BLANTERORBITv101

ජෙරුසලමේ දේව මන්දිරය - දෙවන කොටස

දෙවන දේව මාලිගාව නිර්මාණය වූයේ මහා සයිරස් අධිරාජ්‍යයා බැබිලෝනියාව යටත් කරගැනීමෙන් පසුවය. මේ පිළිබඳව ශු. බයිබලයේ එස්රාගේ පොතේ සඳහන් වේ. මේ අධිරාජ්‍යයා  බැබිලෝනියාව යටත් කර ගැනීමෙන් පසුව බලහත්කාරයෙන් වැඩ ගැනීම සහ මුලින්ම නැති කළ අතර, ජනතාවගේ නිවාස තත්ත්වය ද වැඩි දියුණු කරන ලදී. මහ ජනතාවගේ ආදරය දිනාගත් ඔහු ජනතාවගෙන් පැහැර ගෙන තිබුණු ශුද්ධ ප්‍රතිමා ඔවුනට ආපසු භාර දුන් බව සඳහන් වේ. එසේම ඔවුන්ගේ ආගමික සිද්ධස්ථාන ද නැවත ගොඩනැඟීමට ආධාර උපකාර කරන ලදී. ඒ අනුව මේ කාලයේ දී ඊශ්‍රායල් ජනතාව කණ්ඩායම් තුනක් යටතේ තම මව්බිම කරා පැමිණියෝය.

 ඒ අනුව පළමු කණ්ඩායම ක්‍රි.පු. 538 දී සෙරුබ්බාබෙල්ගේ නායකත්වය තුළ ජෙරුසෙලමට පැමිණි අතර පැමිණි විගසම දේවමාලිගාව සෑදීමට  ඔවුහු පියවර ගත්තෝය. ඒ අනුව ක්‍රි.පු. 536 දී අත්තිවාරම් දමා ක්‍රි.පු. 515 දී දේව මාලිගාව සාදා නිම කළ බව සඳහන් වේ. එස්රා පොතට අනුව, දෙවන දේවමාළිගාව ඉදිකිරීම මහා සයිරස් විසින් කැඳවනු ලැබූ අතර එය ආරම්භ වූයේ ක්‍රි.පූ. 538 දී ය. 19 වන ශතවර්ෂයේ ගණනය කිරීම් වලට අනුව, ක්‍රි.පූ. 536 අප්‍රියෙල් මාසයේදී (හග්ගයි 1:15) වැඩ ආරම්භ වූ අතර, එය ක්‍රි.පූ. 515 දී එනම් පෙබරවාරි 21 සිට 21 දක්වා නිම කරන ලදී. මෙම දිනය ලබා ගන්නේ එස්රා 3: 8-10 (මහා දාරියුස්ගේ පාලන සමයේ හයවන අවුරුද්දේ ආදාර්ගේ තුන්වන දිනය) ඉතිහාසික මූලාශ්‍ර සමඟ සම්බන්ධීකරණය කිරීමෙනි. මෙම දිනයන්හි නිරවද්‍යතාවය සමහර නූතන පර්යේෂකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. 

නව දේවමාළිගාව කැප කළේ ජුදෙව් ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් විසිනි. කෙසේ වෙතත්, එස්රා පොත සහ නෙහෙමියා පොත සම්පූර්ණයෙන් කියවීමෙන් රජවරුන් තිදෙනෙකු විසින් නිකුත් කරන ලද දෙවන දේවමාළිගාව ඉදිකිරීම සඳහා අණපනත් හතරක් තිබු බව කියැවේ.දෙවන කණ්ඩායම බැබිලෝනියාවේ සිට පැමිණෙන්නේ එස්රා නැමති පූජකයාගේ නායකත්වය තුළිනි. ඔහු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ නීතිවේදියෙකු (එස්රා 7:12) ලෙස සැලකේ. වුයේ ඔහුගේ කාර්යයන් ව්‍යවස්ථාවලිය හෙවත් ටෝරා  කියවීම (නෙහෙමියා 😎, විදේශීය භාර්යාවන් පිටමං කිරීම (එස්රා 10), ගිවිසුම අලූත් කිරීම සහ සබත් නිවාඩුව ක්‍රියාත්මක කිරීම බව දේවවචනයේ සදහන් වේ. 

තෙවන කණ්ඩායම ක්‍රි.පූ. 444 දී නෙහෙමියා යටතේ ජෙරුසලමට පැමිණී අතර, නෙහෙමියා ජෙරුසලමට පැමිණීමෙන් පසු ජුදා දේශයේ දේශාධිපතියා (ක්‍රි.පූ. 444-432) ලෙස ක්‍රියාකරන ලදී. (නෙහෙමියා 5:14, 5:18) ඔහු ජෙරුසලමේ ජනයා දිරිමත් කරමින් ජෙරුසලම් නගරයේ ගරා වැටී තිබූ පවුර නැවත ගොඩනඟා, දොරටු අගුල් සවිකර, නටබුන් වූ වාසස්ථාන ගොඩනැගු (සිරාක් 49:13) අතර, ක්‍රි.පූ. 432 දී පර්සියාවට ආපසු ගිය නෙහෙමියා නැවත ක්‍රි.පූ. 425 දී ජෙරුසලමට පැමිණ දෙවනවර දේශාධිපතියා ලෙස කටයුතු කළ සමයෙහි (ක්‍රි.පූ. 425-410) දසයෙන් කොටස ලෙවීවරුන්ට ලැබෙන්නට සැලැස්වීම තුළින් දේවමාලිගාවේ වත්පිළිවෙත් වල මනා ක්‍රමවේදයක් ඉස්මතු විය. සබත් දින වෙළදාම අත්හිටු ඔහු  මිශ්‍ර විවාහ තහනම් කිරීම වැනි සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලදී. (නෙහෙමියා 13). ඉන් අනතුරුව එළබෙන්නේ පර්සියානු සමයටය. 

මේ සමයේ දී දේව මාලිගාවේ වන්දනාව සාමාන්‍ය ලෙස සිදු වූ අතර පාස්කු-නුමුහුන් පූප මංගල්‍යය, පෙන්තකොස්ත මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය යන ප්‍රධාන මංගල්‍යයන් තුනත්, පව් කමාව ඉටුකරන මංගල්‍යයත් දේවමාලිගාව මුල් කරගෙන සිදු කරන ලදී. මේ කාලයේදී  ජුදා ජනතාව නීතියට විශේෂ ගරුත්වයක් දීමට  ආරම්භ වූ අතර රට පාලනය නායක පූජකයා විසින් විසින් සිදුකරන ලදී. මේ නායක පූජකවරු දාවිත් රජ සමයේ සිටි ශාදොක් පූජකයාගේ පරම්පරාවේ අය වුහ. ඉන් අනතුරුව පැමිණෙන්නේ ග්‍රීක යුගයට වේ. 

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 356-323) ක්‍රි.පූ. 333 දී පලස්තීනය ආක්‍රමණය කිරීමේ සිට ක්‍රි.පූ. 63 දී රෝම සේනාධිපතියා වූ පොම්පේගේ ආක්‍රමණය දක්වා කාලය මේ කාලයට අයත්වේ. මෙහිදී ටොලමි රාජපරම්පරාව යටතේ (ක්‍රි.පූ. 301-198) දැඩි නීති රීති හා ආර්ථීක අවහිරකම් නොතිබු අතර , පර්සියානු යුගයේ මෙන් ම නියමිත බදු ගෙවා ජන ජීවිතය පවත්වා ගැනීමට හැකි විය. නායක පූජකයන් විසින් ජනතාවගෙන් බදු එකතුකර නියමිත බදු ප්‍රමාණය ටොලමි රජවරුන්ට ගෙවන්නට වූ මේ කාලයේදී නායක පූජකයන් ආධ්‍යාත්මික මෙන් ම ක්‍රමක්‍රමයෙන් දේශපාලන පාලකයන් බවට පත්වන්නට වුහ. මේ කාලයේදී ශු.ලියවිල්ල ග්‍රීක භාෂාවට පරිවර්තනය වී සෙප්තුවාජින්ත පිටපත ලේඛනගත වූ අතර සිව්වන ඇන්ටිඕකස් එපිපානෙස් රජතුමා (ක්‍රි.පූ. 175-153)

විසින් විවිධ ජාතිකයන් හා විවිධ ආගමිකයන් ජීවත් වූ තම රාජ්‍යයේ සංස්කෘතික ඒකත්වය සඳහා හෙලනිස්තිකරණය හෙවත් ග්‍රීක සංස්කෘතිය හා ඇදහිලි ක්‍රම අන් ජාතීන් කෙරෙහි බලයෙන් පටවන්නට විය. මේ නිසා ජෙරුසලම් දේව මාලිගාවේ ශුද්ධස්ථානයට කඩා වැදී රන් පූජාසනය, පහන් රුක, පිදූ පූප තබන මේසය, පානිය පූජා පුදන බඳුන, කුසලාන, රන් ධූම පාත්‍ර, තිරය, කිරුළ හා රහසිගත නිධානයක් පැහැර ගත් බව කියැවේ. 

එමගින් ව්‍යවස්ථාව අමතක කිරීමටත්, ග්‍රීක වත්පිළිවෙත්වලට අයිති නොවන දේ නොකිරීමටත්, ශුද්ධස්ථානයේ දවන යාග පූජා, පඩුරු හා පානීය පූජා බැහැර කිරීමටත්, සබත් දවස හා මංගල දවස් කෙලෙසීමටත්, ශුද්ධස්ථානය හා පූජකවරු කෙලෙසීමටත්, දේව පිළිම සඳහා මඩු, කූඩාරම් හා පූජාසන ගොඩනැගීමටත්, සූකරයන් හෙවත් ඌරන් සහ වෙනත් අපවිත්‍ර සතුන් පිදීමටත්, චර්මච්ඡේදන පිළිවෙත නොකිරීමටත් රාජ ආඥාවක් නිකුත් කරන ලදී. මෙම රාජ ආඥාවන් පිළිනොපදින අයට මරණ දඩුවම නියම කළ අතර, සමහරු දේව පිළිමවලට පඩුරු පුදා, සබත කෙලෙසා රජුගේ ආගම පිළිගැනීමට (1 මකබි 1:41-61) වුහ. තවද ඇතැමෙක් රාජ නියෝගවලට පටහැනි ව තම දිවි පරදුවට තබා තම විශ්වාසයට අනුව සාක්ෂි දරා දිවිපිදුහ. (1 මකබි 1:62-64). 

ක්‍රි.පූ. 167 කිස්ලෙව් මස 15 වැනිදා ජුපිටර් ඔලිම්පස් දෙවියාගේ පිළිරුවක් ජෙරුසලම් දේවමාලිගාවේ පූජාසනයට ඉහළින් පිහිටුවා කිස්ලෙව් මස 25 වැනිදා ජුපිටර් දෙවියාගේ මංගල්‍යය සිදු කිරීම නිසා කැරැල්ලක් ඇති වී පීඩනයක් විය. මෙම පීඩනය නිසා ක්‍රි.පූ. 167 දී මකබි කැරැල්ල ආරම්භ වී, කැරැල්ල සාර්ථක වීම හේතුවෙන් අන්‍ය ජාතික වන්දනාවට සම්බන්ධ වූ පුජාසනය ඇතුළු සියලූ ම භාණ්ඩ දේව මාලිගාවෙන් ඉවත් කර නව පූජාසනයක් තනා ක්‍රි.පූ. 164 කිස්ලෙව් මස 25වන දින කැපකිරීම (හනුකා මංගල්‍යය) පවත්වා 4 වන ඇන්ටිඕකස් එපිපානෙස් විසින් බලයෙන් ජුදෙව්වන් මත පටවන ලද හෙලනිස්තිකරණය ඉවත් කරන ලද බව සදහන් වේ. 

ක්‍රි.පූ. 63 දී පොම්පේගේ රෝම හමුදාව ඉශ්රායෙලය අල්ලා ගත් අතර , එමගින් මකබිවරුන්ගේ කාලයේ ලබාගත් නිදහස නිම විය. ලතින් බස රාජ්‍ය භාෂාව වී, රෝම නිලධාරිහු ග්‍රීක බස උගත් අය වීම හේතුවෙන් මේ කාලයේදී සෑම රෝම නිල නිවේදනයක ම ග්‍රීක පරිවර්තනයක් තිබිණි. රෝම යුගයේදී පොම්පේ ක්‍රි.පූ. 63 දී  ශුද්ධස්ථානයට ඇතුළු වී දේවමාළිගාව කොල්ලකන ලදී. ක්‍රි.පූ. 54 දී ක්‍රැසස් (Crassus) දේවමාලිගාවේ භාණ්ඩාගාරය කොල්ල කෑවේය. ඉන් වසරකට පසුව පාර්තියට එරෙහි කාර්හා හි තිබු යුද්ධයේදී මිය ගියේ ඔහු පමණි. ජනප්‍රවාදයන්ට අනුව, ඔහුගේ උගුරට උණු කළ රත්රන් වත් කොට මරා දමන ලද බව කියැවේ. ක්‍රි.පූ. 40 දී පර්සියන්වරු පලස්තීනය සහ ජෙරුසලම යටත් කර ගත් අතර , ඉන් වසර තුනකට පසුව එනම් ක්‍රි.පූ. 37 දී රෝම සොල්දාදුවෙක් වූ ඉදුමීය ජාතික හෙරොද් ව ජෙරුසලම යවා එය  යටත් කර ගැනීමට හැකි විය. 

ඒ අනුව ක්‍රි.පූ. 37 සිට නැවතත් පලස්තීනය රෝම අධිරාජ්‍යයේ යටත් විජිතයක් වූ ජෙරුසලමේ  රූකඩ රජතුමා ලෙස රෝමය විසින් මහ හෙරෝද් පත් විය. ඔහු ඉදුමීය ජාතිකයෙකු වූ අතර, ජුදා ආගම වැළඳ ගත්තෙක් විය. විවාහ 10ක් කරගත්තෙකු වූ ඔහු කෘෘර පාලකයෙකු ද, තම දෑත ලෙයින් තෙත් වූවෙක් ද තම බිරියන් හා පුත්‍රයන් පවා මරා දැමුවෙකු ලෙසත්, ජේසුස් වහන්සේගේ උපතේ දී කුඩා පිරිමි දරුවන් මරණයට පත් කළ (මතෙව් 2:16-17) ඝාතකයා ලෙසත් සදහන් වේ. ඔහු යටතේ නව නගර තැනීමට හා පැරණි නගර ප්‍රතිසංස්කරණය කිරීමටත් ජෙරුසලම් බලකොටුවක් ගොඩනැගීමටත් , සමාරිය නගරය ප්‍රතිසංස්කරණය කිරීමටත් මධ්‍යධරණි මුහුද අසල "සෙසරයා" නමැති නගරය ඉදිකර එහි වරායක් තැනීමටත් පෙරමුණ ගත් අතර හෙතෙම ජෙරුසලම් දේව මාලිගාව අසල "ඇන්ටෝනියා" යන මාලිගාව තනවා ගන්නා ලදී. 

ඔහුගේ විශිෂ්ටතම නිර්මාණය වුයේ ජෙරුසලම් දේවමාලිගය අලූත්වැඩියා කිරීමය. එය අභිනයෙන් ගොඩනැගීමට ක්‍රි.පූ. 19 දී ආරම්භ කළ හෙතෙම එම ප්‍රතිසංස්කරණයෙහි ප්‍රධාන හා මූලික අදියර වසර නමයකින් නිම කරන ලද බව සදහන් වේ. එතැන් සිට එය "හෙරොද්ගේ දේවමාලිගාව" ලෙස හැඳින්වූ අතර එය  ප්‍රතිසංස්කරණ එම ක්‍රියාවලිය සම්පූර්ණ කරන ලද්දේ ක්‍රි.ව. 64 දී ය. ජේසුස් වහන්සේ දේව මාලිගය පවිත්‍ර කිරීමේ සිද්ධිය ක්‍රි.ව. 28 පාස්කු මංගල්‍යයේ දී සිදුවූ බව කියැවේ. එම නිසා දේවමාලිගය ගොඩනැගීමට වසර හතලිස් හයක් ගත වූ බව ජොහන් 2:20හි සදහන් කොටස මිට පාදක වේ.  අද එහි සළකුණක් ලෙස ඇත. ජුදයින් මෙය "වැළපෙන පවුර" ලෙස හැඳින්වූහ.

සටහන - අසේල දසනායක