට වැඩ සිටීමට වාසස්ථානයක් තැනීමේ උත්සාහයක් දරන ලදි. නමුත් මෙම උත්සාහය ව්‍යර්ථ වී (අසාර්ථක වී) ඔහුගේ පුත් සලමොන් මේ දේව මන්දිරය ගොඩනැගුවේ ය. මේ දේව මන්දිරය ලොව ඇති අනර්ඝතම ගොඩනැගිලි ද්‍රව්‍යවලින් ද කලා නිර්මාණයන්ගෙන් ද ගොඩනැගූ බව කියැවේ.

පළමු දේවමාළිගාව ඉදිකරන ලද්දේ සලමොන් රජු විසිනි. ඒ ක්‍රි.පූ. 957 දී ය. මේ දේවමාලිගාව ඉදිකිරීමට වසර 07ක් ගතවූ බව 1 රාජාවලියේ සදහන් වේ. දශක කිහිපයකට පසු ඊජිප්තුවේ පාරාවෝ I වන ෂොෂෙන්ක් විසින් මෙම දේවමාළිගාව විනාශ කරන ලදී. අර්ධ වශයෙන් ප්‍රතිසංස්කරණය සඳහා උත්සාහයන් දැරුවත්, එය ක්‍රි.පූ. 835 දී ජුදා හි රජු වූ ජෙහෝෂ්ගේ පාලන සමයේ දෙවන වසර තුළ ප්‍රතිසංස්කරණය සඳහා සැලකිය යුතු මුදලක් ආයෝජනය කළ අතර, එය ක්‍රි.පූ 700 නැවත අසිරියාවේ රජු වූ සෙනකෙරිබ්ට ලබාදීමට සිදුවූ බව කියැවේ. ක්‍රි.පූ. 586 දී බබිලෝනිවරුන් විසින් ජෙරුසලෙම් නගරය අල්ලා ගත් විට පළමු දේවමාළිගාව මුළුමනින්ම විනාශ කරන ලදී.

සටහන - අසේල දසනායක