BLANTERORBITv101

දිව්‍ය බිළිදාණන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ මංගලෝත්සවය

මෙහි "ප්‍රත්‍යයක්ෂ වීම" නැතහොත් "ප්‍රකාශ වීම" සඳහා යෙදෙන ග්‍රීක වචනය වන "epiphanos" යන්න මුලදී යොදාගෙන ඇත්තේ රජවරුන් තම පාලන ප්‍රදේශ වල ජනතාව බැහැදැකීමට යාම සඳහාය.එලෙසම රාජාති රාජ වන අපගේ දෙවි මහෝත්තමයාණන් වහන්සේද තමන්ගේ ජනතාව අතර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෙසින් මාංශගත වීම ප්‍රකාශ කිරීම අද දින මෙම මංගලෝත්සවයේදී අප සමරනු ලබයි.ජේසුස් වහන්සේ තමන් වහන්සේගේ දේව පුත්‍රභාවය බොහෝ අවස්ථාවන් වලදී ශුද්ධවූ ලියවිල්ල තුළ ප්‍රත්‍යක්ෂ කර ඇත.නිදසුන් වශයෙන්, ජේසුස් වහන්සේගේ බෞතීස්ම ස්නාපනයේදී ශුද්ධාත්මයාණන් වහන්සේ පරවියෙකුගේ ස්වරූපයෙන් බැස අවුත් එය එළිදරව් කළේය - ( ශු.මතෙව් 03:16-17 ).ජේසුස් වහන්සේව දේව මාලිගාවේදී කැප කිරීමට ගෙන ගියවිට ඊශ්‍රායෙල් වරුන්ගේ ගැළවීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් හට තම ගැළවීම තමන්ගේම දෑසින් දැක ගැනීමට හැකියාව ලැබීම මඟින් එය ප්‍රත්‍යක්ෂ විය - ( ශු.ලූක් 02:22-35 ).තවද ජේසුස් වහන්සේ විසින් සිනයෝගයේදී තමන් වහන්සේ පිළිබඳව වූ ශුද්ධවූ ලියවිල්ල කියවීමේදී එය ප්‍රත්‍යක්ෂ විය - ( ශු.ලූක් 04:16-21 ).එසේම කානා නුවර විවාහ මංගලෝත්සවයේදී ලකුණක් පිණිස කළ පළමු ප්‍රාතිහාර්යද එය එළිදරව් කළේය - ( ශු.ජොහාන් 02:11 ).  

මෙසියස් වහන්සේ පිළිබඳව මේ සියලු ප්‍රත්‍යක්ෂයන් අතරින් විජාතික අපට වඩාත්ම වැදගත්ම වන්නේ උන්වහන්සේගේ රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමයි. මක්කිසාදයත් එය මෙසියස් වහන්සේ පිළිබඳව විජාතිකයින් වෙත සිදුකරන ලද කුළුදුල් ප්‍රකාශ වීමයි. ගීතාවලියේ 72 වැනි පරිච්ඡේදයේ සඳහන් වන ලෙසට මුහුදින් මුහුදටද යුප්‍රටීස් නදියේ සිට පොළොවේ කෙළවර දක්වාද එතුමාගේ රජ දහන පැතිරීමටත්, රජවරු එතුමන් අභිමුව දණ නැමීමටත්, සියලු ජාතීහූ එතුමාට මෙහෙ කිරීමටත් හැකිවනු සඳහා ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විජාතිකයින් හටද ප්‍රකාශයට පත්විය.එලෙසම යෙසායා දිවැසිවරයා විසින් ( යෙසායා 60:01-22 ) විදේශ වලට පිටුවහල් කරන ලද විප්‍රවාසී ජුදෙව්වරු සනසමින් පැවසූ පරිදිම ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විජාතිකයින් හටද ප්‍රකාශයට පත්විම මඟින් සියලු ජාතීන්ගේ ආලෝකය ජෙරුසලම මත බැබළීමද, සියලු ජාතීන් ඒ ආලෝකය සොයා ජෙරුසලම වෙත පැමිණීමද සිදුවිය.ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණන් සොයා පෙරදිගින් ජෙරුසලම වෙත විජාතික ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම එහි ආරම්භයයි - ( ශු.මතෙව් 02:01-12 ).විශ්වීය ගැළවීම සහතික කොට කීම සඳහා ඔහුන් පොළොවේ සියලු විජාතික මිනිසුන්ට පෙරටුවෙන් ගමන් කළෝය. එබැවින් විජාතික ශාස්ත්‍රවන්තයන් පැමිණ බිළිඳු ජේසුස් වහන්සේට නමස්කාර කිරීම කතෝලික ( විශ්වීය ) ඇදහිල්ලේ ආරම්භයයි.ශුද්ධවූ පාවුළු තුමා එය මෙසේ හෙළි කරයි: "මේ කාරණය නිසා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හිරකාරයෙකු වන පාවුලු නම් මම, විජාතීන් වූ ඔබ උදෙසා යාච්ඤා කරමි... ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන්ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන්ද  පොරොන්දුවේ හවුල් පංගුකාරයන්ද වන බවය" - ( එපීස 03:06 ).

ජුදෙව් ජනප්‍රවාද වලට අනුව ආබ්‍රහම්, ඊසාක් හා මෝසස් යන අයවළුන්ගේ උපතේදීද අහසේ සුවිශේෂී තාරකාවක් දිස්වී ඇත.එය වැදගත් අවස්ථාවන් සඳහා දෙවියන් වහන්සේගේ සළකුණක් ලෙස සළකයි - ( ගණන් කතාව 24:17 ).එලෙසම ජේසුස් වහන්සේගේ උපත පිළිබඳවද ගාස්ත්‍රවන්තයින් දැනුවත් වී ඇත්තේ ඔහුන් "පෙරදිගදී දුටු තරුව" මඟින්ය - ( ශු.මතෙව් 02:02 ).මෙහි සඳහන් ශාස්ත්‍රවන්තයින් යනු රජවරු නොවේ.බොහෝ දුරට ඔහුන් පර්සියානු පූජක කුලයක අය විය හැකිය.ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවියන් වහන්සේ පිළිබඳව ඔහුන් විප්‍රවාසී ජුදෙව්වරු මාර්ගයෙන් දැනගෙන තිබෙන්නට ඇත.ඒ රජ පැටවා හෙරෝද්ගේ මාළිගාවේ ඇතැයි සිතා ඔහුන් එහි ආ නමුදු, උන්වහන්සේ එහි නොවීය.නමුත් හෙරෝද්ගේ රාජ්‍යයේ නායක පූජකයන් හා විනයධරයෝද හරහා විස්තර කරගත් ශුද්ධවූ ලියවිල්ලට අනුව ( ශු.මතෙව් 02:04-08 ) ශාස්ත්‍රවන්තයන් බෙත්ලෙහෙම කරා පිටත් විය.තරුවත්, දරුවත් ඔහුන්ට එහිදී සම්බ විය.ජේසුස් වහන්සේව සොයා ගැනීම සඳහා ඔහුන්ට තරුවත්, ශුද්ධවූ ලියවිල්ලත් අවශ්‍යය විය.ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙය කදිමට විස්තර කර ඇත: "ශාස්ත්‍රවන්තයන් මෙන්, මේ වන්දනා ගමනට මඟපෙන්වීම සඳහා සළකුණු ලබාදෙන කෘතීන් දෙකක් සෑම මනුෂ්‍යයෙකුටම ඇත.එනම්, අපට කතා කරන, අපට සෑම විටම කතා කරන දෙවියන් වහන්සේගේ හඬට සවන් දීමට, විමසිලිමත් වීමට හා අවධානය යොමු කිරීමට වැදගත් වන මැවිල්ල සහ ශුද්ධවූ ලියවිල්ලයි."

ශාස්ත්‍රවන්තයන් මෙහිදී ජේසුස් වහන්සේට පිරිනැමීම සඳහා රන්, තුවරලා සහ ගන්ධ රස රැගෙන විත් තිබේ - ( ශු.මතෙව් 02:11 ).එම ත්‍යාග ජේසුස් වහන්සේ හා උන්වහන්සේගේ අනාගතය පිලිබඳ දිවැස් වැකිය.රන් උන්වහන්සේගේ රාජ්‍යත්වය මෙන්ම දේවත්වයද නිරූපණය කළේය.රන් යනු රජවරුන් සඳහා පිරිනමන ත්‍යාගයකි - ( 01 රාජාවලිය 10:02; 25, 02 වංශාවලිය 09:24 ).එලෙසම රන් යනු දේවත්වයේ සංකේතයකි.ගිවිසුම් කරඩුව ආලේප කර ඇත්තේ රන් වලින්ය - ( නික්මයාම 25:10-17 ).එමෙන්ම බයිබලය තුළ මිත්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ රූපද සාදා ඇත්තේ රන් වලින්ය - ( නික්මයාම 32:01-06 ).මෙයින් තහවුරු වන්නේ ජේසුස් වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ගේ රජු මෙන්ම අපේ දෙවි සමිඳාණන් වහන්සේද වන බවයි. එලෙසම තුවරලා උන්වහන්සේගේ උත්තම පූජක බව සංකේතවත් කළේය.දේව මාළිගාව තුළ සුවඳ දුම් පූජා කිරීම සඳහා මේවා භාවිත විය - ( නික්මයාම 30:34 ). එලෙසම ජේසුස් වහන්සේ තම බැටළුවන් වෙනුවෙන් තම ජීවිතය පියාණන් වහන්සේට ප්‍රසන්න සුවඳ දුම් පූජාවක් ලෙස ඔප්පු කරන බවට මින් ප්‍රකාශ වේ.සුවඳ ලාටු යනු දුක් වේදනාවේ, තිත්ත බවේ හා සන්තාපනයේ සංකේතයකි.එලෙසම මෙය නායක පූජකයන් අභිෂේක කිරීමටත් ( නික්මයාම 30:23 ), තික්ත කාඩිය සෑදීමටත් භාවිත කර ඇත.සුවඳ ලාටු මුසු කර සෑදූ මෙවැනි විශ මුද්‍රික පානයක් ජේසුස් වහන්සේ හට කුරුස ගසේදී ලබා දුන් අතර, උන්වහන්සේ එය පානය කිරීමට අකමැති විය - ( ශු.මාක් 15:23 ).මිය ගිය පුද්ගලයින්ගේ සිරුරුද සුවඳ ලාටු වලින් ආලේප කර ඇත.එබැවින් සුවඳ ලාටු ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ප්‍රකාශ කරයි.

මෙනෙහි කිරීම;

ශාස්ත්‍රවන්තයන් ජේසුස් වහන්සේව සොයා ගත්තේ අන් සැමට වඩා ඔහුන් තුළ තිබූ කුතුහලය නිසාය. ඔහුන් තුළ එවැනි කුතුහලයක් ඇති වූයේ දෙවියන් වහන්සේගේ මැවිල්ල තුළින් ලබාදෙන කාලයේ සළකුණු නිරීක්ෂණයෙන් හා දේව වචනය පරිශීලනයෙනි.එබැවින් අපද උන්වහන්සේගේ වචනයට සවන් දෙමු; ස්වභාව ධර්මය, ගහකොළ හා සතා සිවුපාවුන් පවසන දෙයට සවන් දෙමු.එවිට අපට උන්වහන්සේ විසින් අප සම්බන්ධයෙන් අනාවරණය කර ඇති උන්වහන්සේගේ සැලැසුම් පිළිබඳව කුතුහලයක් ඇතිවී, ඒවා සොයා ඒ වෙතට ගමන් කරමින් උන්වහන්සේව සොයා ගත හැකිය. උන්වහන්සේව සම්බ වීමෙන් පසු ශාස්ත්‍රවන්තයින් පිටත් වූයේ වෙනත් මඟකින්ය - ( ශු.මතෙව් 02:12 ). එලෙසම උන්වහන්සේව සොයා ගැනීමෙන් පසුව ඇති වන ජීවිත වෙනස නිසා අපත් නැවුම් බවකට පත්වෙනු නියතය.

කිතුනු අපේ දේවධර්ම දිනපොත