BLANTERORBITv101

මහා චාලීමෙන් අධිරාජ්‍යයා, කැරෝලීජියානූ ප්‍රතිසංස්කරණය, ශු. ආනා මුනිශ්වරියගේ ශු. ධාතු සොයා ගැනීම හා වන්දනාස්ථාන ඉදිවීම

මධ්‍යතන යුගයේදී ශුද්ධවූ සභාවට සුවිශේෂී අනුග්‍රහය සහ දායකත්වය දක්වන ලද්දේ රජවරුන් පිළිබඳ කතා කිරීමේදී ප්‍රංශයේ මහා චාලීමෙන් අධිරාජ්‍යයාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එතුමා ක්‍රි.ව. 748 අප්‍රියෙල් මස 02 දින උපත ද ලබා ක්‍රි.ව. 814 ජනවාරි  මස 08 දින මිය යන විට බටහිර රෝම අධිරාජ්‍ය භාරකාරත්වයට සහ කතෝලික සභාවේ ආරක්ෂකයා බවට පත්විය. මුල් මධ්‍යකාලීන යුගයේදී ඔහු බටහිර හා මධ්‍යම යුරෝපයේ බහුතරයක් එක්සත් කළේය. සියවස් තුනකට පමණ පෙර බටහිර රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසු බටහිර යුරෝපයෙන් පාලනය කළ පළමු පිළිගත් අධිරාජ්‍යයා ඔහු විය. මෙතුමන් විසින්  විසින් ආරම්භ කරන ලද සහ පුළුල් කරන ලද ෆ්‍රැන්කිෂ් රාජ්‍යය කැරොලින්ජියානු අධිරාජ්‍යය ලෙස හැඳින්වේ. විශේෂයෙන් කතෝලික සභාවේ  ඇති වූ නවෝදමය ප්‍රතිපත්ති සඳහා මෙතුමන්ගේ දායකත්වය අමරණීය වේ. එතුමෝ අධිරාජ්‍යයා ලෙස ශුද්ධෝත්තම පියතුමන් අතින් වතිකාන ශා. පීතර බැසිලිකාවේදී ඔටුණූ පැළදූබව සදහන් වේ. 

කැරෝලීජියානූ ප්‍රතිසංස්කරණය

පැරණි රෝම අධිරාජ්‍යය නැවත ප්‍රතිසංවිධානය වීම ලෙස විද්වතුන් විසින් විස්තර කරන ලද මෙම ක්‍රියාදාමය මධ්‍යතන යුගයේ යුග ඉතිහාසයේ දක්නට ලැබෙන සුවිශේෂී කඩඉමකි.   මහා චාලීමේන්  අධිරාජයාගේ සුවිශේෂී අනුග්‍රහය යටතේ බටහිර රෝම අධිරාජ්‍යය තුළ සංවර්ධනය වූ ආගමික ,සංස්කෘතික , අධ්‍යාපනික , සාහිත්‍යය, දේශපාලනික , ආර්ථික ... නවෝදය  මෙයට අයත්ය. විශේෂයෙන් අධ්‍යාපනය දියුණු කිරීමට අධිරාජ්‍යයා ගත් ක්‍රියාමාර්ග ඉතා සුවිශේෂී වේ. විශේෂයෙන් ආගමික සන්දර්භය මුල් කරගනිමින් ආසන දෙව්මැදුරු ආශ්‍රිතව පාසල් ඉදිකිරීමට  පියවර ගත් අධිරාජ්‍යයා ඒවායෙන් බිහිවූ විද්වතුන් මුල්කරගෙන  පොතපත රචනා කිරීමට ද පියවර ගත් බව සඳහන් වේ. 

එසේම දෙව්සත්හල් සහ තාපසාරාම  ස්ථාපනය කිරීමටත් , රජතුමා අනුග්‍රහය දැක්වූ අතර නීති පද්ධතින් නවීකරණය කොට ඒවා නැවත ප්‍රතිෂ්ඨාපනය ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් , කැරෝලීජියානූ සංස්කෘතික  දායාද ලෙස ආවේණික ගෘහ නිර්මාණ ශිල්ප ස්ථාවර කිරීමටත් මෙතුමා පෙරමුණ ගත් අතර , රෝම , ක්‍රිස්තියානි සහ ජුදෙව් සංස්කෘතිකාංග එක් කොට නව යුගයක් ස්ථාපනය කිරීමට පෙරමුණ ගත් බව කියැවෙයි. මේ නිසාම මේ රජුගේ කාලයේ දී  බොහෝ ජුදෙව්වන් ජර්මනිය ප්‍රංශය වැනි රටවල් කරා  පැමිණි බව ඉතිහාසයේ සඳහන් වේ. 

ශු. ආනා මුනිශ්වරියගේ ශු. ධාතු සොයා ගැනීම හා වන්දනාස්ථාන ඉදිවීම

දකුණු ප්‍රංශයේ ඉතා ජනප්‍රිය ව පවතින ජනප්‍රවාදයක් අනුව ලාසරස් , මරියා සහ මාර්තා යන සහෝදරයන් සහ ජේසුස් වහන්සේට ඉතා සමීප සබැඳියාවක් දැක්වූ මරිය ජාකොබ් , මරිය සලෝමි යන දෙදෙනා ද , උන්වහන්සේගේ ධර්මය අසා එය ජිවත් කරන්නට වෙර වීර්යය දැරූ ට්‍රොප්‍රීමස් සහ මක්සිමියානු නැමැති දෙදෙනා , පලස්තීන දේශයෙන් නෙරපා දමනු ලදුව , නැවක නැගී දකුණු ප්‍රංශය කරා පැමිණි බව කියැවේ. ඊට හේතුව වූයේ ජෙරුසලම නගරයෙන් කිතුනුවන්ට එල්ලවුණු දැඩි පීඩනයයි. 

මේ නිසා ම බොහෝ කිතුනුවෝ මේ යුගයේ දී ප්‍රාණපරිත්‍යාගි වුණු කිතුනු වීරවරුන්ගේ සහ ක්‍රිස්තු ආගමනයට සම්බන්ධ වීරවරුන්ගේ සොහොන් බිම් වලින් ඔවුන්ගේ නෂ්ඨාවශේෂ රැගෙන ගිය බව සඳහන් වේ. මීට කදිම නිදසුන වන්නේ ස්පාඤ්ඤයේ සන්තියාගෝ කොම්පොස්තෙල්ලා නගරයට රැගෙන ගිය ශු. මහා ජාකොබ් හෙවත් සන්තියාගෝ මුනිතුමන්ගේ අස්ථි සහ ඉශ්‍රායෙල් දේශයෙන් දමස්කයට ද අනතුරුව රෝමයට රැගෙන ගිය ශු. ස්නාවක ජුවාම් මුනිතුමන්ගේ ශු. ධාතු කොටස් වේ. මේ අනුව මෙකී  පිරිස  ජෙරුසලෙමෙන්  පිටත් වීමේ දී   ශු. ආනා මුනිශ්වරියගේ  අස්ථි කොටස් ද  එතුමියගේ පළමු සොහොන් ගැබ වූ ජෙරුසෙලමේ බෙත්සයිදා පොකුණ  අසල පිහිටි සොහොන් ගැබෙන් ඉවතට ගෙන රැගෙන ගිය බව සඳහන් වේ. 

මෙ සේ පිටුවහල් කරන ලද පිරිස රැගත් නෞකාව දකුණු ප්‍රංශයේ මාර්සේල්ස්  නගරය අසලට සේන්දු විය. මේ නගරය වනාහි එකල බටහිර රෝම අධිරාජ්‍යයේ ප්‍රධාන වාණිජ නගරයක් විය. එම නිසා තමන්ට තර්ජන වෙයි සිතු ලාසරස්තුමන් ඇතුළු මෙම පිරිස මාර්සේල්ස් නගරයේ නොසිට මෙම වරාය අසල වූ කඳු වැටිය පසුකොට අප්ත් නැමැති නගරයට පැමිණි බව සදහන් වේ. එය එකල කුඩා වනලැහැබකින් සමන්විත ග්‍රාමයක් වූ නිසා එහි වූ ස්වභාවික ගල් ලෙනක ඔව්හු පූජාසනයක් ඉදිකොට ඉපැරණි ඊජිප්තු ලිනන් රෙදිපිල්ළකින් ඔතන ලද ශු. ආනා මුනිශ්වරියගේ අස්ථි ධාතු එහි තැම්පත් කළෝය. එය මතු පරපුර දැනගනු ලබන අටියෙන් එහි සලකුණු ප්‍රකාර වාක්‍යයක් ද නිරූපණය කරන ලදී. එම රහස දැන සිටියේ සුළු පිරිසකි. අද දක්වාම කැටයමකින් නිරූපිත මෙහි මල් පූදින රිකිල්ලක් වටා ගෙතුණු ඵල දරන මිදි වැලක කැටයමක් දක්නට ලැබේ. මෙම රහස දැන සිටි සියලු දෙනා පරම්පරාවෙන් පරම්පරාවට මේ පිළිබඳව තතු ගෙනහැර පෑ බව කියැවේ.

පසුකාලීනව රෝම අධිරාජ්‍යයාගේ මුල් කිතුනු ප්‍රජාවට එල්ල වූ සංහාරය අවස්ථාවේ දී ප්‍රාණපරිත්‍යාගිවරුන්ගේ ශරීරයන් මෙහි තැම්පත් කරනු ලැබීය. ක්‍රි.ව. 514 දී විසිගොත් සැක්සන් සහ සැරසේනු යන මිලේච්ඡ ගෝත්‍රිකයන් විසින් දකුණු ප්‍රංශයේ නගර සියල්ලක්ම විනාශ කරන ලදී. ක්‍රි.ව. 576 වසරේදී ලොම්බාර්ඩ්වරු අප්ත් නගරය ආක්‍රමණය කරන ලදී. ඒ අවස්ථාවේ දී මෙම භූගත සොහොන් ගැබට යන මාර්ගය වසා දමන ලදී. මෙසේ ජනශුන්‍ය පාළු නගරයක් ලෙස අප්ත් නගරය ශත වර්ෂයක් පමණ කාලයක් තුළ පැවතිණි. නැවත වරක් මෙම නගරය ලොම්බාර්ඩ්වරුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගනු ලැබූවේ සැරසීන්වරුන්‍ ය. එනමුදු අප්ත් නගරයේ විසූ පැරැන්නන්ගේ ජනප්‍රවාද ගත තතු ප්‍රකාර මෙම ස්ථානය සහ සොහොන පිළිබඳ යම් යම් ඉගි සහ කතා පුවත් ද පැවති බව කියැවේ. 

ඒ බව වඩාත් තහවුරු වන්නට සිදුවූ මහා ප්‍රාතිහාර්යයක් සිදුවිය. ඒ පුවත මෙසේය 

" ක්‍රි.ව. 792 වසරේ පාස්කු ඉරුදින යුදමය වාතාවරණය නිමවී අභිනවයෙන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කොට එය ආසිරි ගන්වා අභිෂේක කරනු දිනය විය. මෙම අවස්ථාවට එවකට ප්‍රංශයේ සිංහාසනාරූඪ ව වැඩහුන් මහා චාලිමෙන් රජු ද පැමිණි සිටි බව සදහන් වේ. මේ අවස්ථාවේ දී රැස්ව සිටි සම්භාවනීය පිරිස මධ්‍යයට පැමිණි උත්පත්තියේ සිටම ගොළු, බිහිරි , අන්ධ තරුණයෙක් ශු. ආනා මුනිශ්වරියගේ අස්ථි කොටස් ස්ථාපිත කොට ඇති සොහොනට යන මාර්ගය පෙන්වා එය විවෘත කරන ලෙස සලකුණු මගින් ප්‍රකාශ කළේය. රජුද තරුණයාගේ ඉල්ලීම ඉටුකරන ලෙස සිය සේවකයන්ට අණ දුන් අතර , ඒ අවස්ථාවේ දී සොහොන් ගැබට යන මාර්ගය විවෘත කල වේලේහි ම පෙරකී තරුණයාට සුවය ලැබී ඔහුට ශක්තිය ලැබ "ඒ එතුමී" යැයි පවසමින් ම ක්ෂණික සුවය ලැබු බව සදහන් වේ. මෙසේ සොහොන් ගැබ කරා ඇතුළු වූ විට එය ශු. දේශයේ සිට රැගෙන ආ පිරිස සටහන් තබන ලද පුවරුවක් ද දක්නට ලැබුණි. එහි මෙලෙස සටහන් වී තිබුණි. " මහිමෝත්තම කන්‍ය මරිය වහන්සේගේ මෑණියන් වන ශු. ආනා මුනිශ්වරියගේ ශරීරය මෙහි තබා තිබේ ..." යනුවෙනි. 

සෙසු ප්‍රාණපරිත්‍යාගිවරුන්ගේ අස්ථි කොටස් වලට වෙන්වූ කොටසක පෙර සදහන් කළ පරිදි පූජාසනයක් ඉදිකොට ඉපැරණි ඊජිප්තු ලිනන් රෙදිපිල්ළකින් ඔතන ලද ශු. ආනා මුනිශ්වරියගේ අස්ථි ධාතු ඔවුන් හට හමුවීම සැබැවින්ම මහා පෙළහැරක් වේ. පුජනීය අස්ථි ධාතු ඔතා තිබුණු සළුව පැරණි කාලයේ ඊජිප්තුවේ පේෂ කර්මාන්තය අනුව කරන ලිනන් රෙද්ද තුළ ම ඇතුළත් කර තිබු නිසා සභා වේදීන් සහ ඉතිහාසයන් විසින් මෙය ශු. ආනා මුනිශ්වරියගේ ම අස්ථි ධාතු බවට පිළිගන්නා ලදී. මෙම සිදුවිම නිසා මහා චාලිමෙන් අධිරාජ්‍යයා ශු. ආනා මුනිශ්වරියට භක්ත්‍යාදරය ප්‍රබලවම දක්වන්නට වූ බව කියැවේ. මෙම අස්ථි ධාතු වලින් ඉතා ස්වල්ප කොටසක් තම මාලිගයේ වූ කුඩා දේවස්ථානය Aix - la- Chapelle වෙත රැගෙන ගිය රජතුමා සෙසු කොටස් සියල්ලක් දර්ශනීය කරඩුව බහා තැම්පත් කරන ලදී. 

අදත් අප්ත් නගරයේ ශා. ආනා සිද්ධස්ථානයේ මෙම කරඩුව සැදැහැවතුන්ගේ ගෞරවාභිමානය ලබන්නේය. ඓතිහාසික තොරතුරු වලට අනුව ශු. ආනා මුනිශ්වරියගේ ශු. ධාතු සම්බවීමේ ආනන්ද ජනක සිදුවීම අරබයා දෙවිදාණන් වෙත තුති පිදීමේ මහා මංගල දිව්‍ය යාගයක් අති උතුම් ටුර්ජින් අගරදගුරු හිමිපාණන් විසින් සිදුකොට එදින ජනතාවගේ වන්දනාමානය මෙම ශු. ධාතු ලක්කරන ලද බව සදහන් වේ. මෙම දිව්‍ය යාගයට මහා චාලිමෙන් රජුද සහභාගි වූ අතර , පෙර සදහන් කළ  ලිනන් රෙද්දේ ඔතා තිබු ශු. ධාතු කොටස් වෙන වෙනම ලැයිස්තු ගත කොට මුද්‍රා තබන ලදී. ඒ පිළිබඳව සියලු තතු සහ මෙම ආනන්දජනක සිදුවීම පිළිබඳව එකල සසුනිසුරාණන් ව වැඩහුන් අති උත්තම 1 වන ඒඩ්‍රියන් ශුද්ධෝත්තම පියතුමාණන් හට දන්වන ලදී. 

පසුව උන්වහන්සේ ද විශේෂ නියෝජිතයෙකු ප්‍රංශයේ අප්ත් නගරයට යවා මේ පිළිබඳව කරුණු සොයා බැලීමෙන් පසුව තම නිර්දේශය සහ අනුමැතිය ලබා දී  ශු. සභාවේ සාන්තුවර දායාද තුළ පළමු ශ්‍රේණියේ ශු. ධාතුවක් බව නිල වශයෙන් නම් කරන ලදී.  එතැන් සිට මෙම ශු. ධාතු තැම්පත් කරන ලද කරඩුවේ ආරක්ෂාව අප්ත් නගරයේ රදගුරුතුමන් සහ එතුමන්ගේ අනුප්‍රාප්තිකයන් හට පැවරුණු අතර, ලෝකයේ නන් දෙසින් ජනයා එදා සිට අද දක්වා ශා. ආනා මුනිශ්වරියගේ යාච්ඤ මධ්‍යස්ථිය පතන්නට මෙම සිද්ධස්ථානය කරා පැමිණෙන්නාහ. ක්‍රි.ව. 1338දී 12 වන බෙනඩික් සසුනිසුරාණන් මෙම සිද්ධස්ථානය වෙත පැමිණ මෙහි ස්ථාපිත කර ඇති ශු. ධාතු මහිමාන්විතව මරියෝත්තමාවන්ගේ මාතාවන් වූ ශු. ආනා මුනිශ්වරියගේ ම බවට නිර්දේශ කොට සහතික කොට,  මුද්‍රාතබන ලදී.

සටහන - අසේල දසනායක