BLANTERORBITv101

වැඩවසම් ක්‍රමය තුළ විකාශනය

"වැඩ" යනු සේවයයි. "වසම" යනු භූමි භාගයයි. ඒ අනුව වැඩ හෙවත් සේවය හා බැඳුණු ඉඩම හෙවත් භූමි භාගය "වැඩ වසම" ලෙස හැඳින්වේ. යුරෝපයේ දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික ආදී සියලු ක්ෂේත්‍ර වලට බලපෑමක් එක් කරන්නට වැඩවසම් ක්‍රමය පදනමක් වූ බව කිව යුතුමය. මධ්‍යකාලීන යුරෝපයේ සෑම රටකම පාහේ රජුගේ ඉඩම් භුක්ති විදී ප්‍රභූවරු හෙවත් රදලයින් රජුට සේවය කළෝය. රදළයින්ගේ ඉඩම් භුක්ති විඳි සාමාන්‍ය ජනතාව ඒ වෙනුවෙන් රදලයින් ට සේවය කළහ. කිසියම් පුද්ගලයෙකු විසින් ඉටුකරන ලබන සේවයක් සඳහා ඔහුට වැටුප වශයෙන් ඉඩම් ලබාදීම හා ඒවා භුක්ති විදිමින් ඔහු අඛණ්ඩව සේවය සැපයීමේ ක්‍රමය වැඩවසම් ක්‍රමය ලෙස දැක්වේ. මධ්‍යකාලීන යුරෝපයේ සෑම රටකම පාහේ පොදුවේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ බව සඳහන් වේ. ඒ අනුව මධ්‍යකාලීන යුරෝපයේ සියලූ රටවල පැවති දේශපාලනික, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික ආදී සියලු ක්ශෙත්‍ර වැඩවසම් ක්‍රමයට අනුව හැඩ ගැසී තිබිණි. ඒවා පැරණි යුගයෙන් නූතන යුගයට ද වෙනස්ව කැපී පෙනුණු විශේෂ ලක්ෂණ වලින් යුක්ත විය. 

යුරෝපයේ වැඩවසම් ක්‍රමය ආරම්භ වූයේ රෝම අධිරාජ්‍යය බිඳ වැටුණු ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසෙන් පසුවය. වැඩවසම් ක්‍රමයේ ආරම්භය ට තුඩු දුන් ප්‍රධානතම හේතුව වූයේ විදේශ ආක්‍රමණ යයි.  පස්වන සියවසේ සිට 10 වන දහවන සියවස දක්වා කාලය යුරෝපයට විදේශ ආක්‍රමණ මාලා දෙකක් එල්ල විය. එනම් රෝම අධිරාජ්‍යයට විසිගොත්වරුන් , හන්වරුන් , ප්‍රෑන්ක්වරුන් ,  ස්ලාව්වරුන් , ඇංග්ලෝසැස්කන්වරුන් ආදි වූ ගෝත්‍ර ජනතාවගෙන් එල්ල වූ ආක්‍රමණ ප්‍රථම ආක්‍රමණ සමූහයයි. ඔවුන් පැමිණියේ එදා රෝම අධිරාජ්‍යය යටත් කොට ගත නොහැකි වූ වර්තමාන ජර්මනියට අයත් ප්‍රදේශ තුළිනි. ක්‍රි.ව. 1000 දී පමණ  උතුරේ මිනිසුන් හෙවත් වයිකින්වරුන් ලෙස හඳුන්වනු ලැබූ ගෝත්‍රික ජනතාව එල්ල කළ ආක්‍රමණ දෙවන ආක්‍රමණ සමූහයයි. ඔවුන් පැමිණියේ නෝර්වේ , ස්වීඩන් ,ඩෙන්මාර්ක් යන ප්‍රදේශ වලිනි. මෙසේ විදේශ ආක්‍රමණය නිසා රෝම අධිරාජ්ය බිඳ වැටෙද්දී ජනතාවට ආරක්ෂාව සැලසීමට පාලකයෝ අසමත් වූහ. ඒ නිසා ජනතාව විශාල වශයෙන් ඔවුන් සතුව තිබූ ඉඩම් අසල්වාසී වංශාධිපති වරුන්ට පවරා ඔවුන්ට සේවය කිරීමට පොරොන්දු වී ඒ වෙනුවට ඔවුන් ගෙන් ආරක්ෂාව පැතූහ. ඒ අනුව මුලදී වංශාධිපතිවරුන් අත්පත් කොට ගත්තේ රෝම අධිරාජ්‍යය අවධියේ ජනතාව සතුව පැවති ඉඩම් ය. රජවරුන් දුර්වලව සිටි බැවින් ඔවුන්ගේ රාජ්‍ය බලය ආරක්ෂා කොට ගැනීම සඳහා ද වංශාධිපති වරුන්ගේ සහයෝගය අවශ්‍ය විය. 

ඒ අනුව රජවරුන් සතුව තිබූ ඉඩම් කොටස් වශයෙන් විවිධ වංශාධිපති වරුන්ට පවරා ඒවා භුක්ති විදීම වෙනුවෙන් රජුට අවශ්‍ය සේවාවන් ඉටු කරවා ගන්නා ලදී. මෙම ඉඩම්  වංශාධිපතිවරුන්ට පවරා දීම සහ ඒ වෙනුවෙන් ඔවුන් විසින් ඉටු කළ යුතු සේවාවන් පැහැදිලි කොට ගැනීම යන අවස්ථා හා සම්බන්ධ සිරිත් විරිත් සමූහයක්ද ගොඩනැගිණි. මෙම ගනුදෙනු හා සම්බන්ධතා පිළිබඳව ලේඛන කිසිවක් නැතත් අඛණ්ඩව ක්‍රියාත්මක කළ සම්ප්‍රදායන් අනුව ඒවා සිදුවිය. ක්‍රි.ව. පස්වන සියවසේදී රෝම අධිරාජ්‍යයට සහ ඊට පසුව දස වන සියවසේ දී ප්‍රංශය වටා ගොඩ නැගී තිබුණු ප්‍රෑන්ක් අධිරාජ්‍යට එල්ල වූ විදේශීය ආක්‍රමණ හේතුකොටගෙන කරුණු කීපයක් ඉස්මතු විය. මේවා සභාව කෙරෙහි කෙරෙහිද බලපාන්නට විය. ඒ අනුව දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීම, රජවරුන් දුර්වල වීම, යුරෝපය පුරා පදිංචි වූ ගෝත්‍ර ජනතාව අතර විධිමත් පාලන ක්‍රම නොතිබීම, යුරෝපය පුරා ව්‍යාකූල තත්ත්වයක් ඉස්මතු වීම සහ ජනතාවට ආරක්ෂාවක් අවශ්‍ය වීම යන පසුබිම යටතේ අලුත් ක්‍රමයක් ගොඩ නැගිණි. මුදල් ගනුදෙනු සිදු නොවන ඉඩම් භුක්තිය වෙනුවෙන් සේවය ඉටු කරනු ලබන ක්‍රමයක් වූ එය වැඩවසම් ක්‍රමය ලෙස හැඳින්වේ. 

වැඩවසම් ක්‍රමයේ විශේෂ ලක්ෂණ වූයේ ඉඩම් ප්‍රධාන නිෂ්පාදන සාධකය වීමය.  ඒ අනුව ගොවිතැන් කටයුතු ආර්ථික ක්‍රමයේ පදනම විය. ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් පැවැත්වුණු අතර එහි නගර නොවීය. මුදල් හුවමාරුව සීමිත වූ අතර වෙළඳ කටයුතු පැවතියේ ඉතා ස්වල්ප වශයෙනි. ඒවා අද ක්‍රියාත්මක වූයේ භාණ්ඩ හුවමාරුව මගිනි. ගොවිතැන සඳහා යොදාගත් ඉඩම් වලින් යුක්ත ඒකකය " ප්‍රවේණිය " ලෙස හැඳින්විණි. එහි ජනතාවට අවශ්‍ය දර, මී පැණි, දඩමස් සපයා ගැනීම සඳහා වනාන්තරද සතුන්ට තණ කැවීම සඳහා තණ බිම් ද පොදුවේ තිබිණි. ප්‍රදේශයේ ඉඩම් සියල්ල වංශාධිපති වරයකුට අයිති විය. ඇතැම් විට තාපසාරාම වලට සහ කන්‍යාරාම වලට ද අයිති විය. මෙම ඉඩම් හිමියන් ඒවා වගා කොට යැපීම උපයාගැනීම සඳහා  සාමාන්‍ය පුද්ගලයන්ට පවරා දී තිබිණි. ඔවුන් ප්‍රවේණි දාසයන් ලෙස හැඳින්විණි. 

ප්‍රවේණි දාසයා තමාට යැපීමට ඉඩම් ලබා දුන් වංශාධිපතියාට ඒ හිලව්වට නොමිලේ සේවය කළ යුතු වූ අතර , ප්‍රවේණි දාසයන් විසින් වංශාධිපති වරයාගේ ඉඩමේ  වගාකොට විය යුතු වගා කොට දිය යුතු විය. එසේම වසරේ නොයෙක් කාල වකවානුවලදී අස්වැන්නෙන් කොටසක් හෝ බදු මුදලක් රජුට  හා වංශාධිපති වරයාට ගෙවිය යුතු විය. එසේම සභාවටද බද්දක් ගෙවිය යුතු විය. ප්‍රවේණිය තුළ වංශාධිපති වරයාට සුවිසල් මන්දිරයක් විය. එය කාසල් නමින් හඳුන්වනු ලැබීය. නගරයේ උසම ස්ථානයේ දේවස්ථාන විය. ඊට අමතරව ඇතැම් වංශාධිපති මන්දිරවල කුඩා කුඩා දේවස්ථාන ද ඉදි වෙමින් තිබිණි. සෑම ප්‍රවේණියක් තුළම  වයින් සාදන යන්ත්‍ර, තිරිඟු අඹරන මෝල, පාන් සාදන බේකරිය වංශාධිපති වරයා සතු වූ අතර ප්‍රවේණි දාසයන් වියදම් ගෙවා ඒවායේ සේවය ලබාගත යුතු විය. මෙහිදී වැඩවසම් සමාජයේ ආර්ථිකය හෙවත් ප්‍රවේණිය තුළ ආර්ථික ක්‍රමය ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් විය.

රටේ ඉඩම් සියල්ල රජු සතු වූ බව පිළිගැනිණි. එහෙත් රජවරු බලවත් නොවූ අතර රජුට අවශ්‍ය සේවය ලබාගැනීම සඳහා වංශාධිපතිවරුන්  මූ ප්‍රාදේශීය පාලකයන් හට රජ විසින් ඉඩම් ලබා දෙන ලදී. ඒ අනුව වංශාධිපතිවරු විශාල ඉඩම් හිමියෝ වූහ. රටේ විවිධ ප්‍රදේශවල ප්‍රවේණි වශයෙන් ඉඩම් හිමි කොටගෙන සිටි වංශාධිපති ප්‍රාදේශිය පාලකයෝ බලවත් වූහ. ඔවුහු තම ප්‍රදේශවල නීති පැනවීම, බදු අය කිරීම, අධිකරණ කටයුතු ඉටු කිරීම වැනි පුළුල් බලතල ක්‍රියාත්මක කළහ. හමුදා ගොඩනැගීමේ හා ඒවා නඩත්තු කිරීමේ බලය තිබුණේ ද වංශාදී වංශාධිපතිවරුන්ට ය. රජුට හමුදාවක් අවශ්‍ය වූ අවස්ථාවලදී ඒ සඳහා ප්‍රාදේශීය පාලකයන් මත යැපීමට සිදු විය. රජු ඔවුන්ගෙන් තමාට අවශ්‍ය හමුදාව ඉල්ලා ගත යුතු විය. වැඩවසම් දේශපාලන ක්‍රමය ශක්තිමත් රාජාණ්ඩු නොමැති, ප්‍රාදේශීය පාලකයන් බලවත් වූ ක්‍රමයක් විය. එම නිසා වංශාධිපති දේශපාලකයෝ තම බලය පුළුල් කර ගැනීම සඳහා නිතර ඔවුනොවුන් අතර සටන් කළහ. 

ඒවා ද්වන්න සටන් ලෙස හැඳින්වේ. මීට අමතරව තාපසාරාම තුළ හා තාපසිකාරාම තුළ ඇබට්වරුන් යටතේ ද මාඨාධිපතිවරියන් යටතේ ද මෙවැනි පාලනයක් තිබූ අතර බොහෝ වංශාධිපති පවුල් වල සාමාජිකයෝද තාපස, තාපසිකාවන් වී මේවායේ ශ්‍රේෂ්ඨ ධුරය දැරූ හ. මෙම සමාජය තුළ රජු ,රදලයින් , සභාව හා සාමාන්‍ය ජනතාව ලෙස කැපී පෙනෙන තරාතිරම් හතරක් විය. සමාජ අසමානතාවය දක්නට තිබූ අතර උත්පත්තිය අනුව ඔවුන් උස් පහත් වශයෙන් බෙදන ලද්දේය. උත්පත්තියෙන් උසස් ලෙස සැලකුණු වංශාධිපතිවරු රජු රදලයන් සහ ඇතැම් පුජක පිරිස් එම කොටසට අයත් විය. සමාජයේ පහත් පන්තිය ලෙස සැලකෙන සාමාන්‍ය ජනතාව ප්‍රවේණි දාසයෝ වූහ. වංශාධිපතිවරු සුවිසල් මන්දිර වල සුඛෝපභෝගී ජීවිත ගත කළ අතර ප්‍රවේණි දාසයෝ කුඩා පැල්පත් වල ඉතා දුක්ඛිත ජීවිත ගත කළහ. කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ ප්‍රවේණිදාසයන් විසින් රජුට , වංශාධිපති වරුන්ට සහ සභාවට බදු ගෙවිය යුතු විය. වැඩවසම් සමාජයේ පුද්ගලයා වැදගත් නොවීය. පොදු බව හා සාමූහිකත්වය එහි ලක්ෂණය විය. මේ කාලයේදී බොහෝ දේවස්ථාන ඉදිවුණු අතර එක් එක් ග්‍රාමයන්හිද  වංශාධිපතිවරුන්ගේ  බලකොටු තුළද   ඇතැම් රජවරුන්ගේ පෞද්ගලික අවශ්‍යතා මතද මේ කාලයේ දේවස්ථා ඉදිවීම් දක්නට ලැබුණු ලක්ෂණයක් විය. 

මේ නිසාම රජවරුන්ගේ සහ වංශාධිපති වරුන්ගේ බව්තීස්ම-ස්නාපනය සිට මරණය දක්වාත්, සිය ජීවිතයේ විවිධ කඩඉම් සහ සක්‍රමේන්තු දායාද කිරීම් සඳහාත් සිය පෞද්ගලික දේවස්ථාන පරිහරණය කළ අතර, පසුව සිය දේහයන් මිහිදන් කිරීම සඳහා සිය බලකොටු වල තිබූ දේවස්ථාන වල හෝ එහි වටපිටාව තුළ එම සිරුරු මිහිදන් කිරිමේ  සම්ප්‍රදායක් ද මේ කාලයේදී ආරම්භ වන්නට විය. ඇතැම් වංශාධිපති වරුන්ගේ පෞද්ගලික දේවස්ථාන සහ ඒ හා බැඳුණු සොහොන් කොත් තවමත් දක්නට ලැබේ.  ආත්මික කටයුතුවලදී ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රධාන කොටගත් ශු. සභාව ප්‍රමුඛස්ථානය ගත් අතර අධ්‍යාපන කටයුතුද සභා කේන්ද්‍රගත විය. මනුෂ්‍යයන්ගේ ජීවිත  ආගමානුකූලව හැඩගස්වා තිබිණි. විශේෂයෙන් මේ කාලයේ දී තාපස තාපසිකාවන්ගෙන් ලද දායකත්වය කිව යුතුමය.  සංගීත, නාට්‍ය ,චිත්‍ර ,ප්‍රතිමා ආදී කිසිදු සංස්කෘතික අංශයකින් ලෞකික රසාස්වාදනය ඉස්මතු නොකෙරිණි. ඒවායේ ද ඉස්මතු වූයේ කිතුනු සලකුණු පමණි. සාමකාමීව සහ සහජීවනයෙන් යුතු සදාචාරාත්මක ජීවිත ගත කිරීමට ජනතාව හුරු පුරුදු වී සිටියෝය. වැඩවසම් ක්‍රමය පරිහානියට පත් වූයේ දහතුන්වන සියවසේ දී ආරම්භ වූ කුරුස යුද්ධ සමගය. 

ඒ හා සමගාමීව ඉතාමත් උසස් දියුණුවක් මධ්‍යතන යුගයේ ඇතිවීම නොරහසකි. ඉතා ප්‍රබල කිතුනු සාන්තුවරයන් හා උගතුන් බිහිවිය. කිතුනු සංස්කෘතිය කිතුනු කලාවේ, සාහිත්‍යයේ, වාස්තු විද්‍යාවේ හා දේවධර්මයේ ඇතිවූ දියුණුවේ ආභාෂයෙන් පොහොණිවිය. නව පැවදි නිකායන් බිහිවූ අතර පැවති පැරණි පැවදි පංති හා නිකායන් ප්‍රතිසංස්කරණය විය. එය සභාවට නව ජීවිතයක් ගෙන දෙන්නට විය. විටෙක මෙම යුගය තුළ සභාවේ බිඳවැටීමක් ඇතිවූවද දේව අනුග්‍රහයෙන් ඒවා ජයගන්නට සභාවට හැකිවිය. දේශපාලන බලවේගයන් සභාව යුරෝපයෙන් පිටත ධර්මදූත කටයුතු සඳහා සීමා මායිම් පැමිණෙව්වද යුරෝපය තුළ කිතුනු සභාව ශක්තිමත් කිරීමෙහිලා එය අවස්ථාවක් විය. මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණයන් හමුවේ තනියම කිතුනු ඇදහිල්ල ආරක්ෂාකර ගැනීමට නැගෙනහිර සභාවට ද අවස්ථාවක් උදාවිය. 

සටහන - අසේල දසනායක