![]() |
ගලීලයේ Kfar Bar'am සිනගෝගයේ නපැරණි නටබුන් |
ධර්මශාලා හෙවත් සිනගෝග
පුරාණ ගිවිසුමේ දේවජනතාවගේ වන්දනාමානයට ලක්වූ තවත් සුවිශේෂී ගොඩනැගිලි පද්ධතියක් ලෙස ධර්මශාලා හෙවත් සිනගෝග නම් කළ හැකිය. ග්‍රීක συναγωγή බසින් සිනගෝග යනු එකතුවීම , සාමුහිකත්වය යන අරුත් දෙයි. මෙය ජුදෙව්වන් එකතු වී පැමිණ, යාච්ඤා කිරීමත්, දේව වාක්‍ය කියවීමත් එහි අර්ථය ඇසීමත් මධ්‍යස්ථානයක් කර ගත් බව සදහන් වේ. මෙම ධර්මශාලා මුලින් ආරම්භ වූයේ බැබිලෝනියානු විප්‍රවාස සමයේ දී බව සැලකේ. ඒ ඔවුන් හට දේවමාලිගාවක් නොතිබූ නිසා තම ආධ්‍යාත්මික දිවියට පෝෂණය පිණිස දේවවාක්‍යය ඉගෙන ගැනීමට සහ යැදීමට මධ්‍යස්ථානයක් ලෙස ගන්නා ලදී. විප්‍රවාසයෙන් පසු නැවත තම දේශයට පැමිණි පසු ද මෙවැනි පිළිවෙත් අනුගමනය කරන ලදි.
විසිරී ජීවත් වූ ජුදයින් අතරත් මෙවැනි ධර්මශාලා ගොඩනගා තිබුණි. මේවා සෘජුකෝණාශ්‍රාකාර හැඩයෙන් යුතු ය. ජෙරුසලම් දේවස්ථානයට මුහුණලා මේවා ගොඩනගා තිබුණි. ධර්මශාලාව ඇතුළත " ශුද්ධස්ථානය" ලෙස හැඳින්වෙන කොටසේ ශුද්ධ වාක්‍ය ලියැවී ඇති ග්‍රන්ථ තබා එය තිරයකින් වසා තිබුණි. මෙය සමීපයෙන් වේදිකාවක් තනා තිබුණි. එහි සිට දේව වාක්‍ය කියවන ලදි. ශුද්ධ ග්‍රන්ථ තබා ඇති ස්ථානය සමීපයෙන් ධනවතුන්ට වාඩිවීමට පහසුකම් සලසා තිබුණි. ධර්මශාලාවල පුදසුන් නොතිබුණි. නමුත් අතු පහක් සහිත ඉටි පහන් රුකක් තිබුණි. ධර්මශාලාවලට ඇතුළුවීමට පෙර අත් පා පිරිසිදු කිරීමට දොරකඩ ජල බඳුන් තබා තිබුණි. මේ මගින් ධර්මශාලා වල යැදුම් මෙහෙයන් පැවැත්වූ අතරම මේවා දරුවන් හට දහම් පාසල් ලෙස ද, නඩු විසඳන මන්ත්‍රණ සභා ලෙස ද භාවිත කරන ලදි. ජනතාවට ඔවදන් දීමට ධර්මශාලා අධිපතිවරු දක්ෂ දේශනාවාදීන් ගෙන්වා ධර්ම දේශනා පැවැත්වූහ.
බැබිලෝනියාව තුළ මුලින්ම ස්ථාපනය කරන ලද ධර්මශාලාවල හෙවත් සිනගෝග වල ජෙරුසලම් දේව මාලිගාවේ වස්තූන්ද සුරක්ෂිතව තබා ගන්නා ලදී. පසුකාලීනව ජුදෙව්වෝ සිය වෙළඳාම් සඳහා විවිධ ප්‍රදේශ කරා යෑමෙන් පසුව තමන් ජීවත් වන ප්‍රදේශ තුළ ධර්මශාලා හෙවත් සිනගෝග ස්ථාපනය කරන ලදී. නව ගිවිසුම තුළ ක්‍රිස්තුස් වහන්සේගේ කාලයේ පවා සිනගෝග පැවතුණු අතර (ලූක් 4/16-17 මාර්ක්12/28 මතෙව් 12/38) පසු කාලීනව මුල් කිතුනු සභාව අන්‍ය ජාතීන් කර සුභාරංචිය රැගෙන යාමේදී එක් එක් ප්‍රදේශවල ස්ථාපනය වී තිබුණු සිනගෝග කරා ගොස් උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුභාරංචිය ප්‍රකාශ කරන ලදී. උදාහරණ ලෙස ශුද්ධ වූ පාවුළුතුමා ද තම චාරිකාවල දී ධර්මශාලාවල සුභාරංචිය දේශනා කළේ ය. (ක්‍රියා 13/15) ඓතිහාසික සාධක වලට අනුව ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ දී ධර්මශාලා හෙවත් සිනගෝග හාරසියයක් පමණ පලස්තීන දේශයේ ස්ථාපනය වී තිබූ බව කියවේ. එදා ධර්මශාලාවල පැවති දේව වන්දනා පිළිවෙත් පසුකාලීනව ශුද්ධ වූ සභාවේ විධිමත් පිළිවෙත් ගොඩනගන්නට දායක වූ බව කිව යුතුමය.
ආගමික සිද්ධස්ථාන
ඉශ්‍රායෙල්වරුන්ගේ අධ්‍යාත්මිකත්වය, සමාජ, දේශපාලන, ආර්ථීක ජීවිත මුළුමනින්ම දෙවියන් වහන්සේව කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගී ඇත. ඉශ්‍රායෙල්වරුන්ගේ ඇදහිල්ලේ පදනම "ඒකදේවවාදය" විය. තම ආදිපිතෘ ආබ්‍රහම්, ඊසාක්, ජාකොබ් ආදීන්ට ලැබුණු දේව අනාවරණයත්, සීනයි ගිවිසුමත් පදනම් කරගෙන ගොඩනැගුණකි. මොවුහු ජීවිතයේ විවිධ කාල වකවානුවල තමන් ලද අත්දැකීම් අනුව, එකම දෙවියන් වහන්සේව විවිධ නම්වලින් අමතා පුදනු ලැබූහ."එල්" යනු දෙවියන් වහන්සේව අමතන පොදු නාමය වේ. එනමුදු පහත සඳහන් නාම දෙවියන් වහන්සේගේම අසමසම ගුණාංග හඟවන ඒවා වෙයි.
එල් එලොහිම් - (මැවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේ, ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ)
එල් ඒලියොන් - (මහෝත්තම වූ දෙවියන්වහන්සේ)
එල්ෂඩායි - (සියලූ බලැති දෙවියන් වහන්සේ/ මහිමාන්විත වූ දෙවියන් වහන්සේ)
එල් පෙරික් - (ගිවිසුමේ දෙවියන් වහන්සේ)
යාවේ - (ස්වයම්භූ තැනැන්වහන්සේ - ආරම්භයත් අවසානයත් නැති දෙවියන් වහන්සේ)
අදෝනායි - (දෙවියන් වහන්සේ)
මේ නාමයන්ගෙන් අමතමින් තමන්ගේ යැදුම්, භාරහාර, පඩුරු යාගපූජා ඔප්පු කළ හ. තවද ගිල්හාල්, බෙතෙල් , ෂෙකෙම්, සීලෝ, දාන් සහ කාර්මෙල් කන්ද ආදි ස්ථානවල පීඨික (පුදසුන්) තනා පුදපූජා ඔප්පු කළ හ. මේවා පසුකාලීනව මේවා ඉශ්‍රායෙල් ජනතාවගේ සිද්ධස්ථාන බවට පරිවර්තනය විය. විධිමත් රටාවකට තැණුනු ආගමික සිද්ධස්ථාන රජවරුන්ගේ කාලයේ දී ඇති විය. දාවිත් රජතුමාගේ රාජ්‍ය සමයේ දී ජෙරුසලමේ ගිවිසුම් කරඩුව තැන්පත් කර කූඩාරමක් තනා, එය ශුද්ධස්ථානයක් බවට පත් කර, ආගමික වතාවත් කිරීමට කටයුතු කළේ ය. පසු කාලයේ දී මෙය අති උසස් දේව මන්දිරයක් බවට පත්වීමට මෙයට හේතු විය. මෙවන් සිද්ධස්ථානවලින් මුල්තැන ගන්නේ ජෙරුසලමේ දේව මාලිගාවයි. මේ හැර සිනගෝගද, ජුදා මන්ත්‍රණ සභාව ද, ජුදා ආගමික ස්ථාන ලෙස පිළිගන්නා ලදි.
නව ගිවිසුමේ දේවස්ථාන සම්ප්‍රදාය
නව ගිවිසුම තුළ දේවපුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය සහ ගැලවීමේ කාර්යය හේතුකොට ගෙන නව ගිවිසුමේ දේව ජනතාව වන ශුද්ධවූ සභාව සමාන කරන්නේ ස්වාමින් වහන්සේගේ දේව මන්දිරය ලෙස ය. ස්වකීය ප්‍රසිද්ධ ජීවිත සමයේ දී දේව රාජ්‍යය පිළිබඳ ව කතා කළ දේව පුත්‍රයාණන් වහන්සේ මුළු මානව සංහතියේ ම ගැලවීම උදෙසා යාගයක් ද බිළි පඬුරක් ද වෙමින් අප වෙනුවෙන් දිවි පිදූ සේක. තමන් වහන්සේගේ සුබ ආරංචිය ලෝ පුරා පතළ කිරීමේ භාරදූර කාර්යය ධර්මදානය , ධර්මෝපදේශය , දේවවන්දනාව සහ දයා සේවාවන් මුල් කරගනිමින් ශුද්ධවූ සභා මාතාව එදා සිට අද දක්වා අඛණ්ඩව පැවත එන්නීය. ස්වාමීන් වහන්සේගේ ස්වර්ගාරෝහණය පසුව ශුද්ධාත්ම ආගමනය තෙක් අඛණ්ඩ යැදුමෙන් නිරත වූ මුල් සභාව පිළිබඳව අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා පොතේ සඳහන් වේ. නව ගිවිසුමට අනුව, මුල් කිතුනුවන් දේවස්ථාන ගොඩනැඟිලි ඉදි කළ බවක් සදහන් නොවේ. ක්‍රිස්තුන් වහන්සේගේ අන්තීම රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වන ලද උඩුමහල් මැදුර හෙවත් සේනාකුළු ශාලාව මිට කදිම නිදර්ශකයක් වේ.
"එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ. ඔව්හු නගරයට පිවිස තමන් නවාතැන් ගෙන සිටි උඩුමහල් මැදුරට නැඟුණාහ. ඔව්හු නම්: පේදුරු, ජොහන්, ජාකොබ් සහ ඇන්ඩෘ ද පිලිප් සහ තෝමස් ද බර්තොලමෙව් සහ මතෙව් ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ් ද අන්ත ජාතිවාදී සීමොන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස් ද යන මොවුහු ය. මේ සියලු දෙනා, ස්ත්‍රීන් ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමිය ද උන් වහන්සේගේ සහෝදරයන් ද සමඟ එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ. " ( ක්‍රියා 1/ 12- 14)
මුල් කිතුනු සභාවේ ආරම්භය
අවස්ථාව - ජේසුස් වහන්සේගේ උත්ථානයෙන් (කිතුනු පාස්කුවෙන්) දින පනහකට පසුව පැවති පෙන්තකොස්ත මංගල්‍යය ජුදෙව් කෘෂිකාර්මික මංගල්‍යයකි. විශේෂත්වය ජුදෙව්වරුන් සිය අස්වැන්නේ ප්‍රථම ඵල පිදීමට ජෙරුසලමට පැමිණී අවස්ථාවේදී
රැස්වූ ස්ථානය - ජෙරුසලමේ උඩුමහල - යාච්ඤාවෙන් එකතූ වූ ශ්‍රාවකයන් ඇතුළු සැම වෙත
විශේෂ සිදුවීම
* සැඩ සුළඟක් හමන්නාක් වැනි හඩක් අහසින් නික්මීම (ශුද්ධාත්ම බලය ප්‍රකාශ වීම)
* ගිනි දලූ වැනි දිව් ඛෙදී ගොස් එකිනෙකා මත පිහිටීම (ශුද්ධාත්ම බලය දැනීම)
* සැවොම ශුද්ධාත්මබලයෙන් පූර්ණව අන්‍ය භාෂාවලින්
කතා කිරීම (ශුද්ධාත්ම බලය තුළ ජ්වලිතකම)
ප්‍රතිඵල - පෙන්තකොස්ත දින 3000ක් පමණ සෙනග බෞතිස්ම ස්නාපනය ලබා සභාවට එකතු වීම.
මුල් කිතුනු සභාවේ ලක්ෂණ
" ඔව්හු අපොස්තුළුවරුන්ගේ ඉගැන්වීමෙහි ද, සහභාගිකමෙහි ද රොටි කැඩීමෙහි ද යාච්ඤාවෙහි ද නිරත ව කල් ගත කළහ. සියලු දෙනා තුළ ගෞරවාන්විත භීතියක් ඇති විය. ප්‍රේරිතවරුන් අතින් බොහෝ අරුමපුදුම දේ හා ලකුණු සිදු විය. ඇදහිලිවතුන් සියල්ලෝ එක් වී හැම දෙය ම පොදුවේ තබාගත්හ. ඔව්හු තමන්ගේ ඉඩකඩම් හා දේපළ විකුණා එකිනෙකාගේ වුවමනාවේ හැටියට සියලු දෙනා අතර බෙදාගත්හ. තවද, ඔව්හු දිනපතා නොකඩ ව ම, එක්සිත් ව දේව මාලිගාවේ රැස් වෙමින් ද ගෙයින් ගෙට යමින් රොටි කඩමින් ද තම තමන් අතර ප්‍රීතියෙනුත්, මෙහිදී ත්‍යාගිවන්ත සිතිනුත් ආහාර බෙදාගනිමින් ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් හා සියල්ලන්ගේ ප්‍රසාදය ලබමින් ද කල් යැවූ හ. සමිඳාණන් වහන්සේ ගැළවීම ලබන්නන්ගේ ගණන දවසින් දවස වැඩිකර වදාළ සේක..." ( ක්‍රියා 2/42 - 47)
මුල් සභාව ව්‍යාප්ත වුයේ මුල් කිතුනුවන්ගේ නිවෙස් වල (ක්‍රියා 17: 5, 20:20, 1 කොරින්ති 16:19) හෝ දෙවන දේවමාළිගාව හෝ සිනගෝග වැනි පූජනීය ස්ථානවල රැස්ව සිටියහ (ක්‍රියා 2:46, 19: 😎.
විශේෂයෙන් පවුල්තුමන්ගේ ධර්මදූතික මෙහෙවර තුළ අන්‍ය ජාතීන් කරා සුබ ආරංචිය රැගෙන යාමේදී , එතුමෝ ප්‍රථමයෙන් පැමිණියේ රෝම අධිරාජ්‍යය තුළ වෙළඳ කටයුතු සඳහා ජුදෙව්වන් පැමිණ ඒ ඒ නගරවල ස්ථාපනය කර තිබූ ධර්මශාලා වලට ය. පසුකාලීනව රෝමය තුළ ද ගෘහස්ථ සභා ක්‍රියාත්මක වූ අතර , සභා පීඩන යුගයේ දී රෝමයේ තිබූ භූගත සොහොන් ගැබ් අවට ප්‍රදේශයේ දිව්‍ය යාගයන් සිදු කළ බව සඳහන් වේ. මෙම ස්ථානයන්හි අදත් කිතුනුවන් ඒකරාශි වීම සඳහා භාවිතා කරන ලද සලකුණු හා සංකේත අයත් වන චිත්‍ර ඉතා සුරක්ෂිතව පවතී.
සටහන - අසේල දසනායක
0 Comments