මේ අනුව පෙරදිගින් ආරම්භව පසුව ක්‍රමවත් නීති රාමුවක් තුළ ව්‍යාප්ත වූ තාපස ජීවිතය තුළ තාපසාරාම මුල් කරගෙන දේවස්ථාන සම්ප්‍රදායක් ආරම්භ විය. එහිදී මාඨාධිපතිතුමකු හෙවත් ඇබට්තුමකු යටතේ ක්‍රියාත්මක වූ ක්‍රමවේදයක් තුළ මේ තාපසාරාම ක්‍රියාත්මක කෙරිණි.
තාපසාරාමය සදහා යොදන වචනය පැමිණෙන්නේ μοναστήριον මොනාසියෙන් යන ග්‍රීක වචනයෙනි. එහි අරුත වන්නේ "තනිව ජීවත් වීමට" යන වචනය භාවිතා කළද පසුව යෙදෙන μόνος මොනොස් "තනිවම" යන වචනය මඟින් "යමක් කිරීමට ස්ථානයක්" දක්වයි. මේ අනුව පෙරදිග සභාව තුළ තාපසාරාම ගත ආරම්භ වූ තාපසාරාම දිවිය ශු. පැකෝමියස් මුනිතුමන් යටතේ වැඩි වර්ධනය වී , යුරෝපය තුළ ව්‍යාප්ත වූයේ ශු. මාටින් ද ටුවර්ස් මුනිතුමන් විසින් හතර වන ශතවර්ෂයේ දී ප්‍රංශයේ ආරම්භ කරන ලද තාපසාරාමයක් සමගය. එතුමෝ බටහිර ප්‍රදේශ කරා තාපස ජීවිතය ව්‍යාප්ත කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ බව සඳහන් වේ. එහෙත් මුළු යුරෝපයම ජනප්‍රියම වූ තාපස ජීවිතය වූයේ පස්වන සියවසේදී ශු. බෙනදික් තුමන් විසින් ආරම්භ කරන ලද තාපස ජීවිතය යි.
මාඨාධිපතිතුමා හෙවත් ඇබට්
මාඨාධිපතිතුමා හෙවත් ඇබට් යන්න ග්‍රීක වචනයෙන් ἀββᾶς (abbas) ලෙසද, ඇරමයික් භාෂාවෙන් אבא/ܐܒܐ ලෙස ද , ලතින් බසින් abbas ලෙසද ගලා එයි. එහි අර්ථය වන්නේ පිතෘවරයා හෙවත් පියාණන් වේ. ශු. සභා ඉතිහාසය දෙස බැලීමේදී මාඨාධිපතිවරු හෙවත් ඇබට්වරුන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් සියවස් ගණනාවක් තාපසාරාම තුළින් සභා නවෝදයකට මුලපිරු අතර මධ්‍යතන යුගය, වැඩවසම් සමාජය තුළ සභාව පාලනය කරන ලද්දේ ඔවුන් විසිනි. ඔවුන් වාසය කරන ලද ස්ථාන ඇබේ දේවස්ථාන හෙවත් මාඨාධිපති දේවස්ථාන වූ අතර පසුව ඒවා මාඨාධිපති ආසන දෙව්මැදුරු ලෙස ව්‍යවහාර වන්නට විය. කතෝලික සම්ප්‍රදාය තුළ තාපසාරාමයක ප්‍රධානියා මාඨාධිපතිතුමා හෙවත් ඇබට්තුමන් ලෙස හැදින්වූ අතර , තාපසිකාරාමයක ප්‍රධාන මවුතුමිය මාඨාධිපතිනිය හෙවත් ඇබස් ලෙස හදුන්වන්නට විය. අදත් ලොව පුරා බෙනදිකාන නිකාය, දිළිදු ක්ලාරා නිකාය වැනි තාපස නිකායන් වල මාඨාධිපතිතුමා සහ මාඨාධිපතිනිය යන ධූරයන් ක්‍රියාත්මක වේ. ලංකාවේ ද පවතී.
කිතුනු සම්ප්‍රදාය තුළ සියවස් ගණනාවක් තිස්සේ වර්ධනය වී තිබුණු පුරුෂ හා ස්ත්‍රී තාපස දිවිය මුල් යුගයේ සිටම විවිධ පැවිදි ක්‍රම වලින් ඔවුන් ලෞකික ලෝකයෙන් වෙන්ව ජීවත් වන හුදෙකලා පිරිසක් වූ අතර බොහෝ විට නාගරීකරණයෙන් මිදී ආරාමික පැවිදි දිවිය වැළද ගත්තවුන් සිටි ස්ථානය ඇබේ ලෙස හදුන්වනු ලැබීය.එය කිතුනු සම්ප්‍රදායානුකුල නිවහනක් වූ අතර අමුත්තන්ට විවෘත වී තිබුණි. දේවස්ථානය සහ තාපසාරාමය තුළ ශයනාගාරයක්, සක්මන් මළුවක් , ආපනශාලාවක් , පුස්තකාලයක් , ඖෂධ උයනක් සහ රෝහලක් අන්තර් ගත විණි. ඇබේ හෙවත් මාඨාධිපති ආසන දෙව්මැදුරු සම්ප්‍රදායක් සභාව තුළ 5 වන සියවසෙන් පසු ව්‍යාප්ත වන්නට වුයේ පෙර සදහන් කරන ලද තාපසාරාම සිඝ්‍රයෙන් යුරෝපය පුරා ප්‍රචාරය වූ නිසාය.
බෙනදිකාන තාපසවරුන්ගේ සුවිශේෂී දායකත්වය තුළ ගෝල් දේශය , ඇන්ග්ලෝ සැස්කන් වරුන් සුභාරංචිය දේශනා කිරීම මෙහිදී කැපිපෙනෙන ලක්ෂණයකි. ගෝත්‍රික ජනතාවට දේශනා කොට ඔවුන් සමාජගත කරන්නට බෙනදිකාන තාපසවරු ක්‍රියාකළ බව සදහන් වේ. යුරෝපයේ කෘෂිකර්මය සම්බන්ධයෙන් බෙනදිකාන තාපසවරුන්ගේ තවත් දායකත්වයක් ලෙස ගෝත්‍රික ජනතාව ගොවියන් බවට පරිවර්තනය කිරීම මෙහිදී කැපිපෙනෙයි. මෙම ජනතාව තාපසාරාමවලට සමීප ප්‍රදේශවල පදිංචි කරවා තම කෘෂිකාර්මික කටයතු වලට සහායකයන් ලෙස පත් කර දෙන ලදි. තැනින් තැන යන ගෝත්‍රික ජනතාවක් වීමට වඩා ගොවිතැන් කිරීම උසස් ජීවිත තත්ත්වයක් ඇති ජනතාවක් වන බව ඔවුනට පැහැදිලි කර දෙන ලදි. තාපසයෝ කැලෑ එළි පෙහෙළි කොට ඒවා විශිෂ්ට ගොවිබිම් ලෙස වෙනස් කළහ.
මොවුන් යුරෝපයේ කෘෂිකර්මය දියුණු කළ බව බොහෝ ඉතිහාසඥයන්ගේ අදහසකි. කෘෂිකර්මය හැර ඒ හා සමඟ සම්බන්ධ සියලූ ම අනෙකුත් කර්මාන්ත ද ගෝත්‍රිකයන්ට ඉගැන්වුහ. වැඩ ඉගැන්වුහ. ඒවා අතර මේසන් වැඩ, වඩු වැඩ සමඟ තවත් කුඩා කර්මාන්ත ද , ලෝහ වැඩ ආදිය ද විය. තාපසාරාම යුරෝපා ගෝත්‍රිකයන්ගේ තාක්ෂණික පාසල විය. මේ නිසාම රෝමානු මෙන්ම පෙරදිග ප්‍රදේශ වල පැවති ගෘහ නිර්මාණ සම්ප්‍රදායන් ද, බලකොටු හෙවත් කාසල් නිර්මාණය කරමින් අභිනව සංස්කෘතියකට මුලපුරන ලදී. සියලූ ම තාපසයෝ සියලූ ම රැකියා සහ ක්‍රියාවන් සම තත්ත්වයකින් සැලකූ හ. මොවුහු සත්ත්ව පාලනයද, කිරි දෙවීම, මීමැසි පාලනය,ගොයම් කැපීම, සීසෑම, ගොයම් පෑගීම, කම්මල් වැඩ, මිදි යුෂ සැකසීම වැනි වෘත්තීන්හි නිරත වු හ. මෙහි උගත් තාපසයන් සහ නූගත් තාපසයන් විසූ අතර නූගත් පෙර සඳහන් කරන ලද කර්මාන්ත වල නියැලුණු අතර , උගත් තාපසයෝ ශුද්ධ බයිබලය සහ සෙසු ආගමික ග්‍රන්ථ අත් පිටපත් කරමින් ද , රජකුමාරවරුන් ඇතුළු ඉගෙනීමට දක්ෂ දරුවන්ට උගන්වමින් , ජනවන්දනාව ස්ථාපනය කරමින් , ශුද්ධවූ සංගීතය සහ කිතුණු සම්ප්‍රදායන් පිළිබඳ මනා දැක්මක් ජනතාව තුළ රෝපණය කරන්නට උත්සුක වූ බව සඳහන් වේ. මේ නිසාම බොහෝ රටවල සහ නොයෙක් නොයෙක් ප්‍රාන්ත වල රජවරුන් ද, පාලකයන් සිය දරුවන් හට අධ්‍යාපනය ලබාදීම සඳහා යොමු කරන ලද්දේ තාපසාරාම වෙතය. එම නිසාම ශතවර්ෂ ගණනාවක් තාපසාරාම යුරෝපයේ අධ්‍යාපනයේ හිනිපෙත බවට පත්විය.
ඇබේ දේවස්ථාන හෙවත් මාඨාධිපති ආසන දේවස්ථාන
ඇබේ දේවස්ථාන හෙවත් මාඨාධිපති ආසන දේවස්ථාන යනු කතෝලික සභා සම්ප්‍රදාය තුළ විශේෂිත දේවස්ථාන වර්ගයකි. එය රදගුරු පදවියක කොටසක් නොවන නමුත් සුවිශාල ප්‍රදේශයක් භාරව ක්‍රියාකරන මාඨාධිපතිතුමන් abbot nullius ලෙස හැඳින්වේ. මෙය පදවියේ රදගුරුතුමකුගේ කාර්යය හා සමාන වන අතර එතුමන් පුජකවරය හැර සෙසු සක්‍රමේන්තු මෙන්ම සාසන නීතියට අනුව තාපසවරුන්ගේ වේදභාරයන් භාර ගැනීමටද හැකියාවක් පවතී. තවද රදගුරු වසම් ස්ථාපනය වීමට පෙරාතුව එක් එක් ප්‍රදේශ පාලනය කරන ලද්දේ තාපසාරාම තුළ විසු ඇබට්වරුන් විසිනි. මෙම ප්‍රදේශ Abbot-nullius ලෙස හදුන්වනු ලැබිය.
එනම් ඇබට්තුමන් යටතේ ක්‍රියාත්මක වන ප්‍රදේශ ලෙසය. යුරෝපයේ එංගලන්තය, ඉතාලිය, ජර්මනිය , ප්‍රංශය ... වැනි බොහෝ රටවල මෙම සම්ප්‍රදාය සියවස් ගණනාවක් පැවති අතර අදත් ඉන් කීපයක් ක්‍රියාත්මක වේ. රදගුරු වසම් භාරව ක්‍රියාකරන ලද ඇබට්වරුන් රදගුරුතුමන්ලා මෙන් skullcap නම් දම් පැහැති කුඩා හිස්වැස්ම පළදිති. සෙසු ඇබට්වරු යනු abbot nullius diœceseos එනම් රදගුරු පදවි නොමැති ඇබට්වරුන්ය. ඇබට්වරුන් පත්කිරීම සහ පදවිප්‍රාප්ත වීම සදහා වෙනම පිළිවෙතක් ඇති අතර එතුමන්ලා ද රදගුරුතුමන්ලා මෙන්ම මකුටය, මුදුව, යෂ්ටිය සහ කරේ කුරුසිය ද පළදිති. ඇබට්වරයෙකු පදවිප්‍රාප්ත රදගුරුතුමකු ඉදිරියේ වන අතර 1995 වසරේ දී ලංකාවේ ද මහනුවර ආසන දෙව්මැදුර තුළ ඇබට්වරයෙකු මහනුවර රදගුරුතුමන් ඉදිරියේ පදවිප්‍රාප්ත වුණි. ශ්‍රී ලංකාව තුළ මාඨාධිපතිවරු හෙවත් ඇබට්වරුන් සතර දෙනෙකු සේවය කර ඇත. ඉන් එක් අයෙකු අප දේශයේ අයෙකු වීමද සුවිශේෂී වේ. ඒ අය වන්නේ
සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික මාඨාධිපති අති උතුම් නීරෝ ගැස්පාර් හිලේරියන් සිල්ලානි හිමිපාණෝ
සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික මාඨාධිපති අති උතුම් ලියෝ ජියාකොමෝ චින්ගෝලානි හිමිපාණෝ
සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික මාඨාධිපති අති උතුම් ඔගස්ටින් කොරෝනාටෝ ප්‍රන්කාසී හිමිපාණෝ
සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික මාඨාධිපති අති උතුම් ඇන්සලම් වීරසිංහ හිමිපාණෝ
මහනුවර ශා. අන්තෝනි දෙව්මැදුර ප්‍රථමයෙන් ඇබේ දේවස්ථානයක් හෙවත් මාඨාධිපති ආසන දේවස්ථානයකි. මහනුවර ශා. අන්තෝනි දෙව්මැදුර ප්‍රථමයෙන් ඇබේ දේවස්ථානයක් හෙවත් මාඨාධිපති ආසන දේවස්ථානයකි. එය ඉදිකරන ලද්දේ ගෞ. ලියෝ චින්ගෝලානි ( සා.බෙ.නි.) පුජාප්‍රසාදීන් වහන්සේ විසිනි. මහනුවර සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික තාපසාරාමය ඉදිකිරිම සදහා ( මිට පෙරාතුව එය කොළබ ශා. ලුසියා ආසන දෙව්මැදුර ආශ්‍රිතව පැවතුණි.) ක්‍රි.ව. 1873 ඔක්තෝබර් මස 05 වන දින මුල්ගල් තැබුවේ මෙතුමන් විසිනි. ඉතා කෙටි කලකින් මෙම තාපසාරාමය ඉදිකොට ක්‍රි.ව. 1874 දෙසැම්බර් මස 30 වන දින එවකට ලක්දිව ලක්දිව දකුණු අනුපදවියේ රදගුරු සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික අති උතුම් හිලේරියන් සිල්ලානි (සා.බෙ.නි.) හිමිපාණන් ආසිරි ගන්වා විවෘත කරන ලදී.
මෙම සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායික තාපසාරාමය ආශ්‍රිතව එවකට කුඩා දේවස්ථානයක් ව පැවති මහනුවර ශා. අන්තෝනි මුනිතුමන්ගේ දේවස්ථානය සුවිශාල කිරීමේ සැලසුමක් ද ගෞ. ලියෝ චින්ගෝලානි පුජාප්‍රසාදීන් වහන්සේ තුළ තිබිණි. එය පසුකාලීන ප්‍රථමයෙන් මාඨාධිපතිතුමන්ගේ (ඇබට්) ආසන දෙව්මැදුරක් වී පසුව එය මහනුවර රදගුරු වසමේ ආසන දෙව්මැදුර ලෙස ස්ථාපනය විය. දැනට ලෝ පුරා ඇබේ දේවස්ථාන 1000කට වඩා සංඛ්‍යාවක් ස්ථාපිතව ඇත. ඉන් ඇතැම් ඇබේ දේවස්ථාන එංගලන්ත සභාවට අයත් වන අතර ඉන් සුප්‍රකට ඇබේ දේවස්ථානය ලෙස Westminster Abbey නම් කළ හැකිය. මෙයද බෙනදිකාන තාපසාරාමයකි.
ලංකාව තුළද සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකාය යටතේ මහනුවර ශා. අන්තෝනි දෙව්මැදුර ඇබේ දේවස්ථානය අතීතයේ දී මෙහි රදගුරුතුමාගේ ආසනය එක් කොටසකද, මාඨාධිපති ආසනය තවත් කොටසකද පැවති බව සදහන් වේ. ක්‍රි.ව. 1963 නොවැම්බර් මස 27 වන දින , ශුද්ධාසනය වෙත දන්වන ලද අනුමැතියක් ඇතිව එවකට මහනුවර රදගුරු හිමිපාණන් සහ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායේ ඇබට් ජෙනරාල් හිමිපාණන් සමග ඇති කර ගත් එක`ගතාවයකට අනුව මහනුවර ශා. අන්තෝනි ආසන දෙව්මැදුර නිල වශයෙන් මහනුවර රදගුරු වසමේ භාරකරිත්වයට පවරා දී වහකෝට්ටේ ශා. අන්තෝනි මුනි සිද්ධස්ථානය නිල වශයෙන් සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායට පවරා දෙනු ලැබීය. ඒ අනුව එතෙක් පැවති මාඨාධිපති (ඇබට්) ආසන දෙව්මැදුර ලෙස සැලකු මහනුවර ශා. අන්තෝනි මුනිතුමන්ගේ ආසන දෙව්විමන මහනුවර රදගුරු වසමේ ආසන දෙව්මැදුර ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.
සටහන - අසේල දසනායක
0 Comments