BLANTERORBITv101

අටවන හෙන්රි රජතුමා සහ එංගලන්ත සභාව

දහසයවන සියවසේ රෙපරමාදූ ප්‍රගමනයත් සමග එංගලන්ත සභාව ද බිහිවිය. ක්‍රි.ව. 1533 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සභාවේ නායකත්වය එංගලන්තයේ රජුට පැවරීම හේතු කොටගෙන  මෙම සභාව ආරම්භ විය. ක්‍රි.ව. 1559 දී එළිසඛෙත්  රැජිනගේ කාලයේදී ඇති වූ සම්මුතිය අටවන හෙන්රි රජතුමාගේ (ක්‍රි.ව. 1507-1547) කාලයේ සිට එංගලන්ත සභාවේ පැවති ව්‍යාකූල තත්ත්වය නැති කිරීමට සමත්වී ඇත. මේ අවස්ථාවේ එංගලන්ත සභාව කතෝලික හා රෙපරමාදූ සභා යන දෙකේම ආභාශය ඇති කිතුනු සභාවක ලක්ෂණ ගත්තේය. එහෙත් නැවතවරක් පළමුවන ඡාල්ස් රජතුමාගේ (ක්‍රි.ව. 1625-1649) කාලයේ සිට පැවති පියුරිටන් ව්‍යාපාරය නිසාත් ඔලිවර් ක්‍රොම්වෙල්ගේ කාලයේ ඇතිවූ සිදූවීම් නිසාත් එංගලන්ත සභාව නැවත වරක් ව්‍යාකූල තත්ත්වයකට පත්විය. කලක් එංගලන්ත සභාව රෙපරමාදූ ව්‍යාපාරවලට වැඩි නැඹුරක් ඇතිව සිටියේය. ක්‍රි.ව. 1660දී දෙවන චාල්ස් රජතුමාගේ පාලනය යටතේ එංගලන්ත සභාව නැවතත් එහි මුල් ස්වභාවය ගත්තේය. 

දහඅටවන සියවසේ හිස එසවූ විධුර දේවවාදය එංගලන්ත සභාවේ චින්තනය කෙරෙහි බලපාන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1690දී එංගලන්ත සභාවේ රදගුරුවරු නමදෙනෙක්, පූජකවරු හාරසීයක් සහ ඇදහිල්වන්තයන් දහස් ගණනක් සභාවෙන් ඉවත්ව ගියහ. මෙම සිදූවීම දැඩි ලෙස එංගලන්ත සභාවට බලපෑවේය. 

ක්‍රි.ව. 1833 සිට ඇතිවූ ඔක්ස්ෆඩ් ප්‍රගමනය නිසා දහනවවන සියවසේදී එංගලන්ත සභාවේ ප්‍රබෝධයක් ඇති විය. මෙහි නියමුවා වූයේ හෙන්රි නියුමන් රදගුරුතුමාය. එහි ප්‍රතිඵලයක් ලෙස දහනවවන සියවසේ මරමාදර්ශය වූ  උසස් සභාව  නැවතත් ඇති කිරීමට හැකිවිය. එතැන් පටන් ක්‍රි.ව. 1914 දක්වා එංගලන්ත සභාවේ බුද්ධිමය පසුබිම දියුණු කිරීමට ආධාර වූ දේවවේදීන් රැසක් බිහිවූහ. ක්‍රි.ව. 1889 දී ප්‍රසිද්ධ කරන ලද ලුක්ස් මුන්ඩි  නමැති ග්‍රන්ථය එංගලන්ත සභාව නූතන දේවවේදය හා ආචාර ධර්මයන් සමග උරින් උර ගැටීමට වුවද සූදානම් බව පෙන්වා දූන්නේය. 

එංගලන්ත සභාවේ වත්මන් නායකයා කැන්ටබරියේ අගරදගුරුතුමා වන අතර දහසයවන සියවසේ සකස් කරන ලද පොදූ යාච්ඤා පොත එහි ඇදහිල්ල විස්තර කරයි. දාහත්වන සියවසේ සිට ගවේශකයන්, වෙළඳූන් හා ධර්මදූතවරුන් යන අයගේ ක්‍රියාවන් නිසා මෙම සභාව ක්‍රමයෙන් ව්‍යාප්ත විය. එංගලන්ත සභාව ක්‍රි.ව. 1796 දී ලංකාවේ සේවය මුල්වරට ආරම්භ කළේය. එම සභාවට අයත් ධර්මදූත සංගම් රැසක් ද ඉන්පසුව මෙරටට සේවය සඳහා පැමිණියේය. මෙම සභා අද හඳූන්වනු ලබන්නේ ලංකා සභාව යනුවෙනි. එංගලන්ත (ලංකා) සභාවේ කුරුණෑගල හා කොළඹ වශයෙන් දියෝකීස නැතහොත් රදගුරු වසම් දෙකකි. මෙම දියෝකීස දෙක රදගුරු දෙදෙනෙක් යටතේ පාලනය වේ.  එංගලන්ත සභාවේ පාලනත්‍රන්තයේ ස්වභාවය නම් සෑම දියෝකීසයක්ම රදගුරුතුමෙක් මගින් පාලනය වේ. සෑම දියෝකීසයක්ම පැරිෂයන් නැතහොත් මීසම් හා ප්‍රාදේශීය සභා වශයෙන් බෙදා ඇති අතර ඒවා දේවගැතිවරයෙකු පරිපාලනය යටතේ පවතී. ඒ හැර ප්‍රාදේශීය උපස්ථායකයන්ගේ ඒකක හා ප්‍රධාන උපස්ථායකයන්ගේ ඒකක ලෙස ද සමහර දියෝකීස නැතහොත් පදවි බෙදා ඇත. 

එංගලන්ත සභාවේ ප්‍රධාන ඉගැන්වීම්

ක්‍රි.ව. 1889-1939 කාලයේ එංගලන්ත සභාවේ ඉගැන්වීම් අතර මාංශගතවීම යන තේමාව ප්‍රධාන ස්ථානයක් ගත්තේය. ඔවුන්ගේ ඉගැන්වීම් වල ශුද්ධ ලියවිල්ල, ශුද්ධ සම්ප්‍රදායන් හා බුද්ධිය එකට කැටිකොට ඇති බව ඔවුන්ගේ මතයයි. ඔවුනගේ දේවවේදය ඇන්ග්ලිකන්වාදය නමින් ප්‍රකට වූ අතර පළමු ලෝක මහ යුද්ධයෙන් පසුව ඇංග්ලිකන්වාදය නව්‍යවාදයේ බලපෑමට ලක්වූ බව සඳහන්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දේවවේදය පිළිබඳ විවිධ තර්ක විතර්ක ඇතුළත් පොත් පත් රැසක්ම ඇංග්ලිකන්වාදීන් අතර බිහිවී ඇත. දෙවන ලෝක මහ යුද්ධය පැවති කාලයේ දී දේවවේදයට වඩා සභා නීතිය  ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳ ප්‍රශ්න කෙරෙහි එංගලන්ත සභාව යොමු වූ බව සඳහන්වේ. එංගලන්ත සභා හා කතෝලික සභා අතර ඇනග්ලෝ-කතෝලික කොංග්‍රසයන් ක්‍රි.ව. 1920, 1923, 1927, 1930 සහ 1933 යන වසර වල පවත්වා ඇත. ක්‍රි.ව. 1960 දී පමණ ඇමරිකාවේ ඇති වූ ’ඊශ්වර මරණය නමැති සංකල්පය දෙවිඳූන්ට අවංකවීම  යන මාතෘකාව යටතේ එංගලන්තයේ වාද විවාද වලට පාත්‍රවිය. ජෝන් රොබින්සන් නමැති රදගුරුවරයා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද ’දෙවිඳූන්ට අවංකවීම' නමැති ග්‍රන්ථය නිසා ඇංග්ලිකන්වාදය ස්වතන්ත්‍ර වාදී දර්ශනයක් හා උන්මූලවාදී චින්තනයක් වෙත යොමු කළේය. ධර්මදානී චින්තනයේ බලපෑම නිසා ක්‍රි.ව. 1967 දී ජාතික ධර්මදානීය ඇ්නග්ලිකන් කොංග්‍රසය පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස එංගලන්ත සභාව ද තම ධර්ම ප්‍රචාරක කටයුතු වලට වැඩි අවධානයක් යොමු කරන්නට විය. මේ කාලයවන විට එංගලන්තය සතුව පැවතුණාවූ අධිරාජ්‍ය බලය හීනවී ගොස් තිබූ බැවින් එංගලන්ත සභාවේ ජාත්‍යන්තර බලපෑමද හීනවෙමින් පැවතුණි. 

එංගලන්ත සභාව ඇතුලු අනෙකුත් ඇ්නග්ලිකන් සභා තුළ වෙනස්කම් විද්‍යාමාන වීම නූතන යුගයේ විශේෂ ලක්ෂණයක් විය. ක්‍රි.ව. 1662 වසරේ සිට පොදූ යාච්ඤා පොත භාවිතය මගින් ලෝකය පුරා පැතිර සිටි එංගලන්ත සභාව එකමුතු කළේය. ස්ථාවර ජනවන්දනා ක්‍රමයක් සැකසීමට ද එය බොහෝසේ උපකාරීවිය. සභා පාලන කටයුතු පවා ඒකීය ව්‍යූහයක් ගත්තේය. ක්‍රි.ව. 1970 දී පමණ එංගලන්ත සභාවේ ජන වන්දනා ක්‍රම ප්‍රතිසංශෝධනය කිරීම එහි ප්‍රධාන සිදූවීමක් විය. යටත් විජිත ක්‍රමය ක්‍රමයෙන් අවසන්වීම නිසා ඒ ඒ රටවල එංගලන්ත සභාවන් ස්වාධීන වීමත් සමග ඇංග්ලිකන්වාදයේ විවිධත්වයක් ද ඇති වන්නට විය. එසේම විවිධ පුද්ගලයන්ගේ විවිධ මත ද සභාවේ චින්තනයට හා ක්‍රියාවලියට බලපෑ බව සඳහන් වේ. අන්තවාදී අදහස් වලට නිදහසේ ගලායෑමට සුදූසු වාතාවරණයක් සකසා දී තිබීම නූතන යුගයේ ඇංග්ලිකන්වාදයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. මේ අදහස් අතර කාන්තා දේවවේදය, සම ලිංගික සම්බධතා සහ ඇදහිල්ල පිළිබඳ ලිහිල් සංකල්ප ජනපි්‍රයවී ඇත. නමුත් විමුක්ති දේවවේදය ඇ්නග්ලිකන් සභාව තුළ එහි අනුගාමිකයන් අතර එතරම් පිළිගැනීමකට ලක්ව නැත. 

එංගලන්තයේ ඇතිවූ ප්‍රගමනයන් නැතහොත් ප්‍රතිසංස්කරණයන්

ලුතර්වාදීන්, කැල්වින්වාදීන් හා ඇනබැප්ටිස්ට්ස් යන ඇදහිලි කණ්ඩායම් පළමුවෙන්ම කතෝලික සභාවෙන් කැඩීගිය ප්‍රොතෙස්තන්ත රෙපරමාදූ ව්‍යාපාරයන් වේ. ඔවුහූ ’ඇදහිල්ලේ ඒකත්වය යන කතෝලික ප්‍රතිපත්තිය වෙනුවට ’ඇදහිල්ලේ පිරිසිඳූකම යන ප්‍රොතෙස්තන්ත ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසා තමන් අන් අය වඩා යහපත් හා අන් අයට වඩා ක්‍රිස්තුන් වහන්සේ විසින් දේශනා කළ සුබ අස්නට විශ්වාසවන්තව කටයුතු කරන බව ද පවසමින් තවත් බොහෝ ඇදහිලි කණ්ඩායම් බිහිවන්නට විය. ප්‍රොතෙස්තන්ත ඇදහිල්වන්තයන්ගේ මතයට අනුව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසින් පිහිටුවන ලද සභාව දෙනෙතට නොපෙනෙන  ආධ්‍යාත්මික යතාර්ථයක් වන අතර එය කතෝලික සභාව පවසන ආකාරයේ මෙලොව තුළ සැබවින්ම පවතින ඓතිහාසික යතාර්ථයක්  නොවේ. මෙය කතෝලික සභාව හා බොහෝ ප්‍රොතෙස්තන්ත සභා අතර ක්‍රිස්තුන් වහන්සේගේ සභාව ගැන දරන මතයේ වෙනසයි. 

රෙපරමාදූ සභා අතර බොහෝ සෙයින් කතෝලික සභාවේ බාහිර ලක්ෂණ උසුලන සභාව එංගලන්ත සභාව නැතහොත් ඇන්ග්ලිකන් සභාව බව සඳහන් වේ. එංගලන්ත සභාව යනු එංගලන්තයේ අටවන හෙන්රි රජතුමා (ක්‍රි.ව. 1507-1547) සදාචාරාත්මක හා දේශපාලනමය හේතුවක් මත පිහිටුවා සභාවක් ලෙස සැළකේ. අටවන හෙන්රි රජතුමා යනු පෙර සිටි පාප්තුමකු විසින් විශ්වාසයේ ආරක්ෂකයා  යන විරුදාවලිය ද ලත් රජ කෙනෙකි. තම රජකමට උරුමක්කාරයෙක් මෙලොවට බිහිකිරීමට නොහැකි වූ වරදට තම බිරිඳ වූ ඇරගොන්හී කැතරින්ව දික්කසාද කිරීමට ගත් තීරණය ඔහුට කතෝලික සභාවෙන් ඉවත්ව යෑමට හේතුවක්  විය. එවකට සිටි හත්වන ක්ලෙමන්ට් නමැති පාප්තුමා රජු දික්කසාදය සඳහා අවසර ඉල්ලා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එවකට කැන්ටබරියේ අග රදගුරුතුමාව සිටි කාර්දිනල් වොල්සේ මාර්ගයෙන් කළ ඉල්ලීමෙන් ද ප්‍රතිඵලයක් නොවූ නිසා හෙන්රි රජු ක්‍රි.ව. 1529 දී කාර්දිනල් වොල්සේව තම තනතුරින් පහකර දමා තමාගේ හිතවතෙක් වූ සර් තෝමස් මෝර්  යන කතෝලික නීතීඥයාව එංගලන්තයේ කුළපත් ලෙස පත් කරගන්නා ලදී. නමුත්  සර් තෝමස් මෝර් පාප්තුමාට යටහත් පහත් කතෝලිකයෙකු වශයෙන් තම මිතුරු හෙන්රි රජතුමා තමන්ට දූන් තනතුර බාරගැනීමට පෙර තමාට රජුගේ දික්කසාදය පිළිබඳ ප්‍රශ්නයට මැදිහත්වන්නට නොහැකි බව රජුට ප්‍රකාශ කර සිටියේය. 

අවසානයේ දී ක්‍රි.ව. 1534 දී අටවන හෙන්රි රජතුමා එංගලන්ත සභාව පිහිටුවා එහි නායකත්වය ද ඔහුටම පවරා ගත්තේය. ඔහු කතෝලික සභාව හා විශේෂයෙන් රෝමය සමග ඉතා අමනාපයෙන් කටයුතු කළේය. සර් තෝමස් මෝර් ද තම තනතුර පිළිගැනීමේ දී එංගලන්තයේ රජු ඉදිරිපිට කළ යුතුව තිබූ පොරොන්දූ ගැනීම පවා ප්‍රතික්ෂේප කළේය. ඔහු කළ දේ නීත්‍යානුකූල නොවුණ ද එංගලන්ත නීති ක්‍රමයේ පැවති නිශ්ශබ්දභාවය නිසා සර් තෝමස් මෝර්ට එරෙහිව කිසිඳූ නීතිමය පියවරක් නොගත්තේය. එහෙත් හෙන්රි රජතුමා ඔහුට සමාව නොදූන් අතර පසුව ක්‍රි.ව. 1535 දී තෝමස් මෝර්ව හිසගසා දැම්මේය. මෙලෙස සර් තෝමස් මෝර් කතෝලික විශ්වාසය ආරක්ෂාකිරීමෙහිලා දිවිපිදූ ප්‍රාණපරිත්‍යාගීවරයෙක් බවට පත්විය. පසු කලෙක රොචෙස්ටර්හී රදගුරුවරයාව  සිටි ජෝන් ෆිෂර්වද හිසගසා දැම්මේය. සර් තෝමස් මෝර් තුමාව හා ජෝන් ෆිෂර් තුමාව පසු කලෙක කතෝක සභාව විසින් තම සාන්තුවර සමූහයට එක්කර ගන්නා ලදී. එංගලන්ත සභාව මුල් කාලයේ දී පාප්තුමාගේ අධිකාරී බලය ප්‍රතික්ෂේප කරමින් කතෝලික සභාවෙන් ඉවත්ව ගිය ද පසුව කැල්වින්වාදයට හසුවී බොහෝ ලෙස ප්‍රොතෙස්තන්ත ස්වභාවයක් ගත්තේය. ක්‍රි.ව. දහසය හා දහහත්වන සියවස් වලදී එංගලන්තය තුළ කතෝලිකයන් ඉතා දැඩි ලෙස පීඩාවට පත් කළේය. පාප්තුමාට යටහත් පහත් අයව දේශපාලන වශයෙන් රජයට විරුද්ධ පිරිසක් ලෙස ඔවුහූ හංවඩු ගැසූහ. නමුත් පසුව කාලයාගේ ඇවෑයමින් එංගලන්ත සභාවෙන් වැඩි කොටසක් නැවතත් කතෝලික ස්වරූපයක් ගත්තේය. මේ අතර විශේෂයෙන්ම එංගලන්ත සභාවේ උසස් සභාවට අයත් ඇන්ග්ලිකන්වරු  ප්‍රොතෙස්තන්ත ලක්ෂණ වලට වඩා කතෝලික ලක්ෂණ උසුලන ඇදහිලිවන්තයන් පිරිසක් ලෙස පෙන්වා දෙයි.  

සටහන - අසේල දසනායක