( මලාකි 03:01-04, ගීතාවලිය 24:07-10, හෙබ්‍රෙව් 02:14-18, ශු.ලූක් 02:22-40 )
සමිදුන් පුද දුන් මංගල්‍යය දිනයේදී ව්‍යවස්ථාවලියට අනුව මරිය-ජුසේ යුවළගේ කුලුඳුල් පුත්‍රයා වන ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේට කැප කිරීමත්, ව්‍යවස්ථාවලියට අනුව මරියතුමියගේ පවිත්‍ර කිරීමත් සිදුවිය.ව්‍යවස්ථාවලියට අනුව සෑම කුලුඳුල් පිරිමි දරුවෙකුම දෙවියන් වහන්සේට කැපය - ( නික්මයාම 13:02; 11-16 ).නමුත් දෙවියන් වහන්සේ විසින් ලෙවී ගෝත්‍රය දෙවියන් වහන්සේගේ පූජක සේවය සඳහා කැප කිරීමෙන් පසුව ( නික්මයාම 29:01-09 ) අනෙකුත් ඊශ්‍රායෙල් ගෝත්‍ර වල උපදින කුලුඳුල් පිරිමි දරුවන් පූජක සේවය සඳහා කැප කිරීමට අවශ්‍යය නොවීය. නමුත් මේ කුලුඳුල් දරුවන් සියලුදෙනා තවදුරටත් දෙවියන් වහන්සේගේ විශේෂ දේපළක් බව පෙන්වීම සඳහා ඔහුන්ව රිදී කාසි පහක් ගෙවීම මඟින් දෙවියන් වහන්සේගෙන් මුදවා ගැනීමේ පිළිවෙතක් සිදු කෙරුණි - ( ගණන් කතාව 18:15-16 ).එලෙසම ව්‍යවස්ථාවලියට අනුව ස්ත්‍රීයක් ගැබ්ගෙන පිරිමි දරුවෙකු බිහි කළහොත් ඇය දින 40 ක් අපවිත්‍ර වූ අතර, ඇගේ පවිත්‍ර වීමේ කාලය සම්පූර්ණ වූ පසු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ පූජකයා ඉදිරියේ බැටළුවෙකු, පරෙවියන් දෙදෙනෙකු හෝ කොබෙයියන් දෙදෙනෙකු පූජා කර පවිත්‍ර විය යුතුව තිබුණි - ( ලෙවී ව්‍යවස්ථාව 12:01-08 ).කෙසේ නමුත් ජේසුස් වහන්සේ හෝ මරියතුමිය මේ කිසිවක් කිරීම සඳහා බැඳී සිටියේ නැත.
ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේට අමුතුවෙන් කැප කළ යුතුව තිබුණේ නැත. පිළිසිඳුණු පළමු මොහොතේ සිටම ජන්ම දෝෂයෙන් නිර්දෝෂවත්, සදාකාලිකවම අනෙකුත් සියලුම පාප දෝෂ වලින් නිර්දෝෂවත් සිටි නිර්මල මරියතුමියට අමුතුවෙන් පවිත්‍ර වීමේ අවශ්‍යතාවක් තිබුණේ නැත. මේ පූජාවන් සිදු කළේ ස්ත්‍රීයක් ව්‍යවස්ථාවෙන් අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා පමණයි.එම පූජාවන් සැබෑ ලෙස සදාචාරාත්මක අපවිත්‍රතාවයක් හෝ වරදක් පිරිසිදු කිරීම කෙරෙහි සම්බන්ධතාවයක් දැක්වූයේ නැත: "එහෙත්, දැන් මිනිසුන් දමිටු බවට පමුණුවාලීම පිළිබඳ දෙවියන් වහන්සේගේ ක්‍රියා මාර්ගය එළිදරව් වී තිබේ.ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය ඊට සාක්ෂි දුන් නමුත් එය කිසිසේත් ව්‍යවස්ථාව පිට රදා නැත" - ( රෝම 03:21 ).කිසිදු පාප කැළලක් නොමැති ජේසුස් වහන්සේ ශුද්ධවූ ස්නාවක ජොහන් තුමාගේ අතින් පව් කමාව සඳහා වූ බෞතීස්ම ස්නාපනය ලබා ගත්තා නම්, කිසිදු පාප කැළලක් නොමැති නිර්මල මරියතුමියට පවිත්‍ර වීමේ පිළිවෙත් ඉටු කිරීමට නොහැකි වීමට විරුද්ධව ඇති බාධාව කුමක්ද එලෙසම තරුණ මරිය-ජුසේ යුවළ ජෙරුසලමේ දේව මාලිගාව වෙත ජේසු බිළිඳාණන් සමඟ පැමීණීමත්, වයෝවෘද්ධ සිමියොන් දිවැසිවරයාට හා අන්නා දිවැසිවරියට ජෙරුසලමේ දේව මාලිගාවේදී ජේසු බිළිඳාණන්ව මුණ ගැසීම ග්‍රීක කතෝලික සභාව සමරනු ලබන්නේ නව ගිවිසුම හා පුරාණ ගිවිසුම එකට හමුවීමක් ලෙසයි.
ජෙරුසලමේ විසූ සිමියොන් දිවැසිවරයා ඊශ්‍රායෙලයේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි බව සඳහන් වේ - ( ශු.ලූක් 02:25 ).මක්නිසාදයත් එකළ රෝම අධිරාජ්‍යයේ පාලනය යටතේ සිටි ඊශ්‍රායෙල් ජනතාව විශ්වාස කළේ ඔහුන්ගේ රජු හා ගැලවුම්කරු ලෙස මෙසියස් වහන්සේගේ පැමිණීම මඟින්, උන්වහන්සේ නැවත දාවිත්ගේ ශ්‍රේෂ්ඨ ඊශ්‍රායෙල් අධිරාජ්‍යය ස්ථාපිත කරනු ඇති බවයි.ඊශ්‍රායෙල් ජනතාවගේ දියසෙන් කුමාරයා වූයේ මෙසියස් වහන්සේය: "හෝසන්නා! සමිඳුන් නමින් වඩිනා මෙතුමාණන් හට ආසිරි වේවා!, අප පිය වූ දාවිත්ගේ මතු පැමිණෙන රාජ්‍යයට ආසිරි වේවා!, අති උසස් තැන්හි හෝසන්නා!" - ( ශු.මාක් 11:09-10 ).සිමියොන් දිවැසිවරයා කිසිදා ජේසුස් වහන්සේව හඳුනාගෙන නොතිබුණද ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් සිමියොන් හට ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ මෙසියස්වරයා බවට අනාවරණය කළේය.
සිමියොන් දිවැසිවරයා විසින් ජේසු බිළිඳාණන්ව තම දෝතින් වඩාගෙන, "ගැළවීම මාගේ දෙනෙතින් දිටිමි.එය සකල ජාතීන් අබිමුව කළ ගැළවීමද විජාතීන්ට එළිය දෙන ආලෝකයද ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ මහිමයද වේ"යි ( ශු.ලූක් 02:30-32 ) පැවසුවේ මෙසියස් වහන්සේ පිළිබඳ යෙසායා දිවැසිවරයාගේ අනාවැකි තම සිත තුළ මෙනෙහි කරමිනි: "සමිඳුන්ගේ තේජාලංකාරය එවිට එළිදරව් වන්නේය.සකළ මිනිස් වර්ගයා එය නරඹන්නෝය... යුක්තිය පිහිටුවනු පිණිස සමිදාණන් වන මම නුඹ කැඳවා ගතිමි.මම නුඹ අතින් ගෙන නුඹ හැඩ ගැසීමි.සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, සියලු ජාතීන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කළෙමි" - ( යෙසායා 40:05... 42:06 ).
තවද සිමියොන් දිවැසිවරයා ජේසුස් වහන්සේගේ අනාගතය පිළිබඳවද දිවැස් වැකි පළ කළේය: "මේ දරුවා ඉශ්රායෙල්හි බොහෝ දෙනෙකුගේ වැටීම හා නැඟීම පිණිසත්, ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වන පිණිසත්, නියම ව සිටී" - ( ශු.ලූක් 02:34 ).පුරාණ ගිවිසුමේ මලාකි දිවැසිවරයාද මේ පිළිබඳව කලින් පවසා ඇත.මලාකි දිවැසිවරයා පවසන පරිදි ජේසුස් වහන්සේ හදිසියේම දේව මාළිඟාවට වැඩම කරමින් රිදී උණු කර පිරිසිදු කරන්නාක් මෙන් ලෙවී පූජක පරපුර පවිත්‍ර කරනු ඇත - ( මලාකි 03:01;03 ).මක්නිසාදයත් ඊශ්‍රායෙල්හි පූජක පරපුර ඒ වනවිට ( ක්‍රි.පූ.460-450 ) අපවිත්‍ර වී තිබුණි. ඔහුන් දෙවියන් වහන්සේගේ පූජාසනය සුළු කොට තැකීය.උන්වහන්සේගේ පූජාසනය මත අන්ධ, කොර හා රෝගී සතුන් ඔව්හූ ඔප්පු කළෝය - ( මලාකි 01:07-08 ).එම පූජක වරුන්ගේ මේ අපවිත්‍ර පූජාවන් දෙවියන් වහන්සේට ප්‍රිය මනාප නොවීය.එසේම එම පූජකයින්ගේ නොමනා ඉගැන්වීම් නිසා දෙවියන් වහන්සේ ඔහුන්ව ඉවතට දැමීමට තීරණය කර තිබුණි - ( මලාකි 02:01-03 ).ජේසුස් වහන්සේ ලෙවී ගෝත්‍රයේ පූජක පරපුර පවිත්‍ර කළේ දෙවියන් වහන්සේගේ උත්තම පූජකයා ලෙස ( හෙබ්‍රෙව් 02:17 ) එම පූජක පරපුර ප්‍රතිස්ථාපනය කිරීමෙනි.
දෙවියන් වහන්සේගේ නිකැළැල් බැටළු පැටවා වන ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේට ප්‍රසන්න බිළිපඩුරක් බවට පත්වී කල්වාරි කන්දේ පූජාසනය මතදී පූජා විය: "උන්වහන්සේ රිදී උණු කර පිරිසිදු කරන කෙනෙකු මෙන් ලෙවී පුත්‍රයන් පවිත්‍ර කරන සේක. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ වෙත නියම පූජාවක් ගෙනෙන්නෝය.ජුදාවේ හා ජෙරුසලමේ සෙනඟ සමිඳාණන් වහන්සේ වෙත ගෙනෙන පූජා පෙර කාලයේදී මෙන් උන්වහන්සේට ප්‍රියමනාප වන්නේය" - ( මලාකි 03:03-04 ).මහා බ්‍රහස්පතින්දා දින ජේසුස් වහන්සේ දිව්‍ය සත්ප්‍රසාදය ස්ථාපිත කරමින් මෙම නව පූජාත්වරය ස්ථාපිත කළේය.එසේම මලාකි දිවැසිවරයා පවසන පරිදි නැගෙනහිර සිට බටහිර දක්වා දෙවියන් වහන්සේට පිදීමට නියමිත ප්‍රසන්න පූජාව, අපගේ දිව්‍ය පූජාව බව අපෝස්තුළුවරුන්ගේ ඉගැන්වීම් ඇතුළත් කිතුනුවන්ගේ මුල්ම ධර්මෝපදේශය වන "ඩිඩාචේ" ( Didache 14:1-3 ) ග්‍රන්ථයේ සඳහන් වේ: "ඉර උදාවන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති.
ඔව්හු සෑම තැනම සුවඳ දුම්ද පිරිසිදු පූජාද මට ඔප්පු කරති.සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති'යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක" - ( මලාකි 01:11 ).මේ පූජක හා පූජාවන් වල ප්‍රතිස්ථාපනය නිසා, "ව්‍යවස්ථාව හා ජෙරුසලම් දේව මන්දිරය, ඊශ්‍රායෙල්හි ආගමික නායකයන් විසින් ජේසුස් වහන්සේට එදිරිවාදිකම් එල්ල කිරීම සඳහා යොදා ගන්නා ලදී.මක්නිසාදයත්, දේව සැලැස්මේ මූලික ක්‍රියාවලියට අනුව ජේසුස් වහන්සේ පාපයෙන් මනුෂ්‍යයා ගළවා ගැනීමේ කටයුත්ත ඔහුන්ට නිතැතින්ම මඟ අහුරන ( බාධා පමුණුවන ) දෙයක්ම විණි" - ( ක.ස.ධ.587 ): "එහෙත්, උන්වහන්සේගේ පැමිණීමේ දවස උහුලන්න පුළුවන් කවරෙකුටද? උන්වහන්සේ ප්‍රකාශ වනවිට ගැළවී සිටින්න පුළුවන් කවරෙකුටද? උන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්න මෙන්ද අපුල්ලන්නෙකුගේ සබන් මෙන්ද වන සේක" - ( මලාකි 03:02 ).මේ නිසා ජේසුස් වහන්සේ ඊශ්‍රායෙල්හි උන්වහන්සේව ප්‍රතික්ෂේප කළ බොහෝ දෙනෙකුගේ වැටීමටද, ඊශ්‍රායෙල්හි උන්වහන්සේව අදහා ගත් බොහෝ දෙනෙකුගේ නැගීමටද ප්‍රතික්ෂේපයට ලක් වන දේව සලකුණක් වීමටද නියමව සිටියේය.
එසේම සිමියොන් දිවැසිවරයා ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැනද, මරියතුමියගේ දුක් ප්‍රාප්තිය ගැනද අනාවැකි පළ කළේය: "එසේය, ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිසය" - ( ශු.ලූක් 02:35 ). කුරුසියේ යාගය, දෙවියන් වහන්සේ සහ මනුෂ්‍යයන් අතර එකම මැදිහත්කරුවා වන ජේසුස් වහන්සේගේ අද්විතීය යාගයයි.අප හා සමානකම් එක්කර ගනිමින් මාංශගතවූ උන්වහන්සේගේ දිව්‍යමය ස්වරූපය නිසා ජේසුස් වහන්සේ එක්තරා ආකාරයකට තමන් වහන්සේව සියලු මනුෂ්‍යයන් හා සම්බන්ධ කර ගනියි - ( හෙබ්‍රෙව් 02:14-18 ). ක්‍රිස්තුන් වහන්සේ විසින්ම, "යමෙක් මා අනුව එන්න කැමැත්තේද, ඔහු තමකම නසා කුරුසිය දරමින් මා අනුව ඒවා!"යි ( ශු.මතෙව් 16:24 ) පවසමින්, අප වෙනුවෙන් දුක් විඳ උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස අපට ආදර්ශයක් දුන් සේක.ප්‍රථමයෙන්ම මෙය ඉතා උසස් ලෙස ළඟා කරගන්නා ලද්දේ, වෙනත් කිසිම පුද්ගලයකුට වඩා උන්වහන්සේගේ විමුක්තිදායක දුක් විඳීමේ අභිරහස තුළ උන්වහන්සේ සමඟ සමීප ලෙස සම්බන්ධ වූ උන්වහන්සේගේම ආදරණීය මෑණියන් වන මරියෝත්තමාවන්ය.
මහා දේවධර්මවේදි හිප්පොහි ශුද්ධවූ අගොස්තීනූ මුනිතුමා පවසන පරිදි, මරියාවන් බොහෝ භාග්‍යවත් වූයේ ජේසුස් වහන්සේගේ මෑණියන් වීමට වඩා ඕතොමෝ උන්වහන්සේගේ ප්‍රථම හා භක්තිමත් ශ්‍රාවකයා වීම නිසාය.එලෙසම ජේසුස් වහන්සේ තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් සාමාන්‍ය මිනිස් ජීවිත තත්වය හා බෙදාගෙන ජීවත් වූවා පමණක් නොව, තම උසස්කම ප්‍රකාශ නොකර සාමාන්‍ය කම්කරුවෙකු ලෙස ජීවත් විය.ඔහුන්වහන්සේ තම සැදැහැවත් ජීවිතය ගත කළේ දේව අණට කීකරු ජුදයෙකු වශයෙනි.එය සාමූහිකත්වයේ ජීවිතයකි.
කිතුනු අපේ දේවධර්ම දිනපොත
0 Comments