ශුද්ධවූ එළිසබෙත් ඈන් බේලි සෙටන් මව්තුමිය යනු කතෝලික සභාව විසින් ශුද්ධවරයට ඔසවන ලද පළමු ස්වදේශීය ඇමෙරිකානුවාය.ශුද්ධවූ සභා මාතාව අද සමරනු ලබන්නේ එතුමියගේ මංගලෝත්සවයයි.එළිසබෙත් තුමිය හැදී වැඩුණේ නිව්යෝර්ක් සමාජයේ ඉහළ පන්තියේය.ඇය බහුස්‍රැත පාඨකයෙකු වූ අතර, ඇය ශුද්ධවූ බයිබලයේ සිට සමකාලීන නවකතා දක්වා සියල්ල කියවා බලා ඇත. ඇයගේ සමාජ පසුබිම උසස් වුවත් ඇය නිතරම හුදෙකලාව විසූ සරල හා නිහඬ තැනැත්තියෙකි.ඇය වයසින් වැඩෙත්ම, ශුද්ධවූ බයිබලය ඇයගේ අඛණ්ඩ මාර්ගෝපදේශය, උපකාරය සහ සැනසීම බවට පත්විය.ඇය ජීවිත කාලය පුරාම ශුද්ධ ලියවිල්ලට මහත් සේ ඇලුම් කළාය.
වර්ශ 1794 දී එළිසබෙත් ඇය බොහෝ ආදරය කළ ධනවත් පුද්ගලයෙකු වූ විලියම් සෙටන් සමඟ විවාහ විය.විවාහ දිවියේ මුල් අවුරුදු කිහිපය ප්‍රීතිමත් හා සමෘද්ධිමත් වී ඇත.එළිසබෙත්ගේ ජීවිතයේ එම කාලය, බොහෝ මරණ හා වෙන්වීම් නිසා ඇයට විඳීමට සිදුවන දුක් වේදනාවන් වලට පෙර තිබූ භූමික සතුටේ කෙටි අවස්ථාවක් පමණක් බවට පත්විය. අවුරුදු හතරක් ඇතුළත විලියම්ගේ පියා මිය ගිය අතර, එය විලියම්ගේ සහෝදර සහෝදරියන්ව මෙන්ම පවුලේ ආනයන ව්‍යාපාරයන් පිළිබඳවද මේ තරුණ යුවලව අනුයුක්ත කර උරුම කොට තබා ගියේය.විනාශකාරී බලපෑමක් ඇති කරමින් සිදුවීමට නියමිත සිදුවීම් සියල්ල එතැන් සිට වේගයෙන් ගමන් කළේය.විලියම්ගේ සෞඛ්‍ය සහ ව්‍යාපාර යන දෙකම පිරිහීමට පත්විය.මේ නිසා සෙටන්වරුන් ඉතාලියට සංක්‍රමණය විය.එහි විලියම්ගේ ව්‍යාපාරික මිතුරන් සිටියේය.නමුත් අවාසනාවකට මෙන්, විලියම් ඉතාලියේ සිටියදී ක්ෂය රෝගය වැළඳීමෙන් මිය ගියේය.
එළිසබෙත් හට තිබූ එකම අස්වැසිල්ල වූයේ මිය යාමට නොබෝ කාලයේදී විලියම් දෙවියන් වහන්සේගේ දේවල් ගැන අවදියෙන් සිටීමටයි.තම ආදරණීයන්ගේ වෙන්වීම් නිසා ඇතිවූ දුරස්ථභාවය, එළිසබෙත්ගේ හදවත දෙවියන් වහන්සේ හා සදාකාලික දේවල් වෙත ඇඳ බැඳ තබා ගැනීමට සමත් විය.කැමැත්ත, එනම් දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගැනීම හා වැළඳ ගැනීම ඇයගේ අධ්‍යාත්මික ජීවිතයේ මුඛ්‍යාර්ථය බවට පත්විය.එළිසබෙත් ඇයගේ පවුලේ අයගේ සහ මිතුරන්ගේ අධ්‍යාත්මික සුභසාධනය කෙරෙහි දැක්වූ දැඩි සැළකිල්ල අවසානයේ ඇයව කතෝලික ආගම වැළඳ ගැනීම කරා යොමු කෙරුණි.
එළිසබෙත් ඇයගේ කරුණාව, ඉවසීම, හොඳ සිහිය, බුද්ධිය සහ ආචාරශීලීභාවය නිසා ඉතාලියේදී සෑම කෙනෙකුවම ආකර්ෂණය කර ගත්තාය.මේ කාලය තුළ එළිසබෙත් කතෝලික ඇදහිල්ල කෙරෙහි උනන්දුවක් දැක්වූ අතර මාස කිහිපයක් පුරාවටම ඇයගේ ඉතාලි මිතුරන් ඇයට කතෝලික ඉගැන්වීම් සඳහා මඟ පෙන්වීය.ජීවයේ ආහාරය ( දිව්‍ය සත්ප්‍රසාදය ) පිළිබඳව එළිසබෙත් තුළ තිබූ බලවත් ආශාව ඇයව කතෝලික පල්ලිය වෙත ගෙන ඒම සඳහා ප්‍රබලම සාධකයක් බවට පත්විය.කුඩා අවදියේදීම තම මව අහිමි වූ එලිසබෙත් හට මරිය වහන්සේ සැබවින්ම ඇයගේ මව යන අදහස මහත් සහනයක් ගෙන දුන්නේය.සැබෑ ඇදහිල්ලට මඟ පෙන්වන ලෙසට ඇය මරියෝත්තමාවන්ගෙන් ඉල්ලා සිටි අතර නිල වශයෙන් වර්ශ 1805 දී ඇය කතෝලික පල්ලියට සම්බන්ධ විය.
මේරිලන්ඩ්හි බැල්ටිමෝර්හි ශාන්ත මරියා විද්‍යාලයේ සභාපතිගේ යෝජනාවකට අනුව එළිසබෙත් එම නගරයේ පාසලක් ආරම්භ කළාය.පාසල මුලදී ලෞකික එකක් වූ නමුත් කතෝලික ධර්මයට ඇය ඇතුළු වූ පුවත පැතිර ගිය පසු ගැහැනු ළමයින් කිහිප දෙනෙකුවම ඇයගේ පාසලෙන් ඉවත් කරගෙන තිබුණි.ඒ වන විට තවත් තරුණියන් දෙදෙනෙක් ඇයගේ වැඩ කටයුතු වලට උදව් කළ අතර, ඔහුන් පැවිදි දිවියට පැමිණීම සඳහා සැලසුම් ආරම්භ කළහ. ඔවුන් ඇමරිකාවේ පළමු ගාස්තු වලින් තොර කතෝලික පාසල ආරම්භ කළහ.වර්ශ 1809 මාර්තු 25 වන දින එළිසබෙත් සෙටන් සිය දිළිඳුකම, නිර්මලකම සහ කීකරුකම පිළිබඳ වේදභාර ප්‍රකාශ කළාය.එතැන් සිට ඇයව හැඳින්වූයේ සෙටන් මව්තුමිය යනුවෙනි.සෙටන් මව්තුමිය ක්ෂය රෝගයෙන් පීඩා වින්දා වුවද, ඇය දිගටම තම දරුවන්ට හට මඟ පෙන්වූවාය.වර්ශ 1818 වන විට මෙම කන්‍යා සොහොයුරියන් ඔවුන්ගේ පළමු පාසලට අමතරව අනාථ නිවාස දෙකක් සහ තවත් පාසලක්ද ආරම්භ කර තිබුණි.අද වනවිට කන්‍යා සොහොයුරියන් කණ්ඩායම් හයකට ඔවුන්ගේ මූලාරම්භය සෙටන් මව්තුමියගේ ආරම්භක පදනමට සම්බන්ධ කළ හැකිය.
සෙටන් මව්තුමියගේ ප්‍රියතම යාච්ඤාව වූයේ ගීතාවලියේ 23 වන ගීතිකාව වන අතර ඇය දිව්‍ය සත්ප්‍රසාදය, ශුද්ධවූ ලියවිල්ල සහ කන්‍යා මරිය තුමිය කෙරෙහිද ගැඹුරු භක්තියක් දැක්වූවාය.ඇයගේ ජීවිතයේ අවසාන අවුරුදු තුන තුළ එළිසබෙත්ට හැඟුණේ දෙවියන් වහන්සේ ඇයව කැඳවීමට සූදානම් වන බවයි.මෙය ඇයට මහත් ප්‍රීතියක් ගෙන දුන්නේය. වර්ශ 1821 දී, වයස අවුරුදු 46 දී සෙටෝන් මව්තුමිය මිය ගියේ ඇය කතෝලිකයෙකු වී වසර 16 කට පමණ පසුවය.වර්ශ 1963 මාර්තු 17 වන දින XXIII වන ජුවාම් පාප්තුමා විසින් ඇයව භාග්‍යවරයට ඔසවන ලද අතර, වර්ශ 1975 සැප්තැම්බර් 14 වන දින VI වන පාවුළු පාප්තුමා විසින් ඇයව ශුද්ධවරයට ඔසවන ලදී. එතුමියව භාග්‍යවරයට ඔසවන අවස්ථාවේදී XXIII වන ජුවාම් පාප්තුමා ඇය පිළිබඳව පැවසූ වචන අද අප කොයි කාටත් විශාල ආදර්ශයකි: "නිවස බොහෝ කුඩා වුවත්, යහපත් ක්‍රියා සඳහා එහි ඇති ඉඩකඩ හොඳටම සෑහේ.ඇය ඇමෙරිකාවේ පැළ කළ බීජය, දෙවියන් වහන්සේගේ මහිමයෙන් විශාල වෘක්ෂයක් බවට වර්ධනය වී ඇත".අප සැමටම ඉතා විශාල දේවල් කළ නොහැකි නමුත් ශුද්ධවූ එළිසබෙත් ඈන් බේලි සෙටන් මුනිතුමිය කළා සේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අපට කුඩා කුඩා දේවල් හෝ කළ හැකිය.ඒ කුඩා ක්‍රියාව විශාල ලෙස ඵල දරන වෘක්ෂයක් බවට වර්ධනය කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමයයි.
කිතුනු අපේ දේවධර්ම දිනපොත
0 Comments