BLANTERORBITv101

සුවිශාල දේවස්ථාන ඉදිකිරිම

ශ්‍රී කුරුසියට වන්දනා නමස්කාර කිරීම මුල් සභාවේ සිටම පැවත ආ චාරිත්‍රයකි. එනම් ජෙරුසලම් සභාවේ සිටම මෙම උත්තරීතර දායාදය අපට උරුම විය. ක්‍රි.ව. 4 වන සියවසේ දී ජෙරුසලමේ වන්දනාවට ගිය එජේරියා නම් තැනැත්තියකගේ දිනපොතට අනුව මුල් සභාව තුළ ශ්‍රී කුරුසයේ වන්දනාව ඉතා ප්‍රභලව ම පැවති බව සඳහන් කරයි. තවද ඇගේ වාර්තාව ඉතා සුවිශේෂී වන අතර ඒ කාලයේදී ජේසුස් වහන්සේගේ ජිවිතයට සම්බන්ධ ස්ථාන කරා  වන්දනාවේ යෑමේ සම්ප්‍රදායක් සහ එම ස්ථාන වල  කුඩා කුඩාවට දේවස්ථාන ඉදිකිරීමේ ප්‍රවණතාවයක් මේ කාලයේදී දක්නට ලැබේ. මේ සදහා 4 වන සියවසේ විසු හෙලේනා අගරැජිනගේ දායකත්වය සුවිශේෂී වේ. මේ නිසා එතුමිය විසින් ශු. දේශය ජෙරුසලම, බෙත්ලෙහෙම , නාසරෙත් සහ ගලීලය වැනි ස්ථාන වල සුවිශාල දේවස්ථාන ඉදිකිරිම මෙහිදී කැපිපෙනෙන ලක්ෂණයකි.

තවද ක්‍රි.ව. 325 දී හෙලේනා අග රැජිණ ශ්‍රී කුරුසිය මෙකල සොයා ගැනීමත් සෑම වසරකම සැප්තැම්බර් මස 14 වැනි දින ශ්‍රී කුරුසියේ විජයග්‍රහණය මංගල්‍යය ලෙස සමරන්නට යෙදුණි. මෙහිදී හෙලේනා රැජිණ ශ්‍රී කුරුසිය තුනකට කඩා, එක් කොටසක් ජෙරුසලමේ ද, සෙසු කොටස කොන්ස්තන්තිනෝපලයේ ද , ඉතිරි කොටස රෝමයට ද රැගෙන ආ බව සදහන් වේ. මෙසේ රෝමයට රැගෙන ආ මෙම ශ්‍රී කුරුස ධාතු අදත් රෝමයේ ජෙරුසලමේ ශු. කුරුසියේ බැසිලිකාවේ Santa Croce in Gerusalemme ස්ථාපිත වී ඇත. මෙසේ ජෙරුසලමේ සිට ශු. කුරුසියේ ධාතු රෝමයට ගෙන ඒමත් නිසා මෙය සමස්ත විශ්වය පුරාවටම ශ්‍රී කුරුසියේ භක්තිය  පැතිරී ගිය බව සදහන් වේ. එමෙන්ම මිලාන් ආඥාවත් සමගම ප්‍රාණපරිත්‍යාගී වරුන්ගේ සොහොන් ගැබ් මත දේවස්ථාන ඉදිකිරීමටත් , රෝමයේ පැවති මිත්‍යාදෘෂ්ටික දේවස්ථාන සහ බැසිලිකාවන් කිතුනුකරණය කිරීමටත් මේ කාලයේ දක්නට ලැබෙන තවත් ප්‍රවණතාවයකි. එසේම නත්තල් මංගල්‍යය, සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යය .... යන මංගල්‍යය පෙර සදහන් කරන ලද රෝමානු මිත්‍යාදෘෂ්ටික වත්පිළිවෙත් සහ සැණකෙළි මංගල්‍යයන් වලට එරෙහිව ආරම්භ කරන ලද ලද ආදේශන ලෙස සැලකේ. ඇතැම් ඉතිහාසවේදීන් ට අනුව ජෙරුසලමේ සිට රැගෙන එන ලද ශු. කුරුසියේ ධාතු වල කොටස් මුල් යුගයේ ශු. අල්තාර වල තැම්පත් කිරීමේ සම්ප්‍රදායක් ද පැවති බව කියැවේ. 

මිලාන් ආඥාවෙන් පසුව සභාව හැදින්වූ නාමය වුයේ කතෝලික වේ.  එය ග්‍රීක භාෂාවෙන් καθολικός ලෙසද , ලතින් බසින් " Catholicus" එහි අරුත වන්නේ " විශ්වීය " යන අරුත වේ. සභාව තුළ මුලින්ම "කතෝලික" යන වචනය එක් කරන ලද්දේ ක්‍රි.ව. 381 දී කොන්ස්තන්තිනෝපල් හි පැවති මන්ත්‍රණ සභාව තුළ විශ්වාස ලක්ෂණය තුළ අන්තර් ගත වූ " අපෝස්තුළුවරුන්ගෙන් පැවත එන එකම ශුද්ධවූ කතෝලික සභාව කෙරෙහි ද " යන වගන්තිය තුළිනි.

ක්‍රි.ව. 452 දී කුරිරු ගෝත්‍රියක් ලෙස සැලකෙන "හන්ස්වරුන්ගෙන් " ක්‍රි.ව. 452 දී රෝම නගරයට තර්ජනයක් එල්ල විය. "ඇට්ටිල්ලා" මෙම ගෝත්‍රයේ නායකයා විය. එකල රෝමයේ රදගුරුතුමා වූ "පළමු ලියෝ පාප්තුමා" ඔහු වෙත නිර්භීත ව ගොස් රෝම නගරයට කරුණාව දක්වන මෙන් ඉල්ලා සිටියේ ය. ම්ලේච්ඡ නායකයා මෙම ශාන්ත වයසක මිනිසා ගැන කෙතරම් පැහැදුණා ද කිවහොත් වන්දියක් වශයෙන් සුළු මුදලක් පමණක් ලබාගෙන නගරයට අත නොගසා පැමිණි පාරෙන් ම හැරී යන්නට ගියේ ය. එතැන් සිට රෝම රදගුරුතුමා රෝම පුරයේ ඒකීය නායකයා බවට පත් විය.

මෙම සිද්ධිය නිසා ආධ්‍යාත්මික නායකයෙකු ලෙස පැවති  රෝම රදගුරු ධූරය  එක් අතකට ලෞකික නායකයකු බවට පත්වන්නට විය. ඒත් සමගම බටහිර රෝම රාජ්‍යයේ නායකයා ලෙස රෝම රදගුරුතුමා අභිනවයෙන් ශුද්ධෝත්තම පියතුමා බවට හෙවත් පාප්තුමා බවට පත්විය.  තව 4 වන ශතවර්ෂයේ සිට ජෙරුසලම, ඇලෙක්සැන්ඩ්‍රියාව , අන්තියෝකිය සහ කොන්ස්තන්තිනෝපලය වැනි ප්‍රධාන පෙළේ  කතෝලිකයන් විසූ ප්‍රධාන නගරවල රදගුරු තුමන් හට අග්‍රපීතෘ හෙවත් "පෙට්‍රියාක්"  යන ගෞරව නාමය පුද කරන ලදී. ඒත් සමගම ඔවුන්ගේ නිල දේවස්ථාන හෙවත් ආසන දෙව්මැදුරු ක්‍රමක්‍රමයෙන් ඉදිවන්නට විය. ආසන දෙව්මැදුරු සම්ප්‍රදායද  මුලින්ම ආරම්භ වූයේ පෙරදිග ප්‍රදේශ වලය. එනම් ශුද්ධවූ පේදුරු තුමාගේ නිල අසුන මුල්කරගෙන 3,4 සියවස් වල පවා ශුද්ධවූ පේදුරු තුමන්ගේ ශුද්ධාසනයේ මංගල්‍යය  අන්තියෝකියේ පැවැත්වූ බවට සාධක තිබේ.   

සටහන - අසේල දසනායක