BLANTERORBITv101

පෙරදිග සභාව

නැගෙනහිර ප්‍රදේශයේ ගිහි පැවිදි වශයෙන් වැඩි පරතරයක්  නොවූ අතර ශු. සභාව හා රජය අතර ද, එතරම් දූරස්තභාවයක් නොපැවැතිණි. මෙම සබැඳියාව මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණ තෙක් ම නැගෙනහිර අධිරාජ්‍යය තුළ පැවතිණි. බොහෝ අධිරාජ්‍යවාදීන් දේව ධර්මවේදීන් හා සභා පාලකයන් ලෙස ක්‍රියා කළ අතර ඔවුහු රදගුරුවරුන් නම් කිරීම හා නෙරපා දැමීම පවා සිදු කළ හ. නැගෙනහිර සභාවේ නැතහොත් "බිසන්තීනු සභාවේ" තත්ත්වයෙන් උසස් හා තේරුම් සහිත නමස්කාර පිළිවෙත් ක්‍රම වැඩිදියුණු කර ගැනීම සිදු විය. (එම පිළිවෙත් ක්‍රම අද වන තෙක් ම පවතියි.) 

එම පිළිවෙත්වල දේව අභිරහස්වල ශුද්ධ වූ භාවය පිළිබද වැඩි අවධානයක් යොමු විය. ජනවන්දනා උත්සව හා වත්පිළිවෙත් දැකුම්කලු හා නාට්‍යමය ස්වරූපයක් ගන්නා ලදී. ඔවුන් තමන්ට ආවේණික ජනවන්දනා වත්පිළිවෙත් හඳුන්වා දුන්නේ ය. ඒවා බටහිර (ලතින්) සභාවේ එවකට පැවති ජනවන්දනා ක්‍රමවලට වඩාත් වෙනස් ස්වරූපයක් ගත්තේ ය. නැගෙනහිර සභාව ද දේව මාතාවන්ට, සාන්තුවරයන්ට හා ශුද්ධ වූ ධාතූන්ට වැඩි භක්තියක් හා වන්දනා පූර්වක ගෞරවයක් දැක්වීය. විවිධ දිශා වලින් පැමිණි ගෝත්‍රික ආක්‍රමණය රෝම ශිෂ්ටාචාරය බිද දැමුවේය. එම ආක්‍රමණ යුගය යුරෝපිය ඉතිහාසයේ දැක්වෙන්නේ ‘අඳුරු යුගය’ වශයෙනි. රෝම අධිරාජ්‍යයේ අවසානයට මඟ පෑදුණේ එයිනි.

රෝම අධිරාජ්‍ය හා ශු. සභාව විවිධ අස්ථාවරතාවන්ට  මුහුණ දුන් අතර, මෙම යුගයේ මුල් කාලයේදී දී විවිධ හේතු නිසා සභාව තුළ පැවති දේව ධාර්මික හා ආධ්‍යාත්මික නවෝදයේ යුගයට (සභා පියවරුන්ගේ යුගයට) නැවතීමේ තිත වැටෙන්නට විය. අධිරාජ්‍යයේ නැගෙනහිර කොටස මුස්ලිම් ආක්‍රමණ නිසා අස්ථාවර භාවයට මුහුණ දුන් අතර, එරියන් වේද භේදිකයන් ව කතෝලික විශ්වාසය කරා ගෙන ඒමට ද  ශු. සභාවට හැකි විය.

සටහන - අසේල දසනායක