BLANTERORBITv101

ආසන දෙව්මැදුරු සම්ප්‍රදාය ආරම්භ වීම

ආසන දෙව්මැදුර යනු රදගුරුතුමන්ගේ නිල දෙව්මැදුර වේ. එය පදවියේ හදවත මෙන්ම කේන්ද්‍රස්ථානය යැයි නම් කළ හොත් නිවැරදි වේ. cathedra ලතින් වචනයේ අර්ථය 'ආසනය' වේ. එය ග්‍රීක වචනයෙන් καθέδρα නමින් හැදින්වෙන අතර රදගුරුතුමන්ගේ නිල අසුන සහිත දේවස්ථානය  “ආසන දෙව්මැදුර" Cathedral  නුතනයේ ව්‍යවහාර වේ. වර්තමානයේ මෙම සම්ප්‍රදාය කතෝලික, ඇන්ග්ලිකන්, නැගෙනහිර ඕතඩොක්ස් සහ සමහර ලුතරන් පල්ලි වැනි අපෝස්තලික ධූරාවලියක් ඇති ක්‍රිස්තියානි සභා වලද භාවිතා වේ. 4 වන ශතවර්ෂයේදී ඉතාලිය, ගෝල්දේශය, ස්පාඤ්ඤය සහ උතුරු අප්‍රිකාව යන රටවල  ආසන දෙව්මැදුරු දෙව්මැදුරු ස්ථාපිතව පැවතුණු බව සදහන් වුණිද, විශ්ව සභාව තුළ මෙම සම්ප්‍රදාය ස්ථාවර වුයේ 12 වන සියවසේදී බව සදහන් වේ.

 රෝම රදගුරුතුමන් වූ ශුද්ධෝත්තම පියතුමාගේ ගුරු ආසනය හෙවත් නිල ආසනය පිහිටා ඇත්තේ ජෝන් ලතරානු බැසිලිකා දෙව්විමන තුළ වන අතර , රෝම රදගුරුතුමන් සහ විශ්ව සභාවේ නායකයාණන් ලෙස ශුද්ධෝත්තම පියතුමා සමස්ථ සභාවටම තම අවවාද අනුශාසනා හා නීති නියෝග නිකුත් කරනු ලබන ප්‍රධාන ස්ථානය ද මේ ගුරු ආසනය වේ. ශු. සභා සම්ප්‍රදාය තුළ මෙලෙස  ආසනයක් මත සිට සිදුකරනු ලබන ප්‍රකාශන ඉතා ප්‍රබල මෙන්ම බලසම්පන්නය.  බොහෝ ආසන දෙව්මැදුරු වල මෙම රදගුරු ආසනය ඉතා දර්ශනීය ලෙස නිරූපණය කර ඇති අතර, එමගින් පදවියේ උත්තම පුජකයා සහ ගුරුවරයා රදගුරු හිමිපාණන් බව සංකේතවත් කෙරේ. සභා සම්ප්‍රදායට අනුව රදගුරුතුමෙකුට අන්‍යයමය වූ ආදර්ශ පාඨයක් සහ නිල ලාංඡනයක් මෙන්ම මුද්‍රාවක් ද පවතී. 

පෞරාණික සම්ප්‍රදාය තුළ මෙම මුලසුන දැරූ බැසිලිකා සම්ප්‍රදාය තුළ විකාශනය වූ විනිශ්චකරුගේ ආසනය සහ පසුකාලීනව වැඩවසම් ක්‍රමයේ වංශාධිපතිවරුන්ගේ නිල අසුනින් පැමිණි වූ එකක් යැයි සමහර ඉතිහාස වේදීන් විස්තර කලද සභා සම්ප්‍රදාය තුල ආසන දෙව්මැදුර තුළින්  සංකේතවත් කරන්නේ රදගුරුතුමන් සහ එතුමන්ගේ පාලනය හෙවත් එඩේරික කාර්යභාරයයි. කතෝලික සභා සම්ප්‍රදායට අනුව ආසන දෙව්මැදුරු ආරම්භ වීමට පෙර තාපසාරාම ආශ්‍රයෙන් ඇබේ හෙවත් මාඨාධිපති දේවස්ථාන ආරම්භ වූ බව සඳහන් වේ. එහෙත් ශාසන නීතියට අනුව ප්‍රාදේශීය සභාවක හෙවත් රදගුරු පදවියක ප්‍රධාන දේවස්ථානය ආසන දෙව්මැදුර ලෙස සඳහන් කර ඇත. කතෝලික සම්ප්‍රදායට අනුව  ආසන දෙව්මැදුරු ද සෙසු වර්ග කිහිපයකට බෙදේ.

pro-cathedral යනු තාවකාලිකව ආසන දෙව්මැදුරක් ලෙස භාවිතා කරන දේවස්ථානයකි. එනම් ආසන දෙව්මැදුරක් ඉදිකිරීමක් හෝ එය ප්‍රතිසංස්කරණ කරන කාල පරිච්ඡේදයේදී පදවියේ නිල දේවස්ථානය ලෙස ලෙස භාවිතා කරන දේවස්ථානය මේ නමින් හදුන්වයි. ලංකාවේද අවස්ථා කීපයකදී මේ නමින් දේවස්ථානය කීපයක් හදුන්වා ඇත. උදාහරණ ලෙස වත්මන් කොටහේන ශා. ලුසියා ආසන දෙව්මැදුර ඉදිකරන අවධියේ pro-cathedral වුයේ අලුත්හෙට්ටිවිදියේ වික්ෂෝප මාතා දේවස්ථානය වේ. 

co-cathedral හෙවත් සම ආසන දෙව්මැදුරක් යනු සුවිශාල භූ විෂමතාවයක් සහ ජනගහනයක් හෙබි රදගුරු පදවි වල රදගුරුතුමන්ලාගේ සහ දේව ජනතාවගේ පහසුව උදෙසා ප්‍රධාන ආසන දෙව්මැදුරට අමතරව තවත් දෙව්මැදුරක් රතු ගුරුතුමන්ගේ නිල දේවස්ථානයක් ලෙස පත් කර ගනියි. එම දේවස්ථාන co-cathedral හෙවත් සම ආසන දෙව්මැදුරක් ලෙස හැඳින්වේ. ලංකාවේ ගාල්ල පදවිය හා රත්නපුර පදවිය එකට එක්ව ගාල්ල රදගුරු පදවිය යටතේ පැවති අවස්ථාවේදී  co-cathedral හෙවත් සම ආසන දෙව්මැදුර ලෙස රත්නපුරේ ශුද්ධවූ පේදුරු පාවුලු අපෝස්තුළුවරුන්ගේ දේවස්ථානය කාලයක් භාවිතා කළ අතර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන රදගුරු වසම්   එකට එක්ව ත්‍රිකුණාමලය/ මඩකලපුව රදගුරු පදවිය යටතේ පැවති අවස්ථාවේදී මඩකලපුව ස්වර්ගාරෝපණය රාජේවරියගේ දෙව්මැදුර ද සම ආසන දෙව්මැදුරක් ලෙස භාවිතා කර ඇත. 

proto-cathedral (පළමු ආසන දෙව්මැදුර) 

මේ නමින් හඳුන්වනු ලබන්නේ යම් යම් කාලවලදී අවශ්‍යතාවයන් මත පළමු ආසන දෙව්මැඳුරක් බවට පත්ව පසුව පදවියේ නිල දේවස්ථානය ලෙස වෙනත් දේවස්ථානයක් නම් කළ විට ඉහත කී පළමු දේවස්ථානය හඳුන්වන නාමයයි. 

ශ්‍රී ලංකාවේ ස්ථාපිත ආසන දෙව්මැදුරු

කොළඹ අගරදගුරු පදවිය - ශා. ලුසියා ආසන දෙව්මැදුර

යාපනය රදගුරු පදවිය - ශා. මරියා ආසන දෙව්මැදුර

මහනුවර රදගුරු පදවිය - ශා. අන්තෝනි ආසන දෙව්මැදුර

ගාල්ල රදගුරු පදවිය - ජපමාල මාතා ආසන දෙව්මැදුර

ත්‍රිකුණාමලය රදගුරු පදවිය - ස්වර්ගාරෝපිත රාජේශ්වරියගේ ආසන දෙව්මැදුර

හලාවත රදගුරු පදවිය - කාර්මේල් මාතා ආසන දෙව්මැදුර

බදුල්ල රදගුරු පදවිය - ජපමාල මාතා ආසන දෙව්මැදුර

මන්නාරම රදගුරු පදවිය - ශා. සෙබස්තියන් ආසන දෙව්මැදුර

කුරුණෑගල රදගුරු පදවිය - ශා. ආනා ආසන දෙව්මැදුර

රත්නපුර රදගුරු පදවිය - ශා. පේදුරු සහ පාවුළු ආසන දෙව්මැදුර

මඩකලපුව රදගුරු පදවිය - ස්වර්ගාරෝපිත රාජේශ්වරියගේ ආසන දෙව්මැදුර

සභා සම්ප්‍රදායට අනුව පදවිය තුළ සේවය කොට විශ්‍රාම ලබා හෝ සේවය කරමින් සිටින අවස්ථාවකදී රදගුරුතුමකු ස්වර්ගස්ථ වූවොත් , එතුමන්ගේ දේහය මිහිදන් කරනු ලබන්නේ ආසන දෙව්මැදුරක් තුළ ය. එහෙත් සමහර අවස්ථාවන්හිදී එම චාරිත්‍රය සිදු නොකරන ලද අවස්ථා ද ඇත. උදාහරණ ලෙස හිටපු කොළඹ අගරදගුරු අති උතුම් තෝමස් බෙන්ජමින් කුරේ කාදිනල් හිමිපාණන්ගේ සහ අති උතුම් නික්ලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ දේහයන් මිහිදන් කරනු ලැබූවේ එතුමන්ලාගේ අන්තිම කැමැත්ත පරිදි තේවත්තේ සහ මීගමුවේ ය. එනමුදු ශාසන නීති සංග්‍රහයට අනුව පදවියක සේවය කළ හෝ විශ්‍රාම ගිය රදගුරු තුමකු ස්වර්ගස්ථ වූ කල එතුමන්ලාගේ ශරීර ආසන දෙව්මැදුරු පරිශ්‍රය තුළ මිහිදන් කිරීමට අයිතියක් පවතී. 

රදගුරුතුමෙකුගේ පදවි ප්‍රාප්තිය 

මෙසේ රදගුරු පදවියක ආසන දෙව්මැදුර දෙව්මැදුරක ඇති රදගුරුතුමන්ගේ නිල අසුන ඉහත යුගවලදී සිංහාසනය ලෙස හඳුන්වන ලදී. ඒ අනුව රදගුරුතුමන්ගේ පදවිප්‍රාප්තිය හෙවත් වගකීම ප්‍රදානය ඉහත යුගවලදී සිංහාසනාරූඪ කරවීමක් ලෙස සලකන ලදී. සාමාන්‍යයෙන් මෙම නිල අසුන පිටිපස රදගුරුතුමන්ගේ නිල ලාංඡනය පිහිටුවා තිබීම සාමාන්‍ය ලක්ෂණයකි. ආසන දෙව්මැදුර බාරව ක්‍රියාකරන පියතුමා Cannon ලෙස හදුන්වනු ලබයි.  අභිනවයෙන් රදගුරු තුමකු පත්වන අවස්ථාවේ දී ආසන දෙව් මැදුරේ ප්‍රධාන දොරටුව අසලදී  එතුමන් වෙත ශ්‍රී කුරුසිය  පිළිගන්වනු ලබන අතර , අභිනව රදගුරුතුමා එය පිළිගෙන  ජනතාවට ආසිරි පැන් ඉසීම ද, එදින දිව්‍ය පූජාව අවස්ථාවේදී මහිම ගීයට පෙරාතුව අභිනව රදගුරුතුමන් පදවි ප්‍රාප්ත වේ. 

එතුමන් පදවිප්‍රාප්ත වන්නේ ශුද්ධාසනය විසින් එතුමන්ගේ පත්වීම පිළිබඳව  ප්‍රකාශ කරන ලද නිල නිවේදනය අපෝස්තලික තානාපති හිමිපාණන් විසින් ප්‍රකාශයට පත් කරන ලදුව ඇතැම් අවස්ථාවන්හිදී අභිනව රදගුරුතුමා විශ්වාස ලක්ෂණය ද උච්චාරණය කරයි. ඉන්පසුව අභිනව රදගුරුතුමන් වෙත එඬේරික සැරයටිය හෙවත් රදගුරු යෂ්ටිය භාරදී විශ්‍රාම යන රදගුරුතුමා හෝ පදවි අපෝස්තලික පරිපාලක හිමිපාණෝ අභිනව රදගුරුතුමන් ව නිල ආසනයේ අසුන් ගත කරනු ලබයි. ඉන්පසුව රදගුරු  වසමේ සියලුම පූජාප්‍රසාදිවරු තමන්ගේ පක්ෂපාතිත්වය හා කීකරුකම සුභාශිංෂණ මගින්  අභිනව රදගුරු තුමන් හට ප්‍රකාශ කර සිටින අතර ඇතැම් අවස්ථාවන්හිදී  සිය කීකරුකමේ පොරොන්දුව  ප්‍රකාශ කර සිටීයි. ඒත් සමගම  අභිනව රදගුරුතුමන්ගේ පදවි ප්‍රාප්තිය සිදු වූ බව ඒ අවස්ථාවට සහභාගී වන සෙසු රදගුරුතුමන්ලා , අපෝස්තලික තානාපති හිමිපාණන් ඇතුළු ව, පදවියේ පූජක සංඝයේ නියෝජිත පියතුමන්ලා විසින් අත්සන් තබනු ලැබේ. 

පදවියේ රදගුරුතුමා මීසම් බැහැදැකීම

පදවියේ එඬේරාණන් වන රදගුරු හිමිපාණෝ නිල වශයෙන් මීසමක් බැහැදැකීමට එන විට මේ සමය පියතුමා තම දෙව්මැදුරේ ප්‍රධාන දොරටුව අසල සිට පැමිණෙන රදගුරු හිමිපාණන් ට  ආසිරි පැන් බඳුන භාර දෙනු ලැබේ. පැමිණෙන රදගුරු හිමිපාණෝ ඒ ආසිරි පැන් බඳුනෙන් දේව ජනතාව ආසිරි ගන්වා  ශු. අල්තාරය  වෙත පිවිස සුළු යාඥාව ක නිරත වේ. අතීතයේ දී ඇතැම් අවස්ථාවලදී මීසම්භාර පියතුමා පැමිණෙන රදගුරු හිමිපාණන් හට දිව්‍ය සත්ප්‍රසාද නිවහනේ යතුරද, දේවස්ථානයේ ප්‍රධාන යතුරු ද , මීසමේ වැසියන්ව බෞතීස්මයේ සිට සුසානය දක්වා පෙරහැරින් කැඳවාගෙන යන කුරුසිය ද පැමිණෙන රදගුරු හිමිපාණන් රදගුරු හිමිපාණන් ට බාර දෙයි.

 පැමිණෙන රදගුරුතුමා ඒවා මිසමේ අල්තාරය අසල තැන්පත් කොට විශේෂයෙන් ඉදි කෙරෙන නිල අසුනේ වාඩි වී පූජක වස්ත්‍ර පැළඳ , දේශනා කරයි, යාඥා කරයි, ජනතාව ආසිරි ගන්වයි.  මෙයින් සංකේතවත් කරන්නේ රදගුරු හිමිපාණන් මිසමක් බැහැදැකීමට පැමිණි කල්හි මිසමේ නියම භාරකාරීත්වය ලබන්නේ මිසම් භාර පියතුමා නොව , ඒ අයත් පදවිය බාර රදගුරු හිමිපාණන් බවයි. තවද වෙනත් රදගුරු පදවියක රදගුරුතුමකු මෙයාකාරයෙන් මීසමකට පැමිණෙන්නේ නම් ඉහත සඳහන් සඳහන් කරන ආකාරයට කිසිදු වාරිත්‍රයක් සිදු නොකරයි. තවද යම් උත්සවයකට පැමිණියද , ඉහත සඳහන් කරන ලද ප්‍රධාන අසුන භාර නොදෙන අතර , එසේ සෙසු රදගුරුතුමන්ලා මෙලෙස වෙනත් පදවි කරා පැමිණෙන්නේ නැත. මන්ද එම මීසමේ ප්‍රධානියා එම පදවියේ රදගුරු හිමිපාණන් පමණක් වන බැවිනි. 

සටහන - අසේල දසනායක