BLANTERORBITv101

රදගුරුධුරය බලසම්පන්න වීම



මේ කාලයේදී සභාව තුළ සංකේතාත්මකව සිදුවූ අංගයක් ලෙස රදගුරුධුරය බලසම්පන්න වීම නම් කළ හැකිය. ඊට ප්‍රධාන හේතුකාරකයක් ලෙස ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳවැටීමෙන් පසුව එහි පාලන බලය සභාවට ලැබීම නිසාය. ඒ හේතුවෙන් ශුද්ධෝත්තම පියතුමන්ගේ සහ රදගුරුවරුන්ගේ ආධ්‍යාත්මික බලයකට වඩා ලෞකික බලය වැඩි වර්ධනය වූ බව කිව යුතුමය. මේ හේතුවෙන් 4 වන සියවස දක්වා අපෝස්තුළුවරුන්ගෙන් පැවත ආ සභා මූලිකයෝ හෙවත් රදගුරු ධූරය යම් ආකාරයකට පරිහානියකට ලක් වූ බව සඳහන් වේ. රදගුරු ධූරය, රදගුරු වසම් ස්ථාපනය වීමට පෙරාතුව තාපසාරාම මුල්කරගත් මාඨාධිපති හෙවත් ඇබට් ධූරය සභාව තුළ ප්‍රබල ව ම බලසම්පන්න වී පැවතිණි.  රදගුරු ධුරය රදගුරු වසම් බොහොමයක් ස්ථාපනය වන්නට වූයේ මහා චාලීමේන් අධිරාජ්‍යයාගේ සුවිශේෂී දායකත්වයෙන් බව සඳහන් වේ. ශුද්ධ බයිබලයේ ඍජු පදනමක් මත අපෝස්තුලුවරුන්ගේ සම්ප්‍රදාය ඔස්සේ රදගුරු ධූරය හෙවත් සභා මූලික ධූරය ස්ථාපිත වූ බව සඳහන් වේ. මුල් ශත වර්ෂ කීපය පුරාම රදගුරුවරුන්ගේ අසමසම දායකත්වය සභාවට ලැබුණි. මේත් සමගම ශුද්ධවූ පේදුරු තුමාගේ අනුප්‍රාප්තිකයා හෙවත් රෝම රදගුරුතුමාට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි.

 මේ නිසාම පසුකාලෙක රෝම රදගුරු ධූරය ශුද්ධෝත්තම පියතුමා හෙවත් පාප් ධූරය දක්වා විකාශනය වූ බව සභා ඉතිහාසය ඉතිහාසයේ සඳහන් වේ. මූල් ශතවර්ෂ තුන තුළ අන්තියෝකියේ ශා. ඉග්නාසියුස් , ශු. බ්ලේස්, ශු. ඉරනේවුස් , ශු. සිමියොන් වැනි ප්‍රාණපරිත්‍යාගී රදගුරු චරිත ද , වේද භේද සමයේ දී සහ සභා සම්ප්‍රදායන් ලේඛනය කිරීමෙහිලා දායකත්වයක් දැක්වූ ශු. අතනාසියුස්, ශු. අම්බ්‍රෝසි, ශු. බැසිල් , ශු. අගුස්තීනු , ඇලෙක්සැන්ඩ්‍රියාවේ ශු. සිරිල් වැනි සභා පිය රදගුරු චරිත අපට දක්නට ලැබේ. ශු. සභාව තුළ රදගුරු තුමකුගේ කාර්යය වන්නේ ශුදාත්ම මගපෙන්වීම යටතේ අපෝස්තුළුවරුන්ගේ අනුප්‍රාප්තිකයකු වශයෙන් , ශුද්ධෝත්තම පියතුමන්ගේ අධිකාරි බලය යටතේ සදාතනික එඩේරාණන් වන ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයට ගනිමින් එතුමන්ගේ දූත කාර්යය ඉදිරියට ගෙන යමින් ආත්මික එඬේරෙක් වීමය. මේ ක්‍රිස්තුස් වහන්සේ විසින්ම තම අපෝස්තුළුවරුන් ට හා ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් ට පැවරූ ඔබ ගොස් සකල ජනයා හට සුභාරංචිය දේශනා කර ,දේව ජනතාව සත්‍යය තුළ ශුද්ධවන්ත කර , ඔවුන්ට ආධ්‍යාත්මික පෝෂණය ලබා දීමේ ධර්ම සේවාව දියත් කිරීම ය. එහෙයින් තමන් ලබන සුද් ආත්මානුභාවය හේතුවෙන් රදගුරු තුමකු සත්‍යය හා අධිකාරී බලය පෙරදැරි කරගත් විශ්වාසය ගුරුවරයෙකි. එම නිසා රදගුරුතුමා පදවියේ උත්තම පූජකයා ලෙස හඳුන්වනු ලබයි. තවද සක්‍රමේන්තු සියල්ලේම අධිකාරිත්වය ද රදගුරුතුමන් සතුය. එතුමන්ලා ප්‍රාදේශීය කිතුනු සංඝයේ ප්‍රධානියා වේ. ශු. සභාව තුළ පදවිය භාර රදගුරුතුමන්ලා හැරුණු කොට තවත් පිරිසක් වෙති. එම  රදගුරුතුමන්ලා වර්ග කිහිපයකට බෙදේ.  

1/ අග්‍රපීතෘ හෙවත් ප්‍රේත්‍රියාක් අගරදගුරුවරු

ක්‍රි.ව. 325 දී පවත්වන ලද නිසියානු මන්ත්‍රණ සභාව මගින් නිකුත් කරන ලද නිර්දේශයකට අනුව සභා මූලාරම්භයට අයත් වන සුවිශේෂී ප්‍රදේශ වල රදගුරුතුමන්ලා හට අග්‍රපීතෘ හෙවත් ප්‍රේත්‍රියාක් අගරදගුරුවරු ලෙස ගෞරව නාමයක් ලෙස පුදකරන ලදී. එනමුදු පෙරදිග සභාවල සුවිශාල ප්‍රදේශ සහ රදගුරු වසම් භාරව සිටින රතුගුරු තුමන්ලා හැඳින්වීමට මෙම නාමය භාවිතා කරයි. මුලින්ම මෙම නාමය ලබා දෙන ලද්දේ ජෙරුසෙලම, අන්තියෝකිය සහ ඇලෙක්සැන්ඩ්‍රියාව යන ප්‍රදේශ වල විසූ රදගුරුතුමන්ලා හටය. තවද බටහිර  සභාවේ ද ඇතැම් සුවිශේෂී නගර ඉලක්ක කර ගනිමින් ද ඒවාට පත්වන රදගුරුතුමන්ලා හැඳින්වීමට මෙම නාමය භාවිතා කරයි. දකුණු ආසියාවේ අග්‍රපීතෘ හෙවත් ප්‍රේත්‍රියාක් අගරදගුරු ධූරය හිමිව ඇත්තේ යටත්විජිතකරණය තුළ මුලින්ම ස්ථාපනය කරන ලද ගෝවේ අගරදගුරු වසමේ ය. මීට අමතරව නැගෙනහිර කතෝලික පිළිවෙත් සුරකින  කතෝලික අග්‍රපීතෘ හෙවත් ප්‍රේත්‍රියාක් අගරදගුරු ධූර සභා කීපයක් පවතී. එනම් අර්මේනියන් , කැල්ඩියන් , කොප්ටික් , මැරෝනයිට් ,  මෙල්කයිට් සහ බටහිර සිරියාන යන සභාවල මෙය ක්‍රියාත්මක වේ. 

2/ ප්‍රාදේශීය අගරදගුරුවරු හෙවත් මෙට්‍රොපොලිටන් 

සභා සම්ප්‍රදාය තුළ ප්‍රාදේශීය මට්ටමෙන් පවතින රදගුරු පදවි සහ එහි ප්‍රධාන රදගුරු වසම හඳුන්වනු ලබන්නේ මේ නමිනි. සභාව විකාශනය වීමත් සමඟම විශාල නගරවල රදගුරුතුමන්ලා හැඳින්වීම සඳහා මෙම වචනය භාවිතා කරන ලදී. සාසන නීතියට අනුව මේ පිළිබඳව හඳුන්වන්නේ සාසනික පළාත ලෙසය . අගරදගුරු පදවිය දරන රදගුරු තුමා එම ප්‍රදේශයේ ප්‍රධාන ප්‍රධානත්වය දරයි. ඒ අනුව ශ්‍රී ලංකාව ශාසනික ප්‍රදේශයකි. එම නිසා එම සභාවේ ප්‍රධානත්වය දරන්නේ කොළඹ පදවියේ අගරදගුරුතුමා ය. එම නිසා ලංකා කතෝලික සභාවේ ශ්‍රේෂ්ඨයාණන් ලෙස ධූරාවලිය තුළ ප්‍රධානත්වය හිමි වන්නේ කොළඹ අගරදගුරුතුමන්ටය.

සෙසු රදගුරුතුමන්ලා ට වඩා ප්‍රධාන නගරයක් ආශ්‍රිතව ගොඩනැගුණු අගරදගුරු පදවියක අගරදගුරුතුමා ට හැමවිටම විශේෂ සේවාවන් හා වගකීම් රාශියක් සභා නීතිය මගින් වෙන් කොට ඇත. ඒවා අතර අගරදගුරු පදවිය හා සම්බන්ධ පරිවාර රදගුරු පදවි තුළ කිතුනු විශ්වාසය හා විනය නිසි අයුරින් පිළිපදිනවා දැයි ? සොයා බැලීම හා එසේ නොවන්නේ නම් ශුද්ධාසනය ට දැනුම් දීම ද, පරිවාර රදගුරු පදවියක රදගුරුතුමකු නිසාම් බැහැදැකීම අතපසු කර ඇත්නම් ශුද්ධාසනයේ අනුමැතිය ඇතිව එම මීසම් බැහැදැකීම ද, යම්කිසි පදවිය ක පදවියේ රදගුරු නිලය හිස් වූ විට අභිනව රදගුරුතුමකු පත්වන තෙක් , සභා නීති ප්‍රකාර පදවි පරිපාලක තුමකු  පත්කරගැනීමට නොහැකි වුවොත් එම පත් කිරීම් සිදු කිරීම  අගරදගුරු තුමන්ගේ කාර්යයට පැවරේ. ( සාසන නීතිය 436)  එසේ වුවද අගරදගුරුතුමා ට අගරදගුරු තුමාට පරිවාර රදගුරු පදවි කෙරේ පාලනය කිරීමේ බලයක් නැත. හැම පදවියක් ම ප්‍රාදේශීය සභාවක් වන බැවින් ඒවාට ආවේණික වූ ස්වාධීනත්වයක් ඇත. එහෙත් යම් යම්කිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් අගරදගුරුතුමාට විශේෂ බලතල පැවරීමේ හැකියාව ශුද්ධාසනය සතුය. 

එම නිසා අගරදගුරු නිලය හුදෙක් නම්බු නාමයක්වත් , අන් පදවි සදහා පූර්ණ බලතල හිමි නිලයක් වත් නොව, ක්‍රිස්තියානි දයාවෙන් සමස්ත දේව ජනතාව වෙනුවෙන්  සිදු කරනු ලබන එඬේරික සේවයේ යෙදීමකි. ඒ සඳහා ලබන කැඳවීමකි. අගරදගුරුතුමා ශාසනික කතෝලික පළාත් සභාවේ ප්‍රධාන ප්‍රධානත්වය දැරූවත් නිල බලයෙන්ම එතුමෝ රාජගුරු මණ්ඩලයේ සභාපතිත්වයට පත් නොවෙයි. රාජගුරු මණ්ඩලය සඳහා සභාපති තුමකු තෝරා පත් කර ගනු ලබන්නේ රදගුරුතුමන්ලාගේ ඡන්දයෙනි. තවද ඉහත සඳහන් කරන ලද ශාසනික කතෝලික පළාත් සභා හැරුණු කොට අගරදගුරු තුමකු පත්වීමට තවත් හේතු කාරණා පවතී. ඒවා අතර ශුද්ධාසනය වෙනුවෙන් අපෝස්තලික තානාපති ධුරය දරන්නන්, ශුද්ධාසනයේ විවිධ අවශ්‍යතා මත විශ්ව සභාව තුළ විවිධාකාර සේවාවේ නිරත වන්නන් හට ද අගරදගුරු ධූරය ධුරය පිරිනමනු ලබයි. එහෙත් පල්ලියුම් නැමැති පළඳනාව පළදිනු ලබන්නේ ශුද්ධෝත්තම පියතුමා සහ ශාසනික  ප්‍රාදේශීය  හෙවත් මෙට්‍රොපොලිටන් අගරදගුරුවරු පමණකි. 

3/ යුවරදගුරු හිමිපාණන් හෙවත් Coadjutor රදගුරු තුමා

යුවරදගුරු හිමිපාණන් හෙවත් Coadjutor රදගුරු තුමන් ලෙස හඳුන්වනු ලබන්නේ , යම්කිසි රදගුරු පදවිය රදගුරු ධුරය හොබවන රදගුරුතුමා විශ්‍රාම යෑමෙන් පසු  එම පදවියට පදවි ප්‍රාප්ත වන රදගුරුතුමකු  රදගුරු අභිෂේක ලබන්නේ මේ නමිනි. ඇතැම් ප්‍රදේශ වල මෙය සහයක රාජගුරු ධූරයක් ලෙස ද පිළිගැනෙන අතර ලංකාවේද අවස්ථා කීපයක දී යුවරදගුරු හිමිපාණන් හෙවත් Coadjutor රදගුරුතුමන්ලා පත්වී ඇත.

4/ සහයක රදගුරුතුමා 

සභා සම්ප්‍රදාය සහ සාසන නීති සංග්‍රහය තුළ සහයක රදගුරුතුමකු පත්කරන්නේ නාමධාරි රදගුරුතුමන්ලා ලෙසිනි. එනම් එක් කාලයක දී පැවතුණු, නොයෙකුත් හේතූන් නිසා අද රදගුරු වසමක් ලෙස ක්‍රියාත්මක නොවන ප්‍රදේශ මෙකී නාමධාරි රදගුරු වසම් ලෙස හැඳින්වේ. උදාහරණ ලෙස අතීතයේ මැද පෙරදිග හා ජර්මනිය, එංගලන්තය, වැනි රටවල පැවති රදගුරු වසම් නම් කළ හැකිය. මෙහි දී සහයක රදගුරුතුමා එකී පදවියක නාමධාරි රදගුරුතුමකු ලෙස පත්කරනු ලබන්නේය. උදාහරණ ලෙස අති උතුම් මැක්ස්වෙල් සිල්වා රදගුරුතුමා "ලෙසිනා" නාමධාරි රදගුරු හිමිපාණෝ ය.

පදවියේ එඬේරික දූත මෙහෙවර වඩාත් හොඳින් හා කාර්යක්ෂමව ඉටු කිරිමට සහයක රදගුරු හිමිවරුන් අත්‍යවශ්‍ය වේ. සහයක රදගුරුතුමන්ලා කොටස් දෙකක් වෙයි. ඉන් පළමුවැනි කොටස විශේෂ බලතල සහිත සහයක රදගුරුතුමන්ලා වන අතර දෙවන කොටස බලරහිත රදගුරුතුමන්ලාය. මෙහිදී පළමු කොටසේ සහයක රදගුරු තුමන්ලා පදවියේ එඬේරික දූත මෙහෙවර හා පරිපාලනයේ දී පාලක රදගුරුතුමාට සහය විය යුතු අතර, පදවියේ රදගුරුතුමා පදවියෙන් පිටව සිටින අවස්ථාවන්හිදී එතුමන්ලාගේ ස්ථානය ගනියි. තවද එවැනි විශේෂ බලතල සහිත අනුනායක හෝ කලාපීය නාහිමි තත්ත්වයකට ද නිතැතින්ම එතුමන්ලා පත් වේ. මෙහිදී බල රහිත රදගුරුතුමන්ලා හට තම රදගුරු වසමේ අවශ්‍යතා අනුව බලතල පැවරෙන අතර එවැනිම වූ අවශ්‍යතා මත අනුනායක හෝ කලාපීය නාහිමි තත්ත්වයකට පත් වේ. මෙහි දී සහයක රදගුරු හිමිවරු පදවි පාලක රදගුරුතුමා හා සමීප සහයෝගයෙන් ක්‍රියා කරන අතර එඬේරික දූත මෙහෙවර හා සුවිශේෂී කාරණා වලදී පදවි රදගුරුතුමා ද සහයක රදගුරුතුමන්ගේ උපදේශකත්වය තුළ ක්‍රියා කරයි.

තවද සහයක රදගුරුතුමා ද තම රදගුරු වසමේ සුවිශේෂී වගකීම් හා යුතුකම් භාර ගැනීමට නිල වශයෙන් කැඳවීමක් ලබා ඇති නිසා එඬේරික දූත මෙහෙවර, සභා නියෝග හා ධර්මානුශාසනා පැනවිමේ දී පදවියේ රදගුරුතුමා සමග සහයෝගයෙන් හා සුහදතාවයෙන් යුතුව ක්‍රියා කළ යුතු වන්නේ ය. තවද තම නිලයට හා නියෝගයන් ද, අදාළ කටයුතු වල දී පදවියේ රදගුරුතුමා සේවාවක් ඉල්ලා සිටියහොත් සහයක රදගුරු නියැත වශයෙන් ම එය ඉටුකිරිමට ණය යුක්තියෙන් බැඳී සිටින්නේ ය. ඇතැම් අවස්ථාවන්හි දී පදවි පාලක රදගුරුතුමා සසුන් නියෝග හෝ පෞද්ගලික අවැසිතා මත පදවියෙන් පිට රැඳී සිටියොත්, පදවියේ පාලනය, දූත මෙහෙවර ඉටු කිරිමට සහයක රදගුරුතුමා බැඳී සිටියි. ස්වකීය අපෝස්තලික හා එඬේරික දූත මෙහෙවර තුළ අභිවෘද්ධි ආලේපනය දානය කිරිම, මීසම් බැහැදැකීම දේවස්ථානවල මංගල්‍යයන් හා ජුබිලි වලට සහභාගී වීම වැනි දේවල් ද මෙකී සහයක රදගුරු ධුරයන් හා සමග බැඳී පවතී.

තවද මධ්‍යතන යුගයෙන් පසුව රදගුරු , අගරදගුරු , කාදිනල් සහ ශුද්ධෝත්තම පියතුමා යන ධුරයන් ආමන්ත්‍රණය කිරීමට සුවිශේෂී වාග් මාලාවක් සහ ගෞරවාභිමාන පද මාලා වල් ද යොමන්නට වූ බව කියැවේ. ඊට පෙරාතුව පියාණෙනි, සහ ගුරුවරයා යන විරුදාවලියෙන් හදුන්වනු ලැබූ සියල්ල වෙනස් වුණි. මේ අනුව රදගුරුතුමකු හා ඇබට්තුමකුට " My Lord " / "Your Lordship" ලෙසද , අගරදගුරුතුමකු සදහා "Your Grace " ද , කාදිනල්තුමකු සහ පෙරදිග සභාවල අග්‍රපිතෘවරුන්  සදහා "Your Eminence " ද ශුද්ධෝත්තම පියතුමාට සහ පෙරදිග සභාවේ ප්‍රේතියාක්තුමා ආමන්ත්‍රණය කිරීම සදහා " Your Holiness " යන වදන භාවිතා කරයි.

 සටහන - අසේල දසනායක