BLANTERORBITv101

ලෝකයේ පළමු කිතුනු දේවස්ථානය සහ මුල් සියවස් තුළ සභා විකාශනය

domus ecclesiae

 සිරියාවේ දූරා-යුරෝපොස් ප්‍රදේශයේ කැණීම් කිරීමේදී ( 1920 - 1930 අතර කාලයේ දී) ඉපැරණි දේවස්ථාන ගොඩනැඟිල්ලක් මතුවිය. පැරණිතම පුරාවිද්‍යාත්මකව හඳුනාගත් ක්‍රිස්තියානි දේවස්ථානය ක්‍රි.ව. 233 -256 ත් අතර ආරම්භ කරන ලද දූරා-යුරෝපොස් දේවස්ථානය වන අතර මෙය ගෘහස්ථ  දේවස්ථානයකි (domus ecclesiae). මෙම ඉපැරණි දේවස්ථානය කැණීම් කිරීමේදී බව්තීස්ම-ස්නාපනය ලබාදුන් ස්ථානයක්, ඉපැරණි සිතුවම් කීපයක් ද පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලදී. ඒවා තුළ යහපත් එඩේරා , ජේසුස් වහන්සේ අංශභාග රෝගියා සුවපත් කිරීම, ජේසුස් වහන්සේ සහ පේදුරු තුමා වතුර මත ඇවිදීම , කාන්තාවන් තිදෙනා ජේසුස් වහන්සේගේ සොහොන් ගෙය නැරඹීමට පැමිණීම යන සුභාරංචියේ එන්නාවූ කොටස් මෙහි සිතුවම් කර ඇත. තවද ඉපැරණි හේබ්‍රෙව් ශුද්ධ ලියවිලි කොටස් අපෝස්තුලුවරුන්ගේ සම්ප්‍රදායට අයත් ඩිඩාකේ යැදුම් සම්ප්‍රදායට අයත් කොටස් කීපයක් දජ්  මෙහි හමුවී ඇත. ඒ අනුව දැනට සොයාගෙන තිබෙන ජේසුස් වහන්සේ අරභයා අඳින ලද පළමු සිතුවම මෙම දේවස්ථානයෙන් හමුවේ. 

 ක්‍රි.ව. 3 වන සියවසේ දෙවන භාගයේදී, ක්‍රිස්තියානි දේවවන්දනාව සඳහා ධර්මශාලා හෙවත් ජුදා සම්ප්‍රදායේ එන සිනගෝග (aula ecclesiae) ඉදි කිරීමට පටන් ගත් බව කියැවේ. මේවායින් බොහොමයක් 4 වන ශත වර්ෂයේ මුල් භාගයේ දී දියෝක්ලිසියානු අධිරාජ්‍යයාගේ හිංසා පීඩා වලදී විනාශ වූවත්, ඊටත් වඩා විශාල හා වඩා පුළුල් දේවස්ථාන ගොඩනැඟිලි කොන්ස්තන්තිනු අධිරාජ්‍යයාගේ පාලන සමයේදී ඉදිවන්නට පටන් ගන්නා ලදී.

ක්‍රි.ව. 60 සිට 313 වූ කාල සීමාව සභා ඉතිහාසය තුළ හඳුන්වනු ලබන්නේ ප්‍රාණපරිත්‍යාගවරුන්ගේ යුගය හෙවත් පීඩන යුගය ලෙසය. අධිරාජ්‍යවරු දහදෙනකු, කාල සීමාවන් 10ක දී කිතුනු සභාවට එරෙහිව පීඩා එල්ල කළ අතර , මේ කාලයේදී රෝම අධිරාජ්‍යය තුළ ගෘහස්ථව සහ රෝමයේ භූගත සොහොන් ගෙවල් වූ කැටකුම් කේන්ද්‍ර කරගනිමින් දිග පූජාව ඇතුළු සෙසු දේව වන්දනා පිළිවෙත් පැවැත්වූ බව සඳහන් වේ. 

මුල් සියවස් කීපය තුළ පීඩනයේ අභියෝගවලට මුහුණ  දුන් ශු. සභා මාතාව විශ්වාසයෙන් සවිමත් වී පීඩන මාධ්‍යයේ විශ්වාසයට සාක්ෂි දරන ලදී. එමගින් වත්මන් කිතුනුවන් ලෙස ජිවිත අභියෝග වලට මුහුණදීමේ දී දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය සවිමත් කර ගැනීමට මුල් කිතුනුවෝ අපට මහත් ආදර්ශයක් සපයන්නාහ.

පීඩන සමය තුළ දිස්වූ කිතුනු ලක්ෂණ 

1. අභියෝගවලට නිර්භය ව මුහුණු දීම.

2. ඇදහිල්ල සුරැකීම සඳහා දැරූ ප්‍රයත්නය

3. අභියෝග හමුවේ විශ්වාසය සවිමත් වීම.

4. පීඩන හමුවේ ශුද්ධාත්ම බලය අත්දැකීම.

5. නිරතුරු ව ම විශ්වාසයට සාක්ෂි දැරීම.

6. පීඩා මධ්‍යයේ විශ්වාසය හා ක්‍රිස්තියානි සභාව වර්ධනය වීම.

මිලාන් ආඥාව (ක්‍රි.ව. 313)

• ක්‍රි.ව. 313 දී මිලාන් ආඥාව නිකුත් කිරීම මගින් කොන්ස්ටන්ටයින් අධිරාජයා විසින් පීඩන පළමු සියවසේ සිට රෝම අධිරාජ්‍යයවරු විසින් දියත් කරන ලද පීඩන අවසන් කරන ලදී.

• කිතුනු සංකේත සහිත ධජ සහ ආයුධ ඔසවා ගෙන සටනට එලඹීමෙන් සතුරන් පරාජය කිරීමට හැකි වීම නිසා කොන්ස්ටන්ටයින් අධිරාජයා ක්‍රිස්තියානීන්ට නිදහසේ තම ආගම ඇදහීමට අවස්ථාව ලබා දෙන ලදී. 

• මිලාන් ආඥාව නිසා කිතුනුවන්ට නිදහස් යුගයක් උදාවිය. එමගින් අධිරාජ්‍යයේ වාසය කරන සැමට තමන් කැමති ආගම ධර්මයක් ඇදහීමට ආගමික නිදහස ලබා දෙන ලදී.

• පීඩන සමයේ දී කිතුනුවන් ගෙන් පැහැරගත් සියලු දේපළ සහ ශුද්ධවූ පොත පත නැවත ඔවුන්ට ලබා දුන් අතර කිතුනුවන් සම්බන්ධව සහ ඔවුන්ට විරුද්ධව පනවා තිබූ සියලු නීති රීති අහෝසි කරන ලදී.

• මේ හේතුවෙන් අධිරාජයාගේ සුවිශේෂී අනුග්‍රහය මත අධිරාජයේ විවිධ ස්ථානවල ප්‍රාන පරිත්‍යාග වරුන්ගේ සොහොන් ගැබ් මත සහ ජේසුස් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ ස්ථානවල අධිරාජයාගේ මෑණියන් වූ හෙලේනා මුනිවරියගේ සුවිශේෂී අනුග්‍රහයෙන් සුවිශාල දේවස්ථාන ඉදිවන්නට විය. 

පීඩන යුගයේ නිමාවීමත් සමගම නිදහසේ ආගමික කටයුතු සහ දිව්‍ය පූජාව ඇතුළු දේව වන්දනාව පිළිවෙත් ප්‍රසිද්ධියේ පත්වීමට ඉඩ ප්‍රස්ථාව ලැබුණු නිසා රහසිගත ස්ථාන වලින් බැහැරව ක්‍රීඩාංගන වල, එළිමහන් ස්ථානවල දේවවන්දනා වත්පිළිවෙත්  සිදු කළ අතර පසුව අධිරාජ්‍යයාගේ  සුවිශේෂී අනුග්‍රහය තුළ මේ කාලයේ සිට " බැසිලිකා"  වල දේව වන්දනා වත්පිළිවෙත් සිද්ධ වන්නට විය. 

ලබා දුන් වරප්‍රසාද 

 • කිතුනුවන්ගේ සබත් දිනය ලෙස සලකන ඉරුදින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම.

 • කුමන අපරාධයකට අසු වුව ද කුරුසිපත් කිරීමේ දඩුවම අවලංගු කෙරිණ.

 • රෝම ඇදහිලිවල තිබූ දුෂිත චාරිත්‍ර - වාරිත්‍ර ( ලිංගික වත්පිළිවෙත් යනාදිය සහ බහුදේවතා වන්දනාව ) තහනම් කෙරිණ.

 • කිතුනු පූජකවරු අයබදුවලින් නිදහස් කරන ලදහ.

 • අධිරාජ්‍යයේ පරිපාලන තනතුරු දැරීමට කිතුනුවන්ට අවස්ථාව දෙන ලදි.

• ශ්‍රී කුරුසියේ ලකුණ අධිරාජ්‍යයේ නිල ලාංඡනය බවට පත් විය.

• රෝමයේ අධිරාජ්‍යයා සතුව පැවති ලතරානු මාලිගය රෝමයේ රදගුරුතුමන් ( පසුව ශුද්ධෝත්තම පියතුමා ) හට  ප්‍රදානය කෙරිණ. 

සටහන - අසේල දසනායක